චීන කොමියුනිස්ට් පක්ෂ පුන්සැසිය “විවෘත වෙලඳපොල” සැලැස්ම එලිදැක්වීමට නියමිත ය

Chinese Communist Party plenum to unveil “free market” blueprint

ජෝන් චෑන් විසිනි, 2013 නොවැම්බර් 08

චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) 18වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පුන්සැසිය නොවැම්බර් 9දා බීජීනයේ දී ආරම්භ වෙයි. චීන තන්ත්‍රය හා ගෝලීය මූල්‍ය මාධ්‍ය විසින් මෙය ප්‍රචාරනය කරනු ලැබ ඇත්තේ, චීන කම්කරු පන්තියට දැවන්ත ගම්‍යයන් සහිත විවෘත වෙලඳපොල ප්‍රතිව්‍යුහකරනයේ නව වටයක් පිලිබඳව ජනාධිපති ෂී ජින්පින්ග් හා අගමැති ලී කෙකින්ගේ නිල නිවේදනයක් ලෙස ය.

සීසීපීහි හත් පුද්ගල ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු වන යූ ෂෙන්ග්ෂෙන්ග් පසු ගිය මාසයේ සමුලුවක දී ප්‍රකාශ කලේ “මෙම ප්‍රතිසංස්කරන වටය එහි විෂය පථය හා තීව්‍රතාව සම්බන්ධයෙන් ගත් විට පෙර නො වූ එකක් වනු ඇත” යනුවෙනි.

පසු ගිය අවුරුදු 35 තිස්සේ සෑම නව මධ්‍යම කාරක සභාවක ම “තුන්වැනි පුන්සැසිය” චීනය තුල ධනවාදය පුනස්ථාපන ක්‍රියාදාමයේ සන්ධිස්ථානයක් වී ඇත. සීසීපීයේ 11වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පුන්සැසිය පෙන්නුම් කලේ 1978දී ඩෙන්ග් ෂියාඕපින්ග් බලයට පැමිනීම යි. සාමූහික කෘෂිකර්මය විසුරුවා හැරීමට හා පලමු ලාභ ශ්‍රම “විශේෂ ආර්ථික කලාප” ස්ථාපිත කිරීමට “ප්‍රතිසංස්කරනයේ හා විවෘත කිරීමේ” වැඩසටහන ආරම්භ කලේ ඔහු ය.

1984දී, 12වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පුන්සැසිය වෙලඳපොල ප්‍රතිසංස්කරන නාගරික රාජ්‍ය ව්‍යවසායන් දක්වා දීර්ග කලේ ය. 1988දී, 13වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පුන්සැසිය නාගරික ප්‍රදේශවල මිල හා වැටුප් “ප්‍රතිසංස්කරන” පැටවී ය. මෙය ටියනන්මෙන් චතුරශ්‍රයේ සංහාරයෙන් කුලු ගැන්වුනු, 1989 කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාතික මට්ටමේ නැගිටීම ගිනි දැල්වී ය.

එකී කැලඹුම හා 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ඩෙන්ග් සමස්ත පක්ෂයත් රාජ්‍ය නිලධාරී තන්ත්‍රයත්, චීනය ලෝකයේ අඩු-වැටුප් වේදිකාව බවට පරිවර්තනය කිරීම දෙසට හැරවූ අතර මිලියන ගනනාවක් කම්කරුවන් දොට්ට දැමුනු දැවන්ත පුද්ගලීකරන රැල්ලක් ආරම්භ කලේ ය. එම න්‍යායපත්‍රය නිවේදනය කරන ලද්දේ 1993දී පැවති 14වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පුන්සැසිය තුල දී ය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් අනුව, හිටපු ජනාධිපති හූ ජින්ටාඕ යටතේ පැවති 2003 තුන්වැනි පුන්සැසිය, “ඔහුගේ පාලනාධිකාරියේ අඩුපාඩු පිලිබඳ සලකුනක් විය.” එනම් එය රීතියට වෙනස් ව යාමක් පිලිබඳ දෙයක් විය. චීනය අංක දෙකේ වර්ධන අනුපාතයන් කරා නංවමින්, වේගයෙන් බටහිරට ව්‍යාප්තවන අපනයන ප්‍රවර්ධනයේ වෙලඳපොල ගැති ක්‍රියාදාමය ආක්‍රමනික ලෙස ක්‍රියාත්මක විය. බැංකුකරනය හා බලශක්ති වැනි අංශවල ආරක්ෂිත තත්වය නිසා චීනයේ ඉතුරු රාජ්‍ය ව්‍යවසායන් ලෝකයේ ඉතාමත් ලාභදායි ව්‍යාපාරවලින් කීපයක් බවට පත්වුනි. චීනයෙන් දැවන්ත ලාභ උපයමින් සිටි ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ආර්ථිකය තව දුරටත් විවෘත කිරීම සඳහා යොදන පීඩනය ලිහිල් කලේ ය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය හා දිගට ඇදෙන ලෝක පසුබෑම, පසු ගිය වසර පුරා චීන ආර්ථිකයට දැවැන්ත ලෙස බල පා ඇත. බීජීනය මංමුලා සහගතව උත්සාහ කරමින් සිටින්නේ විදේශ ආයෝජන වැඩිකිරීම මගින් දැනට වාර්ෂිකව සියයට 7.5ක් වන ආර්ථික වර්ධනය ඉහල දැමීමට ය. එය කල හැකි වන්නේ ප්‍රතිව්‍යුහකරනයේ නව වටයක් හරහා පමනක් වන අතර එය කම්කරු පන්තියේ ජීවන තත්වයන් පහල දැමීම යලි පටන් ගත යුතු ය.

පසු ගිය වසරේ 18වැනි චීන කොප සම්මේලනයේ දී අගමැති ලී පදවිප්‍රාප්ත කලේ මෙම කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමට ය. ඔහු චීනයේ ප්‍රමුඛ නව-ලිබරල් අර්ථශාස්ත්‍රඥයෙකු වන ලී යිනින්ග් ගේ ශිෂ්‍යයකු වන අතර ඔහු සමග The Strategic Choice To Prosperity( සෞභාග්‍ය සඳහා මූලෝපායාත්මක තේරීම) නම් පොතේ සමකතෘත්වය දැරූ අතර 1990 ගනන් වල රාජ්‍ය ව්‍යවසාය ඒකාබද්ධ කොටස් සමාගම් බවට පරිවර්තනය කිරීමට න්‍යායපත්‍රයක් සකස් කලේය. 2012 පෙබරවාරියේ දී මෙම ව්‍යාපෘතිය සාරාංශ කර දැක්වීමට රාජ්‍ය මන්ඩල සංවර්ධන අධ්‍යයන කේන්ද්‍රය ලෝක බැංකුව සමග හවුල් වි, චීනය 2030 නම් ඒකාබද්ධ වාර්තාව සැකසීය.

පසු ගිය සතියේ එම විශේෂඥ බුද්ධි මන්ඩලය ම “383 ව්‍යාපෘතිය” නමින් වඩා සංයුක්ත සැලැසුම් නිකුත් කලේ ය. බැංකු නයදීම, කාර්මික නිමවුම හා ඉඩම් පරිහරනය ඇතුලු කාරනාවල දී ආන්ඩුවේ මැදිහත්වීම අඩුකිරීම ද, ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් මූල්‍ය හා බදුකරන ප්‍රතිපත්ති හරහා හැඩගැස්වීම ද මෙම වාර්තාව යෝජනා කලේ ය. එහි යෝජනාවන් මෙසේ ය:

* “දේශීය තරඟකාරිත්වය දිරිමත් කිරීම සඳහා තරඟකාරි ආයෝජකයන් හා ව්‍යාපාරිකයන්” ආකර්ෂනය කර ගැනීමට බලශක්ති හා විදුලි සන්නිවේදනය අංශ වැනි මූලික කර්මාන්ත විදේශ ආයෝජනයන්ට විවෘත වනු ඇත. තෙල් හා ගෑස් ආනයන නීති ඉවත් කෙරෙනු ඇත. ඒ අනුව ආන්ඩුව තවදුරටත් ඉන්ධන මිල ගනන් නියම නොකරනු ඇත. ඒවායේ නලමාර්ග මෙහෙයුම් නව සංගතවලට පවරමින් ප්‍රධාන රාජ්‍ය බලශක්ති සමාගම් විසුරුවනු ලබන්නේ ය. බලශක්ති සැපයීම ඍජු ලෙස මිල දී ගැනීමට, විශාල වානීජ ගනුදෙනුකරුවන්ට ඉඩ දෙන අතර වෙලඳපොල මගින් මිල ගනන් නීර්නය කෙරෙනු ඇත. විදුලි සන්නිවේදන ප්‍රතිව්‍යුහකරනයේ තවත් වටයක් යටතේ, එකිනෙක අතර තරඟකිරීමට රාජ්‍ය ඒකාධිකාරයන් වඩා කුඩා සමාගම්වලට කඩනු ඇත.

*මූල්‍ය ක්ෂේත්‍රයේ දී මූල්‍ය ආයතනවල ආන්ඩුවේ කොටස් සැලකිය යුතු ලෙස අඩු කරනු ඇත. රාජ්‍යයේ හිමිකම ජාත්‍යන්තරව පිලිගත් කොටස් හිමිකමට අනුකූලව වෙනස් කරනු ලැබීමත් සමග එය සිදුවෙයි. මූල්‍ය ආයතන සඳහා බංකොලොත්කම පිලිබඳ යාන්ත්‍රනයක් ස්ථාපිත කරනු පිනිස තැන්පතු රක්ෂන ක්‍රමයක් නිර්මානය කෙරෙනු ඇත. එහි එල්ලය වන්නේ ඇතම් කලාපයන්හි චීන යුආන් මුදල ජාත්‍යන්තර හුවමාරු මුදලක් බවට පත් කිරීම හා දශකයක් ඇතුලත ජාත්‍යන්තර සංචිත මුදලක් බවට එය පත් කිරීම ය.

* විශාලත ම රාජ්‍ය සමාගම් 100 හෝ වැඩි ප්‍රමානයක් අධීක්ෂනය කරන රාජ්‍ය වත්කම් පරිපාලන කොමිසම ලී විසින් ප්‍රධානත්වය ගැනෙන රාජ්‍ය කවුන්සිලයකට විශේෂයෙන් ම ඍජුව වගකිවයුතු වන්නේ ය. රාජ්‍ය වත්කම් හා නය වගුවක් රාජ්‍ය වත්කම් හා රාජ්‍ය බදු ආදායම් ඒකාබද්ධ කරනු ඇති අතර ආන්ඩුවේ අයවැයට රාජ්‍ය වත්කම්වලින් මුදල් සැපයීමට ඉඩ ලබා දෙයි.

* විශාල කප්පාදු පිලිබඳ අනතුරු හඟවන පියවරක් තුල, ඉඩම් විකිනීම වැනි බදු නොවන ඉපයීම මගින් ආදායම් නැංවීමේ පලාත් පාලන ආයතනවල හැකියාව සීමා කරන, වඩාත් මධ්‍යගත බදුකරන පද්ධතියක් පිහිටුවනු ඇත. පරිභෝජන බදු ප්‍රධාන නව ආදායම් මාර්ගයක් වනු ඇත. ව්‍යාපාර වෙතින් බදු බර, කම්කරු පන්තිය මතට මාරු කරනු ලැබේ.

* ඉඩම් ප්‍රතිසංස්කරනයේ කොටසක් ලෙස රජය සතු ඉඩම්, වත්කම් සමාගම් බවට පත් කෙරෙන අතර ඉඩම් විකිනීමේ දී පලාත් පාලන ආයතනවල භූමිකාව එය විසින් බාරගනු ඇත. මධ්‍යම ආන්ඩුව ආදායම් පාලනය කරනු ඇත. සාමූහිකව අයිති ඉඩම්වල භුක්තිය විකිනීමේ අයිතිය ඉඩම් ප්‍රතිසංස්කරන යටතේ ගොවීන්ට ලබා දෙනු ඇත. කොටසක් ආන්ඩුවෙන් අරමුදල් සැපයෙන සමාජ ආරක්ෂන ක්‍රමයක් මගින් තම ඉඩම් අහිමිවන ගොවීන් ආවරන කෙරෙනු ඇතැ යි බලාපොරොත්තු වේ.

* මිලියන සිය ගනනක් අභ්‍යන්තර සංක්‍රමනික කම්කරුවන්ට නාගරික ශ්‍රමබලකායට ඒකාබද්ධවීමට අවසර දෙමින් ජාතික සමාජ රක්ෂන යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරනු ඇත. වර්තමානයේ දී ඔවුන්ගේ කුට්ම්භ ලියාපදිංචිය හා ඒකාබද්ධ සමාජ සේවාවන් සම්බන්ධ කරනු ලබන්නේ ඔවුන්ගේ ගම් ප්‍රදේශයට මිස ඔවුන් වැඩ කරන ස්ථානයට නො වේ. එහි අරමුන කම්කරුවන් ආරක්ෂා කිරීම නොව මූල්‍ය ආයතන සඳහා ජාතික සෞඛ්‍යාරක්ෂන හා විශ්‍රාම රක්ෂන වෙලඳපොලක් නිර්මානය කිරීම ය. මේ යටතේ, මේ වන විටත් පහල මට්ටමක පවතින කම්කරුවන්ගේ වැටුප්වලින් අඩුකිරීම හරහා සිය “රැකවරනය” සඳහා මුදල් යෙදීමට කම්කරුවන්ට සිදුවනු ඇත.

සෞඛ්‍යාරක්ෂනය මේ වන විටත් සමාජ ආතතීන්ගේ ප්‍රධාන මූලාශ්‍රයකි. පසු ගිය වසරේ ඉකොනොමිස්ට්/em> සඟරාවට අනුව, සමස්ත සෞඛය පිරිවැයෙන් චීන රෝගීන් දරනු ලැබන පංගුව, 1978දී සියයට 20 සිට 2001දී ඉතා ආසන්න ලෙස සියයට 60ට දක්වා ඉහල ගියේ කම්කරුවන් සඳහා වූ සහනාධාර සෞඛ්‍ය රැකවරන තුරන්කරමින් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමත් සමග අත්වැල් බැඳගෙනය. 2006 වසරේදී බීජිනයට විශේෂයෙන්ම ගම්බද දුගීන් කෝටි ගනනක් ආවරනය කරන මූලික සෞඛ්‍ය රක්ෂන ක්‍රමයක් හඳුන්වා දීමට බල කෙරුනි. කෙසේ නමුත්, ලාන්සට් නම් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව 2012 කල අධ්‍යයනයකට අනුව, මෙම රක්ෂනයෙන් ආවරනය කෙරුනු රෝගීන් තවමත්, බාහිර රෝගීන්ගේ වියදමින් සියයට 60 -70 දක්වා බර දරන අතර නේවාසික රෝගීන්ගේ වියදමින් භාගයක බර දරයි. ඉකොනොමිස්ට් සඟරාව ම පෙන්වා දුන් පරිදි චීනයේ ආරෝග්‍යශාලාවල ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ ඖෂධ විකිනීමෙනි. අන්ඩුවේ ඍජු අරමුදල් සැපයී ම සියයට 10කටත් අඩු ය. නය ප්‍රතිසංස්කරන යටතේ මෙම ක්‍රමය තව දුරටත් පිරිහෙනු ඇත.

පොහොසතුන් හා දුප්පතුන් අතර සමාජ බෙදීම දිගට ම පුලුල් වනු ඇත. බදු ප්‍රතිසංස්කරන හේතුවෙන් පලාත්පාලන ආයතනවලට මහජන වියදම් කැපීමට සිදුව තිබීමත් සමග ඉඩම් ප්‍රතිසංස්කරන මගින් අවතැන් වූ හා නව ලාභ ශ්‍රම බලකායක් ලෙස නගරවලට තල්ලුවුනු මිලියන ගනනාවක් සංක්‍රමනික කම්කරුවන්ට මෙම තත්වය ඔරොත්තු නොදෙනු ඇත.

රාජ්‍ය ව්‍යවසායන්ට බැඳුනු නිලධරයේ කන්ඩායම් පසු පසට වැටීම නිසා තන්ත්‍රය තුල තියුනු දේශපාලන බෙදීම් පැනැඟිය හැකිය. පුලුල් සැලැසුම්වලට එරෙහිව, “මුල් බැසගෙන ඇති වරප්‍රසාදිත” කොටස් වලින් එන “දේශපාලන විරෝධයකට” බටහිර විස්තර ප්‍රචාරකයෝ ඇඟිල්ල දිගු කරති. චීන විශේෂඥ බුද්ධි මන්ඩලයක ආරාධනය පරිදි ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාකරුවෙකු වන ගිඩිඔන් රැක්මන් පසු ගිය සතියේ ලී මුන ගැසුනු අතර ඔහු මෙසේ සඳහන් කලේ ය: “මා බීජීනයෙන් පිටත් වුනේ ෂී ගේ වැඩසටහන පිලිබඳ යම් සැකයකින් යුතුව ය.”

සිය වරප්‍රසාදිත තත්වය අනතුරට පත්විය හැකි රාජ්‍ය නිලධරයේ කන්ඩායම් සන්සුන් කිරීමට, කිසි ම ප්‍රධාන දූෂනයක් සිදු කර නැති නිලධාරීන්ට ත්‍යාග පිරිනැමීමට විශ්‍රාමික අරමුදලක් පිහිටුවනු ඇත.

Share this article: