යුරෝපය දැවැන්ත කම්කරු පන්ති අරගල ආසන්නයේ පසුවෙයි

Europe on the eve of mass working class struggles

2013 මැයි 07

යුරෝපයේ සමාජ ප‍්‍රතිවිප්ලවය නාටකාකාර රූපයන් ගනු ලබයි. මෑත වාර්තාවන්ට අනුව, යුරෝපීය සංගමය තුල පුද්ගලයින් මිලියන 26කට රැකියා නැත. ස්පාඤ්ඤයේ හා ප‍්‍රන්සයේ පමනක් පිලිවෙලින් මිලියන හය හා හතකට රැකියා නැත. ස්පාඤ්ඤයේ හා ග‍්‍රීසියේ නිල විරැකියා අනුපාතය සියයට 27කි. තරුනයින් සම්බන්ධයෙන් ගත් කල එය, සියයට 60 කරා ලඟාවෙමින් තිබේ.

ජර්මනියේ විරැකියා අනුපාතය සියයට 7ක් වුවත් ඒ, හාර්ට්ස් නීති මගින් නිර්මානය කල එන්ට එන්ටම වැඩිවෙමින් තිබෙන අඩු වැටුප් ක්ෂේත‍්‍රය නොතකා හැරීමෙන් පසුවය. සේවා නියුක්ත පුද්ගලයින් මිලියන 46න් සමාජ රක්ෂනයෙන් ආවරනය වන්නේ මිලියන 29ක් පමනි. ඉතිරි අය අනාරක්ෂිත රැකියාවල නියුක්ත වන අතර මිලියන 4ක් දෙනා උපයන්නේ පැයකට යුරෝ 7කට අඩුවෙනි.

අද වන විට යුරෝපය තුල බෙදීම්, බර්ලින් තාප්පය හා "යකඩ තිරය” අවධියේ පැවතියාට වඩා උග‍්‍රය. මහාද්වීපය පුරා ධනවතුන් හා දුප්පතුන් අතර අගාධය එන්ට එන්ටම වර්ධනය වෙයි. සිය ගෙවල් කුලිය ගෙවාගැනීමට නොහැකි හා අධ්‍යාපන වියදම් දරාගත නොහැකි මිනිසුන් සංඛ්‍යාව දිනපතා ඉහල නගින්නේ, තුනී හා ඇදහිය නොහැකි තරම් ධනවත් සුලුතරය සිය අභිමතය පරිදි සමාජය මත සිය අධිකාරය පතුරුවන අතරය.

සාපරාධී මූල්‍ය ප‍්‍රභූව ප‍්‍රතිපත්ති තීරනය කරති. යුරෝ ටි‍්‍රලියන 1.6ක් තරම් වන බදු ගෙවන්නන් සතු අරමුදල් බෙලහීන බැංකු බේරාගැනීමට යොදවා ඇත. එහි ප‍්‍රතිපලය වී ඇත්තේ, සමාජ සහන වැඩසටහන්, අධ්‍යාපන හා විශ‍්‍රාම සහන පුලුල් වශයෙන් කපා හැරීමේ ස්වරූපයෙන් ජනතාවගේ වියදමෙන් රාජ්‍ය නය පියවාගැනීමයි.

1930 ගනන් වලින් මෙපිට දක්නට ලැබුනු ගැඹුරුම ආර්ථික අර්බුදය හමුවේ යුරෝපීය සංගමය සිය සැබෑ මුහුන එලියට දමා ඇත. එය වනාහි දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ ප‍්‍රචාරකයින් කියා සිටින ආකාරයට "යුරෝපයේ එක්සත්කම” ගොඩනැගීමක් නොව, යුරෝපය පුරා මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වය පිහිටුවීමය.

මුලින් අදහස් කල පරිදි එය සේවය කරන්නේ, යුරෝපීය සමූහාන්ඩුවක ඒකාග‍්‍රකරනය තුල ජර්මානු අධිරාජ්‍යවාදය රඳවා තැබීමක් සඳහා නොව, බොහොමයක් ජර්මනිය පාදක කරගත් විශාලතම හා අතිශයින් බලගතු බැංකු හා සංගතවල සෘජු හා විවෘත මෙවලම ලෙසය.

යුරෝපයේ දුබල රටවල් කොල්ලකමින් හා ඒවා මත සිය අධිකාරය පිහිටුවමින් ජර්මානු ආන්ඩුව, ප‍්‍රාග්ධන ගලනය ජර්මනිය තුලට හැරවීම සඳහා යුරෝපීය මහ බැංකුව හා යුරෝව ප‍්‍රයෝජනයට ගනියි. එය තේරී පත්වූ ආන්ඩුවලට ඉල්ලා අස්වීමට බල කරමින් ඒවා තමන් විසින් තෝරනු ලබන තාක්ෂනවේදීන්ගේ ආන්ඩු මගින් විස්තාපනය කරයි. එය පාර්ලිමේන්තු තීන්දු නොතකන අතර නීතිමය සිද්ධාන්ත පාගා දමයි.

බර්ලිනයේ හා බ‍්‍රසල්ස්හි අන පැනවීම් සමාජ ශුභසාධන සේවා වනසා දමා ඇත. වෙහෙස මහන්සිවී උපයාගත් මිලියන ගනන් විශ‍්‍රාමිකයින්ගේ ඉතිරිකිරීම් පැහැරගන්නා අතර නිමක් නැති පවුල් දුප්පත්කමට හා කාලකන්නිකමට ඇද දමයි. වසර හැත්තෑවකට පෙරදී නාසීන් හා වෙයිමාර්වරු යුරෝපය භීත කලහ. අද ඒ තැන ගෙන ඇත්තේ යුරෝපීය සංගමයේ "ත‍්‍රිත්වය” හා ජර්මනියේ ඩොයිෂ බැංකුවයි.

මේ තත්වය යටතේ සමාජ ආතතීන් උත්සන්න වෙමින් තිබේ. අතෘප්තිය හා කෝපය වේගයෙන් ඉහල නගියි. අතොරක් නැති සමාජ ප‍්‍රහාරයන් හේතුකොටගෙන ජනගහනයේ පුලුල් කොටස් අතර ධනවාදයේ ආර්ථික ශක්‍යතාවය හා සදාචාරාත්මක වටිනාකම් පිලිබඳව පැවති සියලු විශ්වාසයන් බිඳවැටෙමින් තිබේ. ධනේශ්වර මාධ්‍ය දැන් විවෘතව වාද කරන්නේ, "යුරෝපය ගිනිගැනීමට” තව කොතෙක් කල් ගතවේ ද යන්න ගැනය.

ග‍්‍රීසිය, පෘතුගාලය හා ස්පාඤ්ඤය තුල ජනතා ප‍්‍රතිරෝධය එක් දින වැඩවර්ජන හා විරෝධතා මගින් දියකර හරින අතර ව්‍යාජ වාම සංවිධාන හා වෘත්තීය සමිති ජනතා විරෝධය අකර්මන්‍ය කිරීමටත් පවතින ආන්ඩුවලට හෝ යුරෝපීය සංගමයට කිසිවිටෙකත් අභියෝගයක් නොවීමටත් වගබලාගනිති.

කම්කරුවන්, තරුනයින්, රැකියා වියුක්තිකයින් හා විශ‍්‍රාමිකයින්ගේ අවශ්‍යතා සඳහා යුරෝපයේ නිල දේශපාලන ජීවිතය තුල කිසිදු ප‍්‍රකාශනයක් අත්කරගත හැකි නො වේ. කෙසේ වෙතත් මතුපිටට යටින් දැවැන්ත සමාජ හා දේශපාලන කුනාටුවක් මෝදු වෙමින් තිබේ.

එයට ප‍්‍රතිචාර දනවමින් දේශපාලන පක්ෂ සිය මතභේද තුරන්කර ගනිති. ඒවා තමන් හඳුන්වා ගන්නේ කොන්සවේටිව්, ලිබරල්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, හරිත හෝ වාම යනුවෙන් වුවත් ඒ සියලුම නිල පක්ෂ යුරෝපීය සංගමයේ කප්පාදු වැඩසටහන්වලට සහාය දැක්වීමේ හෝ මහජන විරෝධය දක්ෂිනාංශික හා ස්වෝත්තමවාදී ඇලමංවලට හරවා යැවීමේ උත්සාහයක නිරතව සිටිති.

වෘත්තීය සමිති වෙන කවරදාකටත් වඩා විවෘත ලෙස රාජ්‍ය පර්යාය තුලට රිංගමින් සිටිති. ඔවුන් සිය පාලක පන්තීන්ගේ "ජාතික අවශ්‍යතා” ආරක්ෂා කරමින් තොග පිටින් දොට්ට දැමීමට ද වැටුප් හා සහන කප්පාදු පැටවීමේ ද ව්‍යාපාරික කොන්ත‍්‍රාත්කරුවන් ලෙස සේවය කරති.

ජීඑම් - ඕපල් හා අයිජී මෙටාල් බෝකුම් කම්හල වසා දැමීම හා මොනම ප‍්‍රතිරෝධයක් හෝ මැඩපැවැත්වීමේ කාර්යය සංවිධානය කිරීම බාරගෙන සිටියි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මානු මෝටර් රථ කම්හලක් වසා දැමීමේ ප‍්‍රථම සැලැස්ම අඳිනු ලැබුවේ අයිජී මෙටාල් මූලස්ථානයේදීය. ඉන්පසුව එය ක‍්‍රියාවට නැගීමේ කටයුත්ත බාරගත් වෘත්තීය සමිතිය, බෝකුම් හි හැර අනෙකුත් සෑම ජර්මානු ඕපල් කම්හලකදීම එය අනුමත කරවා ගත්තේය.

අයිජී මෙටාල් සමිතිය විසින් බෝකුම් කම්කරුවන් ක‍්‍රමානුකූලව හුදෙකලා කරන ලදී. කම්හලේ පොලිසිය ලෙස වැඩකරන ප‍්‍රාදේශීය සමිති නිලධරයෝ ශ‍්‍රම බලකායේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයක් දියකර හැරීමට වැඩ කරති.

වර්ඩි යන ජර්මනියේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිය ලුෆ්තන්සාහිදී එවැනිම මගක් ගත්තේය. යුරෝපය පුරා කම්කරුවෝ වෘත්තීය සමිතිවල නිලධාරිවාදී යකඩ සැට්ටය ඉරා දැමීමේ මං සොයති.

පාලක පන්තිය මීට වසර 80කට පෙර කලාක් මෙන් නැගී එන සමාජ ආතතීන්ට ප‍්‍රතිචාර දක්වමින් සිටියි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට පහර දීමෙන් හා රට තුල රාජ්‍ය මෙවලම ශක්තිමත් කරමින් හා විදේශයන්හිදී මිලිටරිවාදය යොදාගැනීමෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරන නිරර්ථක විකාරයක් බවට පිරිහෙලා ඇත.

ඡන්දදායකයින්ගේ කැමැත්ත නොතකා, ආන්ඩු ප‍්‍රතිපත්තිය තීරනය කරන්නේ, මූල්‍ය වෙලඳපොලවල් මගිනි. පෙබරවාරියේදී ඉතාලි ඡන්දදායකයෝ මොන්ටි ආන්ඩුවේ කප්පාදු ප‍්‍රතිපත්තීන්ට දැවැන්ත නිෂේධනාත්මක ප‍්‍රතිචාරයක් දැනවූහ. එහෙත් එය සමත් වූයේ, වැසූ දොරවල් පිටුපස දෙමසක් තිස්සේ ඇදී ගිය දේශපාලන කේවලයකින් පසුව හරියටම ඒ ප‍්‍රතිපත්තීන්ම අනුගමනය කිරීමට පිලින දුන් පුලුල් සභාග ආන්ඩුවක් අසු පිට හිඳුවීමට පමනි.

ජර්මනියේදී නම් ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මැතිවරනයෙන් කවරෙක් දිනනවා ද යන්න නොතකා පිහිටුවන ආන්ඩුවේ ප‍්‍රතිපත්ති තීරනය කරනුයේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදිය.

යුරෝපය පුරා රාජ්‍ය මෙවලම ශක්තිමත් කර තිබෙන අතර රාජ්‍ය සුපරික්ෂාව දැඩි කර තිබේ. ජර්මනියේදී පොලිසිය හා බුද්ධි අංශ එකිනෙකින් වෙන්කිරීම ෆෙඩරල් ව්‍යවස්ථාදායක අධිකරනය විසින් බොහෝ දුරට අහෝසිකර තිබෙන අතර රටේ දේශසීමාවන් තුල සිදු කරන මිලිටරි යුද මෙහෙයුම් නීති යුක්ත කර තිබේ. එහි ආදර්ශය වී ඇත්තේ එක්සත් ජනපදයයි. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයන්ගෙන් පසුව එරට ස්වදේශීය ආරක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුවේ රූපාකාරයෙන් ගොඩනගා තිබෙන ඔත්තු සේවා හා පොලිස් යාන්ත‍්‍රනයයි.

ධනේශ්වර පර්යාය ආරක්ෂා කරන හා දේශපාලනිකව කම්කරුවන් පීඩාවට පත්කිරීමේ යෙදී සිටින "වාම” යයි කියාගන්නා පක්ෂවල හා ග‍්‍රීසියේ සිරිසා, ප‍්‍රන්සයේ වාම පක්ෂය, ඉතාලියේ කොමියුනිස්ටා රිෆවුන්ඬේෂන් හා ජර්මනියේ වාම පක්ෂය වැනි ඔවුන්ගේ ව්‍යාජ වාම හෙන්චයියන්ගේ විසකුරු ක‍්‍රියාකලාපය සුවිශේෂය.

ඔවුන් සියල්ලෝම යුරෝපා සංගමය ආරක්ෂා කරති. එය යුරෝපයේ සමාජ ප‍්‍රතිවිප්ලවයේ අතිශයින්ම වැදගත් උපකරනයයි. මෙම පක්ෂ ආන්ඩුවේ තැන් ලබාගත් පසුව කරන්නේ, සමාජ පිරිවැය කපා හැරීම හා රාජ්‍ය මෙවලම සවිමත් කිරීමයි.

බර්ලින් සෙනේට් සභාවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය පසෙකින් හිඳ ගෙනගිය, දස අවුරුදු පාලන කාලය තුල වාම පක්ෂය, සමාජ සහනයන්ට එල්ල කල දැවැන්ත ප‍්‍රහාරයන්ට පමනක් නොව ප‍්‍රාන්ත රාජ්‍යයේ පොලිස් පනත සවිමත් කිරීමේ වගකීමටත් බැඳී සිටින්නේ ය. වාම පක්ෂය තෙවසරක් මුදල් ඇමතිකම හෙබවූ බ‍්‍රැන්ඩන්බර්ග්හිදී කප්පාදු පැනවීමේ හා රාජ්‍ය අංශයේ රැකියා 8,000ක් කැපීමේදී ද මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටු කලේය. මෙම පක්ෂවල ප‍්‍රතිගාමී පිලිවෙත් සඳහා ගැඹුරු මූලයන් පවතියි. ඔවුන් කතාකරන්නේ, කම්කරු පන්තියට පහරදීමෙන් හා ඔවුන් සූරාකෑම උග‍්‍ර කිරීමෙන් ද්‍රව්‍යමය වාසි අත්කරගත් ධනවත් සමාජ ස්ථරයක් වෙනුවෙන්ය. ඔවුන්ගේ "වාම” ලේබල් නොතකා ඔවුහු වැඩකරන ජනතාවට සතුරු දක්ෂිනාංශික පක්ෂ නියෝජනය කරති.

ඔස්කා ලැෆොන්ටේන් හා සරා වැනේනීක්ට් යන වාම පක්ෂ නායකයින් ජර්මනිය සඳහා විකල්පයක් ලෙස ඉදිරිපත් කරන ප‍්‍රතිගාමී ජාතිකවාදී යුරෝ-විරෝධී මාවතට අනුගත වීම පෙන්නුම් කරන්නේ, මෙම සංවිධාන දෙක ඉටුකරන දේශපාලන බැලමෙහෙවරයි.

ආන්තික දේශපාලන හා සමාජ අර්බුදය හමුවේ කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම දැවෙන වැදගත්කමක් අත්කර ගනියි. මෙම කර්තව්‍යය ඉටුකල හැක්කේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ක‍්‍රියාමාර්ගික පදනම් මත පමනි. එය තම ක‍්‍රියාමාර්ගයේ හදවතෙහිම තබා ඇත්තේ යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලයයි.

උලී රිපට්

Share this article: