ඩෙට්‍රොයිට් කලා ආයතනය ආරක්ෂා කිරීමේ පෙලපාලියෙහි වැදගත්කම

The significance of the rally to defend the Detroit Institute of Arts

2013 ඔක්තෝබර් 07

එක්සත් ජනපදයේ ඩෙට්‍රොයිට් කලා ආයතනයේ (ඩීඅයිඒ) කලා කෘති විකිනීමට එරෙහිව සිකුරාදා පැවති පෙලපාලිය වැදගත් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වැදගත්කමින් යුත් කම්කරු ව්‍යාපාරයේ වර්ධනය තුල ඓතිහාසික සන්ධිස්ථානයක් ද වන්නේ ය.

ට්‍රොට්ස්කිවාදී සමාජවාදී සමානතා පක්ෂයේ හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ ධජය යටතේ සංවිධානය කෙරුනු හා පැවත්වුනු රැලිය ඩෙට්‍රොයිට් බංකොලොත්කම හා ඩෙට්‍රොයිට් ආපදා කලමනාකාර කෙවින් ඕර් ගේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව සංවිධානය කෙරුනු පලමු දේශපාලන පියවරයි. දල වශයෙන් කම්කරුවන් හා තරුනයන් 500ක් -ශිෂ්‍යයින්, නගරයේ කම්කරුවන්, ගුරුවරුන්, විශ‍්‍රාමිකයන්, කලාකරුවන් හා නෙරපීමට එරෙහිව සටන් වැදී සිටින පදිංචිකරුවන් ඇතුලු ඩෙට්‍රොයිට් කම්කරු පන්තියේ සැලකිය යුතු හරස්කඩක් ‒ සංස්කෘතිය හා කම්කරු පන්තියේ සියලු අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය හෙලා දැකීමට එක් රැස් වූහ.

උද්‍යෝගය හා සාරදර්ශනය පෙලපාලිය තුල කැටිවී තිබුනි. කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරය කෙරෙහි පල වන සියලු විරෝධතා, සංගත පාලිත වෘත්තීය සමිති විසින් පාවාදීමේ හා මර්දනය කිරීමේ දශක ගනනාවකට පසු පැවති මෙම රැලිය, සහභාගී වූවන් බොහෝ දෙනෙකුට සමාජ විරෝධතාවකට එක් වීම සඳහා පලමු අවස්ථාව සපයා දුන්නේ ය. ඩෙමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන්ට පහර දුන්, ධනේශ්වර ලාභ පද්ධතිය ප‍්‍රතික්ෂේප කල, සමාජවාදයේ අවශ්‍යතාව අවධාරනය කල හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම සඳහා ආයාචනා කල කථිකයන්ට පෙලපාලිකරුවෝ ඔල්වරසන් දී සහයෝගය පලකලහ.

පෙලපාලියේ විශාලත්වය සැලකිය යුතු තරම් විය. එය ප‍්‍රාදේශීය මාධ්‍යය විසින් පවා පිලිගන්නා ලද කරුනකි. 4දා වන තුරු ඩෙට්‍රොයිට් බංකොලොත්කම හා කලමනාකාරුගේ ක‍්‍රියාවන් ඉදිරියට ගියේ කිසිදු ක‍්‍රියාකාරී විරෝධයකින් තොරව ය. ඕර් සිය ප‍්‍රකාශකයෙකු කරගෙන සිටින මූල්‍ය ම්ලේච්ඡයින්ට, විශ‍්‍රාම වැටුප් හා සෞඛ්‍ය රැකවරන දෙපලු කිරීමට හා නගරයේ වත්කම් ඈවර කිරීමට නිදහසක් හිමිව තිබුනි. සැබවින් ම නගරයේ බැඳුම්කර හිමියන්ට ගෙවීමට, ඞීඅයිඒ කලාකෘතීන් බොහොමයක් අලෙවියට සූදානම් කිරීම සඳහා ක‍්‍රිස්ටීස් වෙන්දේසි සමාගමේ තක්සේරුව ලබාගැනීම පිනිස "නිදහස් කිරීම හා ඉවත් කිරීම” පිලිබඳව සලකා බලන බව ඕර් ප‍්‍රකාශ කලේ යන්තම් පසුගිය සතියේ ය.

ආපදා කලමනාකරුවාගේ පියවරයන්ට සම්පූර්න දේශපාලන සංස්ථාපිතයේ ම, එනම් ඩෙමොක‍්‍රටිකයන්ගේ හා රිපබ්ලිකානුවන්ගේ සහාය ලැබී ඇත. ඕර් තනතුරට පත් කර, ඩෙට්‍රොයිට්හි අනාගතය තීරනය කිරීමේ ඒකාධිපති බලතල ඔහු වෙත පවරන ලද්දේ මිචිගන් හි රිපබ්ලිකානු ආන්ඩුකාරයා වන රික් ස්නයිඩර් හා ඩෙමොක‍්‍රටික් භාන්ඩාගාරික ඇන්ඩි ඩිලොන් විසිනි. නගර සභාව හා නගරාධිපති ද දූෂිත සමස්ත පලාත් ආන්ඩුව ද තමන්ගේම වාසි හා වරප‍්‍රසාද පෝෂනය කෙරෙන තාක් දුරට විරුද්ධත්වයකින් තොරව ම තමන්ගේ ම බලතල අත හරිමින් වහා ම ඊට කැමති වූහ.

ඩෙට්‍රොයිට් හි සිදුවෙමින් පවතින දෙය රට පුරා ඒ සමාන පියවර සඳහා ආදර්ශයක් ලෙස දකින ඔබාමා පාලනාධිකාරයේ සහාය ද ඕර්ට හිමි විය. යන්තම් සතියකට පෙර මෙම වැඩපිලිවෙලට සිය ආශීර්වාදය පුද කිරීම සඳහා පාලනාධිකාරයේ නිලධාරීන් නගරයට පැමින සිටියහ. මහ ආන්ඩුව ඩෙට්‍රොයිට් පාලක පන්තියට නාමිකව හෝ අරමුදල් සම්පාදනය කරන්නේ, ගොඩනැගිලි විනාස කිරීමට හා තව තවත් පොලීසිය කුලියට ගැනීම සඳහා ය.

මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියාදාමයේ දී වෘත්තීය සමිති ක‍්‍රියාකාරීව ඊට සහාය දක්වමින් හවුල් වෙති. කම්කරු පන්තිය සූරා කෑමෙන් ලාභ ලබන්නා වූ මුදල් උපයන ව්‍යාපාරයක් ලෙස එම සංවිධාන මෙහෙයවමින් වෘත්තීය සමිති විධායකයෝ, සංගත ඇමරිකාවේ දෘෂ්ටිය හා උත්සුකයන් බෙදාහදා ගනිති. තමන් නියෝජනය කරනවා යයි කියන කම්කරුවන් සඳහා මෙම සංවිධාන දක්වන පිලිකුල, රජයේ කම්කරු සංගමයේ ප‍්‍රාදේශීය ප‍්‍රධානියා විසින් "ඔබට කලා කෘතීන් කෑමට ගත නො හැක” යනුවෙන් ප‍්‍රකාශ කරමින් ඩීඅයිඒ කලා කෘති විකිනීම යුක්තිසහගත කල අවස්ථාවේ දැකගතහැකි විය. වෘත්තීය සමිති විධායකයන්ගේ එකම උත්සුකය වන්නේ ඩීඅයිඒ සතු ශ්‍රේෂ්ට කලා කෘති විකිනීමෙන් එන ලාභ තමන්ගේ සාක්කු තුලට ද වැටෙයි ද යන්න ගැනය.

අසීමිත මධ්‍යම පන්තික විරෝධතා සංවිධාන අතර වන සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන විරුද්ධවාදීහූ පුරුද්දක් ලෙස අපගේ සංවිධානය "කට්ටිවාදී” යැයි හෙලා දකිති. ඔවුන් සැබවින් ම අදහස් කරන්නේ ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත ධනපති ගැති වෘත්තීය සමිති හා ඩෙමොක‍්‍රටික් පක්ෂයට විපක්ෂව කම්කරු පන්තිය සංවිධානය කිරීමට සසප දරන උත්සාහය යි. 1දා රැලිය මෙම මඩගැසීමට එරෙහිව සසප වෙත පැහදිලි කීර්තියක් (ගෞරවයක්) පුද කර තිබේ. වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දී සසප කම්කරු පන්තිය සංවිධානය කල හැකි එකම සංවිධානය බව ඔප්පු කලා පමනක් නො ව. ආරම්භක ආකාරයකින් වුවත් රැලිය තුල ප‍්‍රකාශ වුනේ, කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරය හා මාක්ස්වාදී ප‍්‍රතිපත්ති සඳහා අරගලය ද සමාජවාදී සවිඤ්ඤානකත්වය සඳහා සටන ද වේ.

ඩෙට්‍රොයිට් කලා ආයතනය ආරක්ෂා කිරීමේ දී සමාජවාදී සමානතා පක්ෂය ඉටු කල කාර්යභාරය පිලිබඳ ව තවත් කාරනයක් පැහදිලි කල යුතු ය. "ප‍්‍රභූ පැලැන්තියේ” ආයතනයක ඉරනම පිලිබඳව සසප උනන්දු වන්නේ ඇයි දැයි ඇතැමෙකු අපගෙන් අසන්නේ කුමක් නිසා ද? කම්කරු පන්තියේ ප‍්‍රධාන උත්සුකය වන "පාන් හා බටර්” සමග චිත‍්‍ර හා කලා කෘතිවල ඉරනමට පොදුවේ ඇත්තේ කුමන සම්බන්ධයක් ද? මෙම ප‍්‍රශ්න කොතරම් අවංක හා යහපත් චේතනාවෙන් වුවත් පිලිබිඹු කරන්නේ සමකාලීන ධනේශ්වර සමාජය තුල සාරභූත විප්ලවවාදී ප‍්‍රගතිශීලී බලවේගය ලෙස කම්කරු පන්තියේ කාර්යභාරය අවතක්සේරු කිරීමක් හා සමාජවාදය සඳහා අරගලයේ වැදගත්කම පිලිබඳ අප‍්‍රමානවත් අවබෝධය යි. කලාවේ හා සංස්කෘතියේ තීරනාත්මක වැදගත්කම පිලිබඳ දැනුවත් කම්කරු පන්තිය වැටුප්, සෞඛ්‍ය රැකවරන හා විශ‍්‍රාම සහන සඳහා අධිෂ්ඨාන සහගත අරගලයක් ගෙන යාමේ හැකියාව අඩු නැතිව ඔප්පු කරනු ඇතැ යි යමෙකුට සැක කල හැකි ද?

ජාත්‍යන්තර කමිටුව හා ලෝසවෙඅ දීර්ග කාලයක් තිස්සේ අවධාරනය කර ඇත්තේ කම්කරු පන්තිය සඳහා සංස්කෘතිය අත්‍යාවශ්‍ය වන අතර සංස්කෘතිය සඳහා කම්කරු පන්තියේ අරගලය අත්‍යාවශ්‍ය බව යි. කලාවට තෙමේම ආරක්ෂා වීගත නො හැක. එහි සංස්කෘතිමය උරුමය ද ඇතුලු මනුෂ්‍ය වර්ගයාගේ සියලු ම ප‍්‍රගතිශීලී උරුමයන් රැඳී පවතින්නේ, අද දවසේ ප‍්‍රභූ පන්තිය විසින් ගෙන යනු ලබන කොල්ල කෑමට විරුද්ධව කම්කරු පන්තියේ මැදිහත්වීම මත යි.

තනි නගරයක මෙම එක් පෙලපාලියක් ඇමරිකානු කම්කරු පන්තිය මුහුන දෙන සංකීර්න දේශපාලන ගැටලු විසඳා නැති බව සසප ඉතා හොඳින් වටහා ගනී. පෙලපාලිය සැදුම් ලද්දේ විරෝධතාකරුවන් සිය ගනනකිනි, දහස් ගනනකින් නො වේ. එහෙත් එක්සත් ජනපදයේ දේශපාලන වාතාවරනය පිලිබඳව හුරු පුරුදු සෑම අයෙක් ම - ධනේශ්වර පක්ෂ දෙක විසින් නිල දේශපාලන ජීවිතයේ ඒකාධිකාරය දැරීම, මාධ්‍යයේ කුරිරු කොමියුනිස්ට් විරෝධය හා විසම්මතික අදහස් මර්දනය කිරීම, මිලිටරිවාදය සහ දේශපාලන හා සංස්කෘතික පසුගාමිත්වය තුල සිතා ගත හැකි සෑම රූපාකාරයක් ම නොනවත්වා මහිමත්වයට නැංවීම, හා ඇමරිකානු කම්කරු පන්තියේ පැවත්ම ම ක‍්‍රමානුකූලව ප‍්‍රතික්ෂේප කිරීම - පිලිගනු ඇත්තේ ඩීඅයිඒ ආරක්ෂා කිරීමේ ඔක්තෝබර් 4 පෙලපාලිය දැවන්ත ලෙස වැදගත් හා ඓතිහාසික සිද්ධියක් බව යි. ඇමරිකානු හා ජාත්‍යන්තර පන්ති අරගලයේ ඓතිහාසික මධ්‍යස්ථානයක් වන ඩෙට්‍රොයිට් තුල සමාජවාදී ධජ හා පුවරු සහිත ව කම්කරුවන් හා තරුනයන් සිය ගනනක් පෙලපාලි ගියේ ධනේශ්වර පන්තියේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව ය.

දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය දේශපාලන ජීවිතයෙන් හා සමාජ අරගලයෙන් හුදෙකලාකොට තැබීම, බිඳීයමින් තිබේ. පෙලපාලිය, ඇමරිකානු කම්කරු පන්තිය දේශපාලනිකව පෙරලිකාරී වීමේ ප‍්‍රධාන පෙර නිමිත්තකි. වඩ වඩාත් පැහදිලි ලෙස ධනේශ්වර විරෝධී හා සමාජවාදී ස්වභාවයක් ගනු ඇති මෙම පෙරලිකාරිත්වයේ වර්ධනය එක්සත් ජනපදය තුල දේශපාලන ජීවිතය නාටකාකාර ලෙස පරිවර්තනය කරනවා පමනක් නො ව. විප්ලවවාදී බලවේගයක් ලෙස ඇමරිකානු කම්කරු පන්තියේ මතුවීම ලෝකය පුරා දෝංකාර නංවනු ද ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ ක‍්‍රියාමාර්ගය සමග එකඟ වන හා සමාජවාදය සඳහා සටන තුල ක‍්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කිරීමට අවශ්‍ය අය මෙම ව්‍යාපාරය සමග එක්වීමට තීරනය ගත යුතු ය.

ජෝසෆ් කිෂෝර් හා ඬේවිඞ් නොර්ත්

Share this article: