ෆිලිපීනය වසා පැතිර ගිය මානව අර්බුදය හමුවේ ආන්ඩුව මිලිටරි ඇඳිරි නීතිය පනවයි

Military curfew imposed as humanitarian crisis engulfs Philippines

ජෝසෆ් සැන්ටොලින් විසිනි , 2013 නොවැම්බර් 12

හෙයියාන් සුපිරි කුනාටුව හමුවේ ෆිලිපීනය ව්‍යසනකාරී මට්ටමේ මානව අර්බුදයකට මුහුනපා සිටියි. ෆිලිපීනයේදී කුනාටුව හඳුන්වන්නේ යෝලන්ඩා නමිනි.

ෆිලිපීන ආන්ඩුවේ නිල ගනන් බැලීම් අනුව මියගිය අයගේ සංඛ්‍යාව 1774ක් බව නිවේදනය කර ඇති නමුත් එය ඊට බෙහෙවින් වැඩිවිය හැකි යයි සලකනු ලැබේ. ටෙක්ලොබාන් නඟරයේ පමනක් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්මවනු ඇති බවට පලවූ වාර්තා ප්‍රතික්ෂේප කර නැත. කන්ඬායම් මාරුවෙන ක්‍රමයට ක්‍රියාත්මක වන සහන කඳවුරු තුල මිලියනයක් පමන ෆිලිපීන වැසියන් රඳවා ඇත.

සමාර්, ලෙයිටි, පැනේ හා සෙබූ යන දිවයින්වල විශාල ප‍්‍රදේශ ජන ශුන්‍ය තත්වයට පත්ව ඇත. මෙම ප‍්‍රදේශ කරා කිසිදු සහනාධාර සැපයීමක් සිදුව නැති අතර මියගිය අය හෝ සිදුව ඇති අලාභහානි පිලිබඳව කිසිදු තක්සේරුවක් සිදුව නැත. මෙම ප‍්‍රදේශ වලට විදුලිය පහසුකම් යලි සැපයීමට මාස ගනනක් ගතවනු ඇතැයි නිලධාරීහු පවසා ඇත.

11දා හිරු බැසයන කාලය තුල ලක්ෂයක් දෙනා හිසට වහලක්, වෛද්‍ය පහසුකම් හෝ අත්‍යවශ්‍ය ආහාර හා පිරිසිදු ජලය නොමැතිව පසුවූහ. මල කඳන් තවමත් වීදි වල විසිර තිබේ. ටැක්ලොබාන් ගුවන්තොට කරා යම් සහනාධාර ලඟාවෙමින් තිබෙන නමුත් “ප‍්‍රදේශයේ මාර්ග සුන්බුන් වලින් අවහිරවී තිබෙන බැවින් ඉන් එහාට යා නොහැකිව තිබෙන“ බව ෆිලිපීන අභ්‍යන්තර කටයුතු ඇමති පවසා ඇත. දිනකට සැපයෙන ආහාර හා ජලය ලබාගැනීමේ අරමුනෙන් ලක්ෂ ගනන් ජනතාව කිලෝ මීටර් අටක් පමන දුර ගෙවා නඟරයේ ගුවන්තොටුපල වෙත පැමිනෙමින් සිටිති. සහනාධාර අපේක්ෂාවෙන් පෙලගැසී සිටින ජනතාවගේ පෝලිම් නොපෙනෙන තරම් දුරට විහිද තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප පලවේ.

සහනාධාර ලබාගැනීමට දිනපතා ගුවන් තොටුපල වෙත යාමේ අරගලය ගැන නිවැසියෙක් වන ජෝන් ලැම්රි විල්සන් ඒඑෆ්පී පුවත් සේවයට මෙසේ විස්තර කලේය. “තුවාලකරුවන්ට ආහාර හා ජලය අවශ්‍යව තිබේ. අද දිනයේ අප බොහෝ දුර බැහැර වාසස්ථාන කරා පලවා හැරීමටත් හෙට දිනයේ යලිත් කටයුතු පටන් ගැනීමටත් ඔවුන් උත්සාහ දරයි. පසු දිනයේත් සහන මධ්‍යස්ථාන කරා යලි පැමිනීම අපට බෙහෙවින් දුෂ්කර කාර්යයකි. එය අසාධාරනය. අපි දැනටමත් වෙහෙසට පත්ව, හෙම්බත්වී සිටිමු.“

ඖෂධ, ආහාර, ජලය හා ලදරු ආහාර සොයාගැනිමට නොහැකිවීමෙන් නොසංසුන්තාවය පැතිර යද්දී ප‍්‍රදේශවාසීහු අගුල් දැමූ වෙලඳසැල් හා සාප්පු සංකීර්න වෙත කඩා වැදුනහ. උසස් පාසැල් ගුරුවරයෙකු වන ඇන්ඩෘෘ පොමෙඩා වාර්තා කරුවෙකුට මෙසේ පැවසීය. “ටැක්ලොබානය මුලුමනින්ම විනාශවී ගොසිනි. සිය පවුල් අහිමිවීම හා කුසගින්න නිසා සමහරු මානසික පීඩාවන්ට ලක්ව සිටිති. මිනිස්සු ප්‍රචන්ඩකාරී වීමට පටන්ගෙන ඇත. ඔවුන් ආහාර, සහල් හා කිරි සොයා ව්‍යාපාරික ස්ථාන, සාප්පු සංකීර්න කොල්ලකෑමට පටන්ගෙන ඇත. සතියක් ගතවීමටත් පෙර මිනිස්සු කුසගින්නෙන් මියයනු ඇතැයි මම කම්පාවට පත්ව සිටිමි.“

මූලික අවශ්‍යතා සඳහා ජනතාව පොරබදද්දී ව්‍යාපාරිකයින් හා ප්‍රාදේශීය ආන්ඩුව “නීතිය හා සාමය රැකීමට හමුදා නීතිය පනවා ඇත. ජනාධිපති බෙනිග්නෝ අකිනෝ ජාතික ආපදා තත්වයක් හා කලාපීය හදිසි නීතිය පනවා ඇත. ඒ දෙකෙන් ඔහුට අසාමාන්‍ය විධායක බලතල හිමිවෙයි. ඔහු දැනට මෙම බලතල යොදාගෙන යුද නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ටැක්ලොබාන්හි සැම නිවහන් ප‍්‍රදේශයකම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. සවස 10සිට උදෑසන 6 දක්වා කිසිවෙකුටත් පාරට බැසීමට අවසර නැත. වාර්තාකරුවන්ට කථා කල බොහෝ දෙනෙක් කියා ඇත්තේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ සවස 10 සිට නොව 8 සිට බවයි.

අඩුම තරමින් නිවාස වලින් සියයට 90ක්වත් විනාශවී තිබෙන නඟරයක් වන ටැක්ලොබාන්හි නිවැසියන් පාරවල් වලට නොපැමින සිටින්නේ කෙසේදැයි පැහැදිලි නැත. ටැක්ලොබාන්හි දුප්පත්ම නිවාස ප‍්‍රදේශයන්හි ගුවන් ඡායාරූප පෙන්නුම් කරන්නේ හිරෝෂීමා නඟරයට පරමානු බෝම්බ හෙලීමෙන් පසුව ගත් ගුවන් ඡායාරූපයන්ගේ දසුන්ය. කිසිවක් ඉතිරිව නැත.

දැඩිලෙස සන්නද්ධ පොලිස් භටයින් 883ක් ද විශේෂ කාර්ය බලකා සෙබලු 169 දෙනෙක් සහිත500 ක හමුදා බලඇනියක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා තිබේ. මෙම හමුදා ප‍්‍රදේශයට ගෙනැවිත් ඇත්තේ සී-130 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් මගිනි. ඒවා අතිශයින්ම අවශ්‍යව තිබෙන ආහාර ඇතුලු අත්‍යවශ්‍ය දෑ ප්‍රවාහනයට යොදවාගත හැකිව තිබුනි.

හමුදා බල ඇනි ලෙසින් ඔවුහු මුර සංචාරයේ යෙදෙති. “ඇකිනෝ මෙය විස්තර කලේ හමුදා බලය පෙන්වීම" ලෙසය. ෆිලිපීනයේ ජාතික පොලිස් කොමසාරිස් ජෙනරාල් ඇලන් පරිසිමා පැවසුවේ “නීතිය හා සාමය රැකිමට තමන් ටැක්ලොබාන් වෙත තව තවත් පොලිසිය යොදවන" බවයි. “ආන්ඩුවට සම්පූර්න පාලනය හිමිවන බව අපි ජනතාවට සහතික කරන්නෙමු. යොදවා ඇති පොලිස් භටයින් තමන්ගේ බලය පෙන්වනු ඇත."

මහ දවල් පවා නිවැසියන් නතරකොට ඔවුන්ගේ ඉන ඉහ අතගා බලා ප්‍රශ්න කරනු ලබයි. ෆිලිපීන මාඕවාදීන්ගේ ප්‍රධාන සහචරයෙක් වන ඩැවෝ නගරයේ නගරාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටි, ආහාර හෝ ඖෂධ පැහැර ගැනීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට වෙඩි තබන ලෙසට නියෝග පනවා සමාර් හා ලෙයිටි වෙත ට්‍රක්රථ හා ගිලන් රථ සමග හමුදාව පිටත් කලේය. “මෙම මින්සුන් ඔබගේ නියෝග නොපිලිපදින්නේ නම්, එවැනි අයට වෙඩි තබන ලෙසට මම නියෝග කරමි."

සිය දේශපාලන එදිරිවාදී ඉමෙල්ඩා මාකෝස්ගේ බෑනෙක් වන ටැක්ලොබාන් නගරාධිපති වන ඇල්ෆ්‍රඩ් රොමැල්ඩෙස් වෙතින් ඇක්විනෝ සියතට බලය පවරාගෙන ඇත. දැනට සිදුවන කොල්ලකෑම නිසා රතු කුරුස සංවිධානය ප‍්‍රදේශයට සහන සැපයුම් සීමාකර තිබෙන බව එහි ප්‍රධනියා මෙන්ම දේශපාලඥයෙක් ද වන රිචඩ් ගෝඩන් පිලිගෙන තිබේ. ඔහුගේ ආයතනය දැනටමත් මල කඳන් ඔතන මලු 10,000ක් ඇනවුම් කර ඇත. එහෙත් ඔහු පැවසුවේ මුහුදට ගසාගෙන ගොස් ඇති සංඛ්‍යාව කොපමන දැයි තමන් නොදන්නා බවය. සහන සේවකයින් වෙනත් නගර කරා තවමත් ලඟාවී නැති බව ද ඔහු පැවසීය.

සමාර් හා ලෙයිටි වෙරල තීරයේ සිදුව ඇති අලාභ හානි ගැන ඇත්තේ ඉතා දල තක්සේරුවක් පමනි. ජනගහනය 50,000ක් වන ගුයියන් නගරය බෙහෙවින් විනාශ වී ඇති බව වාර්තා වේ. බැසේ නගරයේ සමූහ මිනී වලක් තුල 500ක් දෙනා භූමදාන කර තිබේ. ටැක්ලොබාන්හි පමනක් මලගිය සංඛ්‍යාව පිලිබඳ දැක්වෙන නිල සංඛ්‍යාවල නොගැලපෙන ස්වභාවය ගැන සලකන කල මෙම ප‍්‍රදේශයන් සමග සම්බන්ධතා පිහිටුවීමෙන් පසුව විනාශය පිලිබඳ සංඛ්‍යා බෙහෙවින් ඉහල යා හැකිය.

නැඟෙනහිර වෙරල තීරය දිගට නිවාස හා වගාවන් සියල්ල පාහේ විනාශවී ගොසිනි. මෙම ප්‍රෙද්ශයන්හි තවමත් සහන සේවාවන්ට හමු නොවූ දිවිගලවාගත් අය සාගින්න ඇතුලු ඉමහත් පීඩාවන්ට ගොදුරුව ඇති බව සැක කරයි.

හයියාන් කුනාටුවේ ප්‍රතිපල වශයෙන් විනාශයට පත්ව ඇති භෝග වගාවේ අලාභය නොවැම්බර් 10දා වන විට නිකුත් කෙරුනු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව ඩොලර් මිලියන 84.9කි. “දැන් අස්වනු නෙලමින් ඇති වී වගාව දරුනුම විනාශයට මුහුන දුන්නේය. ඊට අමතරව ධීවර කර්මාන්තය හා වාරිමාර්ග විනාශවී ඇත. හානියට පත්ව ඇති අනෙකුත් භෝග අතර බඩඉරිඟු, සත්ව පාලනය, හා මිල අධික භෝග වගාවන් වේ."

ජාත්‍යන්තර මූල්‍ය උකුස්සන් කරක් ගැසීමට පටන්ගැනීමටත් පෙර අනෙකුත් කොටස් ලාභ ඉපැයීමේ මං සොයති. විදේශ විනිමය වෙලඳ සමාගමක් වන ඕන්ඩා ඒෂියා පැසිෆික්හි වෙලඳපොල විශේෂඥයෙක් වන වූ මින්ග්සි මෙසේ පැවසීය. “ප්‍රතිසංවිධාන කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය බව අපි දන්නෙමු. වියදම් කිරීමේ ක්‍රියාවලියේදී මෙම මුදල් වාසිදායක ලෙස යෙදවිය යුතුය. එය ආර්ථිකය තවදුරටත් ගොනැඟීමක් විය යුතුය."

මෙම ව්‍යසනය හමුවේ වොෂින්ටනය, පොරොන්දුවී ඇත්තේ ඩොලර් 100,000ක් පමනි. විශාල ආධාර සැපයීම වෙනුවට මැරීන් භටයින් 90ක් යෙදවීමට පොරොන්දුවී ඇත. චීනය වැටලීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මූලෝපායේ කොටසක් ලෙස රට තුල එක්සත් ජනපද හමුදා ස්ථානගත කිරීමේ සාකච්ඡා මධ්‍යයේ මෙය සිදුවෙයි. වොෂින්ටනය කුමන තත්වයක් තුල හෝ රට තුල හමුදා යෙදවීම ශක්තිමත් කිරීමේ උත්සාහයක නිරත වෙයි.

හයියාන් කුනාටුව ගෙනආ විනාශය ඛේදාන්තයක් ලෙස පෙන්නුම් කරන අතර එය ස්වභාව ධර්මයේ පෙර නොවූ විරූ කෝපයෙහි නොවැලැක්විය හැකි ප්‍රතිපලය බව පෙන්නුම් කරයි. ඉරනම්වාදය තුල සඟවා ඉදිරිපත් කරන මෙය දේශපාලන මුසාවකි.

ෆිලිපීනය අඩමාන භූගෝලීය තත්වයක් තුල පිහිටි රටකි. එහි භූ කම්පන, සුනාමි, සුලි කුනාටු හා ගිනිකඳු පිපිරීමේ දැඩි අවදානමක් පවතියි. මෙම ස්වාභාවික ව්‍යසනයන් සිදුවන්නේ පෙර දැකිය හැකි කාල පරාසයන් අතරතුරය. මෙම සිදුවීම් වලට මුහුන දීමටත් ඒවා නිරීක්ෂනය කිරීමටත් අවශ්‍ය සමාජ සම්පත් හා අවශ්‍ය තාක්ෂනික හැකියාව මනුෂ්‍ය වර්ගයා සතුවන අතර ඒවායේ බලපෑම තීරනාත්මක ලෙස පාලනය කිරීමට ද හැකිය.

හයියාන් නිසා මියගිය හා විපතට පත් අය කුනාටුවේ ගොදුරු නො වේ. ඔවුන් වනාහි සමාජ අසමානතාවයේ නියම කුනාටුවෙහි ගොදුරු ය. විනාශයට පත් නිවාස ගොඩනඟා තිබුනේ දුප්පත් කම පිලිබිඹු කරන ද්‍රව්‍ය වලිනි. ඒවා විනාශකාරි කුනාටුවක ප්‍රහාරයකට මුහුන දීමට මුලුමනින්ම අසමත්ය. හොඳින් නිමවන ලද ධනවතුන්ගේ නිවාස හා වෙලඳ ව්‍යාපාරික ස්ථාන වලට හානි සිදුව නැත.

අවදානම් සහගත ජීවිත ගතකරන ප්‍රජාවන් හොඳ පහසුකම් ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ගෙනයා යුතුය. එහෙත් එවැනි සූදානමක් තිබුනේ නැත.

දිවිගලවා ගත් අය සිය ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ කරන විට, ඔවුන් පලවා හරින්නේ අනුකම්පා විරහිත ස්වාභාවික විනාශයෙන් නොව, බිහිසුනු සමාජ අසමානතාවයේ කොන්දේසි බලගැන්වීමට යොදාගන්නා රාජ්‍යයේ හමුදා බලය විසිනි.

Share this article: