ශ්‍රී ලංකාව ගැන යුඑන්එච්ආර්සී යෝජනාව පිලිබඳව ඉන්දියාව උපාමාරු දමයි

India manoeuvres over UNHRC resolution on Sri Lanka

දීපාල් ජයසේකර විසිනි , 2013 මාර්තු 19

ජිනීවාහි පැවැත්වෙන යූඑන්එච්ආර්සීයේ වත්මන් සැසියේ දී මාර්තු 21 දින සභාගත කිරීමට නියමිත, ශ්‍රී ලංකාව පිලිබඳව එක්සත් ජනපදය ගෙන එන යෝජනාව මුල්කරගෙන, ඉන්දියානු ආන්ඩුව දුෂ්කරතාවකට පත්ව සිටියි.

නව දිල්ලිය ශ්‍රී ලංකාව ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගත යුතු බවත්, එක්සත් ජනපදයේ යෝජනාවට පිටු බලය දිය යුතු බවත් කියා සිටිමින් ඉන්දියාවේ දකුනු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන පක්ෂ, පසුගිය සති තුන පුරා උද්ඝෝෂනය කරමින් සිටියි. මෙරට දෙමල සුලුතරය පීඩාවට පත් කරමින් කොලඹ ආන්ඩුව ගෙන යන පිලිවෙත සම්බන්ධයෙන් තමිල්නාඩු ජනතාව තුල ඇති කෝපය ගසාකමින්, එය පීලි පැන්නවීම මෙම උද්ඝෝෂනවල අරමුන යි.

නව දිල්ලියේ පාලක සභාගයෙහි දෙවන ලොකු ම හවුල්කරුවා වන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ (ඩීඑම්කේ) නායක එම්. කරුනානිධි එක්සත් ජනපදයේ යෝජනාව ශක්තිමත් කරන සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් තමන් කොන්ග්‍රසය ප්‍රමුඛ ආන්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කර ඇත.

18දා ඉන්දියානු අගමැති මන්මෝහන් සිං හා කොන්ග්‍රසයේ නායකාව වන සෝනියා ගාන්ධි, මුදල් ඇමති පී. චිදම්බරම් හා ආරක්ෂක ඇමති ඒ. කේ. ඇන්තනි අතුලු ඉහල පෙලේ නියෝජිත පිරිසක් කරුනානිධි මුනගැසීම සඳහා පිටත්කර හැරියහ. ඔවුන් කල සාකච්ඡා පිලිබඳව කිසිවක් හෙලිදරව් වී නැති නමුත් චිදම්බරම් ඇඟවුම් කලේ, ඉන්දියානු ආන්ඩුව එක්සත් ජනපද යෝජනාවට ඡන්දය දෙනු ඇති බව යි.

එයට නොදෙවෙනි පරිද්දෙන් තමිල්නාඩුවේ මහ ඇමති හා සමස්ත ඉන්දියානු අන්නා ද්‍රඩිඩ මුන්නේත්‍ර කසාගම් (ඒඅයිඒඩීඑම්කේ) නායක ජෙයලලිතා ජෙයරාම් ද ඉන්දියාව, යුඑන්එච්ආර්සී යෝජනාව ශක්තිමත් කිරීමේ සංශෝධන ගෙන ආ යුතු බව අගමැති සිං ‍වෙත දැනුම් දුන්නා ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ පරාජයෙන් 2009 මැයි මාසයේ දී කෙලවරවූ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ගෙන ගිය සිවිල් යුද්ධයට මේ පක්ෂ දෙක ම සහාය දී ඇත. ඔවුන් කොලඹ පාලනය පිලිබඳ විවේචන මතුකිරීමට පටන් ගත්තේ, ගැටුමේ අවසන් මාසවල දී පමනි. එලඹෙන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරනයේ දී ඡන්ද ගරාගැනීමට වෑයම් කරමින්, දෙපක්ෂය ම යූඑන්එච්ආර්සී යෝජනාව පිටුපස පෙලගැසෙති.

ඒ අතර ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ ද, මෙම ප්‍රශ්නය ඩැහැගෙන ඇත. ආන්ඩුව තමන්ගේ ම යෝජනාවක් ඉදිරිපත් කල යුතු බව කියා සිටිමින් හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය ද (බීජේපී) යූඑන්එච්ආර්සී යෝජනාවට පිටුබලය දෙයි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හා ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය යන ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙක ද යූඑන්එච්ආර්සී සමුලුවේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව දැඩි ස්ථාවරයක් ගත යුතු ය යන ඝෝෂාවට එක්ව සිටිති.

තමිල්නාඩු පක්ෂ සතුටු කිරීම සඳහා නව දිල්ලිය, ''ආරක්ෂක කටයුතු පිලිබඳව'' ශ්‍රී ලංකාව සමඟ මාර්තු 25දා පැවැත්වීමට නියමිතව තිබුනු සාකච්ඡා වටය අවලංගු කර තිබේ. කෙසේ වෙතත්, ඉන්දියානු ආන්ඩුව මෙරට සමඟ මිලිටරි අභ්‍යාස තවදුරටත් පවත්වනු ඇත.

යූඑන්එච්ආර්සීය වටා සිදුවන මුලු සාකච්ඡාව ම කුහකත්වයෙන් පිරී ඇත. එක්සත් ජනපදය යෝජනාව ගෙන එන්නේ, මෙරට මානව අයිතීන් පිලිබඳ කුමන හෝ සැලකිල්ලක් නිසා නොවේ. කොලඹ ආන්ඩුව 2006 දී නව වටයකින් ඇරඹූ වර්ගවාදී යුද්ධයට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය. දැන් එක්සත් ජනපදය මෙම ප්‍රශ්නය ගසා කන්නේ, චීනයෙන් ඈත්ව සිටීමට රාජපක්ෂ ආන්ඩුව ‍පෙලඹවීම සඳහා ය.

එක්සත් ජනපද යෝජනාව බොහෝකොට ම පසුගිය වසරේ සම්මත කල යෝජනාවට සමාන ය. එය යලිත් කියා සිටින්නේ කොලඹ ආන්ඩුව, තමන්ගේ ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (එල්එල්ආර්සී) සීමිත නිර්දේශ ක්‍රියාවට නැඟිය යුතු බව යි. ජනාධිපති රාජපක්ෂ මෙම කොමිසම පත් කලේ, තම ආන්ඩුවේ මානව අයිතීන් පිලිබඳ වාර්තාව කෙරෙහි එල්ල වන විවේචන මඟ හැරීම පිනිස ය. එල්එල්ආර්සී වාර්තාව එයට සුදුහුනු ගෑමක් වුව ද ආන්ඩුව පසුගිය වර්ෂයේ යූඑන්එච්ආර්සී යෝජනාවට එරෙහි විය.

අලුත් ම යෝජනා කෙටුම්පත 13දා ජිනීවාහිදී තානාපතිවරුන් අතර බෙදාහරින ලදි. එය ආන්ඩුවෙන් ''ඉල්ලා සිටියේ, මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්න පිලිබඳ (එක්සත් ජාතීන්ගේ) විශේෂ නියෝජිතයින්ට බාධාවකින් තොර ප්‍රවේශයක්" සපයන ලෙස යි. එහෙත් මෙරට යුද අපරාධ පිලිබඳව කිසිදු නිල ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවුම් කිරීමෙන් තොරව ම යෝජනාව අවසන් කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ නියෝජිත මන්ඩලය 2011 දෙසැම්බරයේ නිකුත් කල වාර්තාව, යුද්ධයේ අවසන් මාසවල දී මිලිටරිය විසින් අඩු ම තරමින් සිවිල් වැසියන් 40,000ක් මරා දමා ඇති බවටත්, හිතා මතා ම රෝහල්වලට හා ආධාර මධ්‍යස්ථානවලට ෂෙල් වෙඩි දැමූ බවටත් ''පිලිගත හැකි සාක්ෂි" තිබෙන බව සඳහන් කලේ ය. එහෙත් එම වාර්තාව හා එහි නිර්දේශ පවතින්නේ හිස් කඩදාසියක් ලෙස ය. ඉන්දියාවේ ආස්ථානය තීරනය කෙරී ඇත්තේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන් කිසිවක් පිලිබඳ කනස්සල්ලකින් නොව, අභ්‍යන්තර දේශපාලන ගනන් බැලීම් හා එරට බාහිර ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා පදනම් කරගෙන ය. නව දිල්ලිය මිලිටරි ආධාර ද සමගින් රාජපක්ෂගේ යුද්ධයට සහාය දුන්නේ ය. ඉන්දියාව හැමවිට ම සලකන ලද්දේ ශ්‍රී ලංකාව, දකුනු ආසියානු කලාපය තුල සිය බල වැයික්කියේ කොටසක් ලෙස ය. එක්සත් ජනපදය මෙන් ම ඉන්දියාව ද දිවයින තුල වර්ධනය වන චීන බලපෑමට සතුරු ය. එල්ටීටීඊයට එරෙහිව සිදුකල ප්‍රහාර මාලාවක් සමඟ රට යලිත් යුද්ධයට ඇද දමන ලද 2006න් පසුව, ආර්ථික හා මිලිටරි ආධාර වෙනුවෙන් රාජපක්ෂ ආන්ඩුව චීනය මත බෙහෙවින් රඳා පැවතියේ ය.

චීනයට සතුටුදායක ලෙස සැලකීම් කරන අතර වාරයේ ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති අත්හිටුවීම පිලිබඳව නව දිල්ලිය කොලඹ සමඟ උරන වී සිටියි. දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් පසුව, ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජිතව තිබූ පුලුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම රාජපක්ෂ ආන්ඩුව විසින් මෑතක දී පසෙකට දැමී ය. වසර පහක සාකච්ඡාවලින් පසුව ද ඉන්දියාවේ රජය සතු ජාතික තාප බල සංස්ථාවට, මෙරට ගල් අඟුරු තාප බලාගාරයක් තැනීම සඳහා තවමත් අනුමැතිය පල වී නැත.

නව දිල්ලිය සම්බන්ධයෙන් සලකන කල යූඑන්එච්ආර්සී යෝජනාව, ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගයට හිලව් වශයෙන් සහන දිනා ගැනීමේ දී කොලඹට බලපෑම් කල හැකි ප්‍රයෝජනවත් උපකරනයක් වී තිබේ. රාජපක්ෂගෙන් උපායික වාසි ලබාගැනීමට ඉන්දියානු ආන්ඩුව, 2009 යූඑන්එච්ආර්සී යෝජනාවට විරුද්ධ විය. මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් එමගින් කැඳවුම් කර තිබුනි. පසුගිය වසරේ දී නව දිල්ලිය, වඩා සීමිත එක්සත් ජනපද යෝජනාවට සහාය දුන් නමුත් එය දියාරු කිරීමේ ප්‍රශංසාව හිමිකර ගැනීමට ඉදිරිපත් විය.

වත්මන් යූඑන්එච්ආර්සී සැසියේ දී ඉන්දියාව, ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව යාවත් කිරීම සඳහා තිරයට පිටුපස උපාමාරු දැමීමේ නිරතව සිටියේ ය. ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතින්ගේ නියෝජිතයින්ට ''බාධාවකින් තොර පිවිසුමක්" සඳහා යෝජනාවේ අඩංගු කැඳවුම බෙලහීන කිරීමට එරට උත්සාහ දරන්නේ, එක් අතකින් කොලඹ පාලනය වෙනුවෙන් හා අනෙක් අතට ඉන්දියාව තුලට ඒ හා සමාන මැදිහත් වීමක් සඳහා එය පූර්වාදර්ශයක් විය හැකිය යන කනස්සල්ල හේතුකොට ගෙන ය. ඉන්දියානු ආරක්ෂක හමුදා, ඉන්දියානු පාලිත ජම්මු හා කාෂ්මීර ප්‍රාන්තයේ මෙන් ම රටේ වෙනත් ප්‍රදේශවල ද බෙදුම්වාදී කන්ඩායම් කුරිරු ලෙස මැඬීමේ යෙදී සිටිති.

ඒ අතර ම, යූඑන්එච්ආර්සී යෝජනාවට විවෘතව සතරුකම්පෑම මඟින් නව දිල්ලියට, වොෂින්ටනයෙන් හුදෙකලා නොවී සිටීමට අවශ්‍ය වේ. ඉන්දියාවට එක්සත් ජනපදය සමඟ සිය මූලෝපායික හවුල්කාරිත්වය පවත්වාගෙන යාම අවශ්‍යය ය. ඉන්දියාවේ කලාපීය එදිරිවාදීන්ට, විශේෂයෙන් ම චීනයට, එරෙහිව දකුනු ආසියාව තුල මෙන් ම ජාත්‍යන්තරව ද තම භූ-දේශපාලනික අභිලාශයන් පෙරට ගෙන යාමේ දී එය ප්‍රයෝජනවත් වී තිබේ.

නව දිල්ලිය සැලකිලිමත් වන තාක් දුරට, යූඑන්එච්ආර්සී යෝජනාව මුල්කරගෙන එරට මුහුනපා ඇති උභතෝකෝටිකය සඳහා හොඳ ම විසඳුම, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට එකඟවීම ය. "එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කර සෑම දෙනෙකුට ම පිලිගත හැකි ඒකමතික කෙටුම්පතක් සකස්කර ගන්නා" ලෙස තමන්ගේ ශ්‍රී ලංකා අනුචරයාට පැවසූ බව, ඉන්දියානු විදේශ ඇමති සල්මාන් කුර්ෂිඩ් මාධ්‍යක් වෙත ප්‍රකාශ කල විට එය එලිමහනට පැමිනියේ ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ඉන්දියානු ආන්ඩුව, රාජපක්ෂ තන්ත්‍රය හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) අතර සීමිත බලය බෙදීමේ එකඟත්වයක් ඇති කිරීම සඳහා වෑයම් කරයි. පාලක සිංහල හා දෙමල ප්‍රභූව අතර ගිවිසුමක් මගින් දිවයිනේ හා එනිසා ම තමිල්නාඩුවේ පවතින ආතති සහගත තත්වය පහව ගොස්, ඉන්දියානු ආයෝජකයින්ට විශාල ඉඩ ප්‍රස්ථා සම්පාදනය කරනු ඇතැයි නව දිල්ලිය බලාපොරොත්තු වේ.

මෙරට හා ඉන්දියාවේ කම්කරු පන්තිය, ඉන්දියානු ආන්ඩුවේ හා තමිල්නාඩුවේ විවිධ පක්ෂවල තුච්ඡ ප්‍රයෝගයන්ට නොරැවටිය යුතු ය. ''දෙමල ජනතාවගේ අයිතීන්" ආරක්ෂා කිරීම සඳහා යයි ඔවුන් දෙමල වර්ගවාදය කරපින්නා ගැනීම හුදෙක්, කොලඹ ආන්ඩුවේ සිංහල ස්වෝත්තමවාදයේ ම අනෙක් පැත්ත යි. දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සාක්ෂාත් කල හැකි වන්නේ, වාර්ගික, ආගමික හා භාෂාමය බෙදීම් නොතකා, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා මෙරට මෙන් ම ඉන්දියාවේ ද වැඩකරන ජනතාව එක්සත්ව ගෙන යන පුලුල් අරගලයක කොටසක් ලෙස පමනි.

Share this article: