යුරෝ අර්බුදයේ පුනරාගමනය

The return of the Euro crisis

2013 ඔක්තෝබර් 04

ජර්මන් මැතිවරන ව්‍යාපාරය මධ්‍යයේ යුරෝ අර්බුදය ඇනහිටුවා තිබුනු බව දැන් පොදුවේ පිලිගන්නා දෙයකි. එල්බී තිබෙන රාජ්‍ය නය පැහැරහැරීමක්, බැංකු කඩාවැටීමක්, ඩොලර් බිලියන ගනන් ඇප දීම්, කප්පාදු වැඩසටහන් හා අනෙකුත් සමාජ ප‍්‍රහාර පිලිබඳ මැතිවරන ව්‍යාපාරය අරක් ගන්නා ප‍්‍රවෘත්ති, ජර්මානු ආන්ඩුවට හෝ විපක්ෂයට අවශ්‍ය නො වී ය. බ‍්‍රසල්ස්හි තීරන ප‍්‍රමාද කරන ලැබූ අතර අර්බුදය මැකී ගිය බවක් දිස් විය.

දැන් මැතිවරනය අවසාන ය. අර්බුදය වඩාත් උග‍්‍ර මට්ටමකින් යලි පැමින තිබේ. ජර්මානු මැතිවරනය අවධියේ මාධ්‍ය වෙතින් එලි නොදුටු ප‍්‍රවෘත්ති පලවීමට පටන් ගෙන තිබේ. ප‍්‍රමුඛ ව්‍යාපාරික අටුවාකරුවෝ නව කප්පාදු වැඩ සටහන් හා ශ‍්‍රම වෙලඳපොල ප‍්‍රතිසංස්කරන ඉල්ලා හඬ නගති. දකුනු හා නැගෙනහිර යුරෝපයේ පමනක් නොව, ජර්මනිය, ප‍්‍රන්සය හා ඉතාලිය වැනි යුරෝපීය සංගමයේ (යුසං) අරටුවෙහි ඇති රටවල් ද මෙයින් නිදහස් නැත.

1930 ගනන් වලින් මෙපිට හටගත් දීර්ගතම හා ගැඹුරුතම පසුබෑම ට තුඩු දුන් එකදු ගැටලුවක් හෝ විසඳී ඇත්තේ නැත. කුරිරු කප්පාදු පියවරයන්ගෙන් පසුව ද ග‍්‍රීසියට අලුත් නය සහන අවශ්‍යව තිබේ. යුරෝ බිලියන 78ක නයක් සමගින් 2011දී "ගලවාගත්” බව කියන ලද පෘතුගාලයට යුරෝ බිලියන 50ක මුදල් එන්නතක් අවශ්‍යව ඇත. දැනටමත් බිලියන ගනන් ආධාර ලබාගෙන ඇති ස්පාඤ්ඤය බැංකු බංකොලොත් වීමේ තර්ජනයට මුහුනදී ඇත.

යුසං විසින් නිර්දේශ කරන ලද කුරිරු කප්පාදු වැඩසටහන් නය අර්බුදය විසඳනවා වෙනුවට එය උග‍්‍ර කර ඇත. එවන් පියවරයන්ගේ අරමුන වූයේ මහජනතාවගේ මුදල් පසුම්බියේ වියදමින් ධනවතුන් තවත් සමෘද්ධිමත් කිරීම ය. දශලක්ෂපතියන් ගොඩගැසෙද්දී හා කොටස් වෙලඳපොලවල් නව මුදුන් කරා එලඹෙමින් තිබිය දී දුප්පත්කම, විරැකියාව හා ආන්ඩුවල නය වේගයෙන් ඉහල යයි.

යුරෝ කලාපයේ රාජ්‍ය නය එක් වසරක් තුල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 88 සිට 92 දක්වා නැග ඇත. රටේ තරුනයින්ගෙන් අඩක්ම විරැකියාවට ඇද දමන ලද ගැඹුරු කප්පාදු තිබිය දීත් ස්පාඤ්ඤය පසුගිය වසරේ දදේනි සියයට 10.2ක තරම් අයවැය හිඟයකට මුහුනපෑවේ ය. එය ග‍්‍රීසියේ සියයට 10ක් ද අයර්ලන්තයේ 8.3ක් ද පෘතුගාලයේ 6.4ක් ද විය. යුසං කියා සිටි සියයට තුනේ සීමාවට ඒමට ප‍්‍රන්සයට ද නොහැකි වූ අතර එරට අයවැය හිඟය සියයට 4 ඉක්මවනු ඇතැයි සැලකේ.

ව්‍යසනකාරී කප්පාදු පියවර මගින් යුරෝපීය ආර්ථිකය හිඟමනට පත්කොට පාලක පන්ති තවත් පටි තදකර ගැනීම් ඉල්ලා සිටිති. ඉතාලි අගමැති එන්රිකෝ ලෙට්ටාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් පසුව මූල්‍ය මාධ්‍ය ජාලයන්, තවත් සමාජ කප්පාදු ඉල්ලා සිටිති. "දැන් අත ශක්තිමත්වී තිබේ. ඔහු රටේ තරගකාරිත්වය යලි ඇතිකල යුතු ය. ඒ සඳහා ශ‍්‍රමය සඳහා අයකරන ඉහල බදු කපාහැර එය පොදු වියදම් කැපීම මගින් හිලව් කරගත යුතුය”යි ෆිනෑන්ෂල් ටයිම්ස් කියා සිටියි.

ප‍්‍රන්සයේ පොදු වියදම් සඳහා වන ඉහල මන්ඩලය, 2016දී තුලනාත්මක අයවැයක් ගෙන ඒමට "මූල්‍ය සැලසුම්කරනය සඳහා දැඩි උත්සාහයක් දැරිය යුතු” යයි කියා ඇත.

ජර්මනියේ ඬේ සෙයිට් පත‍්‍රය, මැතිවරනයටත් පෙර සිටම පැමිනිලි කලේ, "කිසිදු වර්ගයක දේශීය ප‍්‍රතිසංස්කරනයක් ගෙන ඒමට” ආන්ඩුව අසමත්ව ඇති බවට ය. "කුමන වර්ගයක හෝ ජාත්‍යන්තර වගකීමක් දැරීම” පිලිබඳ කාරනය පසුව අකුලාගෙන ඇත. මීලඟ ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් වනු ඇත්තේ, මුදල් හිඟයෙන් පෙලෙන පලාත් පාලන ආයතන, ප‍්‍රාන්ත හා මධ්‍යම ආන්ඩු මට්ටමේ පවා තව තවත් වියදම් කැපීම ද ගෝලීය යුද කලාපයන්හි මිලිටරි මෙහෙයුම් දැඩි කිරීම ද ය.

ජර්මානු යුනිටි පාටි (එක්සත් පක්ෂය) ඉදිරියේ 03දා පැවැත්වූ කථාවකදී ජර්මානු ජනාධිපති ජෝෂිම් ගවුක් මෙම ප‍්‍රශ්න කෙරේ අවධානය යොමු කලේ ය. ලෝක දේශපාලනය තුල හා යුරෝපීය අර්බුදය තුල ශක්තිමත් ජර්මානු භූමිකාවක් ගැන ඔහු කථා කලේ ය. "ප‍්‍රශ්නය කෙලින්ම මතුවී තිබේ. අපගේ කැපවීම තුල රටේ වැදගත්කම පිලිබිඹු වන්නේ ද?”

කප්පාදු පියවරයන්ගේ වසර පහ යුරෝපයේ පන්ති ආතතීන් උත්සන්න කර ඇති අතර පුලුල් දේශපාලන අර්බුදයක් මුදාහැර තිබේ. මහාද්වීපය තුල ස්ථාවර ආන්ඩුවක් ඇති රටක් නැති තරම්ය. පෘතුගාලයේ කොන්සවේටිව් පක්ෂය මෑතක පැවැත්වූ ප‍්‍රාදේශීය මැතිවරනවල දී සිය ඡන්ද ප‍්‍රතිශතය සියයට 12න් අහිමි කර ගෙන ඇත. ප‍්‍රන්සයේ ජනාධිපතිගේ ප‍්‍රතිපත්ති අනුමත කරන්නේ ජනගහනයෙන් සියයට 23ක් පමනි. නව ලිබරල් එෆ්ඩීපී පක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසුව ජර්මනියේ චාන්සලර් ඇන්ජිලා මර්කෙල් නව සහචර පක්ෂයක් සෙවිය යුතුය.

ඒ අතරතුර යුරෝපීය ධනේශ්වරය තුල ආතතින් වැඩෙමින් තිබේ. ජර්මනිය හා ප‍්‍රන්සය අතර වර්ධනය වන ආර්ථික පරතරය ද දිග් ගැස්සෙන ඉතාලි අර්බුදය ද හමුවේ යුරෝ කලාපයේ ලොකුම ආර්ථිකයන් තුනේ බල තුලනය අර්බුදයට ගොස් තිබේ.

අන්ත දක්ෂිනාංශික වර්ගවාදී ප‍්‍රවනතා තැනක් දිනාගනිමින් සිටිති. ප‍්‍රන්සයේ ජාතික පෙරමුන ඉදිරියට එමින් සිටින අතර කොන්සවේටිව් පක්ෂය මෙම දක්ෂිනාංශික පක්ෂයට විවෘතව ඇත. ඔස්ටි‍්‍රයාවේ අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී පක්ෂ පසුගිය සතියේ මැතිවරනයෙන් සියයට 30ක් ඡන්ද ලබාගත්හ. ජර්මනියට විකල්පයක් සඳහා ජර්මනියේ දක්ෂිනාංශික යුරෝපා විරෝධී පක්ෂය පලමු වරට සංවිධාන කටයුතු අරඹා තිබේ.

ධනේශ්වරයට බලයේ රැඳී සිටිමින් සිය ප‍්‍රතිගාමී ප‍්‍රහාරය ගෙනයා හැකිව ඇත්තේ, කම්කරු පන්තියේ නාමයෙන් කිසිවෙක් ඊට දේශපාලනිකව අභියෝග නොකිරීමේ හේතුව නිසා පමනි. "වමේ” හෝ දකුනේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ පක්ෂ සියල්ලම ගැඹුරුවන අර්බුදයට ප‍්‍රතිචාර දක්වන්නේ, මතභේද අවමකර ගනිමින් තව තවත් දකුනට මාරු වෙමිනි.

බොහෝ කලකට පෙර ම සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂ දක්ෂිනාංශික ධනපති පක්ෂ සමග තිබුනු සියලු වෙනස්කම් ඉවත දමා යුසං කප්පාදු පියවරයන්ට පූර්න සහාය දෙමින් සිටිති. වෘත්තීය සමිති ගැන කිව හැක්කේ ද ඒ ටිකම ය. ඔවුහු කම්කරුවන්ගේ ප‍්‍රතිරෝධය මැඩ සහාය කලමනාකරුවන් හා කම්හල් පොලිසිය ලෙස වැඩට බැස සිටිති.

ජර්මනියේ වාම පක්ෂය හා ග‍්‍රීසියේ "රැඩිකල් වමේ සභාගය” හෙවත් සිරිසා වැනි ව්‍යාජ වාම පක්ෂ තියුනුම ආකාරයෙන් දකුනට ඇදී ගොස් තිබේ. ඔවුහු කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට දැඩි ලෙස විරුද්ධ වෙමින්, ධනේශ්වර පාලනය පවත්වාගෙන යාමේ වගකීම කරට ගෙන සිටිති.

හැකි සෑම අවස්ථාවක දී ම වාම පක්ෂය, "මානවවාදී” මිලිටරි මැදිහත්වීම් සඳහා උද්ඝෝෂනයේ යෙදෙමින්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයට හා හරිත පක්ෂයට සිය පූර්න සහාය පුදකර සිටිති. සිරිසාව ආන්ඩුව භාර ගැනීමට සූදානම් වෙමින්, ෆැසිස්ට්වාදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය සමග සමීපව බැඳී ඇති රාජ්‍ය මෙවලම ආරක්ෂා කරමින් එයට සහාය දෙති.

එලඹෙන පන්ති අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ යෙදී සිටින එකම දේශපාලන ප‍්‍රවනතාවය සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. බර්ලිනයේ හා බ‍්‍රසල්ස්හි කප්පාදු ප‍්‍රතිපත්ති කෙරෙහි පලවන පුලුල් විරෝධයට හඬක් හා ඒ වෙත දේශපාලන යොමුවක් සහිත ක‍්‍රියාමාර්ගයක් සමග ජර්මානු මැතිවරනයට සසප ඉදිරිපත් විය.

සසප හෙවත් පීඑස්ජීය, යුරෝපීය සංගමය හා සියලු වර්ගයේ ජාතිකවාදයන් සම්මුති විරහිතව ප‍්‍රතික්ෂේප කරන අතර, යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම සඳහා සටන් වදියි. එහි මැතිවරන ප‍්‍රකාශය මෙසේ පැහැදිලි කලේය: "සමාජවාදී පදනමක යුරෝපය එක්සත් කිරීම මගින් පමනක් කම්කරු පන්තියට සිය අවශ්‍යතා සපුරාගත හැකි ය. එසේම ජාතිකවාදයට හා යුද්ධයට යුරෝපය ඇද දැමීම වැලැක්විය හැකි ය. එමගින් මහාද්වීපයේ දැවැන්ත සම්පත් හා නිෂ්පාදන බලවේග සමස්ත සමාජයේම යහපත වෙනුවෙන් යොදාගත හැකි වනු ඇත.” ලෝසවෙඅ සියලු පාඨකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ පීඑස්ජීයට බැඳී යුරෝපය පුරා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට සහයෝගය දක්වන ලෙසයි.

පීටර් ස්වාස්

Share this article: