විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පාගමනේ දී සමිතිවල ද්‍රෝහී කි‍්‍රයා කලාපය එලිමහනට එයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 මැයි 22

15 දා විරෝධතාවට සම්බන්ධවූවන්ගෙන් කොටසක්

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව මැයි 15 දා කොලඹ දී පැවැත් වූ විරෝධතා පා ගමනට කම්කරුවන්, තරුනයන්, කලාකරුවන්, හා වෘත්තීයවේදීන් ඇතුලු දහස් ගනනක් ජනයා සහභාගි වූහ. විරෝධතාව පැවැත්වුනේ, එය සංවිධානය කිරීමට මූලිකත්වය ගත් වෘත්තීය සමිති, දක්ෂිනාංශික පක්ෂ ගනනාවක් හා ව්‍යාජ වාම කන්ඩායම් සමග එක්වී කම්කරුවන්ගේ සහභාගිත්තවය අවම කිරීමටත් ආන්ඩුවට බලපෑමක් මගින් සහනයක් ලබා ගැනීමේ නිස්සාර වැඩපිලිවෙලකින් කම්කරුවන් නොමග යැවීමටත් ක‍්‍රියාකරන තතු යටතේ ය.

බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ පාගමන කිලෝමීටර් තුනක් පමන මග ගෙවා, කොටුව දුම්රිය ස්ථානය කරා පැමිනියේ ය. "වැඩිකල විදුලි ගාස්තු අඩු කරනු! ජනතාවගේ බඩට ගහන විදුලි බිල වැඩි කිරීම අත්හිටවනු!” ආදී සටන්පාඨ පාගමන්කරුවන් විසින් ප‍්‍රදර්ශනය කෙරිනි. මග දෙපස විශාල ලෙස රැස්ව සිට ජනයා ද බස්රථවල ගමන් කරමින් සිටි මගීන් ද විරෝධතාවට සහයෝගය පල කරනු දක්නට ලැබිනි.

පා ගමන සංවිධානය කර තිබුනේ "විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය” විසිනි. ඊනියා මහජන ව්‍යාපාරය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුලූ වෘත්තීය සමිති, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප), සරත් ෆොන්සේකා ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ප‍්‍රප), සිංහල ස්වොත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ව්‍යාජ වාම පක්ෂ දෙකක් වන නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ රාජ්‍ය නොවන සංවිධානවල එකතුවකි.

විදුලි ගාස්තු සියයට 60න් හෝ ඊට වැඩියෙන් ඉහල දැමීමට ආන්ඩුව පසුගිය මාර්තු මාසයේ තීන්දු කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත යි. ඊට බරපතල විරෝධයන් පැන නගින තතු යටතේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැයි 1 දා පහලම විදුලි පරිභෝජන කන්ඩායමේ ගාස්තු වැඩි කිරීම අඩු කරන උප්පරවැට්ටියක් යෝජනා කලත් කම්කරුවන් බහුතරයක් හා අනෙකුත් ජනයා මත පටවන බර එලෙසම තබා ඇත. විදුලි ගාස්තු වැඩි කිරීම අලූත් වටයකින් ජීවන තත්වයන්ට පහර දීමට ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ඇනවුම මත ගෙන යන වැඩපිලිවෙලක කොටසකි.

පාගමනට සහභාගි වූ කම්කරුවන්ගේ හා අනෙකුත් ජන කොටස්වලට රාජපක්ෂ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමන ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේ අව්‍යාජ උවමනාවක් පැවැතුනි. එහෙත් විරෝධතා පාගමනේ සංවිධායකයන්ගේ අරමුන පිහිටා තිබුනේ හාත්පසින් ම ඊට එරෙහිව යි. ඔවුහු කම්කරුවන්ගේ වැඩවර්ජනයක් කැඳවීමට එරෙහි වූහ. එමගින් කම්කරුවන්ගේ සහභාගිත්වයක් ඇතිවීම අවම කිරීමට විරෝධතාවේ සංවිධායකයෝ දැනුවත්ව ක‍්‍රියා කලහ. දේශපාලනිකව ඔවුන් ක‍්‍රියා කලේ, ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවෙන් එල්ල වන ප‍්‍රහාර කෙරෙහි වැඩකරන ජනයා තුල පුලුල්ව වර්ධනය වෙමින් පවතින් කෝපය හා නොසංන්සුන්කම දුර්මුඛ කොට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) පිටුපසට හරවා යැවීමට යි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා ලංකා ගුරු සංගමය ඇතුලු තමන් අදේශපාලනික හා ස්වාධීන යැයි කියාගත්ත වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී ප්‍රෝඩාව එජාප හා ප‍්‍රපා සමග ද හොර වම්මු ද සමග පෙල ගැසීමෙන් හෙලිදරව් විය. ඔවුන් සැමවිට ම සතුරුව සිටින්නේ, ධනපති පන්තියේ කොටස්වලින් ස්වාධීන දේශපාලන වැඩ පිලිවෙලක් මත කම්කරු පන්තිය බලමුලූ ගැන්වීම කෙරෙහි ය.

විරෝධතාවයට විරුද්ධව ආන්ඩුව ප‍්‍රදර්ශනය කරකර තිබූ දැන්වීම

විරෝධතාව කඩාකල්පපල් කිරීමේ ප‍්‍රයත්නයක ආන්ඩුව කල්ඇතිව ම නිරතව සිටියේ කම්කරුවන් හා දුගීන්ගේ අයිතීන්ට පහරදීමේ වැඩපිලිවෙල පස්සට නොගන්නා බව ඇඟවුම් කරමිනි. "දේශද්‍රෝහී අලි-කොටි ගිවිසුම යලි ක‍්‍රියාත්මකයි", "ජිනීවා මානව අයිතිවාසිකම් රට ඇතුලෙම රඟ දැක්වීම ඇරඹෙයි" යන හෙඩිම යටතේ නරුම ලෙස වර්ගවාදය ඇවිස්සීමේ පත‍්‍රිකාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සංවිධානයක් විරෝධතාවට කලින් දිනයේ බෙදා හැරියේ ය.

මැයි 15 දා පොලූ මුගුරු ගත් මැරයින් සමග ශ‍්‍රීලනිප මැති ඇමතියන්ගේ තර්ජන පාලියක් දුම්රිය පොල ඉදිරිපිට සංවිධානය කර තිබිනි. කම්කරුවන්ට එරෙහි මැරබල කන්ඩායමයක් ලෙස සංවිධානය කෙරෙන ආන්ඩුවේ "නිල් බලකාය” ද ඊට සහභාගිව සිටියේ ය. මැරයින් විසිරුවා හරිනු වෙනුවට පොලිසිය විරෝධතාව අතරමග නතර කිරීමට තැත් කලේ, ආන්ඩුවේ කන්ඩායම සමග ගැටුමක් ඇතිවේ යැයි ප‍්‍රකාශ කරමිනි. එහෙත් තමන්ගේ තර්ජනාත්මක පනිවිඩය දීමෙන් පසු ආන්ඩුවේ මැර ප‍්‍රදර්ශනය ඉවත් කරගෙන තිබිනි.

දක්ෂිනාංශික එජාප, ජවිපෙ හා ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රප උත්සාහ කරන්නේ ජීවනතත්වයන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව වර්ධනය වන කම්කරු පන්තියේ අතෘප්තිය තම ප‍්‍රතිගාමී දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ගසා කැමට ය. සමිති නිලධරයත්, ව්‍යාජ වාම පක්ෂ වන නසසප හා එසප යෙදීගෙන සිටින්නේ කම්කරු පන්තියේ එම විරුද්ධත්වය බොරු විරෝධතාවලට කොටුකර එජාපය අත යටට තල්ලූ කිරීමේ දැනුවත් ව්‍යායාමයක ය.

ඔවුන් එය කරන්නේ විරුද්ධ පක්ෂ සහ ඊනියා බහුජන සංවිධාන ගලතා ගත් පලල් විරෝධතා මගින් රාජපක්ෂ ආන්ඩුවට ලොකු බලපෑමක් දමා විදුලි බිල වැඩි කිරීම ඇතුලූ ජීවන තත්වයන් ට එල්ල කරන ප‍්‍රහාරයන් ආපිට හැරවිය හැකියයි බරපතල මිත්‍යාවක් කම්කරු පන්තිය තුල වගා දිගා කිරීම මගිනි.

විරෝධතාවයට සහභාගී වුවන් අතර මේ මිත්‍යාව යම් ප‍්‍රමානයකට කාවැදී ඇතිබව ඔවුන් කිහිපදෙනකු සමග කල කතා බහේදී දකින්නන්ට ලැබුනි. "වෘත්තීය සමිතියි, විපක්ෂයයි මේ විදිහට එකතු වෙලා උද්ඝෝෂනය ඉදිරියට ගියොත් ආන්ඩුවට විදුලි බිල අඩු නොකර ඉන්න බැරිවෙන” බව කොලඹ වරායේ ඩොක්යාර්ඩ් කම්කරුවෙක් කීවේය. එහිම තවත් කම්කරුවෙක් කීවේ "ජීවිතයක් දීලා වුනත් ලොකු උද්ඝෝෂනයක් කරපු නිසා පුද්ගලික අංශයට ගෙනා කම්කරුවන්ගේ අර්ථසාදකය ගසාකෑමට සැලසුම් කල විශ‍්‍රාම වැටුප් පනත පරාජය කිරීමට හැකි වූ” බව ය.

ඔහු සඳහන් කලේ 2011 දී කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් තම පඩිපතින් කපා ගන්නා ඊනියා විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව දැවැන්තව නැගී සිටීමයි. ආන්ඩුව එල්ල කල පොලිස් ප‍්‍රහාරයෙන් එක් කම්කරුවෙක් මිය ගියේ ය.

කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් වෘත්තීය සමිතිවලින් පිටස්තරව අරගලයට ආවේ ඒවායේ පාවාදීමේ කි‍්‍රයා කලාපය නිසාවෙනි. ආන්ඩුව තාවකාලිකව පනත අකුලා ගත්තත් කම්කරුවන්ගේ වැටුප් කැටිකර තබා ගැනීමට විදේශීය හා ලංකාවේ ආයෝජකයින්ට මුලූමනින් සහයෝගය දී සිටියි.

"නාස්තිය, දුෂනය නැති කලොත් විදුලි බිල අඩු කරන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම එකතු වෙලා ආන්ඩුවට බල කලොත් එතකොට ආන්ඩුවට පියවරක් ගන්න වෙනවා” තරුනයෙක් සඳහන් කලේ ය. මෙය ද ආන්ඩුවේ ප‍්‍රහාරවල මූලය ධනපති ක‍්‍රමයේ අර්බුදය බව වසන් කිරීමට විපක්ෂ හා ජනමාධ්‍ය ගෙන යන ප‍්‍රචාරයෙන් නොමග යෑමක් පෙන්නුම් කරයි.

තරුන තැපැල් කම්කරුවෙක් වෘත්තීය සමිතිවල ක‍්‍රියා කලාපය කෙරෙහි විවේචනාත්මක විය. "සමිති හැමදාම උද්ඝෝෂනය කරනවා නමුත් අපේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. මම රක්ෂාවට ඇවිල්ල අවුරුදු තුනක් වෙනව. තවමත් ස්ථීර කලේ නැහැ. අවුරුදු හය-හත වැඩකරලත් ස්ථීර නොකල අය ඉන්නවා. කැපිල කෙටිල මාසේ අන්තිමට අතට එන්නේ රුපියල් 15,000 ක් විතර. ජීවන වියදම නගින විදිහට කොහොමවත් පිරිමහ ගන්න බැහැ. අපේ ප‍්‍රශ්න විසඳගන්න විකල්ප වැඩ පිලිවෙලක් ඕන” ඔහු කීවේ ය.

පා ගමන අවසානයේ රැස්ව සිටි පිරිස අමතා කල සමිති නිලධරයේ සහ දේශපාලන පක්ෂවල කතාවලින් ඊනියා මහජන ව්‍යාපාරයේ බංකොලොත් සහ වංචනික ස්වභාවය මැනවින් එලිදරව් විය. විදුලි බිල වැඩි කිරීමට හා සෙසු ආර්ථික ප‍්‍රහාරවලට තුඩු දී ඇති ලංකාවේ ධනපති ක‍්‍රමයේ ආර්ථික අර්බුදය හැම කතිකයෙක් විසින් ම හිතාමතා වසන් කල අතර විදුලිබිල අඩු නොකලොත් ඉදිරියේ දී තවත් ලොකු උද්ඝෝෂන කරන බවට පම්පෝරියකින් කතා අවසන් කලේ ය.

"මේක අපේ පලමුවන ක‍්‍රියා මාර්ගය. ආන්ඩුව වැඩිකල විදුලි බිල අකුලා ගත්තේ නැත්නම් අරගලය දිගටම ගෙන යන” බව විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරයේ සම කැඳවුම් කරු සමන් රත්නප‍්‍රිය ප‍්‍රකාශ කලේ ය. කම්කරු පන්තියේ විරෝධය මැඞීම සඳහා පොලිසි රාජ්‍ය සැලසුම් තීව‍්‍ර කරමින් තිබෙන රාජපක්ෂ ආන්ඩුවේ සූදානම ගැන ඔහු කිසිවක් කථා කලේ නැත.

විදුලි බිල අඩු කලේ නැත් නම් "රාජපක්ෂ රෙජීමය පන්නා දමන තුරු උද්ඝෝෂනය පෙරට ගෙන යා යුතු” බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේ ය.

ජනතාව පෙලන දුර්දාන්ත රාජපක්ෂ පාලනය ඉවත් කර තම පියා වූ අභාවප‍්‍රාප්ත ජනාධිපති රනසිංහ පේ‍්‍රමදාසගේ "ජනතාවාදී යුගය” යලි ගෙන ඒමට කටයුතු කරන බව සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කලේ ය.

දක්ෂිනාංශික එජාපයට රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත් සමග කිසිදු මූලික මතභේදයක් නැත. වැඩකරන ජනයා නොමග යවා රාජපක්ෂ ආන්ඩුව කෙරහි ඔවුන් තුල වර්ධනය වෙමින් තිබෙන කෝපය එජාපයේ ප‍්‍රතිගාමී දේශපාලන උවමනාවන් සඳහා ගසා කෑම වික‍්‍රමසිංහ හා සජිත් පේ‍්‍රමදාසගේ වාචාල කථාවල මූලික එල්ලයයි. ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට මුල පිරුවේ ජේ.ආර්. ජයවර්ධන ගේ එජාප ආන්ඩුවයි. පේ‍්‍රමදාස සහ වික‍්‍රමසිංහ ඊට පූර්න සහයෝගය දුන්හ.

1980 වැඩ වර්ජනයේදී වැටුප් වැඩිකර ගැනීම සඳහා අරගලයක යෙදුන 100,000 කම්කරුවන් දොට්ට දැමුවේ ද එජාප ආන්ඩුවයි.

ජනතාව පීඩාවට පත්කරන ආන්ඩුවේ සැලසුම් වලට ඉඩ නොදෙන බවත් ජන බලවේගයක් ගොඩනගා ආන්ඩුවේ සැලසුම් පරාජය කරන බව සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කලේය. රාජපක්ෂ යලි ආරම්භ කල වාර්ගික යුද්ධයේ මිලිටරි නායකයා වූ ජෙනරාල් ෆොන්සේකා යුද්ධයේ ආර්ථික ප‍්‍රහාරවලට එරෙහි කම්කරු පන්තික අරගල මෙන් ම ජනමාධ්‍ය නිදහස ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඞීමට ආන්ඩුව සමග එකට වැඩ කලේ ය. බටහිර අධිරාජ්‍යවාදයට වඩා ගැති ධනපති ප‍්‍රභූවේ නියෝජිතයෙකු වන ඔහු පෙනී සිටින්නේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ උවමනාවන් වෙනුවෙන් නොව රාජපක්ෂ, වික‍්‍රමසිංහ මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ක‍්‍රියාවට දමන ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උවමනාවන් වෙනුවෙනි.

විරෝධතා පාගමන රාජපක්ෂට ජනතාවගේ ශක්තිය ප‍්‍රදර්ශනය කල එකක් ලෙස පුරසාරමක් ගැසූ නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න විදුලි බිල අඩුකලේ නැත්නම් "ආන්ඩුව ගෙදර යනකම් සටන ඉදිරියට ගෙන යන” බව ප‍්‍රකාශ කලේ ය. රාපක්ෂ ආන්ඩුව විදුලිබල පුද්ගලීකරන පනත 2009 සම්මත කිරීමේ දී නසපය ඊට සහය දුන් බව මතක් කර ගැනීම ඔහුගේ සටනේ තරම තේරුම් ගැනීමට හොඳ උදාහරනය කි. නසසපය හා එක්සත් සමාජවාදී පක්ෂය එජාපය සමග සන්ධාන ගත වී එම ධනපති පක්ෂය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විකල්පයක් ලෙස හුවා දැක්වීමට කි‍්‍රයා කරයි.

ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට පාර්ලිමේන්තුව හා කැබිනට්ටුව තුල අත උස්සන එහි පන්දන්කාර පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂය විසින් පාලනය කරන ආන්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ නායකයෙකු වන ඞී.එම්.ඞී අබේරත්න විදුලි බිල අඩු කිරීමට ආන්ඩුවට බලකරන බවටත් විදුලි බිල අඩුකරන තෙක් අරගලය පෙරට ගෙන යන බවටත් කයිවාරුවක් ගැසුවේ ය.

එහෙත් විදුලි බිල අනුමත කල කැබිනෙට්ටුවේ සමසමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ලැග සිටින්නේ ඇයි දැයි ඔහු පැහැදිලි කලේ නැත. මෙම පක්ෂවල හා සමිති නිලධරය ආන්ඩුවේ සොච්චම් වරප‍්‍රසාදවලට තමන්ව විකුනා ගෙන සිටිති.

කියවන්න: ජීවන තත්වයන් රැක ගැනීමේ අරගලයට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක්

Share this article: