ඉතාලිය: නැපොලිතානෝ යලි ජනපති පුටුවට

Italy: Napolitano re-elected as president

පීටර් ෂ්වාර්ස් විසිනි, 2013 අපේ‍්‍රල් 22

ඉතාලි පාර්ලිමේන්තුවේ සතියකට ආසන්න කාලයක් පුරා තීරනයකින් තොර ව දිග ඇදී ගිය ඒකාබද්ධ සැසිවාරයක් මේ මස 20 දා අවසන් කෙරුනේ 87 හැවිරිදි ජෝර්ජියෝ නැපොලිතානෝ තවත් වාරයකට ජනපති ධුරය සඳහා තෝරා ගනිමිනි. ඡන්ද 1,007කින් 739ක් ඔහුගේ යලි තෝරා පත්වීමට පක්ෂ ව පාවිච්චි කොට තිබුනි.

නැපොලිතානෝ සිය යලි තේරී පත්වීමට අවශ්‍ය බහුතර ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තේ ඡන්ද විමසීමේ හය වන වටයේ දී ය. ඡන්දයේ මෙම හය වන වටය පවත්වනු ලැබුවේ, ප්‍රධාන දේශපාලන කඳවුරු අතර මෙන් ම ඒවා තුල ම ද පැවැති උග්‍ර කා කොටා ගැනීම්වලින් සංලක්ෂනය වූ කලින් වට වලදී අනෙකුත් අපේක්ෂකයන් ගනනාවක් බැහැර කරනු ලැබීමෙන් අනතුරුව ය. සිය ධූර කාලය මැයි 15 දිනෙන් අවසන්වීමට නියමිත වත්මන් ජනපති, ලුයිගි බර්සානි නායකත්වය දෙන මධ්‍යස්ථ වාමාංශික කඳවුරේ, සිල්වියෝ බර්ලුස්කෝනිගේ නායකත්වයෙන් යුත් මධ්‍යස්ථ දක්ෂිනාංශික කඳවුරේ සහ අන්තර්වාර අගමැති මාරියෝ මොන්ටි මෙහෙයවන මැතිවරන සන්ධානයේ නියෝජිතයන්ගේ දැඩි ආයාචනයන් හමුවේ යලි තෝරා පත් කර ගැනීම පිලිගන්නට එකඟ වූයේ ය.

දෙවන ලෝක යුද්ධය අවසානයේ කොමියුනිස්ට් පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ඇරඹූ නැපොලිතානෝ, පෙබරවාරි 25 මැතිවරනයේ දී ඡන්ද දායකයින්ගේ මහත් අප්‍රසාදයට ලක්වූ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමෙහි ලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. 2011 නොවැම්බරයේ දී මොන්ටිගේ නායකත්වයෙන් යුත් තාක්ෂනවේදී ආන්ඩුව මඟින් බර්ලුස්කෝනි විස්ථාපනය කිරීමට අනුමැතිය දුන්නේ නැපොලිතානෝ ය. මොන්ටිගේ ආන්ඩුව යුරෝපා සංගමය විසින් විධාන කෙරුනු කප්පාදු ක්‍රියාමාර්ගයන් හි නවතම වටය ක්‍රියාවට ලීම සඳහා නිර්දය ලෙස වෙර දැරීය.

පොදු පිලිගැනීම නම්, බර්ලුස්කෝනිගේ නිදහස් ජනතා පක්ෂය (පීඩීඑල්) හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (පීඩී) අතර නව රජයක් පිහිටුවීම සඳහා සහයෝගීතාවයක් ඇතිවීම, තවත් වාරයක් ජනාධිපති ධුරය දැරීමට නැපොලිතානෝ එකඟ කර ගැනීමේ පූර්ව කොන්දේසිය වූ බවයි. බර්ලුස්කෝනි හා තව දුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුලින් එල්ල වූ ප්‍රතිරෝධය නිසා පසුගිය සති අට පුරා ම රජයක් පිහිටුවීමට මෙම කඳවුරු දෙක අසමත් වූහ. නැපොලිතානෝගේ ඉල්ලීම ඉටු වුවහොත්, පෙබරවාරියේ පැවැති පාර්ලිමේන්තු මැතිවරනයේ දී කප්පාදු ප්‍රතිපත්තීන්ට එරෙහි ව ප්‍රකාශ වූ දැවැන්ත ඡන්ද ප්‍රමානය නොතකා, මෙතෙක් කල් පවත්වා ගෙන ගිය එම ප්‍රතිපත්තීන් ම තව දුරටත් ඉතාලි දේශපාලනය තුල ආධිපත්‍යය දරනු ඇත. අධිකරනය ඉදිරියේ ඇති නඩු හබ ගනනාවකට ම ඇති සිය සම්බන්ධය හේතුවෙන් බර්ලුස්කෝනි තම සහයෝගය ඉවත් කර ගත් පසු ගිය වසරේ අග භාගය දක්වා ම, මොන්ටි රජයට බර්ලුස්කෝනි හා බර්සානි යන දෙදෙනාගේ ම සහයෝගය හිමි වූයේ ය.

පැවැති රජයේම මේ අලුත් සංස්කරනය කවර ආකාරයක් ගනු ඇත් ද යන්න තවමත් අපැහැදිලි ය. සිදු විය හැකි එක් දෙයක් නම්, ස්වාධීන නීතිවේදියෙකුගේ හෝ මූල්‍ය කටයුතු පිලිබඳ විශේෂඥයෙකුගේ නායකත්වයෙන් තවත් තාක්ෂනවේදී රජයක් ඇති වීමයි. පෙබරවාරි මාසයේ පැවැති මැතිවරනයට තමන්ගේ ම මැතිවරන සන්ධානයේ නායකයා ලෙස සහභාගී වී පරාජය වීමෙන් පසු, එබඳු "විශේෂඥයන්"ගේ රජයකට නායකත්වය දීමට මොන්ටි වුව තව දුරටත් සුදුස්සෙකු නොවේ.

බර්ලුස්කෝනි සමඟ සන්ධානගත වෙමින් හෝ ඔහුගේ සහාය මත පදනම් ව, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් නම් කරනු ලබන අයෙකුගේ නායකත්වයෙන් රජයක් පිහිටුවීමට ද ඉඩකඩ පවතී. තමන් විසින් ජනාධිපති ධුරයට නම් කෙරුනු දෙදෙනෙකුට තම පක්ෂයේ ම නීති සම්පාදකයන්ගෙන් ප්‍රමානවත් සහායක් නොලැබුනු කල, පියර් ලුයිගි බර්සානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ධුරයෙන් 19වන සිකුරාදා ඉල්ලා අස්විය.

ගැඹුරට ම බෙදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල ආන්ඩුවේ ඉහල ම තනතුරට තරඟ වදින බොහෝ දෙනෙක් වෙති. විශේෂයෙන් ම ෆ්ලෝරන්ස් හි පුරපති 38 හැවිරිදි මැටියෝ රෙන්සි සිය අභිලාෂය දැනටමත් ඇඟවුම්කර ඇත.

ඡන්ද සංඛයාවෙන් සියයට 25ක් දිනා ගනිමින් විස්මය දනවන අයුරින් පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම තනි පක්ෂය බවට පත්වීමට සමත් වූ, ප්‍රහසන ශිල්පී බෙප්පෙ ග්‍රිලෝ විසින් මෙහෙයවනු ලබන ෆයිව් ස්ටාර් ව්‍යාපාරය, නැපොලිතානෝගේ යලි තේරී පත් වීමට ඝෝෂාකාරී ලෙස විරෝධය දැක්වීය. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ අවමන්කාරී ලෙස කෑ කෝ ගසමින්, හූ කියමින් හා පාර්ලිමේන්තුව ඉදිරිපිට පෙලපාලියක් සංවිධානය කරමිනි.

මේ තෝරා පත් කර ගැනීම වූ කලී ස්වකීය විනාශයෙන් ගැලවීමට යත්න දරන දේශපාලන ගෝත්‍රය විසින් සිදු කෙරුනු "කුමන්ත්‍රනයකැ"යි සිය බ්ලොග් පිටුව තුල එම පත්වීම හෙලා දුටු ග්‍රිලෝ, මිලියන ගනනින් ජනයා සහභාගි වන මහජන පෙලපාලියක් රෝමයේ පැවැත්විය යුතු යැයි කැඳවුම් කලේය.

ග්‍රිලෝ මේ දක්වා ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෝ බර්ලුස්කෝනි සමඟ සහයෝගීතාවය ප්‍රතික්ෂේප කොට ඇතත්, ජනාධිපතිවරන සමයේ දී මධ්‍යස්ථ වාමාංශික කඳවුරට යෝජනා ගනනාවක් ඉදිරිපත් කලේය.

අනෙකුත් පක්ෂ එක් අපේක්ෂකයෙකුගෙන් පසු අනෙකෙකු වශයෙන් අපේක්ෂකයන් ගනනාවක් තෝරා ගැනීමට හා ඉන් පසු ඔවුන්ට එරෙහිව ඡන්දය දී පරාජය කිරීමට කටයුතු කලත් ෆයිව් ස්ටාර් ව්‍යාපාරය දිගටම සිය අපේක්ෂක ස්ටෙෆානෝ රොඩොටාට විශ්වාසවන්ත ව කටයුතු කල අතර ඔහුට පක්ෂ ව ඡන්දය පාවිච්චි කරන්නැයි ග්‍රිලෝ දිගින්දිගටම අනෙකුත් පක්ෂවලට බල කලේය. නීතිය පිලිබඳ මහාචාර්යවරයෙක් වන 79 හැවිරිදි රොඩොටා සැලකිය යුතු සහායක් - විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එහි අනුචර පක්ෂවල ශ්‍රේනීන් අතර - දිනා සිටී. වසර 15ක් පුරා ඔහු නියෝජිත මන්ත්‍රී මන්ඩලය තුල කොමියුනිස්ට් පක්ෂය හා එහි අනුප්‍රාප්තික සංවිධාන නියෝජනය කලේය.

අනෙකුත් බොහෝ අපේක්ෂකයන් අසාර්ථක වීමෙන් පසු සිදුවීමට හොඳට ම ඉඩ ඇතැයි පෙනෙන්නට තිබුනු පරිදි, රොඩොටාගේ තේරී පත්වීම සිදු වී නම්, ෆයිව් ස්ටාර් ව්‍යාපාරය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එක් පාර්ශ්වයක් ද, රොඩොටා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියා වූත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ව සිටින පක්ෂයක් වූ, සිනිස්ට්‍රා ඉකොලොජියා ලිබර්ටා (එස්ඊඑල්) සංවිධානය ද අතර සහයෝගය සඳහා මඟ හෙලි විය හැකි ව තිබින.

පවත්නා දේශපාලන ක්‍රමයට එරෙහි ව ඔහුගේ දරුනු ආක්‍රෝෂපරිභවයන් ද, වඩාත් තරුන අභිලාෂවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීයමය ජීවිතය අවහිර කෙරෙන පරිදි රෝමයේ යල්පිනූ දේශපාලන ගෝත්‍රයේ ශ්‍රේනීන් අතර පුලුල් ව පැතිර පවතින දූෂනය කෙරේ ඔහු දක්වන අවධානය ද මත පදනම් ව මහ මැතිවරනයේ දී ඡන්ද රැසක් දිනා ගැනීමට ග්‍රිලෝ සමත් වූයේය. අයවැය ගොනු කිරීමේ පිලිවෙතට සහ ඒ හා බැඳුනු සමාජ වියදම් කප්පාදු වලට ග්‍රිලෝගේ විරුද්ධත්වයක් නැත. ඊට පටහැනි ව ඔහු විශ්වාස කරන්නේ කලින් පරීක්ෂාවට භාජනය වී නැති, වඩාත් තරුන දේශපාලන පරම්පරාවක් එබඳු පියවරයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට සමත් වනු ඇති බවයි.

නැපොලිතානෝගේ යලි තේරී පත්වීම ඉතාලියේ දේශපාලන අර්බුදයට දෙනු ලබන කෙටි කාලීන සහනයක් පමනක් වනු ඇත. එය සැලකිය හැක්කේ හුදු තාවකාලික විසඳුමක් ලෙස පමනි. 87 හැවිරිදි ජනාධිපතිවරයා තවත් වසර හතක් එම ධුරයේ කටයුතු කිරීම බොහෝ දුරට නොසිදුවිය හැක්කකැයි බොහෝ විචාරකයන් විශ්වාස කරන අතර, දේශපාලන ස්ථාවරභාවයේ කවර හෝ සංඥාවක් පහල වූ වහා ඔහු ධුරයෙන් ඉල්ලා අස්වෙතැයි ඔවුහු අපේක්ෂා කරති.

බර්ලුස්කෝනි හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහාය ලබන ආන්ඩුවක් මඟින් වත්මන් කප්පාදු පිලිවෙත් දිගටම පවත්වා ගෙන යාමෙන් සිදු වනු ඇත්තේ ගැඹුරු ආර්ථික පසුබෑමක් තුල සිටින ඉතාලියේ සමාජ හා ආර්ථික අර්බුදය උග්‍ර වීම පමනෙකි. ප්‍රචන්ඩ සමාජ ඝට්ටන හා පන්ති අරගල එහි නියත ප්‍රතිඵලය වනු ඇත.

Share this article: