ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයට එල්ල කල ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් 23ක් මියගොස් 140ක් තුවාල ලබා ඇත

Terrorist attack at Iranian embassy in Lebanon kills 23, wounds 140

කීත් ජොන්ස් විසිනි, 2013 නොවැම්බර් 20

ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාල පරිශ‍්‍රය ඉලක්ක කරගත් සියදිවි නසාගන්නා බෝම්බ ප‍්‍රහාරයෙන් 19දා අඩුම තරමින් පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට පත්වී 140කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් වැඩි පිරිස, මුලුමනින්ම පාහේ ෂියා වරු ජීවත්වන දකුනු බීරූට්හි ජනාහි පිහිටි තානාපති කාර්යාලය අසලින් ගමන්ගත් අයයි. තම සංස්කෘතික නිලධාරියා ද මියගිය අය අතර සිටින බව ඉරානය සනාථ කලේය.

අල් කයිඩාවට සම්බන්ධ අබ්දුල්ලා අසාම් බි‍්‍රගේඩ් කන්ඩායමක "අධ්‍යාත්මික නායක” ෂීක් සුරයිකට් විසින් ට්විටර් පනිවිඩයකින් ප‍්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. ඉරානය හා එහි අනුචර ලෙබනනයේ ෂියා මිලිෂියා කන්ඩායමක් වන හෙස්බුල්ලාවරු සිරියාවේ ආන්ඩුවට දෙන මිලිටරි සහාය නතර කරන තෙක් එවන් ප‍්‍රහාර තවදුරටත් ගෙන යන බවට එම බි‍්‍රගේඩය ප‍්‍රතිඥා දී ඇත.

එක්සත් ජනපදය හා එහි සහචරයින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳව පවත්වන සාකච්ඡා හා එජ පිටුබලය දෙන අල්කයිඩාවට සම්බන්ධ සිරියානු විපක්ෂය සමග රාජ්‍යතාන්ත‍්‍රික ගිවිසුමක් ඇතිකර ගැනීමට සිරියානු තන්ත‍්‍රය කටයුතු කරමින් සිටින අතරතුර 19දා සිදුකල ප‍්‍රහාරය, කලාපයේ ආතතීන් උත්සන්න කිරීම අරමුනුකර ගත්තේය.

සිය න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳව ඉරානය 20දා, එජ, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය, රුසියාව, චීනය හා ජර්මනිය ඇතුලු ඊනියා පී-6 කන්ඩායම සමග යලි සාකච්ඡා අරඹනු ඇත. මේ මාසය මුලදී, ඉරානයට එරෙහි එජ හා යුරෝපීය සම්බාධක වලින් සමහරක් ලිහිල් කිරීමට හුවමාරු වශයෙන් ටෙහෙරානය, පී-6 සමග සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හිටවීමට එකඟත්වය පල කරන අන්තර්වාර ගිවිසුමක් ඇතිකර ගැනීම ආසන්නයට පැමින තිබුනි. මේ අනුව බිලියන බොහෝ ගනනක් වන දැනට තහනම් කර තිබෙන විදේශ බැංකුවල ඇති ඉරානයේ තෙල් ආදායමෙන් බිලියන 5ක් පමනක් එරටට ආපසු ලැබෙනු ඇත.

ඊස්රායලය හා සවුදි අරාබිය ඇතුලු අල් කයිඩාව සමග බැඳීම් ඇති කලාපයේ එජ අනුචරයින් ගනනාවක්, තමන් මෙම සාකච්ඡාවන්ට එකහෙලා විරුද්ධ බව අඟවා තිබුනි. ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩසටහන මුලුමනින්ම විසුරුවා හරින තෙක් සම්බාධක ලිහිල් නොකල යුතු යයි ඔවුහු අවධාරනය කලහ. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට තහවුරු නොකල චෝදනා පසුපස සැඟවෙමින් ඔවුන් කල ඉල්ලීම් වලින් පිලිබිඹු වූයේ, ඉරානය හා එජ අතර ඇතිවිය හැකි ගිවිසුමකින් එජ අනුචරයින් ලෙස තමන්ගේ වැදගත්කම අඩුවනු ඇතැයි යන බියයි.

අල්කයිඩාවට අනුබද්ධ කන්ඩායමක් විසින් බෝම්බ ප‍්‍රහාරයේ වගකීම බාරගන්නා බව කියා සිටීමෙන් අදහස් කෙරෙන්නේ, ප‍්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ මෙම එජ අනුචරයින්ගේ සහයෝගය ඇතිව බවයි. විශේෂයෙන්ම සවුදි අරාබියට අල්කයිඩාව සමග දිගු කාලීන සම්බන්ධතා ඇත. එහි පලමු නායකයාවූ ඔසාමා බින් ලාඩන් සවුදි රාජ්‍යයේ ධනවත් පවුලකට අයත් කෙනෙකි. කටාර් රාජ්‍යය ද සමග සවුදි අරාබිය, අල් කයිඩාවට අනුබද්ධ සිරියානු විපක්ෂ හමුදාවන්ගේ ප‍්‍රධාන ආධාරකරුවෙක් ලෙස මතු විය.

ජනා නිවැසියෝ බෝම්බ ප‍්‍රහාරය පිලිබඳව සවුදි අරාබියට චෝදනා කලහ. ප‍්‍රහාරය සිදුවූ ස්ථානය අසල සිටි කාන්තාවක් "දෙවියෝ බන්ඩාර් නිරයට යවත්වා! මේ සවුදි පවුලයි.” යනුවෙන් හඬ නැගූ බව නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේය. බන්ඩාර් බින් සුල්තාන් කුමරු සවුදි ඔත්තු සේවයේ ප‍්‍රධානියා වන අතර සිරියාව තුල ඉස්ලාමීය කුලී හමුදාවන්ට මූල්‍යමය හා මිලිටරි ආධාර සැපයීම් සංවිධානය කරන එරට ප‍්‍රධාන පුද්ගලයා ද වේ.

රෝමයේ සිට කථාකරමින් ඉරාන විදේශ ඇමති ජවාඩ් ෂරිෆ්, සිරියාව තුල අල්කයිඩාවට බැඳුනු මිලිෂියාවන් තරවීම බෝමබ ප‍්‍රහාරය උසිගැන්වූ බවට චෝදනා කලේය. මෙම මිලිෂියාවන්ට ආධාරකර සන්නද්ධ කරන්නේ එජ හා එහි සහචරයින් ය.

"සිරියාව තුල අන්තවාදී හමුදාවන්ගේ ප‍්‍රතිවිපාක අපි දැනටමත් අත්විඳ ඇත්තෙමු. එම සංවිධාන ම බැග්ඩෑඞ් නගරයේ වීදිවල මිනිසුන් ඝාතනය කරති. මෙය බරපතල ගැටලුවකි. සිරියාව තුල පැසෙමින් ඇති ආතතීන් පුපුරා යනු අපට දැකගත හැකි වන කල, ඒවා සිරියානු දේශසීමාවට හා මැදපෙරදිගට පවා සීමා කිරීමට හැකියාවක් නොතිබෙනු ඇත.” යනුවෙන් ෂරීෆ් පැවසීය.

ප‍්‍රහාරය පිටුපස සවුදිය සිටින බවට කෙලින්ම චෝදනා නොකර සිරියානු විදේශ ඇමති පැවසුවේ, සවුදි හා කටාර් රාජකීයයන් අල් කයිඩාවට අනුබද්ධ මිලිෂියාවන්ට සහයෝගය දීමේ ප‍්‍රතිපලය වී ඇත්තේ මෙම ප‍්‍රහාරය බවයි.

එජ අධිරාජ්‍යවාදය මූලික වශයෙන්ම වගකිවයුතු, දැන් කලාපය පුරා පැතිරෙමින් තිබෙන ආන්තික ආතතීන් හා යුද්ධයේ තර්ජනය කෙතරම් ද යන්න මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් සලකුනු කෙරේ. පසුගිය දශකය පුරා එජ, ලෝකයේ වඩාත් වැදගත් තෙල් අපනයන කලාපයේ තම මූලෝපායික අධිකාරය නංවා ගැනීමට නීති විරෝධී යුද්ධ මාලාවක්ම දියත් කලේ ය. ඔවුහු ඉරාකය ආක‍්‍රමනය කර වාඩිලාගත්හ. ලිබියාවේ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා "මානවවාදී” යුද්ධයක් ගෙන ගියහ. සිරියාව තුල, සුන්නි ඉස්ලාම්වාදීන් මුල් තැන ගත් ත‍්‍රස්තවාදය වපුරා ඉරානයට එරෙහිව යලි යලිත් යුද්ධයේ තර්ජනය අලුත් කලහ.

යන්තම් දෙමසකට පෙර වොෂින්ටනය, සිරියාවට එරෙහිව සෘජුවම ප‍්‍රහාර එල්ල කිරීමේ අද්දරට පැමිනියේ ය. සිරියාව තුල අල්කයිඩා ක‍්‍රියාකලාපය, අසාද්ට සහාය දක්වන අතරතුර රුසියාව හා ඉරානය කරන අනතුරු ඇඟවීම්, පලමුව තමන්ගේ සියලු විභව සතුරන්ට එරෙහිව පූර්න පරිමානයේ ප‍්‍රහාරයක් එල්ල නොකොට එවන් යුද්ධයකට එලඹීමට පෙන්ටගනය අදිමදි කිරීම, එජ යුද තර්ජන කෙරෙහි පලවන ගැඹුරු මහජන අප‍්‍රසාදය හේතුකොටගෙන එක්සත් ජනපදයේ විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතය තුල පූර්න පරිමාන යුද්ධයක නුවනක්කාරකම පිලිබඳව නැගී එන මතභේද හමුවේ, ඔබාමා පාලනාධිකාරය අවසාන මෙහොතේ යුද්ධයෙන් අඩිය පස්සට ගත්තේය.

සිරියාව හා එහි ප‍්‍රධාන කලාපීය සහචරයා වන ඉරානය සමග සාකච්ඡා අරඹමින් එජ, සිය පිලිවෙතේ උපායික වෙනසක් ඇති කලේය. එජයේ මැද පෙරදිග ආධිපත්‍ය පිලිගන්නා ලෙස ඉරානයට බල කිරීම, එජ අන්තර්ජාතික සංගත සඳහා එරට ආර්ථිකය විවෘත කිරීමට බල කිරීම, හා ඇෆ්ගනිස්ථානයේ සිට නැගෙනහිර මැද පෙරදිග දක්වා කලාපය එජ ආධිපත්‍ය යටතේ ස්ථාවර කිරීමට ටෙහෙරානයේ සහයෝගය ලබාදෙන ලෙස බල කිරීම වොෂින්ටනයේ අරමුන වී තිබේ. මෙම කොල්ලකාරී අරමුනු රාජ්‍යතන්ත‍්‍රික මට්ටමෙන් සාක්ෂාත්කර ගැනීමට නොහැකි වුවහොත් වොෂින්ටනයට, ඔවුන් සැප්තැම්බරයේ සාකච්ඡාවන්ට හැරුනු තරම්ම වේගයකින් යුද්ධයේ මාවතට අවතීර්න විය හැකිය.

එජ එම හදිසි මාරුව ඊස්රායලය හා සවුදි අරාබිය තැති ගන්වා කෝපයට පත් කලේය. සාකච්ඡා බිඳ දමා යුද්ධයට මාවත කැපීම සඳහා ඔවුහු වාචික හා රාජ්‍යතාන්ත‍්‍රික උපක‍්‍රම යෙදූහ.

සියවසේ රාජ්‍යතාන්ත‍්‍රික ජයග‍්‍රහනය ටෙහෙරානය වෙත පිලිගැන්වීමට සූදානම් වන බවට ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු යලි යලිත් ඔබාමා පාලනයට පහර ගැසීය. ඉරානයට එරෙහිව තවත් දැඩි සම්බාධක පැනවිය යුතු යයි කොන්ග‍්‍රසයට බලපෑම් කිරීම සඳහා ඔහු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වොෂින්ටනය වෙත පිටත් කලේ, ඉරානයට ඒකපාර්ශවික ඊස්රායල් ප‍්‍රහාර එල්ල කරන බව අඟවන තර්ජනය ද සහිතව එරට, පී-6 විසින් අත්සන් තබන කිසිදු ගිවිසුමකට අනිවාර්යෙන්ම බැඳී නොසිටින බව ප‍්‍රකාශ කරමිනි.

ෆිනැන්ෂල් ටයිම්ස් පුවත්පත 17දා පලකල සම්මුඛ සාකච්ඡාවකදී නෙතන්යාහුගේ හිටපු ආරක්ෂක උපදේශක යාකොව් අමිර්කෝ, "ඉතා දිගු කාලයකට” ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීමේ මිලිටරි හැකියාව ඊස්රායලය සතුව ඇතැයි කයිවාරු ගැසීය. ඉරානයට එරෙහි ඊස්රායල් ප‍්‍රහාරයක දී හෙස්බොල්ලාවරු එකට එක කලහොත් "ඊස්රායල් පාබල හමුදා (ලෙබනනයේ) නාගරික මධ්‍යස්ථාන වලට” ගමන් කරනු ඇතැයි, එනම්, ලෙබනනයට එරෙහිව පූර්න පරිමාන ආක‍්‍රමනයක් දියත් කරනු ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

ඉරානය සමග ඔබාමා පාලනයේ "රාජ්‍යතාන්ත‍්‍රික යොමුව” හා සිරියාවට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට අසමත් වීම පිලිබඳ සිය නොසතුට පලකරමින් සවුදි අරාබිය මෑතක දී, තමන් වසර ගනනාවක පටන් බලපෑම් කරමින් සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ ආසනයක් ගැනීම ප‍්‍රතික්ෂේප කලේය.

එසේම සවුදි අරාබිය, ඉරානයට එරෙහි ඊස්රායල් ප‍්‍රහාරයකට මෑතකදී තම සහාය පල කලේය. ඊටත් අමතරව, ඊස්රායල් ජෙට් යානාවලට සවුදි ගුවන් පථය මතින් පියාසර කිරීමට ඉඩ දෙමින් රියාද් පාලනය, සැපයුම් ටැංකි සහිත ගුවන් යානා, හෙලිකොප්ටර් හා ඩ්‍රෝන් යානා ලබාදීමට ද ඉදිරිපත්ව ඇති බව වාර්තා විය. රාජ්‍යතාන්ත‍්‍රික මූලාශ‍්‍රයන් පැවසූ බව සඳහන් කරමින් ලන්ඩන් සන්ඬේ ටයිම්ස් පුවත්පත මෙසේ වාර්තා කලේය. "ජිනීවා ගිවිසුම අත්සන් තැබූ විගස මිලිටරි විකල්පය යලි මේසය මත තැබෙනු ඇත. සවුදිය කෝපාවිෂ්ඨව සිටින අතර ඊස්රායලයට අවශ්‍ය සියලු සහාය දීමට එරට කැමැත්තෙන් සිටියි.”

සිරියාව පිලිබඳ එජ-රුසියානු සාකච්ඡා පීලි පැන්නවීමට රුකුලක් ලෙස ලෙබනනය, එජ හා එහි අනුචරයින් සිරියාව තුල උසිගන්වන ශියා-සුන්නි රුධිර ස්නානය තුලට තව තවත් ඇද ගැනීම ද 19දා බෝම්බ ප‍්‍රහාරයේ අරමුනක් විය. එය ග‍්‍රීෂ්ම සෘතුවේ ආරම්භය තෙක් දිව යන ශියා අසල්වැසි ප‍්‍රදේශ ඉලක්ක කරගත් බොම්බ ප‍්‍රහාර මාලාවක අලුත්ම එක විය. සිරියානු ගැටුම තුලට ලෙබනනයේ සුන්නි ඉස්ලාම්වාදීන් සම්බන්ධ කිරීම සඳහා සුන්නි ප‍්‍රභූ පැලැන්තියේ කොටස් ඔවුන්ට මුදල් ආධාර දෙමින් සංවිධානය කරන තතු තුල, හෙස්බුල්ලා හා එජ පිටුබලය ලබන එහි සුන්නි එදිරිවාදියා වන ෆියුචර් මූව්මන්ට් හෙවත් අනාගත ව්‍යාපාරය දැනටමත්, සිරියානු ගැටුමේ ප‍්‍රති විරුද්ධ පැති වලින් ඊට සම්බන්ධව සිටිති. අනාගත ව්‍යාපාරය, ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ දැමූ අල්කයිඩාව සමග සමීප සම්බන්ධතා පවත්වන අතර බෝම්බ සිද්ධිය, හෙස්බොල්ලාවරු සිරියානු ආන්ඩුවට සහාය දීම මගින් සිදුකරගත් වරදක් බව සඳහන් කරයි.

Share this article: