අනාරක්ෂිත කැනීම්වලින් කම්කරුවන් දෙදෙනෙකු මරනයට පත් වෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2013 ඔක්තෝබර් 9

කම්කරුවන් මතට අඩි විස්සක් පමන උස පස් කන්ඩියක් කඩා වැටී

සැප්තැම්බර් 30 දා, කොලඹ මෝදර එලිහවුස් ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන නව ජලනල එලීම සඳහා පොලව කනිමින් සිටි කම්කරුවන් මතට අඩි විස්සක් පමන උස පස් කන්ඩියක් කඩා වැටීමෙන් වැල්ලවායේ පදිංචි සුනන්ද (44) සහ හඟුරන්කෙත, අධිකාරිගම, බී.එම්. දයාරත්න (34) මිය ගිය අතර දෙහිඅත්තකන්ඩියේ අමිල නුවන් (18), ඉන්දික නුවන් (18) සහ ඒ.කේ. ජනක බංඩාර (24) තුවාල ලැබූහ.

දෙහිඅත්තකන්ඩියේ අමිල නුවන් (18)

අනතුරට හේතුව කොන්ත‍්‍රාත්කරු විසින් කම්කරුවන් අනාරක්ෂිතව සේවයේ යෙදවීම බව එලිදරව් වී තිබේ. එලිහවුස් ජල ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇත්තේ චීන ඉංජිනේරු සමාගමක් වන චයිනා ජියෝ සමාගම යි. ව්‍යාපෘති භූමියට ඇතුලුවන විට සේෆ්ටි ෆස්ට් (ආරක්ෂාව පලමුව) යන ප‍්‍රදර්ශන පුවරු දැකිය හැකි වුවත් කම්කරුවන් සේවයේ යොදවා ඇත්තේ නිසි ආරක්ෂක විධිවිධාන වලින් තොරව ය. පොලිස් පරීක්ෂන වලින් ද එය තහවුරු වී ඇත. පස්කන්ඩියට කම්කරුවන් යටවන විට ඔවුන් කැනීම් කටයුතුවල නිරතව සිට ඇත්තේ පොලොව මට්ටමේ සිට අඩි 45 ක් පමන ගැඹුරට හෑරූ වලක ය. පස්කන්ඩිය කඩාවැටීම වැලැක්වීම සඳහා කිසිදු ආරක්ෂක පියවරක් ගෙන තිබී නැතිවා පමනක් නොව, අනතුර සිදුවන අවස්ථාවේ වැඩ පරීක්ෂකවරයා හෝ වෙනත් වගකිවයුතු නිලධාරියෙකු පවා එහි සිට නැත.

ව්‍යාපෘති භූමියට ඇතුලුවන කම්කරුවන්

පෙරවරු 11.30 ට පමන පස්වලට යට වූ කම්කරුවන් ගොඩ ගෙන ඇත්තේ ප‍්‍රදේශවාසීන්ගේ උදව් ඇතිව ය. යටව සිටි අවසන් කම්කරුවා සොයා ගන්නා විට සවස 6.00 පමන වූ බව සෙසු කම්කරුවෝ කීහ. සුනන්ද සහ දයාරත්න සොයා ගන්නා විටත් ඔවුන් මියගොස් තිබුනි. තුවාල ලැබූ තිදෙනාගෙන් අමිල නුවන් සහ ඉන්දික නුවන් බරපතල තුවාල ලබා නැතත් ජනක බංඩාර ගේ කොඳුඇට පෙලට හා දකුනු කකුලට හානි සිදු වී තිබේ. ඔවුන් තිදෙනාගේ දිවි ගැල වී ඇත්තේ ඔවුන් විශාල ජල නල තුල කොටු වී සිටි නිසාවෙනි.

කොඳුඇට පෙලට හා දකුනු කකුලට හානි සිදු වූ ඒ.කේ. ජනක බංඩාර (24)

අනතුරක් සිදුවීමට ඇති හැකියාව ගැන තමන් අනතුරු ඇඟවුවත් නිලධාරීන් ඒ ගැන සැලකිලිමත් නොවූ බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලහ. "පස්කන්ඩිය කඩා වැටෙයි කියල මහත්තුරුන්ට අපි කිව්වා. ඔයිට වැඩිය අමාරු වැඩ අපි කරල තියෙනවා කියල අපි කියපු දේ ඒ ගොල්ලෝ පිලිගත්තේ නැහැ. ජීවිත දෙකක් විනාස වුනේ මහත්තයලගේ නොසැලකීම නිසා” යයි කම්කරුවෝ කීහ. ආරක්ෂාවට දෙන්නේ කැප් එකක් හා ජැකට් එකක් පමනක් බවත් ඉන් එතරම් පලක් නැති බවත් කී ඔවුහු මෙසේ ද පැවසූහ: "ආන්ඩුවත් කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන තකන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු කම්කරු ඇමති කෙනෙක්. ඒ වුනාට එයා කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන කිසිම දෙයක් කරන්නේ නෑ.”

සිද්ධියෙන් කම්කරුවන් කුපිත වීම නිසා දින හයකට ව්‍යාපෘතියේ කටයුතු අත් හිටවූ ආන්ඩුව අනතුර ගැන "නිසි” පරීක්ෂනයක් පවත් වන බව නිවේදනය කලේ ය. මිය ගිය කම්කරුවන් දෙදෙනාට ලක්ෂ තුන බැගින් වන්දි ගෙවීමටත් දයාරත්නගේ බිරිඳට වසරක් ගතවන තෙක් ඔහුගේ වැටුප ගෙවීමටත් චීන කොන්ත‍්‍රාත් සමාගම "එකඟ වූ” බවත් තුවාල ලැබූ කම්කරුවන් සම්බන්ධයෙන් සහනයක් සැලසීම සඳහා සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මංඩලයේ සභාපති කරුනාසේන හෙට්ටිආරච්චි මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුනි. කෙස් වුව ද, වන්දි ගෙවීමක් ගැන තමන්ට කිසිවෙකු දැනුම් දී නොමැති බව දයාරත්නගේ වැඩිමහල් සහෝදරිය 2 වෙනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ට පැවසුවා ය.

එක් දරු පියෙකු වූ දයාරත්න වසර 18 ක් මෙම සමාගම යටතේ සේවය කර ඇති බව ඔහුගේ ඥාතීහු ප‍්‍රකාශ කලහ. දයාරත්නගේ පවුල සහ ඔහුගේ වැඩිමහල් ඥාති සහෝදරිය යැපී ඇත්තේ දයාරත්නගේ රැකියාව මත ය. දයාරත්නගේ මරනයත් සමග ඒ සියලු දෙනා බරපතල අර්බුදයකට මුහුන දී සිටී.

නුවර සිට කිලෝ මීටර් 35 පමන දුරින් පිහිටි, ප‍්‍රමානවත් තරම් ප‍්‍රවාහන, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් නොමැති, අධිකාරිගම නම් දුෂ්කර ගම්මානයේ දයාරත්න පදිංචිව සිටි අතර එහි බහුතරය සුලු ගොවිතැනෙහි යෙදෙන දුගී ගොවීන් ය. දයාරත්නගේ මෘතදේහය මිහිදන් කිරීම සඳහා කිලෝ මීටර් හතරක් පමන දුරක් ඥාතීන්ගේ සහ සහෝදර කම්කරුවන්ගේ කර පිටින් ගෙන යනු දක්නට ලැබුනි.

කම්කරුවන් පැවසූ පරිදි, එලිහවුස් ව්‍යාපෘතියේ උප කොන්ත‍්‍රාත්කරු ප‍්‍රසාද් නැමැත්තෙකු වන අතර මෙහි සාමාන්‍ය කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 500 කි. බැකෝ ඇතුලු බර යන්ත්‍රෝපකරන මෙහෙයුම් කම්කරුවෙකුගේ වැටුප රුපියල් 700 කි. මාසයේ දවස් 23 නොකඩවා සේවයට පැමිනියහොත් දිනකට රුපියල් 50 ක් වැටුපට එකතු වෙයි. අතිකාල හැර වෙනත් කිසිදු දීමනාවක් මෙම කම්කරුවන්ට නොලැබේ. අතිකාල පැයක් සඳහා ලැබෙනුයේ සාමාන්‍ය කම්කරුවෙකුට රුපියල් 93 ක් හා බර යන්ත‍්‍ර කි‍්‍රයාකරුවෙකුට රුපියල් 112 ක් වැනි සොච්චම් මුදලකි. සමහර දිනවලට මධ්‍යම රාත‍්‍රිය හෝ පසුදා පහන් වන තුරු වැඩ කිරීමට සිදුවන අතර රාති‍්‍ර 8 දක්වා සේවය කලහොත් කෑමට රුපියල් 120 ක් ලැබේ. සුලු අනතුරුවලට ප‍්‍රතිකාර කිරීම සඳහා ප‍්‍රථමාධාර පෙට්ටියක් ඇතත් එයට අගුලු ලා ඇති බවත්, ප‍්‍රතිකාර කරන්නේ තේ පිලියල කිරීමට සිටින කාන්තාව බවත් කම්කරුවෝ පැවසූහ.

හදිසියෙන් නිමකල යුතු වැඩවල දී නිලධාරීන් "ටාගට්” එකට වැඩය නිම කිරීමට බල කරන නමුත් ඒ සඳහා සමාගමෙන් ලැබෙන අමතර ගෙවීම ඔවුන්ගේ සාක්කුවේ දමා ගන්නා බවත් මහන්සි වී අදාල කටයුත්ත කරන තමන්ට සතයක්වත් නොලැබෙන බවත් කී කම්කරුවෝ තමන්ගේ ගැටලු ගැන කතා කිරීමට කිසිදු සංවිධානයක් නොමැති බවත්, එවැනි සංවිධානයක් පිහිටුවා ගැනීමට උත්සාහ කලහොත් රැකියාවෙන් නෙරපන බවත් පැවසූහ.

නවාතැන් පහසුකම් කොන්ත‍්‍රාත්කරු විසින් සලසන නමුත් ඒවායේ ප‍්‍රමානවත් තරම් පහසුකම් නොමැත. කාමර දෙක තුනක ගෙයක 15ක් 18ක් පමන නවාතැන් ගෙන සිටිති. දහසය දෙනෙක් නවාතැන්ගෙන සිටින නිවසක පහසුකම්වල තත්වය එහි සිටින කම්කරුවෝ මෙසේ විස්තර කලහ: "හැමෝට ම එක වැසිකිලියයි තියෙන්නේ. නිදා ගන්නේ පැදුරු වල. ඒවා අපි සල්ලි දීල ගන්න ඕන. සමහරු උයාගෙන කනවා. සමහරු කඩෙන් කනවා. උයාගෙන කන්න අවශ්‍ය හැලි වලන් අපි සල්ලිවලට ගන්න ඕන.”

කම්කරුවන්ගෙන් බහුතරය විරැකියාව බහුල දුර බැහැර ගම්වලින් පැමිනි අය වන අතර, "රක්ෂාවක් නැති නිසා මෙතන වැඩ කරනවා. අතිකාල කලොත් රුපියල් 15,000 ක් විතර ගෙදර ගෙනියන්න පුලුවන්. ජීවන වියදමේ හැටියට ඒක කොහොමටවත් ප‍්‍රමානවත් නැහැ. මෙතන ඉන්නවා අවුරදු 10-15 වැඩකරන අය. පඩියේ වෙනසක් නැහැ. අයවැයෙන් කම්කරුවන්ට වැඩිවෙන මුදලක්වත් අපට ලැබෙන්නේ නැහැ. රක්ෂාව ස්ථීර කරන්නෙත් නැහැ. අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කොට සර්විස් එක කඩනවා.” කම්කරුවෝ කීහ.

විරැකියාවේ අඩුවීම හා "ආශ්චර්යමත්” සංවර්ධනය ගැන රාජපක්ෂ ආන්ඩුව ගහන පම්පෝරියට යටින් ඇත්තේ මෙවන් රුදුරු ශ‍්‍රම සූරා කෑමකට දරිද්‍රතාවෙන් පෙලෙන තරුන ජනයා යටත් කර තැබීම ය.

Share this article: