ගෝලීය මූල්‍ය ක්‍රමය තවත් 2008ක් දෙසට ගමන් කරනවා විය යුතුය

Global financial system may be heading for another 2008

නික් බීම්ස් විසිනි, 2013 නොවැම්බර් 02

භාන්ඬාගාර බැඳුම්කර හා උකස් පිටුබලය සහිත සුරැකුම් මිලට ගැනීමේ රූපයෙන්, බැංකු හා මූල්‍ය ආයතනවලට මාස්පතා ඩොලර් බිලියන 85 බැගින් සහන සැලසීමේ සිය වැඩසටහන ලබන වසර තුල ද දිගටම ක්‍රියාත්මක වනු ඇති බවට පසුගිය සතියේ එක්සත් ජනපද මහ බැංකුව ගත් තීරනය, ගෝලීය මූල්‍ය ක්‍රමය සමහර විට 2008 පරයා යන තවත් බිඳවැටීමක් කරා ඇදී යාමේ හැකියාව පිලිබඳ කනස්සල්ල තවත් දැඩි කිරීමක් පමනකි.

වසරකට ඩොලර් ට්‍රිලියනයක් තරම් වන සිය වත්කම් මිලට ගැනීමේ වැඩසටහන "කප්පාදු“ කරනු ඇති බවට වසරේ මුලදී කල ප්‍රකාශයන් කෙරෙහි, කොටස් හා බැඳුම්කර වෙලඳපොල කඩා වැටීම මගින් ප්‍රකාශයට පත්වූ බැංකු හා මූල්‍ය ආයතනවල පීඩනය හමුවේ, මහ බැංකුව අඩිය පස්සට ගත්තේය. සැප්තැම්බරයේ ප්‍රකාශිතවූ පරිදි සිය වත්කම් මිලට ගැනීම් අඩු නොකිරීමේ මහ බැංකු තීරනයෙන් පසුව බැඳුම්කර වෙලඳපොලවල් ඉහල නඟින්නට පටන්ගත් අතර කොටස් දර්ශකයන් වාර්තාගත මට්ටම් කරා නැඟුනේය.

මූල්‍යමය උත්තේජනයන් සඳහා මහ බැංකුව ඉදිරිපත් කල නිල හේතුව, එක්සත් ජනපද ආර්ථිකයට තල්ලුවක් දීමේ අවශ්‍යතාවයි. එහෙත් වත්කම් මිලට ගැනීමේ ක්‍රියාවලිය රැකියා නිර්මානය හෝ ආයෝජන දිරිගැන්වීම සඳහා කිසිදු පිටුබලයක් සැපයුවේ නැත.

එජ කෘෂිකාර්මික නොවන සේවා නියුක්තිය පැවතුනේ 2007 තිබුනාට වඩා මිලියන 1.7ක් පහතිනි. ශ්‍රම බලකායේ වර්ධනය සැලකිල්ලට ගත් කල, එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොල, අව්‍යාජ ආර්ථික ප්‍රකෘතියක් ඇතිව තිබුනේ නම් තිබිය යුතු මට්ටමට වඩා රැකියා මිලියන 8.5ක් පහතින් පැවතුනි. මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ද ඇතුලු මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සියලු අංශ මත ආධිපත්‍යය දරන මූල්‍ය ප්‍රාග්ධනය පමනක් එකම සහන ලාභියා විය. දැන් දල දේශීය නිෂ්පාදිතයට අනුව ව්‍යාපාරික ලාභයේ පංඟුව, එජ ඉතිහාසයේ ඉහලම මට්ටමට නැඟී තිබේ.

මූල්‍ය ක්‍රමය තුලට මහ බැංකුව විසින් එක දිගටම ආන්තිකව ලාභ අරමුදල් සම්පාදනය කිරීම පිලිබඳව අනතුරු ඇඟවීම් නිකුත් වීමට පටන්ගෙන තිබේ. ඉන් සමහරක් නිකුත් වන්නේ මූල්‍ය ආයතන තුලම සිටින අර්ථශාස්ත්‍රඥයින් වෙතිනි. එනම් තවත් කඩාවැටීමකට කොන්දේසි නිර්මානය කරන්නේය යන්නයි.

2008 සැප්තැම්බරයේ ලේමන් බ්‍රදර්ස් බැංකුව බිඳවැටීමට තුඩුදුන් අන්තරායකාරී තත්වයන් පිලිබඳව අනතුරු ඇඟවූ අතලොස්සක් දෙනාගන් අයෙකු වන ජාත්‍යන්තර සමත බැංකුවේ හිටපු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ විලියම් වයිට් මෑතකදී පැවසුවේ, වර්තමාන තත්වය “2007 පැවතියාක් මෙන් ආපහු ඉහ වහා ගොස් ඇත. එහෙත් ඊටත් වඩා නරක ආකාරයකටය. පූර්ව අසමතුලිතතා සියල්ල තවමත් එසේම පවතියි. දියුනු ආර්ථිකයන් තුල දදේනි පංඟුවක් වශයෙන් පෞද්ගලික හා රාජ්‍ය නය මට්ටම එවකට තිබුනාට වඩා සියයට 30න් වැඩිවී ඇත. නැඟී එන ආර්ථිකයන්ගේ පිම්බෙන බුබුලු නිර්මානය කිරීම මගින් අපි සම්පූර්නයෙන් අලුත් ගැටලු එකතු කරගෙන තිබේ. ඒවා අවසන් වනු ඇත්තේ පිම්බීමේ හා පුපුරා යාමේ චක්‍රයක් තුලය.“

සෑම චක්‍රයකදීම හා අර්බුදයකදීම පොලී අනුපාත පහත වැටෙන අතර ලෝකය ලාභ මුදල් වලට ඇබ්බැහිවී සිටියි. පද්ධතිය යලිත් බකල් ගැසුවහොත් ඊට එරෙහිව පාවිච්චි කල හැකි මූනිස්සම් ඇත්තේ ස්වල්පයක් යයි ඔහු අනතුරු ඇඟවීය.

ලාභ මුදල් වැඩසටහනේ එක් ප්‍රතිවිපාකයක් වූයේ, ආසියාව හා අනෙකුත් ඊනියා නැඟී එන ආර්ථිකයන් තුලට මුදල් ගලායාම දිරිමත් වීමයි. මෙම ආර්ථිකයන්ට දැන් සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම පිනිස වසරකට විදේශ අරමුදල් ඩොලර් ට්‍රිලියන 1.5ක පමන වාර්ෂික ගලා ඒමක් අවශ්‍ය කෙරේ. රුපියා මුදලින් ගනනය කෙරෙන ඉන්දුනීසියානු ආන්ඩුවේ බැඳුම්කරයන්ගෙන් සියයට 50ක්ම දැන් විදේශිකයන් අතට පත්ව තිබේ. මැලේසියාවේ හා ෆිලිපීනයේ එම සංඛ්‍යාව සියයට 40කි.

එජ මහ බැංකුව කප්පාදුව පටන්ගැනීමත් සමග පොලී අනුපාත ඉහල නැඟුනහොත්, මූල්‍ය කඩාවැටීමක තර්ජනය ගෙන එමින් මෙම මුදල් ආපසු එරටට ගලායනු ඇත. එජ කප්පාදුව පටන්ගනිතැයි යන බිය නිසා මෙම නැඟී එන ආර්ථිකයන්ගේ මුදල බාල්දු වීමට පටන් ගත් කල සිදුවිය හැකි දේ පිලිබඳ පූර්ව රංඟනයක් පසුගිය ග්‍රීෂ්මයේ දැකිය හැකි විය.

බිය පලවන්නේ, 1997-98 ආසියානු මූලය අර්බුදය වැන්නක් මෙම ව්‍යාපාරය මගින් පුනර්කරනය වේය යන්න ගැනය. එය දකුනු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය මැලේසියාව වැනි රටවල් කෙරෙහි දැඩි සේ බලපෑවේය.

ගෝලීය ප්‍රතිවිපාක එවක පැවතියාට වඩා බෙහෙවින් බරපතල වනු ඇත. මක්නිසා ද යත්, 2008 අර්බුදයේ පටන් ප්‍රධාන දියුනු ධනපති ආර්ථිකයන්හි අවපාත තත්වයක් මුදාහැර තිබෙන තතු හමුවේ දැන් නැඟී එන වෙලඳපොලවල් ලෝක ආර්ථික වර්ධනයෙන් සියයට 70කට පමන වගකියන බැවිනි.

ජාත්‍යන්තර සමත බැංකුව, ආසියාවේ අර්බුදයක ප්‍රතිපල වශයෙන් ඇතිවිය හැකි "අවධමනාත්මක කම්පනයක් ප්‍රමුඛ ආර්ථිකයන් කෙරෙහි පෙරලා පහර දෙන බලපෑමක්" ඇති කිරීම පිලිබඳව අනතුරු අඟවයි.

ජේපීමෝගන් චේස් බැංකුවේ අර්ථ ශාස්ත්‍රඥයා පල කල මෑත වාර්තාවකට අනුව, "2012 මැයි මාසයේ ඇරඹි වත්මන් අතිරික්ත ද්‍රවශීලතාව පිලිබඳ සිද්ධිය, එහි පරිමානයෙන් ගත් කල, අතිශයින්ම ආන්තික බවක් පෙනී යයි."

වත්මන් තල්ලුව, 1993-94, 2001-06 හා 2008 ඔක්තෝබරයේ සිට 2010 සැප්තැම්බර් දක්වා, පූර්වයෙන් පැවති මූලික සිදුවීම් තුන බෙහෙවින්ම ඉක්මවා ගොස් ඇත. ද්‍රවශීලතාවය වර්තමානයේ වෙලඳපොලවල් ක්‍රියාශීලී කර තිබේ. එහෙත් එය අතුරුදහන් වුවහොත් එලඹෙන වසරේදී ප්‍රහාරය දියත් වනු ඇත.

01දි සිඩ්නි නුවරදී කථාකරමින් ලන්ඩන්හි සිටි ගෘෘප් බැංකුවේ නය මූලෝපායඥයෙක් වන මැට් කිං මෙසේ පැවසීය. මධ්‍යම බැංකුකරුවෝ වත්කම් බුබුලු නිර්මානය වීම කෙරෙහි දක්වන්නේ නිෂේධනාත්මක ආකල්පයකි. ආර්ථික වර්ධනය පොහොසත් කිරීමට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති තතු හමුවේ, මධ්‍යම බැකුකරුවෝ අලුත් නිවාස මිල බුබුලක් නිර්මානය කිරීම තීරනය කර ඇතුවක් මෙන්ය.

යුරෝ කලාපයේ උද්ධමනය මනින සියලු මිනුම් ඔක්තෝබරයේදී කැපී පෙනෙන අයුරින් පහත වැටී ඇති බව පෙන්වන සංඛ්‍යා පලවීමෙන් පසුව විශේෂයෙන්ම ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුලු රටවල් ගනනාවක නය තත්වය තවත් නරක අතට හරවන අවධමනාත්මක පීඩනයන් පිලිබඳව යුරෝපය තුල කන්ස්සල්ල ද දැඩි වෙමින් තිබේ.

සෝසයටි ජෙනරාල් බැංකුවේ මූලෝපායඥ ඇල්බට් එඩ්වර්ඩ්ස් මෙසේ අනතුරු ඇඟවීය. බලාපොරොත්තු නොවන පසුබෑමක් ඇති වුවහොත්, යුරෝපය එක එල්ලේ අවධමනයකට ලුහුටා යනු ඇත. “අනතුර ආසියාවේ වෙලඳ කම්පනයකි. ඒ වෙලඳපොලවල් තුල තැතිගැන්මක් ඇරඹීමත් සමගය."

මූර්ත වටිනාකම් අනුව නය ඉහල යාමට පටන් ගත් දුෂ්ට චක්‍රයක් මුදාහල 1930 ගනන්වල තත්වය, තවත් ආර්ථික හැකිලීමකට මග හෙලිකරමින් මිල පහත වැටීම අර්ථවත් කරන මෙම අවධමනාත්මක ප්‍රවනතා විසින් යලි සිහිපත් කරයි. බ්‍රසල්ස්හි බෘෘගල් බුද්ධි මන්ඬලයක්, මෙසේ පැවසීය. අවධමනය මගින් ස්පාඤ්ඤය හා ඉතාලිය යන දෙරටම "නයෙහි ධාවන පථයක්" තුලට ඇද දමනු ඇත. බදු වැඩිකිරීම නිසා පාරිභෝගික මිල දර්ශකය ඉහල යා යුතු වුවත්, මෑතම සංඛ්‍යා පෙන්නුම් කරන්නේ, ඉතාලියේ එම දර්ශකය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල සියයට 0.3න් පහත වැටී ඇති බවයි.

නරක අතට හැරෙන ගෝලිය ආර්ථික හා මූල්‍ය තත්වයට ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර උග්‍ර වන ආතතීන් විසින් තෙල් ඉසිනු ලබයි.

වසරකට දෙවරක් නිකුත් කරනු ලබන සිය මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී එක්සත් ජනපද භාන්ඬාගාර දෙපාර්තමේන්තුව, "මූලික සොයාගැනීම්" තුල පලමු වතාවට ජර්මනිය සම්බන්ධයෙන් ප්‍රමුඛ විවේචනයක් ඉදිරිපත්කොට තිබේ. යුරෝ කලාපීය ජංගම ගිනුමේ අතිරික්තයන් "විශාල ලෙසත් එක දිගටත්" පවත්වාගෙන යන රටවල් පිලිබඳව එය සඳහන් කරයි. ජර්මනියේ අතිරික්තය දැන් චීනයට වඩා ඉහල ගොස් ඇති බව එය පෙන්නුම් කරයි.

සීරුමාරුකිරීම් හඳුන්වාදීම පිනිස ඉල්ලුම කපා හැරීමටත් ආනයන සීමා කිරීමටත් අනෙකුත් බොහෝ යුරෝ කලාපීය රටවලට බලකර තිබෙන තතු හමුවේ, ජර්මනියේ "රක්ත හීන දේශීය ඉල්ලුමේ වර්ධනය හා අපනයන මත රඳා පැවැත්ම, ප්‍රති තුලනයට බාධා පමුනුවන" බවට එජ ජර්මනියට චෝදනා කරයි. “ශුද්ධ ප්‍රතිපලය වී ඇත්තේ, ලෝක ආර්ථිකයට පොදුවේත් යුරෝ කලාපයට විශේෂිතවත් සිදුවන අවධමනයේ දිරිගැන්වීමයි."

මෙය කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයකට තුඩුදී ඇත. සිය ජංගම ගිනුමේ අතිරික්තය, "ජර්මනිය, යුරෝ කලාපය හෝ ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් කනස්සල්ලට හේතුවක් නොවේ" යයි ජර්මානු මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ, "නිවැරදි කිරීමක් අවශ්‍ය කෙරෙන කිසිදු අසමතුලනයක් ජර්මනිය තුල ඇත්තේ නැති" බවයි.

සෑම අයෙක්ම තම තමන්ගේ වැඩ බලාගන්නා සෑම ප්‍රධාන බලවතෙකුම තමන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව කටයුතු කරද්දී, 2008 සිදුවීම් වලින් පසුව ඔවුන් අතර පැවතියා යයි කියන "එක්සත්කම" බිඳී විසිර යාමේ කාරනය මෙම ගොරහැඩි වචන හුවමාරුව මගින් සලකුනු කරයි.

ප්‍රතිවිපාක ගැන නොසලකමින් එජ මහ බැංකුව සිය බැංකු නඟාසිටුවීමට මුදල් වීසි කරයි. තමන්ගේ බැංකු හා ව්‍යාපාර වලට සහාය පිනිස ජර්මනිය අවශේෂ යුරෝපය මත දුප්පත්කම පටවයි. සිය ආසියානු එදිරිවාදීන්ට එරෙහිව තම තරඟකාරී ශක්තිය වැඩිදියුනු කර ගැනීමටත් යෙන් මුදලේ අගය පහත හෙලීමටත් ජපානය, එජ මහ බැංකුව අනුගමනය කරමින් සිය මූල්‍ය පදනම් ප්‍රසාරනය කරයි.

වැඩෙන මූල්‍ය අස්ථාවරත්වය හා ප්‍රධාන බලවතුන් අතර මතුවන ප්‍රතිඝතිතා, තවත් ප්‍රධාන අර්බුදයක් සඳහා කොන්දේසි සකසයි. ඒවා විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇත. එකම ඉදිරි මාවත, බලය අල්ලා ගැනීම පිනිස කෙරෙන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් අරගලයකි. එමගින් ලෝක ආර්ථික සම්පත් මත බැංකු හා ව්‍යාපාර විසින් පවත්වාගෙන යන ගලග්‍රහනය බිඳ තර්කානුකූල සමාජවාදී ආර්ථිකයක් පිහිටුවිය යුතුය.

Share this article: