ජපන් අගමැති යුද්ධයට සූදානම් වේ

Japanese PM prepares for war

5 March 2013

ජපන් අගමැති ෂින්සෝ ඇබේ ෆෝක්ලන්ඩ් (මැල්විනාස් දූපත්) යුද්ධය නිදසුන් කොට ගනිමින්, පසුගිය සතියේ චීනය සමග මතභේදයට තුඩුදී ඇති දූපත් සම්බන්ධයෙන් පල කල ඔහුගේ දැඩි ස්ථාවරය, ආසියාව තුල නව හා බිහිසුනු ගෝලීය ඝට්ටනයක විභේද රේඛා දිගහැරෙමින් ඇති බවට කෙරෙන ඇඟ කිලිපොලායන අනතුරු ඇඟවීමකි.

"බලය යෙදීමට එරෙහිව ජාත්‍යන්තර නීතියේ පාලනය ජයගත යුතුය" යනුවෙන් 1982 ආජන්ටිනාවට විරුද්ධව යුද ප්‍රකාශ කිරීම සඳහා එවකට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් ගෙනහැර දැක්වූ යුක්තිකරනය ඇබේ උපුටා දැක්වී ය. දකුනු අත්ලාන්තික් සාගර කලාපයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සතුව පැවති අවසන් කුඩා බිම් කඩ රැකගැනීමේ අටියෙන් ඇය බ්‍රිතාන්‍ය මිලිටරිය එහි පිටත්කර හැරීමෙන් ඇතිවූ ලේ වැකි ගැටුම තුල දෙපාර්ශවයේ ම ජීවිත සිය ගනනක් විනාශ විය.

ඇබේගේ අදහස් දැක්වීම, ජපන් බසින් සෙන්කාකු හා චීන බසින් ඩයෝයු යනුවෙන් හඳුන්වනු ලබන නැ‍ඟෙනහිර චීන මුහුදේ ජනශුන්‍ය ගල්පර සමූහයක පාලනය මුල්කරගෙන, ඔහුගේ ආන්ඩුව චීනය සමග යුද්ධයකට යාමට සූදානම් වන බවට පලවූ නොවරදින සුලු ප්‍රකාශයකි.

දැවැන්ත අන්තරායන් පැහැදිලි ය. ආජන්ටිනාව මෙන් නොව චීනය පුලුල් වශයෙන් නවීකරනය කෙරෙමින් තිබෙන සැලකිය යුතු න්‍යෂ්ටික අවි බලවතෙකි. ජපානය හා චීනය සමග ඇතිවිය හැකි ඕනෑම අවි ගැටුමක්, පාලනයෙන් පිටතට ගලා යා හැකි හා අනෙකුත් බලවතුන් ද විශේෂයෙන් ම එක්සත් ජනපදය, ඇදගැනීමේ හැකියාවෙන් යුක්ත ය. දිවයින් පිලිබඳ යුද්ධයක දී තමන් ටෝකියෝවේ පැත්ත ගන්නා බව එරට දැනටමත් කියා ඇත.

මෙම ආතතීන් ඇවිලවීම සඳහා මූලික වගකීම දරන්නේ ඔබාමා පාලනය යි. චීනය විභව ආර්ථික හා මිලිටරි එදිරිවාදියෙකු ලෙස සලකන එක්සත් ජනපදය, 2009 පටන් එරටට වල කැපීමේ එල්ලය ඇතිව, ආසියාව පුරා රාජ්‍ය තාන්ත්‍රික හා මූලෝපායික ආක්‍රමනයක යෙදී සිටියි. ඔබාමාගේ "ආසියාව වෙත හැරීම" මගින් ඇමරිකාවේ අනුචරයින් හා මූලෝපායික සහචරයින්, චීනයට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීම සඳහා දිරිමත් කර තිබේ. මෙනයින් කොරියානු අර්ධද්වීපය, දකුනු චීන මුහුදේ නාවික මාර්ග පිලිබඳ ගැටුම් හා ඉන්දියාව හා චීනය අතර නොවිසඳුනු දේශසීමා ගැටලු මේ අතරට ගැනෙයි.

නරක අතට හැරෙන ධනවාදයේ ගෝලීය බිඳවැටීම, මිලිටරිවාදයේ මෙම පිපිරුම් වේගවත් කරයි. දශක දෙකක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය මිලිටරි ශක්තිය ප්‍රයෝජනයට ගනිමින්, සිය පරිහානිය ආපසු හැරවීමේ මංමුලා සහගත උත්සාහයක නියැලී සිටියි. යොමුව ආසියාව වෙත හැරවීම මගින් ඔබාමා, නොමිනිය හැකි තරම් දේ පරදුවට තබයි. එය න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමක් අවිලවීමට තර්ජනය කරයි.

දක්ෂිනාංශික ජාතිකවාදියෙක් වන ඇබේ, ලෝකයේ දෙවන විශාලත ම ආර්ථික බලවතාගේ තැන චීනය හමුවේ අහිමි කරගැනීමට තුඩු දුන්, ජපාන ආර්ථිකයේ දශක දෙකක් පුරා ඇදී යන ආර්ථික පල්වීම ආපසු හැරවීමේ අටියෙන්, ඒ හා සමාන මූලෝපායක් අනුගමනය කරයි. ආර්ථික හා මිලිටරිමය යන ‍මාධ්‍ය දෙක ම තුලින්, ජපන් අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සපුරාලීමට හැකි, "ප්‍රබල ජපානයක්" ගොඩනැඟීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටියි.

රටේ පශ්චාත් යුද්ධ "සාමවාදී" ව්‍යස්ථාවෙන් පැන වී ඇති බාධක ඉවත් කර, මිලිටරිය ගොඩනැඟීමේ සැලසුම්, අලුතෙන් පත්වූ ඇබේ ආන්ඩුව වේගයෙන් ක්‍රියාවට නඟමින් සිටියි. ඒ සමග ම එය, ජපානයේ තරඟකරුවන්ගේ වියදමෙන් නිර්යාත නංවාලීම හා යෙන් මුදල අවප්‍රමානය වීමට ඉඩ සැලසෙන පරිදි, එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ ''ප්‍රමානාත්මක ලිහිල් කිරීම්" වැනි ආක්‍රමනශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් ද ක්‍රියාත්මක කර තිබේ.

ෆෝක්ලන්ඩ් යුද්ධය ගැන ඇබේ කරන සඳහන, තවත් නොවරදින සුලු අනතුරු ඇඟවීමක් දරා සිටියි. දකුනු අත්ලාන්තිකයේ යුද්ධයක් දියත් කිරීමේ තැචර්ගේ තීරනය හුදෙක් ලෝක කරලියේ බ්‍රිතාන්‍යයේ බලය පෙන්වීම පමනක් අරමුනු කරගත්තේ නොවේ. "ඇතුලත සතුරා" ලෙස ඇය පසුව විස්තර කල බ්‍රිතාන්‍ය කම්කරු පන්තියට ද එරෙහිව යොමු කරන ලද්දකි, එය. ඇගේ වෙලඳපොල ගැති න්‍යාය පත්‍රයට පලවූ කම්කරුවන්ගේ ප්‍රතිරෝධය බිඳීමට මුලින් අසමත්ව සිටි තැචර්, 1984-85 වසරවල බ්‍රිතාන්‍ය‍යේ පතල් කම්කරු වැවර්ජනය පරාජය කිරීමෙන් කුලුගැන්වුනු, කම්කරු පන්තියට එරෙහි පෙරමුනු ප්‍රහාරයක් සූදානම් කිරීමේ දී, ලේබර් පක්ෂයේ ද සහාය ඇතිව ජාතිකවාදය හා අන්ධ ස්වෝත්තමවාදය උසිගන්වා ගැනීම සඳහා ෆෝක්ලන්ඩ් යුද්ධය යොදාගත්තා ය.

ඒ හා සමානව ම "ප්‍රබල ආර්ථිකයක්" සඳහා වන ඇබේගේ අභිලාශය ද කැඳවුම් කරන්නේ, ජපාන කම්කරු පන්තියේ සමාජ තත්වයට හතර වටින් එල්ල කරන ප්‍රහාරයකි. ලොව පුරා සිය සහචරයින් මෙන් ම ජපාන පාලක පන්තිය ද උත්සාහ කරන්නේ නරක අතට හැරෙන ගෝලීය ආර්ථික බිඳ වැටීමේ බර පැන විදේශයන්හි තම තරඟකරුවන් මත ද රට තුල වැඩකරන ජනතාව මත ද පැටවීමට ය. සමස්ත දේශපාලන සංස්ථාපිතය ම ගැලී සිටින ජපාන දේශප්‍රේමය හා මිලිටරිවාදය ප්‍රචාරය කිරීම වනාහි, ජපානයේ තවමත් ඉතිරිව ඇති "ජීවිත කාලීන රැකියා" හා එරට සීමිත ශුභසාධන රාජ්‍යය පද්ධතියට පහර දීම සඳහා අත්‍යවශ්‍ය සූදානමකි.

ජපාන මිලිටරිවාදයේ පුනර්ජීවනය, 1930 ගනන්වල පූර්ව යුද්ධ අවධියේ ප්‍රගාඪ ඓතිහාසික අනුනාදයකි. මහා අවපාත වකවානුව තුල ලෝක වෙලඳාමේ බිඳවැටීම හමුවේ, ජපන් අධිරාජ්‍යවාදය විශේෂයෙන් ම ඊට ගොදුරු විය. වෙලඳපොලවල් හා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අටියෙන් ජපන් අධිරාජ්‍යවාදය, 1931දී මැන්චූරියාව අල්ලා ගැනීමේ යුද්ධයක් දියත් කල අතර පසුව 1937දී සමස්ත චීනය ම ආක්‍රමනය කලේ ය. රට තුල දී මිලිටරිවාදී තන්ත්‍රය නොඉවසිය හැකි සමාජ කොන්දේසිවලට කම්කරු පන්තිය දැක්වූ ප්‍රතිරෝධය බිඳීම පිනිස සමස්ත පොලිස්-රාජ්‍ය වැඩපිලිවෙලක් ගොඩනැඟී ය.

මේවා, එරට කම්කරුවන් හා තරුනයින් අතර ජපාන මිලිටරිවාදය කෙරෙහි ඓතිහාසිකව ගැඹුරෙන් ම මුල්බැස තිබෙන සතුරුකමට ද හේතු වන නමුත් ජපානයේ කිසිදු දේශපාලන පක්ෂයක් තුල එහි ප්‍රකාශනයක් අත්කර නොගනියි. මැතිවරනය අවධියේ, ජපන් කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය ම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට, සෙන්කාකු දිවයින් සඳහා ජපන් අධිරාජ්‍යවාදයේ හිමිකම්පෑම පිටුපස පෙලගැසුනු අතර ඇබේ හා දක්ෂිනාංශික ලිබරල් ප්‍රජාතන්ත්‍රික පක්ෂ‍ය බලයට පත් කිරීම සඳහා දොර විවර කලේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රයද වැලඳ ගත්තේ එම ක්‍රමෝපායන් ම ය. ඔවුහු ආර්ථික අර්බුදය හා රට තුල නැඟී එන සමාජ ආතතීන් වෙතින් අවධානය විසකුරු ජාතිකවාදය කරා හැරවීම පිනිස වැඩට බැස ගත්හ. පසුගිය සැප්තැම්බරයේ සෙන්කාකු/ඩයෝයු දිවයින් "ජනසතු කිරීමට" ටෝකියෝව ගත් තීරනයට ප්‍රතිචාර වශයෙන් බීජිනය, ජපන් ව්‍යාපාර හා පුරවැසියන්ට පහර දුන් ජපන් විරෝධී උද්ඝෝෂන සඳහා කොල එලිය දැල්වී ය. චීන මාධ්‍ය ජාලයන් තුල එන්ට එන්ට ම අධිකාරය පිහිටුවා ගත්තේ, චීනයේ මිලිටරි හැකියාවන් හුවාදක්වන විශ්ලේෂකයින් ය. එසේ ම ජපානය සමග පූර්න පරිමාන යුද්ධයක් පිලිබඳ සමපේක්ෂනයන් ය.දේශපාලන අටුවා කරුවන් ස්වල්ප දෙනෙක් හෝ දැන් නැ‍ඟෙනහිර ආසියාවේ ගොඩනැ‍ඟෙමින් තිබෙන වත්මන් ආතතීන් හා පලමු ලෝක සංග්‍රාමයට තුඩු දුන් බෝල්කන් ප්‍රදේශයේ ගැටුම් අතර බිහිසුනු සමාන්තරයන් ගැන සඳහන් කරන්නේ නැත. ඇවිලෙන්නේ ආසියාව තුල වේවා ලොකයේ අන් කවර තැනක වේවා තුන්වන ලෝක යුද්ධයක් කරා වන තල්ලුව, එක් අතකින් ලෝක ආර්ථිකය හා යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද අනෙක් අතින් පෞද්ගලික දේපොල ක්‍රමය හා සමාජමය වූ නිෂ්පාදනය ද අතර ධනවාදයේ නොවිසඳිය හැකි පරස්පර විරෝධයන්ගේ නිමැවුමකි.

යුද්ධයේ පරිපීඩාව අවසන් කල හැකි එක ම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය යි. කෙසේ ද යත්, ඓතිහාසිකව බංකොලොත් ලාභ ගැරීමේ පද්ධතිය අහෝසි කිරීමේ අරගලයකිනි. ජපානයේ හා චීනයේ මෙන් ම ලෝකය පුරා පැතිර සිටින කම්කරුවන්ට, නැ‍ඟෙනහිර චීන මුහුදේ ඇති ජන ශුන්‍ය ගල්පර සමූහයක් වෙනුවෙන් ගැටුමකට එලැඹීමේ කිසිදු ඕනෑකමක් නැත. ඔවුන්ගේ අනාගතය රැඳී ඇත්තේ, ධනවත් ප්‍රභූන් අතලොස්සකගේ ලාභය සඳහා නොව, බහුතරයක් මානව වර්ගයාගේ සමාජ අවශ්‍යතා සන්තර්පනය කිරීම පිනිස සැලසුම්ගත ලෝක ආර්ථිකයක් සංවිධානය කර පිහිටුවීමේ අරගලය තුල ය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: