කියුබාව ද්විත්ව මුදල් ක්‍රමය අවසන් කිරීමට නියමිත ය

Cuba to eliminate dual-currency system

ඇලෙක්සැන්ඩර් ෆැන්ග්මන් විසිනි, 2013 නොවැම්බර් 16

කියුබානු පෙසෝ මුදල හා ඩොලරයට ගැටගැසූ පරිවර්තනීය පෙසෝ මුදල ඒකාබද්ධ කිරීම සමාජ වැඩසටහන් විසුරුවා හැරීම හා ආර්ථිකයේ සියලු කොටස් ලෝක වෙලඳපොලට යලි ඒකාබද්ධ කිරීමේ ක්‍රියාදාමයේ කොටසකි.

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ග්‍රැමා හි ඔක්තෝබර් 22දා පල කල ප්‍රකාශයක් සඳහන් කලේ, කියුබානු ආන්ඩුව වර්තමාන ද්විත්ව මුදල් ක්‍රමය අත් හැර දමන හා "මූදල්‍මය ඒකාබද්ධතාව දෙසට” ගමන් කරන සැලැසුම් අනුමත කර ඇති බව යි. අසමානතාව දිරිමත් කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය කියුබානුවන්ගේ පුලුල් අප්‍රසාදයට ලක් වුන වර්තමාන ක්‍රමය අහෝසි කෙරෙන්නේ, අඩු වැටුප් කියුබානු ශ්‍රමයේ වාසිය ගත හැකි අපනයන මුල්කරගත් ආර්ථික අංශයක වර්ධනය දිරිමත් කිරීම හා රාජ්‍ය ව්‍යවසායන් දැවන්ත පරිමානයෙන් වසා දැමීමට ආධාර වන ලෙසිනි.

වර්තමාන කියුබාවේ නීත්‍යානුකූල මුදල් වර්ග දෙකක් ඇත. එනම් කියුබානු පෙසෝ ව (කිපෙ) හා පරිවර්තනීය පෙසෝ (පපෙ) වයි. පපෙ මුදල එක්සත් ජනපද ඩොලරයේ වටිනාකමට ගැටගසා ඇත. එය ඉඳුරාම ක්‍රියාකරන්නේ ආදේශකයක් ලෙස ය. නිල මුදල් හුවමාරුපොලවල දී පපෙ එකක් සඳහා කිපෙ 25ක හෝ කිපෙ24ක් සඳහා පපෙ එකක ස්ථාවර අනුපාතයකට පුද්ගලයන්ට පපෙ සමග කිපෙ හුවමාරු කල හැක.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, ආනයනය සඳහා අවශ්‍ය මුදල් රැස් කර ගැනීම සඳහා කස්ත්‍රෝ තන්ත්‍රය එක්සත් ජනපද ඩොලරය සන්තකයේ තබාගැනීම හා පාවිච්චිය —විශේෂයෙන් ම සංචාරක ව්‍යාපාරය සඳහා— නීත්‍යානුකූල කලේ ය. 2004දී ආන්ඩුව ඩොලර් සංසරනය අවසන් කලේ, සංචාරකයන් විසින් පපෙ පාවිච්චි කරනු ලැබීම ප්‍රවර්ධනය කිරීමට හා හුවමාරුවේ දී සියයට 10ක අධිභාරයක් අය කර ගැනීමට හැකි නිසාය.

කියුබානුවන්ගේ අති බහුතරය ඔවුන්ගේ වැටුප් කිපෙ මුදලින් ලැබුවත්—මසකට පෙසෝ 500ක (එක්සත් ජනපද ඩොලර් 20ක් පමන) සාමාන්‍යයක් — සංචාරක කර්මාන්තයට සම්බන්ධ අය සන්තෝසම් හෝ කොටසක් පපෙ වලින් ගෙවන වැටුප් මගින් හෝ වඩා වැඩියෙන් ඉපයීමට සමත් වෙති. පුහුනු වෛද්‍යවරුන් හා අනෙකුත් වෘත්තිකයන් ටැක්සි පැදවීම හා හෝටල් කාමර පිරිසිදු කිරීම වෙනුවෙන් ඔවුන්ගේ රැකියා අතහැරීම වැනි පුලුල් ව වාර්තාවන ප්‍රපංචයක් තුල මෙහි ප්‍රතිඵලය දැකිය හැක. පපෙ මුදලේ අනෙක් සැලකිය යුතු මූලාශ්‍රය වන්නේ විදේශ රටවල ජීවත්වන ඥාතීන් විසින් එවනු ලබන ප්‍රේෂන යි.

ඩොලරයේ හා හුවමාරු කල හැකි පෙසෝවේ පැමිනීම "ඩොලර් සාප්පු” හඳුන්වාදීම සමග අත්වැල් බැඳ ගැනුනි. මෙහි දී ඩොලර් ලබා ගත හැකි අයට සුඛෝපභෝගී භාන්ඩ මෙන් ම සම්මත වෙලඳසැල්වල නොමති ආනයන භාන්ඩ ද මිල දී ගත හැක. කියුබානුවන්ට මෙම සාප්පුවලින් මිල දී ගැනීමට තිබූ බාධා ඉවත් කිරීමෙන් පසු- අවශ්‍යතාවයට ගැලපෙන සේ - සම්ප්‍රදායානුකූල වෙලඳසැල්වල නැති, ඒවායේ පමනක් ඇති, සමහර මූලික භාන්ඩ සෙවීම වැඩිවැඩියෙන් සුලභ දෙයක් වී ඇත.

මාගරිටා නීව්ස් නම් කියුබානු කාන්තාවක් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, "ඔබට ගෙවනු ලබන්නේ එක මුදලකින්, නමුත් ජීවත්වීම සඳහා ඔබට වෙනත් මුදලකින් ගෙවීමට සිදුවීම මුලුමනින් ම විකාරයකි” යනුවෙනි.

කියුබානු ද්විත්ව මුදල් ක්‍රමයේ විශේෂත්වයක් වන්නේ, පුද්ගලයින් සඳහා මුදල් හුවමාරු අනුපාතය පපෙ එකක් කිපෙ 25 වන අතර, රජයට අයිති ව්‍යාපාරවල අභ්‍යන්තර ගිනුම් කටයුතු සඳහා ආන්ඩුව 1ට 1ක අනුපාතයක් පවත්වාගෙන ගොස් තිබීම යි. රජයට අයිති ව්‍යාපාර සඳහා ආනයනය බොහෝ ලාභ කිරීමේ ශක්තිය මෙයට තිබී ඇත. පහල ඵලදායිත්වය නිසා ලෝක වෙලඳපොල තුල තරඟ කිරීමට නොහැකිවීම හේතුවෙන් ආකාර්යක්ෂම රාජ්‍ය ව්‍යාපාර සඳහා එහි අර්ථය වන්නේ සංචාරක, කෘෂිකර්ම හා වෛද්‍ය/ඖෂධීය වැනි එක්සත් ජනපද ඩොලර් උපයන අංශ විසින් ඒවාට සහනාධාර සපයා ඇති බව යි.

ග්‍රැමා පුවත්පතෙහි ප්‍රකාශය සඳහන් කරන පරිදි, මුදල් ප්‍රතිසංස්කරනයේ ප්‍රධාන අරමුනුවලින් එකක් වනුයේ, "කාර්යක්ෂමතාවේ වර්ධනයක්, ආර්ථික කරුනු පිලිබඳ මිනුම වැඩි දියුනු කිරීම හා අපනයනය සහ ආනයන ආදේශය සඳහා භාන්ඩ හා සේවා නිපදවන අංශ ප්‍රවර්ධනය සඳහා කොන්දේසි” නිර්මානය කිරීම ය. හුවමාරු අනුපාත හරහා තවදුරටත් ආනයන සහනාධාර නොලැබීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් විශාල වශයෙන් වසාදැමීම හා විරැකියාවේ වැඩිවීමකි.

දැන් කිපෙ මුදලින් මිල කෙරෙන හා ලාභ ආනයන වලින් සහන සැපයෙන භාන්ඩ අතුරුදහන් වන විට, ඉදිරි මාස කීපය තුල දී ආර්ථිකය මුලුල්ලෙහි ම වර්තමානයේ දී පපෙ මුදලින් මිල කෙරෙන අයිතම කිපෙ මුදලින් නැවත මිල කෙරෙනු ඇත.

සෞඛ්‍ය රැකවරනය වැනි සමාජ සේවාවන්ට පවා ආනයනයන් මගින් සහන සැපයෙන විට දී මෙයට ආර්ථිකය පුරාම ප්‍රගාඪ බලපෑම් එල්ල වෙනු ඇත. කියුබානු ආර්ථිකය පිලිබඳ අධ්‍යයන ආයතනයේ හිටපු සභාපති රෆායල් රොමේ, කිසියම් හදිසි මූලික වෙනසක් පිලිබඳව දෙගිඩියාව ප්‍රකාශ කරමින් මෙසේ පැවසුවේ ය: "සිය අයවැය බාධාවන්ට ඔවුන් මූලික වශයෙන් බැරෑරුම් ලෙස මුහුන දෙනවා විය හැක. එමෙන් ම ඔවුන් එය කිරීමට සූදානම් යැයි මම නොසිතමි...ඔවුන්ට බොහෝ සමාජ සේවවාන් කැපීමට සිදුවනු ඇත.”

මෙම වෙනස්කම් ඊලඟ මාස 18දී සිදුවීමට නියමිත බව ප්‍රකාශ කර ඇතිවා මිස මුදල් ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මක කිරීම හෝ එහි කාලසටහන පිලිබඳ විස්තරාත්මක තොරතුරු නිකුත් කෙරී නැත. පසු ගිය දෙවසර තිස්සේ ලිහිල් කල විනිමය අනුපාත සහිතව සීමිත අත්හදාබැලීම් ක්‍රියාත්මත කර ඇත. සීනි කර්මාන්තයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1ක් වටිනා අපනයන දැන් කිපෙ මිලියනයකට නොව මිලියන 12කට හුවමාරු කල හැකි අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 1ක් වටිනා ආනයනයවලට දැන් වැය වන්නේ පෙසෝ මිලියන 7කි.

මු‍දල් ඒකාබද්ධ කිරීම, සුලුධනේශ්වර ජාතිකවාදී කස්ත්‍රෝ තන්ත්‍රය විසින් පටන් ගන්නා ලද ප්‍රතිසංස්කරන විසුරුවා හැරීම වේගවත් කිරීමක කොටසකි. දිවයින තුල විවෘත ධනේශ්වර දේපොල හා විනිමය සම්බන්ධතා ස්ථාපිත කිරීමේ දිසාවට කස්ත්‍රෝ තන්ත්‍රය ගමන් කරමින් සිටී.

ධනය හා දේපොලවල පුද්ගලික සමුච්චයනය මත කුමන සීමිතකම් තිබුනත්, රාජ්‍ය ව්‍යාපාර රජයෙන් නිදහස් කර උදුරා ගැනීමට හා තමන් වෙනුවෙන් ම ඒවා හිමිකර ගැනීමට ඔවුන් සමත් වන කාලය වන තෙක් නිලධරයේ වරප්‍රසාද සහතික කිරීම මෙ මගින් අපේක්ෂා කෙරෙන්නේ ය.

Share this article: