හිටපු වම්මුන් හා දෝෂාභියෝගී අර්බුදය

Sri Lankan ex-lefts and the impeachment crisis

විලානි පීරිස් සහ සරත් කුමාර විසිනි, 2013 පෙබරවාරි 2

අර්බුදය පුරාවට නසසපය හා එසපය වැඩ කලේ දක්ෂිනාංශික ධනපති පක්ෂයක් වන එජාපය ට කම්කරු පන්තිය සහ තරුනයින් යටත් කිරීමට ය.

ලංකාවේ ප‍්‍රධානතම උසාවියේ තීන්දු උල්ලංඝනය කර, ජනවාරි 15 දා අග‍්‍ර විනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක දෝෂාභියෝගය ට ලක්කර නෙරපා හරිමින්, ආන්ඩුවේ හෙන්චයියෙක් එම තනතුරට පත් කිරීම, පොලිස් රාජ්‍යයක් දෙසට තබන තවත් පියවරක් සලකුනු කරයි. රාජ්‍ය තන්ත‍්‍රය මත තම ග‍්‍රහනය දැඩි කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරය උත්සන්න කිරීමට සූදානම් වෙයි.

රාජපක්ෂගේ කටයුතු, අධිකරනය හා නීති ක්ෂේත‍්‍රය අතර විරුද්ධත්වයක් අවුස්සා රට ම ව්‍යවස්ථාමය අර්බුදයක ට ඇද දැමීමේ තර්ජනය මතු කලේය. ආන්ඩුවේ ඒකාධිපති වැඩ කටයුතු මගින්, 1948 ලද රූපික නිදහසේ සිට ධනපති පාලනය රඳා සිටි සමස්ත පාර්ලිමේන්තු දේශපාලන රාමුව ම අපකීර්තිය ට පත් කරන්නේය යන පාලක පන්තියේ සමහර කොටස්වල කනස්සල්ල, මෙම විරුද්ධත්වයෙන් පිලිබිඹු කෙරේ. ඔවුන් භීතියට පත්ව ඇත්තේ, ඛාදනය වන ජීවත තත්වයන් ට හා රැකියාවලින් දොට්ට දැමීම ට එරෙහි ව කම්කරුවන්ගේ ප‍්‍රතිරෝධය, භයානක විප්ලවවාදී ප‍්‍රතිවිපාක සමගින් පොලිස් රාජ්‍ය තන්ත‍්‍රයට එරෙහිව වර්ධනය වීමේ හැකියාව ගැනයි.

නව සමසමාජ (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) හිටපු වම්මු මෙරට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ව වැරහැලිවූ මිත්‍යාවන් පවත්වා ගැනීම කෙරෙහි වැඩි උත්සුකයක් සහිත ධනපති පන්තියේ කොටස වන විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට (එජාප) කම්කරුවන් හා තරුනයන් යටත් කිරීම මගින් එවන් අරගලයක් වර්ධනය වීම වැලැක්වීමට මෙම දේශපාලන අර්බුදය පුරාවට ම මැදිහත් වූහ.

සමාජවාදීන් ලෙස තමන් ව හඳුන්වා ගත්තත්, නසසප ය හා එසපයේ දේශපාලන භාවිතාව මගින් පෙන්නුම් කර ඇත්තේ ඔවුන්, ඉහල මධ්‍යම පන්තික තට්ටුවක් මත පදනම් වන කොලඹ දේශපාලන සංස්ථාපිතයේම නොවෙන් කල හැකි පුරුකක් බව ය. ගිය වසර මුල, එජාප මෙහෙයවූ විපක්ෂ සන්ධානයේ ඊනියා විරෝධතාවට මෙම ව්‍යාජ වාම සංවිධාන ද සම්බන්ධ වූහ. එහි අනෙකුත් පාර්ශවකරුවන් වූයේ, ධනපති දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා විවෘත ව ම සිංහල ස්වෝත්තමවාදී පක්ෂ වන මව්බිමේ ජනතා පෙරමුන සහ නව සිහල උරුමය යි.

දූෂන පිලිබඳ ගොතපු චෝදනා මත පසුගිය නොවැම්බරයේදී ආන්ඩුව, අග‍්‍ර විනිශ්චයකාරිනියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පාර්ලිමේන්තුවෙන් අරඹන ලදි. බන්ඩාරනායක එම තනතුරට පත් කරන ලද ජනාධිපති රාජපක්ෂ කෝපගැන්වුනේ, පලාත් සභාවලින් ආර්ථික බලය පැහැර ගෙන එය මධ්‍යම ආන්ඩුව අත සංකේන්ද්‍රනය කිරීමේ ප‍්‍රයත්නය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ව්‍යවස්ථා විරොධී ය යි තීන්දු කිරීමෙන් පසුව ය.

වාර්තාව පෙන්නුම් කරන පරිදි, හිටපු වම්මුන්ගේ සහාය ඇතිව එජාප ය වැඩ කලේ, හැම අදියරක දී ම ඕනෑම විරුද්ධත්වයක් පාර්ලිමේන්තු සීමාවට කොටුකර, එමගින් ආන්ඩුවේ ව්‍යවස්ථා විරෝධී පියවරයන් ට යුක්ති යුක්ත භාවයක් ලබා දීම ට ය.

දෝෂාභියෝගයේ කි‍්‍රයාදාමය ආරම්භයේ සිටම ප්‍රෝඩාවක් විය. එයට අදාල මෝසම අත්සන් කිරීම ට ආන්ඩුවේ මන්තී‍්‍රන් පෙල ගැසුන නමුත් ඉදිරිපත් කරන්නේ කුමන චෝදනා ද යන්න පවා ඔවුන් දැන සිටියේ නැත. මෝසම නොවැම්බර් 1 දා කතානායක චමල් රාජපක්ෂ වෙත බාරදුන්නාට පසුව නසසපය හා එසප නායකයන්ගේ ද අත්සන් සහිතව විපක්ෂය නිකුත් කල විරෝධතා ප‍්‍රකාශනය, දෝෂාභියෝග ප්‍රෝඩාව හෙලා දකිනවා වෙනුවට, පාර්ලිමේන්තු කි‍්‍රයාපටිපාටිය ගෙන යා යුතු ආකාරය සම්බන්ධව පාලක සන්ධානයට උපදෙස් දුන්නේ ය.

අනෙකුත් විරුද්ධ පක්ෂ ද සමග එජාප ය, චෝදනා විභාග කිරීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ට සම්බන්ධ වී ම මගින් ආරම්භයේ දීම එය ට නීති යුක්ත භාවයක් ලබා දුනි. අධිකරනය ට එරෙහිව එජාප ය, ආන්ඩුවට පිටුබලය පවා ලබා දුන්නේ ය. මේ සම්බන්ධ නඩුව විභාගයට ගන්නා තුරු දෝෂාභියෝග පරීක්ෂනය කල් දැමිය යුතු යයි කියා සිටි ශ්‍රේෂ්ඨාධිකරන ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල යුතු යයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ කථානායකගෙන් ඉල්ලා සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව නිෂ්ප‍්‍රභා කරමින් නොවැම්බර් 23 දා තීන්දුවක් දුන් කතානායක සිය තීන්දුවට සහාය දැක්වීම ගැන වික‍්‍රමසිංහ ට ප‍්‍රශංසා කලේ ය.

නසසප හා එසප ව්‍යාජ වම්මු, හුදෙක් එජාප ය වැලඳගෙන සිටියා පමනක් නොව, නීති ක්ෂේත‍්‍රය විසින් සංවිධානය කල විරෝධතා පැනනැගුනු විට ඒවා එජාපයේ තටුව යටට දැක්කීමට ද වැඩ කලහ. ඒ අතර වාරයේ, අධිකරනය හා නීති සංවිධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයින් ය යන මිත්‍යාව වැපිරවීමට, නසසප ය හා එසප නිර්ලජ්ජිතව උල් පන්දම් දුන්නේය.

රාජපක්ෂ ආන්ඩුව ට එරෙහිව "පන්ති සීමාවන් නොතකා”, එජාප යටතේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් ව්‍යාපාරයක ඒකාබද්ධ” පලල් පෙරමුනක් ගොඩනැගිය යුතු ය යි නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න යෝජනා කරයි. එවැනි පන්ති සහයෝගිතා පෙරමුනක් මුල පටන්ම කම්කරු පන්තිය ට උගුලකි. කෙසේ වෙතත්, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මොනයම් ම හෝ "සටන්කාමී ව්‍යාපාරයක්” ගොඩ නැගීමට, එජාප ය ට, සුලු හෝ උනන්දුවක් නොමැ ත. රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන්ට වඩා, ඔවුහු කම්කරු පන්තිය බලමුලු ගැන්වීමකට බියවෙති.

නිතීඥයන්ගේ සීමිත විරෝධතාවයට පවා සහාය දීම ට අසමත් වීම ගැන එජාප ය වඩ වඩාත් විවේචනයට ලක් විය. "නිෂ්ක‍්‍රීය වීම ගැන රනිල්” ට දොස් පවරනවුන් ට එරෙහි ව වික‍්‍රමසිංහ ආරක්ෂා කිරීමට කරුනාරත්න ඉදිරිපත් විය. දෙසැම්බර් 30 දා ලක්බිම පුවත්පතෙහි ලිවූ තීරුවක ඔහු සඳහන් කලේ, විරෝධතාවයට සහාය දීමට "මහජනයා අසමත් නම් ලිබරල් විරුද්ධ පාර්ශ්වයට [එනම් යූඑන්පී ය ට] දොස් කී ම පලක් නැති බව යි”. ඒ වෙනුව ට ඔහු, "රාජපක්ෂ ට සහාය දැක්විම හා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ට” ගොදුරු වීම ගැන "නාගරික කම්කරු පන්තියට” දොස් නැගුවේය.

කරුනාරත්න මෙසේ කම්කරු පන්තියට පහර එල්ල කිරීම, ඔහුගේ දේශපාලන නරුමත්වය වැමෑරීමකි. මෙම ව්‍යාජ වම්මු වෘත්තීය සමිති හා එක්ව රාජපක්ෂට එරෙහිව කම්කරු පන්තිය දේශපාලන අරගලයක යෙදීම එක දිගට ම වලක්වා ඇත. කම්කරුවන් විරෝධතාවයට එක් නොවුනේ නම් ඒ, විරුද්ධ පක්ෂ ගැන හා එජාප ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයෙක් ලෙස හුවාදක්වන නසසප බේගල් ගැන ඔවුන් ට මොනයම් ම හෝ විශ්වාසයක් නැති නිසා ය.

තව ද අධිකරනය හා නීති ක්ෂේත‍්‍රය, හිටපු වම්මුන්ගේ ද උදවු ඇතිව විරෝධතාවය තම පටු පන්ති අවශ්‍යතාවන්ගේ සීමාව තුල කොටු කිරීමට හිතා මතාම වැඩ කලහ. කම්කරු පන්ති විරෝධී කටයුතු පිලිබඳ කුප‍්‍රකට අගවිනිසුරු හා අධිකරනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරගලක් ලෙස හැඩගැන්වීමේදී නැවතත් පෙරමුන ගත්තේ ද මේ කරුනාරත්න ම ය.

අධිකරනයට හා නීති ක්ෂේත‍්‍රයට අනුග‍්‍රහ දැක්වීමේ දී නසසපය පෙන්නුම් කරන්නේ, රාජ්‍ය තන්ත‍්‍රයට හා වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියේ ඉහල ස්තරයන් වෙත වන එහි පන්ති දිශාවනතිය යි. මෙම විරෝධතා සම්පූර්නයෙන්ම යොමු වී තිබුනේ ධනේශ්වර පාලනයේ ආයතන - පාර්ලිමේන්තුව, අධිකරනය හා ව්‍යවස්ථාව - ආරක්ෂා කිරීමට ය. ආන්ඩුව වැඩකරන ජනතාවගේ මූලික අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන් ගැන එහි මොනම සඳහනක් වත් නැත.

එක්සත් සමාජවාදී පක්ෂය මීට වෙනස් නැත. නසසප ය විවෘතව ම එජාපයට එල්ල වන විවේචනයන්ගෙන් එය ආරක්ෂා කරන අතර, යූඑස්පී ය වික‍්‍රමසිංහගේ උපෙද්ශකයෙකු ලෙස කටයුතු කරමින්, ඔහු විරෝධතාවන් තුල ඊට වැඩා මැදිහත් විය යුතු බව ට යෝජනා කලේ ය. එහි ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනය වන රතු තරුව දෝශාභියෝගය ට එරෙහි ව්‍යාපාරය ට සහාය දිය යුතු ය යි ද එය "නොතකා හරිමින් හෝ අරගලය දුර්වල කරමින්” කටයුතු නො කල යුතුයයි ද එජාපයෙන් ඉල්ලා සිටියේ ය.

අවසානයේ දී ජනවාරි 10 දා එජාපය විරෝධතාවයට සම්බන්ධ වුනේ, බන්ඩාරනායක තනතුරෙන් පහ කිරීමට මඳකට කලිනි. එසප යේ නායක සිරිතුංග ජයසූරිය පී‍්‍රතියෙන් කුල්මත් විය. විරෝධතාවයෙන් පසුව පැවති රැස්වීමේ දී ඔහු කියා සිටියේ, "ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා අප අප ගේ ජීවිත කැප කල යුතු ය. මෙම ඒකාධිපති පාලනයට එරෙහිව වම හා දකුනේ සියල්ලන් ම ඒකාබද්ධ විය යුතු ය” යනුවෙනි.

අවසාන මොහොතේ එජාප ය විරෝධතාවය ට සම්බන්ධ විය. එහි නිෂ්ඵල භාවය හමුවේ අධිකරනය රාජපක්ෂගේ තර්ජනයන් ට දන නැමූ අතර, ඔහු විසින් පත්කල නව අග‍්‍ර විනිශ්චයකරු සමග වැඩ කිරීම ආරම්භ කලේ ය.

අර්බුදය පුරාවට ම, නසසප ය වැඩ කලේ එජාප යේ ක්ෂමාලාපකයකු ලෙස ය. "පොදුරාජ්‍ය මන්ඩලයේ දෝෂාභියෝග පිලිබඳ පාර්ලිමේන්තු කි‍්‍රයාපටිපාටියට එකඟව වැඩ කල යුතු යයි වික‍්‍රමසිංහ ජනාධිපතිට උපදෙස් දීමෙන්, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාත්‍යන්තරයේ මූලික නායකයකු ලෙස තම යුතුකම ඉටු කර ඇතැයි” කරුනාතරත්න, ජනවාරි 9 දා ඬේලි මිරර් පත‍්‍රයට ප‍්‍රකාශ කලේ ය. "ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාත්‍යන්තරය” ලෙස කරුනාරත්න හඳුන්වන්නේ, එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය, එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂය, ජර්මනියේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමය හා ඔස්ටේ‍්‍රලියාවේ ලිබරල් පක්ෂය ඇතුලු දක්ෂිනාංශික ධනපති පක්ෂ එකතු ව යි.

නසසප ය හා එසපය අනුගමනය කරන්නේ, ඕනෑම විරෝධතාවක් ධනපති පන්තියේ ඒ හෝ මේ කන්ඩායමට යටත් කිරීම සඳහා තම ව්‍යාජ වාම ජාත්‍යයන්තර අනුචරයින් අනුගමනය කරන දේශපාලන භූමිකාවට සමාන පිලිවෙතකි. ඊජිප්තුවේ දී විප්ලවවාදී සමාජවාදීන්, පලමුව මිලිටරියටත්, ඉන් පසුව මුස්ලිම් සහෝදරත්වයටත් දැන් මොහොමඞ් එල් බරාඩිගේ ජාතික ගැලවීමේ පෙරමුනටත් උල්පන්දම් දෙන ආකාරයෙන් මොවුන් ද එජාප ය යම් ආකාරයක "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” නැතිනම් "ප‍්‍රගතිශීලී” යයි වෙස් ගැන්වීමට උත්සාහ දරති.

කරුනාරත්න එජාපය ඔසවා තබන්නේ, "ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක්” ලෙස නමුත් 1947 එය පිහිටවූ තැන් පටන් මෙම දක්ෂිනාංශික පක්ෂය වර්ගවාදී දේශපාලනයේ ගීලී සිටින අතර ධනපති පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පොලිස් රාජ්‍ය විධි ක‍්‍රමයන් අනුගමනය කිරීමට කිසිසේත්ම පැකිලී නැත. 1948 දී රූපික නිදහස ලැබීමෙන් පසුව එජාප ආන්ඩුවේ පලමු කටයුත්ත වූයේ දස ලක්ෂයක් පමන වතු කම්කරුවන් ගේ හා ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම යි.

1970 ගනන් අග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් වැඩ පිලිවෙල ලංකාවේ කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කරමින් හා 1980 දී රාජ්‍ය අංශයේ වැඩ වර්ජනය රුදුරු ලෙස මර්දනය කරමින් 100,000 ක් කම්කරුවන් රැකියාවලින් නෙරපා දැමීම ට එජාප ය කි‍්‍රයා කලේ ය. 1983 කලූ ජූලිය ට හා රට දිග්ගැස්සුන යුද්ධයකට ඇද දැමීමට එය වගකිව යුතු වෙ යි. 1989-1990 කාලයේ දී 60,000 ක් පමන ගම්බද තරුනයින් ඝාතනය ට ද එය වග කිව යුතු ය.

යූඑන්පී ය "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ලෙස පෙනී සිටීමට දරන උත්සාහය, 2009 දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුව වොෂිංටනය අනුගමනය කරන පිලිවෙත සමග සමපාත වෙයි. රාජපක්ෂගේ යුද්ධයට සම්පූර්නයෙන් සහාය දුන් ඔබාමා පාලනය, ආන්ඩුව චීනයෙන් දුරස්ත කරවීම සඳහා පීඩනය යෙදවීමේ මගක් ලෙස ආන්ඩුවට එරෙහිව යුද අපරාධ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා එල්ල කරයි. යූඑන්පී ය හැම විටම බටහිර ගැති විදේශ පිලිවෙතක් අනුගමනය කර ඇති අතර තම ධනපති විරුද්ධවාදියා වන රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිදු කරන ප්‍රෝඩාකාරී අධිරාජ්‍ය විරෝධී වාචාලකම බැහැර කරයි.

නසසප ය හා එසප සෑම විටම කම්කරු පන්තියේ විප්ලවවාදී කි‍්‍රයාකලාපය ප‍්‍රතික්ෂේප කර ඇති අතර දේශපාලන සංස්ථාපිතයේ විවිධාකාර කන්ඩායම් සමග තමන්ගේ විවිධ උපාමාරු වලට කම්කරුවන් සැමවිටම යටත් කර ඇත. දැන්, තම ජාත්‍යන්තර සහකරුවන් මෙන් මොවුන් ද ධනේශ්වර දේශපාලනයේ විවෘත ප‍්‍රවනතාවයක් ලෙස කි‍්‍රයාත්මක වේ.

දෝශාභියෝග අර්බුදය විචිත‍්‍රවත් ලෙස පෙන්නුම් කලේ, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායයේ මූලික ප‍්‍රස්තුතයන් ය. එනම්, වැඩ කරන ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතාවයන් සපුරා ලීම පමනක් නොව, මූලික ප‍්‍රජාතන්ත්‍රීය අවශ්‍යතාවයන් සපුරාලීමට ද ලංකාව වැනි පසුගාමී රටවල ධනපති පන්තියේ ඓන්ද්‍රීය නොහැකියාව යි.

ධනපති ක‍්‍රමය පෙරලා දැමීමේ කොටසක් ලෙස මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සඳහා අව්‍යාජ සටනක් කල හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්ති ය යි. එහෙත්, එය කල හැක්කේ, ධනපති පන්තියේ සියලූම කන්ඩායම්වලින් දේශපාලනිකව වෙන්වී ගනිමින් හා ගම්බද දුගීන් බලමුලූ ගන්වමින් සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා කරන අරගලය තුල ය.

අධිකරනය පිලිබඳ ස්වාධීනත්වයේ නාම මාත‍්‍රයක් පවා අතුගා දැමීමට රාජපක්ෂ දරන වෑයම කම්කරුවන්ට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමකි. අනිවාර්යයෙන්ම කම්කරු පන්තියට එරෙහිව අවි ඔසවන "වාම” හා "දක්ෂිනාංශික” ධනපති පක්ෂ සමග "පලල් පෙරමුනු” වලින් කම්කරු පන්තියට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නො හැක. ශී‍්‍ර ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කරන අරගලයක් තුල කම්කරුවන් ඒකාබද්ද කර ස්වාධීනව බලමුලූ ගැන්විය යුතු අතර ඔවුන් පීඩිත ජනතාව තමන් වටා පෙල ගස්වාගත යුතුය. සමාජවාදී සමානතා පක්ෂය සටන් කරන ඉදිරි දර්ශනය මෙය යි.

Share this article: