ජනාධිපති රාජපක්ෂගේ "යුද ජය සැමරුම්” කතාව: මහජන විරෝධය වෙනතක හැරවීමේ වියරු උත්සාහයක්

පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 මැයි 27

මහජනයාට තහනම් වූ සහ ඔවුන්ගෙන් වියෝ වූ භූමියක, දැඩි රැකවල් මධ්‍යයේ, මැති-ඇමැතිවරුන්, විදේශීය හා දේශීය රාජ්‍ය තාන්ති‍්‍රකයන්, ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ ඔවුනගේ ඇඹනියන් පිරිවරාගත් වේදිකාවක සිට එල්ටීටීඊය පරාජය කිරීමේ යුද ජය සැමරුම සඳහා රාජපක්ෂ කල කතාව ව්‍යාජ අධිරාජ්‍ය විරෝධී පූච්චානම් වලින් ද යතාර්ථය කනපිට පෙරලූ චිත‍්‍රනයන්ගෙන් ද මිලිටරිය ඔජවැඩවීමෙන් ද සමන්විත විය.

සිවිල් යුද සමයේ වර්ධනය කරගත් මිලිටරි බලය ප‍්‍රදර්ශනය කෙරුනු හමුදා සංදර්ශනය, අරගලයට පිවිසෙමින් සිටින කම්කරුවන් හා අවශේෂ පීඩිතයන් බිය වැද්දීමේ අරමුනෙන් රාජ්‍ය හා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය හරහා සජීවීව විකාශය කෙරුනි.

ආන්ඩුවේ ප‍්‍රහාර හමුවේ වැඩෙන මහජන විරෝධය වෙනතක හැරවීම සඳහා පුරා වසර හතරක් වාදනය කරන ලද යුද ජයග‍්‍රහනය පිලිබඳ තැටිය රාජපක්ෂ විසින් යලිත් වාදනය කල ද එම පිලුනු ස්වරයන් මහජන විඤ්ඤානය කිසියම් ලෙසකින් හෝ කම්පනය කිරීමට නම් සමත්වන්ට නැත.

කතාව ආරම්භ කෙරුනේමත් තම තන්ත‍්‍රයේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ස්වභාවය පෙන්වීම සඳහා ගොතන ලද බේගලයකිනි. යුද්ධයේ අවසන් භාගයේදී නොනවත්වා එල්ල කරන ලද මිලිටරි ප‍්‍රහාරයන්ගෙන් උන්හිටිතැන් සහ පි‍්‍රයයන් අහිමි වූ තුන් ලක්ෂයක් දෙමල ජනයා දැඩි මිලිටරි පාලිත කඳවුරු වලට බලහත්කාරයෙන් ගාල් කොට, නීති විරෝධී ලෙස ඔවුන් රඳවාගෙන සිටි රාජපක්ෂ තම කතාවේදී කියා සිටියේ "ත‍්‍රස්ත හමුදාවන් විසින් කොටු කර ගෙන සිටි ලොව විශාලතම ප‍්‍රාන ඇපකරුවන් සංඛ්‍යාව නිදහස් කර ගත්” බවයි.

තම "ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” මහිමය ගැන තවදුරටත් කතා කරමින් ඔහු පැවසුවේ උතුරු නැගෙනහිර පලාත් වල ආන්ඩුවට විරුද්ධ දේශපාලනයේ පවා නිදහසේ යෙදිය හැකි බවයි. රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විපරීතව උතුරු සහ නැගෙනහිර ජනයාට එදිනෙදා ජීවත් වීමට සිදුව ඇත්තේ දහස් සංඛ්‍යාත හමුදා සෙබලුන්ගෙන් වට කරන ලද දැඩි මිලිටරි පාලනයක් යටතේය.

රාජපක්ෂ මෙසේ තම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පාරම්බෑ දිනයේම, මෙම නිදහසේ පරිමාව උතුරේ ජනයා අත් දුටහ. අවසන් යුද්ධයේදී මියගිය තම ඥාතීන් හා හිතවතුන් සැමරීම සඳහා මන්නාරම නගරයට එක් වූ දෙමල වැසියන් කන්ඩායමක් එයින් වලකන ලද්දේ මිලිටරියේ සහ පොලීසියේ සන්නද්ධ බල ඇනි යොදා ගනිමිනි. එහි දී පහලොස් දෙනෙකු අත් අඩංගුවට ගැනුනු අතර ඔවුන් ඇප මත මුදා හැරුනේ පසු දින මධ්‍යම රාති‍්‍රයේය.

මේ සම්බන්ධයෙන් වන්නි ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මාධ්‍යයට ප‍්‍රකාශ කලේ එල්ටීටීඊය වෙනුවෙන් සටන් කොට මිය ගියවුන් ත‍්‍රස්තවාදීන් බැවින් ඔවුන් සැමරීමේ අයිතියක් නොමැති බවයි. "රටකට ඇත්තේ එක් හමුදාවක් පමනයි. ඕනෑම පුරවැසියෙකුට තම පි‍්‍රයයන් සැමරීමේ අයිතිය තියෙනවා. නමුත් ආන්ඩුවට විරුද්ධ ත‍්‍රස්තවාදීන් සමරන්න කාටවත් අයිතියක් නෑ” යයි පෙරේරා ආඥා පැනවීය.

යුද්ධය නිමාවී සිව් වසරක් ගත වුවද, උතුරු හා නැගෙනහිර පලාත්හි ස්ථාපිත කෙරුනු "අධි ආරක්ෂිත කලාප” වලට අත්පත් කර ගැනුනු දෙමල ජනයාට හිමි අක්කර දහස් ගනනක ඉඩම් මෙතෙකුදු පරිහරනය කරනුයේ ආරක්ෂක හමුදාවන් විසින් වන අතර උතුරේ ජනයා භුක්ති විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ රාජපක්ෂ කතා කරන්නේ යුද්ධයට පෙර තමා ජීවත් වූ ප‍්‍රදේශයේ යලි ජීවත්වීමට ඇති අයිතිය එම ජනයාගෙන් මුලුමනින්ම උදුරා ගෙන ඇති තතු තුලය.

වර්ගවාදී යුද්ධයේදී මිය ගිය හා අත් පා අහිමි වූ දසදහස් සංඛ්‍යාත හමුදා භටයන් ගැන රාජපක්ෂගේ හිස් ප‍්‍රකාශය වූයේ තම තන්ත‍්‍රය විසින් ඔවුන් "වීරත්වයට” නංවා ඇති බවයි. 1948 ඊනියා නිදහසේ සිට, ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තිය විසින් කම්කරු පන්තිය බෙදා වෙන් කිරීම සඳහා කි‍්‍රයාත්මක කල වාර්ගික දේශපාලනයේ කුලු ගැන්වීම වන වර්ගවාදී යුද්ධයේ දී එහි වෙඩි උන්ඩ ලෙස යොදා ගත් ගම්බද දුගී තරුනයන්ට සහ එම පවුල් වලට අත් කර දී ඇති ඉරනම, රාජපක්ෂ තන්ත‍්‍රය ද ඇතුලු මෙතෙක් පැවති පාලක තන්ත‍්‍රයන් ද සමස්ත පාලක පන්තිය ද සිදු කල අපරාධයන් පිලිබඳ එක් සාක්ෂියක් පමනි. මෙම ලේ වැකි කෲරත්වයට මූලික වශයෙන් වගකිවයුතු වන්නේ එකී පාලක පන්තිය වන නමුදු රාජපක්ෂ තම කතාව පුරා එහි මූලික වගකීම එල්ටීටීඊය මත පැටවීමට උත්සාහ ගත්තේය.

කොලඹ සහ බෙයිජින් අතර වැඩෙන සබඳතා පිලිබඳ නොරුස්ව ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් රාජපක්ෂ තන්ත‍්‍රය එල්ල කරන යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ චෝදනා දඩමීමා කර ගනිමින්, ඊනියා දේශපේ‍්‍රමය අවුලවා මහජන විරෝධය වෙනතක හැරවීම සඳහා, කතාවේ සුවිසල් පදාසයක් "මෘතෘ භූමිය පාලනය කිරීම සඳහා උත්සාහ දරන විදේශීය බලයන්”ට එරෙහි පූච්චානම් සඳහා යොදා ගත්තේය.

ඔහු මෙසේ පැවසීය: "විදේශීය බලයන් සහ පීඩනයන්, විදේශීය ආක‍්‍රමනයන් අපට අලුත් දේ නොවෙයි. මෙම මහා මානුෂීය ජයග‍්‍රහනයෙන් පසු ගතවූ සිව් අවුරුද්ද පුරා අපේ මාතෘ භුමිය පාලනය කිරීම සඳහා මෙම බලයන් බොහෝ උපායන් හරහා උත්සාහ කර තිබෙනවා. අරාබි වසන්තය, ගී‍්‍රස් යකා, අධිකරනයේ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් මේවාට ඇතුලත්.”

සෑම හය මසකට වරක් පාහේ මෙම චෝදනා වලට පිලිතූරු බැඳිය යුතු තත්වයකට තම තන්ත‍්‍රය පත් කිරීමේ උත්සාහයන් මේ අතරේ තිබූ බවත් ඒවා යටින් සැඟව පැවතුනේ රට කඩා බිඳ දැමීමේ බලාපොරොත්තු බවත් සඳහන් කල රාජපක්ෂ මෙසේද පැවසුවේය: "පසුගිය සිව් වසර පුරා අපට මෙම බලයන් සමග අරගල කරන්න සිදු වුනා. එය අනාගතයෙත් එහෙම වෙයි. ඔබ ජීවිතය පරදුවට තබා රැකගත් මේ භූමියේ එක අඟලක් හෝ අයත් කර ගන්න ඉඩ දෙන්නෙ නෑ. රට බෙදීමට කිසිම ඉඩක් නෑ.”

ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමිත්වයක් මෙලෙස ඇවිස්සීමට රාජපක්ෂ කි‍්‍රයා කලේ එබඳු වර්ගවාදී, ආගම්වාදී උන්මත්තක බලවේගයන්ට උඩ ගෙඩි දෙමිනි. ජනතා විමුක්ති පෙරමුන, ජාතික හෙල උරුමය බඳු වර්ගවාදී පක්ෂවලට අමතරව බොදුබල සේනා හා සිහල රාවය වැනි ෆැසිස්ට් පන්නයේ සංවිධාන ද දැන් ඔලූව උස්සා ඇත්තේ රාජපක්ෂ හා ඔහුගේ පරවේනිය අවුස්සන මේ "දේශපේ‍්‍රමයට” මුවා වී ගෙන ය.

උපතේ සිට අධිරාජ්‍යවාදය ඉදිරියේ දනින් වැටුනු ඉතිහාසයකට උරුමකම් කියන ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තියේ බෙලහීනත්වය ප‍්‍රදර්ශනය කරමින්, තම තන්ත‍්‍රයට "එරෙහි” බලයන් කවුරුන්දැයි නම් කිරීමෙන් පවා රාජපක්ෂ වැලකුනි. රාජපක්ෂ තන්ත‍්‍රයට උපරිම පීඩනය යොදන්නේ ඇමරිකා එක්සත් ජනපදය බවත් එම පීඩනය යටින් පවත්නා දේශපාලනික ප‍්‍රශ්න කවරේද යන්නත් රාජපක්ෂ හොඳින් දනී. ඔහුගේ චන්ඩි කතා වලට පිටුපසින් එක්සත් ජනපදය සමග සමීප සබඳතා ගොඩ නගා ගැනීමට ඇති තම සූදානම දැනටමත් පෙන්වා ඇත්තේ එබැවිනි.

මෙය තහවුරු කරමින් එක්සත් ජනපදයේ ශී‍්‍ර ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය පසුගියදා ප‍්‍රකාශකලේ "ඉදිරි දශකයන් තුල ශී‍්‍ර ලංකාව එක්සත් ජනපදයේ බලගතු භූ දේශපාලනික හා මූලෝපායික සගයකූ ලෙස” කි‍්‍රයාත්මක වන බවයි.

රාජපක්ෂගේ කතාවේ තවත් ප‍්‍රධාන අංග ලක්ෂනයක් වන්නේ මහජනතාව මුහුන දෙමින් සිටින දැවැන්ත ජීවන බර සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීමයි. කෙසේ නමුදු, යුද්ධය නැවත ආරම්භ කොට එහි දැවැන්ත වියදම මහජනතාව වෙත පටවද්දී එයට එරෙහිව අරගලයට පැමිනි කම්කරුවන්ට හා අවශේෂ පීඩිතයන්ට රාජපක්ෂ කියා සිටියේ යුද්ධය අවසන් කොට "සමෘද්ධිය” උදා කර දෙන බවයි.

යුද්ධය අවසන් වී සිව් වසරක් ගත වී ඇති තැන, "සමෘද්ධිය” කෙසේ වෙතත් මහජනතාවගේ ජීවන බර දෙගුන තෙගුන වී ඇති අතර ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහර පිට පහර එල්ල කෙරෙමින් පවතී.

2008 න් ඇරැඹි ලෝක මූල්‍ය අර්බුදයෙන් ද දැවැන්ත යුද වියදම් බරින් ද මිරිකී සිටින රාජපක්ෂ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බල කර සිටින්නේ මෙම වසර අවසන් වන විට අය-වැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 5.6 දක්වා පහත හෙලන ලෙස හා පාඩු ලබන රජයේ ආයතනයන් "ප‍්‍රතිව්‍යූහකරනය කොට” දහස් ගනනක් රැකියාවලින් නෙරපා දමන ලෙසයි. විදුලි බිල දැවැන්ත ලෙස ඉහල දැමුනේ ද මෙම පසුබිම යටතේය.

නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වම්මුන්ගේ ද, යුද්ධයේ ප‍්‍රධාන උද්ඝෝෂකයකු වූ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ ද, වෘත්තීය සමිති නිලධරයේ ද සහයෝගයෙන් යටපත් කරගෙන සිටි පන්ති අරගලය දැන් පුපුරා එමින් පවතින බැව් රාජපක්ෂ දනී. යුද සමයේ සවිමත් කර ගත් පොලිස් යන්ත‍්‍රය යොදා ගනිමින් පුපුරා එන කවර අරගලයක් හෝ මර්දනය කිරීම ඔහුගේ පිලිවෙත වී ඇත.

උසුලනු නොහැකි ජීවන බරට එරෙහිව හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව බහුතරයක් කම්කරුවන්ට තිබියේ වුවද විදුලි බල ගාස්තු වැඩි කිරීමට එරෙහිව මැයි 21 දා පැවති වර්ජනයට සහභාගි වූ සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියේ වර්ජනය කැඳවූ පක්ෂ හා වෘත්තීය සමිති සම්බන්ධයෙන් කම්කරුවන්ගේ විශ්වාසය බිඳ වැටී ඇති බැවිනි.

මේ තතු තුල කම්කරුවන් රඳවා තබා ගැනීමට තව දුරටත් වෘත්තීය සමිති යොදා ගත නොහැකි බැව් දන්නා ආන්ඩුව වඩ වඩාත් වේගයෙන් පොලිස් ක‍්‍රමවේදයන් භාවිතා කරමින් පොලිස් රාජ්‍යයක් දෙසට පියවර තබමින් සිටී. හමුදා සංදර්ශනය මගින් ප‍්‍රකාශයට පත් කෙරුනේ ද වර්ධනය කෙරෙමින් පවතින පොලිස් රාජ්‍යයේ ස්වභාවයයි.

මීට සමගාමීව, ඊනියා අධිරාජ්‍ය විරෝධය සහ දේශපේ‍්‍රමය යහමින් යොදා ගනිමින් මහජන විරෝධය වෙනතක හැරවීමට ද ෆැසිස්ට් පන්නයේ බලවේගයන් ප‍්‍රකුපිත කරමින් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව යොදා ගැනීමට ද රාජපක්ෂ ආන්ඩුව යත්න දරයි. රාජපක්ෂගේ ජය සැමරුම් කතාව යටින් දිවෙන්නේ මෙම ප‍්‍රයත්න යි.

Share this article: