සිරියාවට එරෙහි යුද ඝෝෂාව

Braying for war against Syria

2013 අප්‍රේල් 30

සිරියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධයක සූදානමට සමගාමී ව, වොෂින්ටනයේ දේශපාලන සංස්ථාපිතය හා ව්‍යාපාරික මාධ්‍යය තුල සිරියාව රසායනික අවි යොදාගන්නා බවට කෙරෙන බොරු චෝදනා හා ප්‍රචාරක ව්‍යාපාරයක් එක දිගට පැතිර යයි.

සිරියාව රසායනික අවි යොදාගනිමින් යුද්ධයක යෙදී සිටින බවට කෙරෙන කෙසේවත් තහවුරු නො කල ප්‍රචාරයන්, පෝලන්තය හා චෙකොස්ලෝවෙකියාව ආක්‍රමනය කිරීම ආත්මාරක්ෂාවේ හා මානවවාදයේ ක්‍රියාවන් ලෙස හඳුන්වා දෙමින් ජර්මනියේ නාසි තන්ත්‍රය ගෙනගිය ප්‍රචාරයට වඩා මොන ම විශ්වාසනීයත්වයකින් හෝ පදනමකින් තොර ය.

ලන්ඩන් නගරයෙහි මූල්‍ය කතිපයාධිකාරයේ හොරනෑව වන ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලවූ කතුවැකිය ඊට මනා නිදසුනකි. සිරියානු රජයේ හමුදා රසායනික අවි කිසිවක් යොදාගත් බවට "මනාව තහවුරු කෙරෙන සාක්ෂි නැති" බව මුලින් ම පිලිගැනීමෙන් අනතුරුව කතුවැකිය මෙසේ අවධාරනය කරයි: "සිරියානු ගැටුම සමීප ව නිරීක්ෂනය කරන අය පවසන පරිදි සත්‍යය එය නම් පමනක්, ඉරාකයේ සදාම් හුසේන් තන්ත්‍රය කැරලිකාර කුර්දි පුරවැසියන් 5,000ක් 1988 දී හලබ්ජාහි දී ගෑස් යොදා මරාදමන ලද ආකාරයේ සාහසිකත්වයන් අනාගතයේ දී සිදුවීම වැලැක්වීම සඳහා තීරනාත්මක ලෙස කටයුතු කිරීමේ හැකියාව ගැන බලාපොරොත්තු තැබිය හැකි ය."

මුග්ධ නිගමනයකි. පසුගිය සතියේ ඔබාමා පාලනය බෙහෙවින් කොන්දේසි සහිත ව සඳහන් කල සාරින් වායුව, සිරියානු මිලිටරිය විසින් සුලු ප්‍රමානයකින් හෝ යොදාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් නැති බව පිලිගත්තායින් පසුව පුවත්පත, "තීරනාත්මක ක්‍රියාව" එනම්, සාහසිකත්වය අවසන් කිරීමට මිලිටරි මැදිහත්වීම් සඳහා අවකාශ ලැබෙන බව කියයි.

මේ කියන "සමීප නිරීක්ෂකයෝ" කවරහු ද? කතුවැකිය එය පැහැදිලි නො කරන නමුත්, ඔවුන්ට ඇතුලත් වන්නේ, තෙල් සම්පත ගැන කෑදර කන්ඩායම්, පිටුවහලේ සිටින සිරියානුවන් හා හැකිතාක් ඉක්මනින් කුමන කඩතුරාවක් යටතේ හෝ සන්නද්ධ මැදිහත්වීමක් ඉල්ලා කෑ ගසන බටහිර මිලිටරිවාදීන් ය. මෙම කොටස් හා එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ මාධ්‍ය තුල ඔවුන් ප්‍රතිරාවය කරන බොරුකාරයින් රැලක් යුද්ධයට නිමිත්ත ලෙස කුමක් හෝ සෑහෙන බව කියා සිටිති.

සිරියාවේ තත්වය ගැන යමක් දන්නා හා අව්‍යාජකමේ බිංදුමාත්‍රයක් හෝ ඇති "සමීප නිරීක්ෂකයින්" ඇලෙප්පෝ ආසන්නයේ දුසිම් කීපයක් මිනිසුන් මැරීම සඳහා -ඔවුන්ගෙන් ද වැඩිදෙනා සිරියාවේ හමුදා සෙබලුන් ය- සිරියානු තන්ත්‍රය සාරින් ගෑස් ස්වල්පයක් යොදාගත්තේ ය යන චෝදනාව මොන ම ආකාරයෙන් හෝ නො පිලිගත හැකි බව කියා සිටිනු ඇත.

රසායනික යුද්ධ පිලිබඳ විශේෂඥයින් පෙන්වා දී ඇති ආකාරයට එවන් අවි යොදාගැනීමේ එක ම අරමුන විශාල වශයෙන් ජීවිත විනාශ කිරීම ය. ඔබාමා පාලනය හා අනෙකුත් බටහිර බලවතුන් රසායනික ප්‍රහාරයක් සිදුවුවහොත් මැදිහත් වන බවට කරන තර්ජනවල අර්ථයෙන්, චෝදනා කෙරෙන ආකාරයට සිරියානු තන්ත්‍රය එවන් අවි යොදාගැනීම ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නම් නිරර්ථක හා පරස්පර විරෝධී වන්නේ ය.

අනෙක් අතට, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන යුද්ධයේ දී, බටහිර කුලී හමුදාවක් ලෙස කටයුතු කරන ඉස්ලාම්වාදීන් හා අල් කයිඩාවට සම්බන්ධ භටයින්, ඩැමස්කසය මත වරද පටවා බටහිර මැදිහත්වීමක් කැඳවා ගැනීම පිනිස එවන් ප්‍රහාරයක් සිදුකිරීමේ ඉඩකඩ හොඳින් ම පවතියි. ඇත්ත වශයෙන් ම ඊනියා කැරලිකරුවෝ, රසායනික අවි පහසුකම් තමන් සතු ව ඇති බවටත් ඒවා යොදා ගැනීමට තමන් සූදානම් බවටත් මීට පෙර කයිවාරු ගසා තිබේ. පසුගිය දෙසැම්බරයේ දී ඔවුන්, තමන් සතු රසායනික තොග හා හාවුන් යොදාගෙන විස වායු අත්හදා බලන ආකාරය යූටියුබ්හි පල කල වීඩියෝවකින් පෙන්වනු ලැබිනි.

රසායනික අවි පිලිබඳ ගොතනු ලබන බොරු, කඩතුරාව ලෙස යොදාගෙන මැදිහත්වීමක් සූදානම් කිරීමේ ව්‍යායාමයට යටින් ඇත්තේ, අසාද් තන්ත්‍රය පෙරලා දැමීම සඳහා ගෙනයන නිකායික පදනමකින් යුත් සිවිල් යුද්ධයේ දී මූලෝපායික වාසි කිසිවක් අත්කර ගැනීමට ඊනියා කැරලිකරුවන් අසමත් ව තිබීම ගැන වොෂින්ටනයේ, ලන්ඩන්හි හා අනෙකුත් නගරවල පැතිර ඇති වික්ෂෝභය යි. මෑත සතිවල දී සිරියානු ආන්ඩුවේ හමුදා, විපක්ෂ හමුදාවන් මත පසුබස්වන ප්‍රතිප්‍රහාර මාලාවක් ම එල්ල කර තිබේ.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන "කැරලිකරුවන්ගේ" අරටුව සැදුම්ලත් අල්කයිඩාවට සම්බන්ධ කොටස්වල ලාංඡනය බවට පත් ව ඇති ත්‍රස්තවාදී ප්‍රහාර පැතිරයාම, සෘජු බටහිර මැදිහත්වීමක් සඳහා වන තල්ලුව සමග අත්වැල් බැඳගෙන ඇත. සිරියාවේ අගමැති එල් අල් හල්කි මරා දැමීමේ උත්සාහයක යෙදෙමින් 29 දා ඩැමස්කස්හි කාර් බෝම්බයක් පුපුරවා හැරිනි. ඔහු ඉන් දිවි ගලවාගත් අතර එවන් ප්‍රහාරවලින් මේ වන විට මියගොස් ඇති සියගනනකට තවත් සිවිල් වැසියන් ගනනාවක් ප්‍රහාරය මගින් එකතු කර තිබේ.

සිරියාවේ සිවිල් යුද්ධය ආවරනය කිරීමේ දී නිව් යෝර්ක් ටයිම්ස් ඇතුලු ව්‍යාපාරික මාධ්‍ය විසින් සැඟවීමට උත්සාහ දරන ලද අශෝභන සත්‍යය, අවසානයේ දී පිලිගන්නා ලිපියක් 27 දා ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ ම පලකර තිබුනි. "සිරියාව තුල කැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින කිසිදු තැනක සඳහන් කිරීමට තරම් ඔබින කිසිදු සටන්කාමී නිදහස් සංවිධානයක් දක්නට නැත," යි එය ලිවීය. එහි අධිකාරය දරා සිටින නිල වශයෙන් ම අල්කයිඩාවට බැඳුනු අල් නුස්රා පෙරමුන, ආන්ඩුවෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවල ඉස්ලාම් උසාවි ගොඩනගන ආකාරය ලිපියෙන් පින්තූර සහිත ව විස්තර කර තිබේ.

ඊටත් වඩා අශුභදායි පුවතක් ලෙස එය, 29 දා ඊජිප්තුවේ සිට මොස්කව් බලා පියාසර කරමින් තිබූ බොහොමයක් සංචාරකයින් වන මගීන් 200ක් රැගත් රුසියානු මගී ගුවන් යානයකට විපක්ෂ හමුදා බිම සිට ගුවන්ගතකරන මිසයිල ප්‍රහාර එල්ල කල බව වාර්තා කලේ ය.

ඊනියා කැරලිකරුවන්ට අත්කර දුන් මේ පසුබෑම්, තම කැමැත්තක් නොමැති ව තමන් නිකායික සිවිල් යුද්ධයකට ඇද දැමීමට එරෙහිව සිරියානු ජනතාවගේ විශාල කොටසක් තුල කැරලිකරුවන් කෙරෙහි වැඩෙන සතුරුකම සමඟ නිසැක ව ම බැඳී ඇත. අසාද් තන්ත්‍රයට විරුද්ධ බොහෝ දෙනා ඊටත් වඩා අල් නුස්රා වැනි කොටස් කෙරෙහි මෙන් ම සිය රටට කෙරෙන බටහිර මැදිහත්වීමක හැකියාව පිලිබඳ ව සතුරු ය.

එවන් මැදිහත්වීමකට පිටුබලය දෙන එක්සත් ජනපදයේ දේශපාලකයින්ගේ කුහකත්වය කියා නිමකල නො හැකි ය. කටේ එක් කොනකින් ඔවුහු වොෂින්ටනය විසින්, ඉස්ලාමීය සටන්කරුවන්‍‍ අධිකාරය දරන "කැරලිකරුවන්" සන්නද්ධ කල යුතු බව කියා සිටිති. එසේ ම ඔවුහු කැරලිකරුවන්ට එරෙහි ව නො පවතින්නාවූ රසායනික අවි යොදාගැනීමට එරෙහි ව අසාද් තන්ත්‍රයට මිලිටරි ප්‍රහාර එල්ල කල යුතු බව කියති. අනෙක් කොනෙන් ඔවුහු, ඇමරිකානු ආක්‍රමනයක් සිදු නොවුනොත් සිරියාව, "අසමත් රාජ්‍යයක්" බවට පත් වී රටේ පාලනය හා රසායනික අවි අත්පත්කර ගැනීමේ හැකියාව ආයුධ සන්නද්ධ කල යුතු යයි තමන් කියා සිටින එම බලවේගයන් ම වන අල් කයිඩාව අතට පත්වනු ඇතැයි අනතුරු අඟවති.

අසමානවූ මෙම අන්‍යෝන්‍ය ව පරස්පරවිරෝධී කඩතුරාවන් සලකුනු කරන්නේ, ඇමරිකානු ජනතාව කෙරෙහි පාලක පන්තියේ ඇති සතුරුකමත්, සිරියාවට එරෙහි යුද්ධය සඳහා වන තල්ලුව, ත්‍රස්තවාදයේ තර්ජනය පරාජය කිරීම හා සිරියානු ජනතාවගේ යහපැවැත්ම පිලිබඳ ව මවාපාන උත්සුකයන් පිලිබඳ කාරනය අමූලික පච බවත් ය.

එක්සත් ජනපද මැදිහත්වීමක් ගැන මහ හයියෙන් කෑගසන දකුනු කැරොලයිනාහි රිපබ්ලිකානු සෙනේට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්, 28 දා රූපවාහිනී වැඩසටහනක දී බලලා මල්ලෙන් එලියට ගත්තේ ය. එක්සත් ජනපදය මිලිටරි වශයෙන් සිරියාවට මැදිහත් නොවුනහොත්, "සිරියාව පිලිබඳ ව අපගේ අකර්මන්‍යතාවේ අර්ථය, අප ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන කෙරෙහි බැරෑරුම් නො වන බව ය යි ඉරානය සැලකීමට ඉඩ ඇති බැවින්, අප ඉරානය සමඟ යුද්ධයක පැටලෙනු ඇති බව" ය යි ඔහු පැවසීය.

යථාර්තය නම්, සිරියාවට මැදිහත්වීම ඊටත් වඩා අන්තරායකාරී ඉරානයට එරෙහි යුද්ධයකට සූදානම් වීමේ කොටසක් ය යන්න යි. යුද්ධය සඳහා වන මෙම තල්ලුවට යටින් ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ ගැඹුරුවන ආර්ථික පරිහානිය සිය සුපිරි මිලිටරි බලය යොදාගනිමින් මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ දැවැන්ත බලශක්ති සම්පත්වල පාලනය සතුකර ගැනීම මගින් ජයගැනීමට දරන උත්සාහය යි.

කියනු ලබන රසායනික අවි යොදාගැනීම පිලිබඳ උත්සුකය මුල්කරගෙන සිරියාවට එරෙහි යුද්ධය සඳහා වන බෙලි කපා ගන්නා හඬ තැලීම, දැනටමත් මිලියන ගනනක් ඉරාක ජාතිකයින් ද මේ දක්වා දස දහස් සංඛ්‍යාත ඇෆ්ගන්වාසීන් ද මරාදමා තිබීමට අමතර ව තවත් මිලියන ගනනකගේ ජීවිත බිලිගන්නා මදාවියකට දොර විවර කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: