ඇමරිකාවේ සමෘද්ධිය හා දරිද්‍රතාව

Wealth and poverty in America

2013 ඔක්තෝබර් 25

2008 මූල්‍ය කඩාවැටීමෙන් අවුරුදු පහකට පසු, වැඩෙන්නා වූ දරිද්‍රතාව හා සමාජ කාලකන්නිකම මධ්‍යයේ එක්සත් ජනපද පාලක පන්තිය සමෘද්ධියේ පෙර නොවූ විරූ මට්ටම් ලඟා කර ගනිමින් සිටිති.

ජීඑම්අයි රේටින්ග්ස් නම් ආයතනය විසින් නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව, එක්සත් ජනපදය තුල වැඩි ම වැටුප් ලබන ඉහල විධායකයින් දහදෙනාගෙන් සෑම අයෙකු ම පසු ගිය වසරේ දී ඩොලර් මිලියන 100ට වඩා උපයා ගත්තේ ය. ප‍්‍රධාන විධායකයන් දෙදෙනෙකු පමනක් තනි තනිව ඩොලර් බිලියනය 1ට වඩා ලැබූ අතර, එක් අවුරුද්දක් තුල ඉහල ම 10දෙනාගේ ඒකාබද්ධ වැටුප ඩොලර් බිලියන 4.7ක් විය.

යථා දර්ශනයක තැබූ විට, ප‍්‍රධාන විධායකයන්ට ගෙවූ මුදුල, නිවාස උනුසුම් කිරීමේ අනුග‍්‍රහ සඳහා එලඹෙන වසරේ මධ්‍යම ආන්ඩුවේ අයවැයට වඩා සියයට 50කින් වැඩි ය. එය ඩෙට්‍රොයිට් නගරයේ සමස්ත අයවැය හිඟයට වඩා 12ස් ගුනයකින් වැඩි ය. නගර සභා කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් හා සෞඛ්‍ය ප‍්‍රතිලාභ කැපීම හා ලෝකයේ විශිෂ්ටත ම කෞතුකාගාරවලින් එකක් වන ඩෙට්‍රොයිට් කලා ආයතනයේ කලා වස්තූන් විකිනීම යුක්තිසහගත කිරීම සඳහා එහි පාලකයින් යොදා ගනිමින් සිටින්නේ මෙම හිඟය යි.

ඉහලින් ම ගෙවන ලද ප‍්‍රධාන විධායකයා වන ෆෙස්බුක් හි මාක් ෂුකර්බර්ග් ගේ 2012 වසරේ ආදායම (ඩොලර් බිලියන 2.27), බේ ඒරියා නම් ප‍්‍රදේශයේ (ෂුකර්බර්ග් පදිංචි මෙහි ය) මුළු සංක‍්‍රමන කම්කරුවන් 2,300ට වසර දහසයක් සඳහා වැටුප් ගෙවීමට ප‍්‍රමානවත් වනු ඇත. එසේ වුවත් මෑතක දී අවසන් වුනු වැඩවර්ජනය මධ්‍යයේ, ආත්මාර්ථකාමී හා පමන ඉක්මවා පඩි ලබන්නේ යයි මාධ්‍යය හා දේශපාලකයින් විසින් හෙලා දකින ලද්දේ මෙම සංක‍්‍රමනික කම්කරුවෝ ය.

ප‍්‍රධාන විධායක නිලධාරී වැටුප් වාර්තාව එලි දැක්වුනේ, පසු ගිය මාසයේ නිකුත් කෙරුනු පොහොසතුන් 400 පිලිබඳ ෆෝබස් වාර්තාවට පසුව ය. එක්සත් ජනපදයේ පොහොසත් ම 400 දෙනාගේ ඒකාබද්ධ ධනය ඩොලර් ටි‍්‍රලියන 1.7 සිට ඩොලර් ටි‍්‍රලියන 2 දක්වා සියයට 17කින් වැඩිවී ඇති බව එම වාර්තාවෙන් පෙන්නුම් කරයි. මෙම පුද්ගලයන් 400ගේ ධනය, ෆෙඩරල් ආන්ඩුවේ අයවැය හිඟය පියවීමට අවශ්‍ය මුදල මෙන් දෙගුනයකට වඩා වැඩි ය, ආහාර සලාක, අධ්‍යාපන, නිවාස සහන ද විශ‍්‍රාම හා සෞඛ්‍ය රැකවරන ද කපා දැමීම සඳහා කඩතුරාව ලෙස යෙදා ගනු ලබන්නේ මෙම අයවැය හිඟය යි.

මූල්‍ය ප‍්‍රභූවේ අශිෂ්ට ස්වයං-අභිවෘද්ධිය පසකින් දරිද්‍රතාව නොකඩවා වැඩී යයි. සදන් එඩියුකේෂන් ෆවුන්ඬේෂන් නම් ආයතනය විසින් මෙම මස මුල දී නිකුත් කරන ලද අධ්‍යයන වාර්තාවක් එක්සත් ජනපද රජයේ පාසල්වල සිසුන්ගෙන් ආසන්න වශයෙන් අඩක් 2011න් අවසන් වුනු පාසල් වර්ෂයේ දී දරිද්‍රතාවේ සිටි බව පෙන්වා දෙයි. ලෝකයේ පොහොසත් ම රටවල් 45න් එක්සත් ජනපදය සිටින්නේ ලමා දරිද්‍රතාවේ දෙවනි ඉහල ම මට්ටමේ වන අතර එය ඉක්මවනු ලබන්නේ රුමේනියාව විසින් පමනි.

එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සපයන ලද සංඛ්‍යා මත පාදක ව ඔක්. 24දා නිකුත් කෙරුනු වාර්තාවක් නිගමනය කලේ, රජයේ පාසල්වලට බඳවා ගැනුනු සිසුන් මිලියන 1.1ට වඩා වැඩි සංඛ්‍යාවක් 2011-2012 වර්ෂයේ යම් අවස්ථාවක දී නිවාස අහිමි ව සිටි බව යි, එය 2010-2011 වර්ෂයට වඩා සියයට 10න් වැඩි වන අතර ආර්ථික අර්බුදය ආරම්භ වීමට පෙර තිබුනාට වඩා සියයට 72කින් ඉහල ය. මෙම සංඛ්‍යා ද හිසට වහලක් අහිමි පාසල් සිසුන්ගේ සැබෑ සංඛ්‍යාව අවතක්සේරු කර යි.

කුටුම්භ ආදායම, දරිද‍්‍රතාව, විරැකියාව යන සෑම මිම්මකින් ම ජනගහනයේ විශාල බහුතරයක ජීවන තත්වයන් ඓතිහාසික බිඳවැටීමක් අත් විඳින අතර මෙහි බලපෑම දශක ගනනාවක් පවතිනු ඇත. විශ‍්‍රාම වැටුප් හා සෞඛ්‍ය රැකවරන ප‍්‍රහාරයට ලක්වීමත් සමග විශ‍්‍රාම යා නො හැකි බව වැඩිහිටි කම්කරුවෝ තේරුම් ගනිමින් සිටිති. තරුනයන් සඳහා ඉදිරිපත් කෙරෙන අනාගතය, ආර්ථික අවතැන්වීම, දරිද්‍රතාව, නයගැතිකම හා විරැකියාවේ නිරන්තර ක‍්‍රියාවලියකි.

මුදා හැර ඇති විනාශයෙන් සහ දරිද්‍රතාව හා අසමානතාවේ වර්ධනයෙන් මුදාගනු වෙනුවට එක්සත් ජනපද පාලක පන්තිය සමාජය කොල්ලකෑම හා කම්කරු පන්තියට එරෙහිව සිය යුද්ධය තීව‍්‍ර කරමින් සිටී. ඔබාමා පාලනාධිකාරය ෆෙඩරල් මහ බැංකුවේ නායකත්වයට ජැනට් යෙලෙන් යෝජනා කිරීම මගින් ධවල මන්දිරය පැහදිලි කරන්නේ, වාර්ෂිකව එකී මහ බැංකුව මූල්‍ය වෙලඳපොලට ඩොලර් ටි‍්‍රලියන 1ට වැඩි මුදල් ප‍්‍රදානය කිරීම ඉදිරියට යනු ඇති බව යි. මේ අතර ආන්ඩුවේ වසා දැමීම ඉක්බිත්තේ පාලනාධිකාරය හා කොන්ග‍්‍රසය කුමන්ත‍්‍රනය කරමින් සිටින්නේ, වෛද්‍යාරක්ෂාව හා සමාජ සුරක්ෂන වැඩසටහන්වලින් ඩොලර් බිලියන සිය ගනනක් කපා දැමීමට ය.

වැඩෙන අසමානතාව ඇමරිකාව තුල ඉහවහා යන හා සාර්වත‍්‍රික සමාජ යථාර්ථය වන නමුත් එය එක්සත් ජනපදයට පමනක් සුවිශේෂී නො වේ. ආර්ථික හා දේශපාලන බලයේ යාන්ත‍්‍රනය පාලනය කරන කුවේර තන්ත‍්‍රය 2008 සිට, පෙර නො වූ විරූ ලෙස පතුලේ සිට ඉහලට ධනයේ ගෝලීය මාරුවක් පාලනය කර ඇත. නය ආපසු ගෙවීම සඳහා කම්කරු පන්තියෙන් හැකි සෑම පැන්සයක් ම මිරිකා ගැනීමට බැංකු කප්පාදු පියවර අනකිරීමත් සමග ග‍්‍රීසිය, ස්පාඤ්ඤය වැනි රටවල දරිද්‍රතාව හා විරැකියාව සම්මතයක් වී ඇත. සෙසු ලෝකය ද පවතින්නේ ඊට බොහෝ පසු පසින් නො වේ.

කම්කරුවන් සඳහා යහපත් ජීවන තත්වයක් සමාජයට දැරිය නො හැකි යයි ප‍්‍රකාශ කෙරේ. තරුනයන්ට අධ්‍යාපනය හෝ රෝගීන්ට හා වැඩිහිටයන්ට සෞඛ්‍ය ආරක්ෂාව හෝ සැපයීම එයට දැරිය නො හැක. මිනිසුන් ඕනෑවට වැඩි කාලයක් ජීවත්වීමේ මහ ගැටළුව, සම්පත් උරාබොන බවත් නො එසේ නම් පොහොසත් ම සියයට එකේ සේප්පු වලට එම මුදල් ගලායාමේ හැකියාව පිලිබඳ ව පාලක කවයන් තුල සාකච්ඡා කෙරේ .

මූලික සමාජ අවශ්‍යතාවන් ඉටු කිරීමට "මුදල් නැත” යන ප‍්‍රකාශය පිලිබඳව කාරනා දෙකක් මතු කල යුතු ය. පලමුව, මානව ඉතිහාසය තුල මීට පෙර නො දුටු පරිමාවකින් පෞද්ගලික ධන සමුච්චයනය මධ්‍යයේ එවැන්නක් ගැන කථා කිරීමට වඩා පැහදිලි අභූතයක් තිබේ ද? සම්පත් නැත යන බොරුව නොනවත්වා පුනරුච්චාරනය කිරීම මගින් එය වඩා විශ්වසනීය බවට පත් කෙරෙන්නේ නැත.

දෙවනුව, පුලුල් ජනතාව අතීතයේ දී දිනා ගෙන ඇති හැම දෙයක් ම ධනවාදය සුරැකීමට කැප කල යුතු යයි ප‍්‍රසිද්ධියේ කියා සිටින පාලක පන්තියේ නියෝජිතයෝ, ඔවුන්ගේ ම ආර්ථික පද්ධතිය පිලිබඳ ව විනාශකාරී විනිශ්චයක් ඉදිරිපත් කරති. කම්කරුවන්ගේ වැටුප්, ප‍්‍රතිලාභ, සමාජ සේවාවන් හා මහජන පොදුකාර්ය පහසුකම් කැපීමේ කුරිරු තල්ලුව පෙන්නුම් කරන්නේ, ධනවාදය යනු බොහෝ කාලයක් තිස්සේ ඓතිහාසික යුක්තිසහගත බව යල් පැනගොස් ඇති අසාර්ථක පද්ධතියක් බව සැබවින් ම පිලිගැනීමකි.

යථාර්තයේ දී නම් සමාජයට දැරිය නො හැක්කේ පොහොසතුන් ය. ඔවුන්ගේ කෑදර ආශාවන් හා ඔවුන්ගේ නො තිත් බඩජාරිකම තෘප්තිමත් කිරීමට බියකරු හා අවිචාරී සම්පත් කොල්ලකෑම සමාජයට දැරිය නො හැක. ඔවුන්ගේ පෙර නො වූ විරූ පෞද්ගලික ධන සමුච්චනයට තමන්ට ඇති සියළු අයිතීන් හා අවශ්‍යතාවන් යටකිරීම කම්කරු පන්තියට දැරිය නො හැක.

එම පද්ධතිය ප‍්‍රතිසංස්කරනය කිරීම සඳහා පාලක පන්තියට හා එහි දේශපාලන නියෝජිතයන්ට අයාචනා කිරීම පිලිබඳ කාරනයක් නො වේ මෙය. මානව වර්ගයා වෙත පටවා තිබෙන එහි විනාශකාරී ප‍්‍රතිවිපාක නොතකා ඉදිරියට යන සමාජ කොල්ලකෑම ජාත්‍යන්තර ප‍්‍රපංචයකි යන කාරනය පිලිබිඹු කරන්නේ, එය ධනේශ්වර පද්ධතියේ ස්වභාවය තුලම වෛෂයිකව තැන්පත් වී තිබේය යන කාරනය යි.

ඓතිහාසික කරතව්‍යය වන්නේ මෙම පද්ධතියට අවසන් තිත තැබීම යි. ඇමරිකානු සමාජය තුල ආධිපත්‍යය දරන සමාජ අසමානතාව, දරිද්‍රතාව හා සමාජ කාලකන්නිකම අවසන් කිරීමේ එකම මාවත, මූල්‍ය ප‍්‍රභූව විසින් පාලනය කරනු ලබන දැවන්ත ධනය අත්පත් කරෙගන මෙම සම්පත් සමාජ අවශ්‍යතාවන් ඉටු කිරීමට යොදාගැනීම යි.

ධනේශ්වර පද්ධතියේ අර්බුදය ම එය පෙරලා දැමීමේ කොන්දේසි නිර්මානය කරමින් තිබේ. දශලක්ෂ ගනන් මිනිසුන් වර්තමානයේ පවතින තතු දකින්නේ, කෝපයෙනි. ඔවහු විකල්පයක් සොයති. නමුත් කම්කරු පන්තියේ කෝපය දේශපාලන රූපාකාරයක් අත් කර ගත යුතු ය. එය සංවිධානය කල යුතු අතර එයට දැනුවත් පැහදිලි කමක් හා මග පෙන්වීමක් ලබා දිය යුතු ය. මේ සඳහා පක්ෂයක් අවශ්‍ය ය- එනම් ඓතිහාසික පදනම් සහිත විප්ලවවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක නායකත්වයක් අවශ්‍ය ය.

සමාජවාදී සමානතා පක්ෂයේ ක‍්‍රිමාර්ගය හදාරන ලෙස හා කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනට එක්වන ලෙස අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

ඇන්ඩ්‍රේ ඩිමෝන්

Share this article: