පකිස්ථානු ඡන්දදායකයෝ වොෂින්ටනයේ ඇෆ්පක් යුද්ධයට කර ගසන කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමූ පක්ෂවලට අන්ත පරාජයක් අත් කර දෙති

Pakistani voters trounce parties that waged Washington’s AfPak war, imposed austerity

කීත් ජෝන්ස් විසිනි, 2013 මැයි 13

පකිස්ථානු ඡන්දදායකයෝ, වයඹදිග පකිස්ථානය තුල ඇෆ්පක් යුද්ධය දිගේලි කරමින් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නියාලු උපකරනයක් ලෙස පස් වසරක් රට කර වූ පකිස්ථානු මහජන පක්ෂ (පීපීපී) නායකත්වය යටතේ පැවති ආන්ඩුව තීරනාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කල හ.

ජාතික සභාවට හා පලාත් සභා 4ක් සඳහා සෙනසුරාදා පැවති මැතිවරනවල නිල ප‍්‍රතිඵල දින ගනනාවක් යන තෙක් ප‍්‍රකාශ කෙරුනු ඇතැයි අපේක්ෂා කල නොහැකි ය. එහෙත් නිල නොවන තොරතුරු අනුව පීපීපීයේ සම්ප‍්‍රදායික මැතිවරන ප‍්‍රතිමල්ලවයා වන පකිස්ථානු මුස්ලිම් ලීගය (නවාස්) හෝ පීඑම්එල් (එන්) ප‍්‍රබල බහුතරයක් හෝ ඇතැම්විට ජාතික සභාවේ ආසනවලින් වැඩි සංඛ්‍යාවක් ලබා ගනු ඇත. පීඑම්එල් (එන්) එලෙසම මිලියන 180ක් වන පකිස්ථානයේ ජනගහනයෙන් සියයට 60ක ගේ වාසභූමිය වන පන්ජාබයේ ආන්ඩුව යලිත් තම පාලනයට නතු කර ගත්තේ ය.

ඉන්දියානු අගමැති මන්මෝහන් සිං හා ඇෆ්ගනිස්ථානු ජනාධිපති හමීඞ් කර්සායි යන දෙදෙනාම පීඑම්එල් (එන්) නායක නවාෂ් ෂරීෆ් ලබාගත් ජයග‍්‍රහනය වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ සුභ පැතූ හ. මින්පෙර දෙවරක් පකිස්ථානයේ අගමැති ලෙස කි‍්‍රයා කල දක්ෂිනාංශික කර්මාන්තකරුවකු වන ෂරීෆ් බලයෙන් පහ කල හැකි වන්නේ මිලිටරිය මගින් පමනි.

පකිස්ථානයේ හිටපු ක‍්‍රිකට් තරුව වූ ඉම්රාන් ඛාන්ගේ තරික් ඊ ඉන්සාෆ් (පීටීඅයි - සාධාරනය සඳහා පකිස්ථානු ව්‍යාපාරය ) හොඳ ප‍්‍රතිපල ලබා ඇත. පීටීඅයි බොහෝ කලක් තිස්සේ පකිස්ථානු දේශපාලනය තුල ක‍්‍රියාත්මක වී ඇත. කෙසේ වෙතත් 2011 දී දහස් ගනන් සිවිල් වැසියන් ඝාතනය කල එමෙන්ම පකිස්ථානයේ මධ්‍යම ආන්ඩුවෙන් පාලනය වන ටි‍්‍රබල් ප‍්‍රදේශය (ෆැටා) ත‍්‍රස්ත කල එක්සත් ජනපද ඩ්‍රෝන් ප‍්‍රහාර හෙලා දැකීමේ රැස්වීම් පැවැත්වීමට පටන් ගත්තේය. ඛාන් එලෙසින් ම දූෂනය අවසන් කිරීම සහ ඉස්ලාමීය සුභ සාධන රාජ්‍යයක්” නිර්මානය කිරීම සඳහා විප්ලවයක් මෙහෙයවන බවට පොරොන්දු දුන්නේ ය.

ඛාන් ප‍්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් ද පීපීයේ බ‍්‍රෂ්ටයන් හා පීඑම්එල් (එන්) නායකයන් තම පක්ෂය තුලට සාදරයෙන් කැඳවා ගත්තේ පකිස්ථානය හා වොෂින්ටනය අතර සමීප සබඳතා පවත්වා ගැනීමට තමන් උත්සුක වන්නේ ය යි ප‍්‍රකාශ කරන ගමන් ය. පකිස්ථානයේ ප‍්‍රධාන ධනේශ්වර ‘වාම‘ පක්ෂය සහ එහි ව්‍යාජ වාම අනුචරයින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සබඳතා තර කල තතු යටතේ නීති විරෝධී එක්සත් ජනපද ඩ්‍රෝන් ප‍්‍රහාර හෙලා දැකීමේ ඛාන්ගේ ප‍්‍රයත්න විශේෂයෙන් නාගරික තරුනයන් අතර ජනප‍්‍රිය විය.

මේ දක්වා ජාතික සභාවේ එක ආසනයක් පමනක් දිනාගෙන සිටින පීටීඅයි ජාතික සභාවේ තුන්වන ස්ථානයට පීපීපීය ඇද දමනු ඇත. එය එෆ්ඒටීඒ සමග බැඳීගත් කයිබර් පස්තුන්ක්වා (කේපී) පලාතේ විශාලතම පක්ෂය යි.

පීටීඅයිඒ සහයෝගය ඉහල යාම පිලිබඳව කනස්සල්ලට පත්ව සිටින ෂරීෆ් ඩ්‍රෝන් ප‍්‍රහාර විරෝධී සීමිත ප‍්‍රකාශ නිකුත් කර ඇත. ඇෆ්පක් යුද්ධය අවසන් කිරීම සඳහා "තුවක්කු සහ මූනිස්සම්” වලට වඩා හොඳ "විකල්ප” සොයා බැලීමේ අවශ්‍යතාවය ඔහු ගෙනහැර දැක්වීය.

මැතිවරනය පකිස්ථාන ජනතා පක්ෂය සම්බන්ධයෙන් ඓතිහාසික පරාජයකි. පීපීපීය එයට නායකත්වය දෙන බූතෝ පවුලේ බලකඳවුරක් මෙන් ම ඡන්ද ගොනුකර ගැනීම සඳහා සින්ද් ප‍්‍රාදේශීයවාදී ආයාචනා හා සම්ප‍්‍රදායික ඉඩම් හිමි ගොවි සබඳතා යොදාගන්නා සින්ද් ප‍්‍රදේශයේ හැර සෙසු ප‍්‍රදේශවලින් දිනා ගත්තේ ජාතික සභාවේ ආසන අතලොස්සක් පමනකි.

පකිස්ථානයේ ද නිවුස් පුවත්පත විස්තර කල පරිදි "පීපීපීයේ ව්‍යසනකාරී ප‍්‍රතිඵල හිටපු බෙනාසීර් බූතෝගේ සැමියා වන ජනාධිපති අසීප් අලි සර්දාරිගේ දෙවන ධුර කාලය සඳහා සැප්තැම්බරයේ දී පැවැත්වෙන මැතිවරනයෙන් ජයගැනීමේ අපේක්ෂාවන් මත දැවැන්ත අඳුරු වලාවක් පතුරුවා හැර ඇත. ඒ ඊට කලින් දේශපාලන වාතාවරනය මත ආධිපත්‍ය දරන ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඔහු එලියට ඇද නොදැමුවහොත් පමනි’’

පෙර පැවති පීපීපී ආන්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක‍්‍රියාවට දැමූ අතර පකිස්ථානු හමුදාව ආසියාව හා මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විශ්වාස කටයුතු ඒජන්තයෙකු ලෙස සේවය කල තතු යටතේ වොෂින්ටනය සමග පකිස්ථානයේ සන්ධානය පවත්වාගෙන ගොස් ඇත. පසු ගිය පස් වසර තුල පීපීපීය මුලුමනින්ම නව විජිතවාදී තන්ත‍්‍රයක් මත අධිකාරිය දරමින් සිටීම නිසා එම තත්වය ගුනාත්මක නව අවධියකට ල`ගා විය.

එරට මහජනයා හා දේපල මත රිසි පරිදි ඩ්‍රොන් ප‍්‍රහාර එල්ල කිරීමටත් කාපට් බෝම්බ හෙලීම් හා සමූහ දන්ඩන පැනවීම් තුලින් ම්ලේච්ඡ කැරලි විරෝධයක් පෙරට දමා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද වාඩිලෑම පුලුල් කිරීම සඳහාත් එමගින් වොෂින්ටනයට වරපත‍්‍රයක් ලබා දුන්නේ ය. මිලියන ගනනක් පකිස්ථානුවෝ තම රට තුලම සරනගතයන් බවට පත් කරන ලදහ.

පීපීපීය සහ එහි සන්ධානයේ සහචරයෝ -අවාමි ජාතික පක්ෂය (ඒඑන්පී) සහ එම්කිව්එම් (මුතාහිදා කුවාමි ව්‍යාපාරය) රට ජල ගැලීම් මගින් විනාශයට පත් වීම, අධස්ථ ව්‍යුහය බිදවැටීම, බලශක්ති හිගය, ආහාර මිල ඉහල යාම මගින් ඇති කල විනාශය පවා නොතකා තව තවත් කප්පාදු හැර අන්යමක් ඉල්ලා නොසිටියේ ය.

ඇෆ්ගන් තාලිබාන්වරු සමග පෙල ගැසුනු තරික් අයි තාලිබාන් පකිස්ථාන් සංවිධානයෙන් එල්ල වන තර්ජන හමුවේ වංචනික උද්ඝෝෂනයක් ගොඩ නැගීමට පීපීපීයට බල කෙරී තිබුනි. එය රැස්වීම් කීපයක් සංවිධානය කල අතර එහි මෑත කාලීන පාරම්පරික නායකයා වන 24 හැවිරිදි බිල්වාල් බූතෝ ඩුබාහි රැකවරනය ලැබීය.

කේපීයේ ආන්ඩු පක්ෂය වන ඒඑන්පීය, ඊටත් වඩා නින්දිත බිඳ වැටීමකට මුහුන දුන්නේය. තවමත් සම්පූර්නයෙන් පකාශ නොවූ ඡන්ද ප‍්‍රතිපල පෙන්නුම් කරන්නේ එය දිනා ඇත්තේ ජාතික සභාෙව් එක් අසුනක් පමනක් හා කේපීයේ පලාත් සභා ආසන 99 න් දුසිම් භාගයක් හෝ ඊටත් අඩු ගනනක් බවයි.

ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ මිලිටරි තන්ත‍්‍රයට ප‍්‍රසිද්ධියේ සහාය දී අනතුරු ව පැවති 2008 මැතිවරනයෙන් පසුව පීපීපීයට සහය දුන් එම්කිව්එම් පක්ෂය තම ආසන රඳවා ගැනීමේ දී පැහැදිලි ව ම එහි හවුල්කරුවන්ට වඩා සාර්ථක විය. වර්ගවාදී උද්ඝෝෂන හා මැරබලය නිසා කුප‍්‍රකට ගෝත‍්‍රික පදනමක පිහිටි එම්කිව්එම් පකිස්තානයේ ආර්ථික මධ්‍යස්තානය වන කරච්චියේ පැතිර පවතින ජනවාර්ගික යුද්ධය තුල ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකර ඇත. ඡන්දය පවතින අතරතුර එය මහා පරිමාන හොර ඡන්ද මගඩිවල ද අඩන්තේට්ටම් හා බියගැන්වල නිරත වී සිටි බවට එහි විරුද්ධවාදීහු චෝදනා කලහ.

මිනිසුන් 20කට වඩා මරා දැමූ, කරචිචියේ ඡන්දදායකයින් බිය ගැන්වීම සඳහා සන්නද්ධ මැරයන් භාවිතා කල, ඡන්දදායකයින්ට පහර දෙන බවට කෙරුනු බලුකිස්ථානයේ වාර්ගික බෙදුම්වාදීන්ගේ තර්ජන වැනි නීතිවිරෝධී ක‍්‍රියාවන් - එනම් රටම බොහෝ දුරට සිවිල් යුද්ධ තත්වයක පවතිද්දී ම සෙනසුරාදා පැවති මැතිවරනය "සාධාරන” ය යි මැතිවරන කොමිසම හා මාධ්‍ය කියා සිටී.

සත්‍යය නම් පකිස්ථානයේ නව විජිතවාදී පාලනය සඳහා තුනී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුනුවරක් ලබා දීම මැතිවරනයේ ඉලක්කය වී තිබුනු බවයි. නව පීඑම්එල් (එන්) ආන්ඩුවේ න්‍යාය පත‍්‍රය වන්නේ වොෂින්ටනය, ජාමූඅ හා පකිස්ථානු මිලිටරිය හා ව්‍යාපාරික ප‍්‍රභූව සමග පිටුපස දොරෙන් කරන සාකච්ඡා ආරම්භ කිරීමයි.

පකිස්ථානු සන්නද්ධ හමුදාවේ ප‍්‍රධානි ජෙනරාල් කියානි මෑත සති වලදී දෙවතාවක් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවී ඇත. ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින එජ හමුදාවේ ප‍්‍රමානය අඩු කිරීමේදී හා කාබුල් හි එහි රූකඩ තන්ත‍්‍රය ප‍්‍රතිසංවිධානය කිරීම පිලිබඳ පෙන්ටගන් සාකච්ඡා පැවැත්වෙන අතර තුර පකිස්ථානය එක්සත් ජනපදයේ ප‍්‍රධාන සහචරයෙකි. කෙරී පසුගිය මාසයේදී තමන් හා ඇෆ්ගන් ජනාධිපති සමග හමුවට සිවිල් නිලධාරින් නො කැඳවා කියානිට ඇරයුම් කිරීම පකිස්ථාන ධනේශ්වර දේශපාලනයේ සැබෑ බලය රැඳී පවතින්නේ කොතැනක ද යන්න පිලිබඳ ඇඟවුමකි.

මැතිවරන අවධියේ පකිස්ථානයේ භාරකාර ආන්ඩුව පකිස්ථානය සතු විදේශ මුදල් සංචිතය සති කීපයක ආනයන සඳහා පමනක් සෑහෙන තතු යටතේ ජාමූඅ හදිසි නයක් ගැනීම සඳහා මූලික සැලැස්ම සාකච්ඡු කර ඇත. බලශක්ති සහනාධර හා සමාජ වියදම් කප්පාදුව, බදු ඉහල දැමීම හා රජයේ ව්‍යවසායන් පුද්ගලීකරනය වේගවත් කිරීම පිලිබඳ පොරොන්දු මත නය මුදල අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ මිලිටරි ආඥාදායක සියාඋල්-හක් ගේ රැකවලෙකු ලෙස සිය දේශපාලන ගමන ආරම්භ කල ෂරීෆ් පීපීපීයේ සර්දාරීට නො අඩු ලෙස වොෂින්ටනයේ අන ආඥා ක‍්‍රියාවට දමනු ඇත. ඔබාමා පාලනයේ ඇෆ්පැක් යුද්ධ සැලසුම් අංශයේ කටයුතු කල එක්සත් ජනපද මූලෝපායඥ බෲස් රීඩල් "අපට එක්ව වැඩ කල හැකි මිනිසා ෂරීෆ් ය ; අපි මින් පෙර ඔහු සමග වැඩ කර ඇත්තෙමු” යි වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප‍්‍රකාශ කලේ ය.

ෂරීප් මෙසේ කියා ඇත ”මම ජාමූඅ විරුද්ධ අයෙක් නොවේ”

පීටීඅයි මෙන් නොව පීඑම්එල්(එන්) යම් දුරකට එහි කම්කරු විරෝධී වැඩපිලිවෙල හෙලිකර ඇත. එහි මැතිවරන ප‍්‍රකාශය විශේෂ ආර්ථික කලාප තහවුරු කිරීමට "ඉලක්කගත සහනාධාර” පරීක්ෂා කිරීමේ අර්ථයෙන් මිල සහනාධාර අහෝසි කිරීම සහ බලශක්ති උත්පාදනය සහ බෙදාහැරීම නැතිනම් දුම්රිය මාර්ග වැනි රාජ්‍ය සතු අති මූලික කර්මාන්ත පුද්ගලීකරනය කිරීමට පොරොන්දු වී ඇත.

එක්සත් ජනපද ජනපති ඔබාමා මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහනයකි යි නරුම ලෙස ප‍්‍රකාශ කරමින් ඉරිදා මැතිවරන ප‍්‍රතිඵලවලට කල් තියාම සිය අනුමැතිය ප‍්‍රසිද්ධියේ ලබා දුන්නේ ය. "මාගේ පාලනය, මෙම මැතිවරනයේ දී සමාන සහකරුවන් ලෙස නැගී ආ පකිස්ථානු ආන්ඩුව සමග සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා”යි ඔහු කියා සිටියේ ය.

Share this article: