මිලිටරිකරනය වේගවත් කරමින් විදුහල්පතිවරුන් දහස් ගනනකට හමුදා පුහුනුව

කපිල ප‍්‍රනාන්දු විසිනි , 2013 මාර්තු 14

විදුහල්පතිවරුන් 4000කට හමුදා පදවි ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ ලබන අපේ‍්‍රල් මාසය පුරා පැවැත්වෙන පුහුනුව සඳහා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂන, පසුගිය සතියේ කොලඹ ජාතික ශිෂ්‍යභට මූලස්ථානයේ දී පැවැත්වුනි. පුහුනුව සම්පූර්න කරන විදුහල්පතිවරුන් සඳහා ලුතිනන්, මේජර් හා කපිතාන් ආදි පදවි පිරිනැමීමට නියමිත ය. රාජපක්ෂ ආන්ඩුවේ මෙම ව්‍යාපෘතිය රට මිලිටරිකරනයට ලක් කරමින් පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ තවත් ප‍්‍රධාන පියවරකි.

අධ්‍යාපන මූලධර්මයන්ට මුලුමනින් ම එරෙහි මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දුවකි. පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුහල්පතිවරු තිස් දෙනෙකු සඳහා සතියක හමුදා පුහුනුවක් ලබා දීමෙන් පසුව කර්නල් පදවි පිරි නමමින්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කලේ මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යා යුතු බවයි.

ව්‍යාපෘතිය පිලිබඳව කවර හෝ සංයුක්ත පැහැදිලි කිරීමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදු කොට නොමැති අතර සම්මුඛ පරීක්ෂන මන්ඩලය ද සමන්විත වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ හමුදාවේ නිලධාරීන්ගෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ විදුහල්පතිවරුන් ප‍්‍රකාශ කලේ, පුහුනුවේ අරමුන සහ ස්වරූපය පිලිබඳව තමන්ට පැහැදිලි නොමැති බව යි. මිලිටරිකරනයට සමගාමීව ආන්ඩුව ගෙන යන ත‍්‍රස්තය හේතුවෙන් සම්මුඛ පරීක්ෂනයේ දී හෝ මේ පිලිබඳව ප‍්‍රශ්න නොකල බව ඔවුහු ප‍්‍රකාශ කලහ. එක් විදුහල්පතිවරයෙක් පැවසුවේ, ''මගේ රැකියාවට හා පාසලට ලැබෙන වරප‍්‍රසාද අහිමි වෙයි කියන බය නිසයි මම මේ පුහුනුවට සහභාගි වුනේ," යනුවෙනි.

මෙම මිලිටරිකරන වැඩපිලිවෙලට සමගාමීව ආන්ඩුවේ ප‍්‍රහාර ඉදිරියේ ගුරුවරුන් මෙල්ල කර තබා ගැනීමේ අටියෙන් ඔවුන් ''විනයගත කිරීමේ" නීති මාලාවක් ''ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිලිබඳ ආචාර ධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව" යනුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාවට නංවා ඇත.

පාසල් තුලට මිලිටරි විනය හා නව නීති ගෙන ඒමෙන් ආන්ඩුව අපේක්ෂා කරනුයේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ගුරුවරුන්ගෙන්, ශිෂ්‍යන්ගෙන් හා දෙමාපියන්ගෙන් එල්ල වී ඇති විරුද්ධත්වය රුදුරු ලෙස මර්දනය කිරීම යි.

විදුහල්පතිවරුන් හට හමුදා පදවි පිරිනැමීමේ පියවර ගනු ලැබුවේමත්, 2011 උසස් පෙල විභාග ප‍්‍රතිඵල අවුල හේතුවෙන් දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයක ම දෙමාපියන් හා සිසුන් අතර පැන නැගි විරෝධතාවන් හා සමගාමීව ය.

පාසල් වසා දැමීම එල්ල කර ගත් සපිරි පාසල් වැඩසටහනට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පාසල් ආරම්භයත් සමග පාසල් ගනනාවක දෙමාපිය හා සිසු විරෝධතා පැන නැගීමත් සමග පාසල් මිලිටරිකරනය වේගවත් කරමින්, විදුහල්පතිවරුන් 4000 කට හමුදා පදවි ලබා දීමේ අභිනව ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත පාසල් වසා දමමින් නිදහස් අධ්‍යාපනය වල දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව මිලිටරිකරනය සඳහා දැවැන්ත මුදල් ප‍්‍රමානයක් වැය කරයි. මෙම වසර සඳහා ආරක්ෂක වියදම පසුගිය වසරට සාපේක්ෂව සියයට 29කින් ඉහල දමනු ලැබුවේ, එය රුපියල් බිලියන 290 දක්වා ගෙන එමිනි.

සමාජයේ සෑම අංශයක් ම මිලිටරිකරනයට යටත් කිරීමේ ප‍්‍රයත්නයේ දී අධ්‍යාපනය ප‍්‍රධානත ම වශයෙන් ඉලක්ක කෙරී ඇත. 2010 වර්ෂයේ දී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලත් සියලු සිසුන් සඳහා සති තුනක අනිවාර්ය හමුදා පුහුනුවක් ලබා දුන් අතර මේ මස සරසවිවලට ඇතුලුවීමට නියමිතව සිටින සිසුන් එම පුහුනුවට ලක් කෙරුනු තුන්වන කන්ඩායම යි. ''දේශපාලනය හා ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීත්වය අවශ්‍ය නොමැති බවත් සපයා ඇති පහසුකම් ඉවසා දරාගෙන අධ්‍යාපනය හදාරන ලෙසත්" සිසුන් වෙත මිලිටරියේ ඉහල නිලධාරීන් එහි දී දේශන පවත්වා තිබුනි.

මෙම පියවරෙන් අනතුරුව ආන්ඩුව, විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ විශ්වවිද්‍යාල පරිපාලනයෙන් ස්වාධීනව ක‍්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රක්නා ලංකා හා එල්ආර්ඩීසී යන සමාගම් වෙත පවරන ලදි. සරසවි තුල සීසීටීවී කැමරා සවි කොට එමගින් ලබා ගන්නා තොරතුරු මත ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දඩයම් කිරීම ද මේ සමග ම ක‍්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ජයවර්ධනපුර සරසවියේ සිසුන් ගනනාවකගේ ම පන්ති තහනමට ලක් කර ඇති අතර කීප දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරිකරන වැඩපිලිවෙලට පූර්න පිටුබලය ලබා ගත්තේ, දෙමල ජනතාවට එරෙහිව ගෙන ගිය තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයෙනි. එල්ටීටීඊය පරාජය කිරීමෙන් ආන්ඩුව ලැබූ යුද ජයග‍්‍රහනය කම්කරු පන්තියේ එකදු ගැටලුවක් හෝ විසඳාලනු වෙනුවට තවත් උග‍්‍ර කරනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය කල අනතුරු ඇඟවීම් දැන් සනාථ වී තිබේ.

ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය මගින් තීව‍්‍ර කර ඇති ලංකාවේ ආර්ථික අර්බුදයේ සියලු බර, මහජනයා මත පටවමින් අධ්‍යාපනය ඇතුලු සියලු සමාජ සුබසාධන වැඩපිලිවෙලවල් විනාශ කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, ලොව පුරා අනෙක් පාලක පන්තීන් මෙන් ම කම්කරු පීඩිතයන් හා තරුනයන් තුලින් පැන නගින විරුද්ධත්වයන් මැඩීම සඳහා පොලිස් රාජ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටී.

ආන්ඩුවේ මෙම ප‍්‍රහාරයන්ට සහ පොලිස් රාජ්‍ය සැලසුම්වලට පූර්න පිටුබලය ලබා දෙන විදුහල්පති වෘත්තීය සමිති මෙම මිලිටරි පුහුනුවේදී ද ආන්ඩුව සමග එක පෙලට සිටී. රටේ කවර හෝ විදුහල්පති වෘත්තීය සමිතියක් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප‍්‍රකාශ කොට නැත.

ජෝසප් ස්ටාලින් විසින් නායකත්වය දෙන ලංකා ගුරු සංගමය, ව්‍යාජ වාම පක්ෂයන් වන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය සමග එක්ව යුද්ධය ආරම්භ කල එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ ''ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අධ්‍යාපනය රැකීමේ" ප්‍රෝඩාවක යෙදී සිටී. ලංකා ගුරු සේවා සංගමය අනුබද්ධව සිටින්නේ රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට හා මිලිටරිකරනයට සෘජුව සහයෝගය දුන් විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන සමග ය.

යුද්ධයට හා ආර්ථික ප‍්‍රහාරවලට එරෙහිව සිංහල හා දෙමල කතා කරන කම්කරු පන්තියේ සමාජවාදී ඒකාබද්ධතාවකට විරුද්ධ මෙම සමිති නිලධරයන්, 2008 ගුරු වැටුප් අරගලයේ දී ''තමන් කියන්නේ යුද්ධය නතර කොට වැටුප් වැඩි කරන්න දැයි" ජනාධිපති රාජපක්ෂ ඇසූ ප‍්‍රශ්නයට අවනත වෙමින් අරගලය පාවා දුන්නේ ය. මෙම අරගලයට උතුරු නැගෙනහිර ද ඇතුලත්ව රටපුරා ගුරුවරු ඒකාබද්ධ වූහ.

ආන්ඩුවේ නවත ම ප‍්‍රහාරය සම්බන්ධව ද ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය කර ඇත්තේ ඇල්මැරුනු දියාරු විවේචනයක් පමනි. අවසාන විග‍්‍රහයේ දී රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරිකරනය එහි ශක්තියේ ප‍්‍රකාශනයක් නොව, සමාජ පදනම් ඛාදනයේ හා ධනේෂ්වර අර්බුදයේ ප‍්‍රකාශනයකි. සමාජවාදී සමානතා පක්ෂය හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරය, ආන්ඩුවේ මිලිටරි පුහුනුව එකහෙලා ප‍්‍රතික්ෂේප කරන ලෙස සියලු ම හිතන මතන විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට කැඳවුම් කර සිටී.

Share this article: