කේතකරන මෘදුකාංගයන් බිඳීමේ එන්එස්ඒ මෙහෙයුම ස්නෝඩන්ගේ ලියවිලිවලින් හෙලිදරවු කෙරෙයි

Snowden documents reveal NSA operation to break encryption codes

ජෙරී වයිට් විසිනි, 2013 සැප්තැම්බර් 06

ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) හෙලිදරවුකාර එඩ්වඩ් ස්නෝඩන් මෑත දී නිකුත් කරන ලද ලිපි ලේඛනවලින්, එක්සත් ජනපදයේ හා ලොව පුරා මිලියන ගනන් ජනයාගේ ඊමේල්, අන්තර්ජාල කි‍්‍රයාකාරිත්වය, ජංගම දුර ඇමතුම් හා ව්‍යපාරික ගනුදෙනු පිලිබඳ ඔත්තු බැලීමේ හැකියාව ලබා ගනිමින් එන්එස්ඒය දශකයක් පුරා ගෙනගිය පෞද්ගලික රහස් සංකේත අනාවරනය කිරීමේ මෙහෙයුමක් පිලිබඳව හෙලිදරවු කෙරෙයි.

බි‍්‍රතාන්‍යයේ ගාඩියන් පුවත්පතට ස්නෝඩන් සම්පාදනය කල 50,000ක් පමන වූ ලිපිලේඛන, එන්එස්ඒ හා, එහි බි‍්‍රතාන්‍යස පිටපත ලෙස නම් කල හැකි රජයේ සන්නිවේදන මූලස්ථානය (ජීසීඑච්කිවු) විසින් පවත්වා ගෙන ගිය, අතිශය රහසිගත ඔත්තු බැලීමේ මෙහෙයුම් දෙකක් පිලිබඳ තොරතුරු හෙලිදරවු කරයි. එන්එස්ඒ හි මෙහෙයුම "බල්රන්” නම් වූ අතර, ජීසීඑස්කිවු මෙහෙයුම නම් කොට තිබුනේ "එජ්හිල්” ලෙස ය. සැප්තැම්බර් 5දා ගාඩියන් හා නිව් යෝක් ටයිම්ස් විසින් ප‍්‍රසිද්ධ කරන ලද තොරතුරු, අසාධාරන පිරික්සීම් හා අල්ලාගැනීම්වලට එරෙහි මූලික ව්‍යවස්ථාමය රැකවරනයන් එක්සත් ජනපද ආන්ඩුව විසින් උල්ලංඝනය කරනු ලැබීම සම්බන්ධයෙන් තවදුරටත් අන්තර්ඥානය සම්පාදනය කරයි.

මෙම ලිපි ගොනු, පෞද්ගලිකත්වය පිලිබඳ අයිතීන්හි සියුම් මංපෙත්වල යහුල් යෙදූ පාවහන් පැලැඳ සිත් සේ දිව ඇවිද යමින් ද, ස්වකීය සන්නිවේදන, මාර්ගගත බැංකු ගනුදෙනු හා වෛද්‍ය වාර්තා කේතගත කල කේතාංක අනන්‍යතා සොරුන්ට හා ආන්ඩුවලට නොබිඳිය හැකියයි සිය ගනුදෙනු කරුවන්ට ව්‍යාජ පොරොන්දු ලබා දෙන අන්තර්ජාල සේවා සම්පාදකයින් හා අනෙකුත් සමාගම් සමග හවුල් වෙමින් ද එන්එස්ඒ හා ජීසීඑච්කිවු ලෝ වාසීන් පිලිබඳ ඔත්තු බලන්නේ කෙසේදැයි පෙන්වා දෙයි.v

ගාඩියන් මෙසේ සඳහන් කරයි: "ජාත්‍යන්තර කේතකරන ප‍්‍රමිතීන් සැකසීම එන්එස්ඒ පාලනයට නතු කිරීම සහතික කරනු වස් රහසිගත ක‍්‍රම අනුගමනය කිරීම, සුපිරි පරිගනකයන් හි අසමාන පිරිසැකසුම් ධාරිතාවයේ ‘ප‍්‍රචන්ඩ බලය’ යොදා කේත බිඳීම හා - වඩාත් ම සමීපස්ථව ආරක්ෂා කරන රහස්‍ය වන - තාක්ෂනික සමාගම් හා අන්තර්ජාල සේවා සම්පාදකයන් සමග සමීප සහයෝගීතාවයකින් වැඩ කිරීම, එම ක‍්‍රමවලට අයත් වේ.

"මෙම රහසිගත හවුල්කාරිත්වයන් හරහා වානිජමය කේතකරන මෘදුකාංගයන් තුලට රහස් අනාරක්ෂිතතාවයන් ඇතුල් කර තැබීමට ඒජන්සි කටයුතු කොට තිබේ. මෙම අනාරක්ෂිතතාවයන් පසු දොරවල්, නැතහොත්, උගුල් දොරවල් ලෙස හඳුන්වනු ලැබේ.”

උපරිම ලෙස රහස්‍යී ප‍්‍රිස්ම් වැඩසටහන හරහා කේතකරන මෘදුකාංග මග හැර යමින්, වෙබ් පිලිසඳරවල්, ඊමේල් හා ස්කයිප් සන්නිවේදනයන් එන්එස්ඒ හා එෆ්බීඅයි ඔත්තු බැලීම්වලට විවර කිරීමට මයික්‍රොසොෆ්ට් සහ අනෙකුත් සිලිකන් වැලි තාක්ෂන දැවැන්තයින් එන්එස්ඒ සමග කි‍්‍රයා කරන්නේ කෙසේදැයි ස්නෝඩන් කලින් හෙලිදරවු කලේ ය.

වසරකට ඩොලර් මිලියන 249.9ක් වැය වන හා 2011 සිට ඩොලර් මිලියන 800ක් වැය කෙරෙන මේ අලුතින් හෙලිදරවු කෙරුනු මෙහෙයුම, වාර්ෂිකව ඩොලර් මිලියන 20ක් වැයවන පි‍්‍රස්ම් වැඩසටහන අඟුටුමිටියකු බවට පත් කරයි. "බල්රන්” මෙහෙයුම් එන්එස්ඒහි අතිශය රහසිගත 2013 අරමුදල් ඉල්ලා සිටීම යටතේ විස්තර කරනු ලැබ ඇත්තේ "සිගින්ට්” (signals intelligence) -සංඥා ඔත්තු බැලීම්වලට බලය පැවරීම-” යන උද්ධෘතය යටතේ ය.

මෙම වැඩසටහන "තම වානිජමය නිෂ්පාදනයන්ගේ සැලසුම්වලට රහසේ බලපෑමට හා/හෝ විවෘතව පාලනය කිරීමට එක්සත් ජනපද හා විදේශීය තොරතුරු තාක්ෂන කර්මාන්ත කි‍්‍රයාකාරීව නිමග්න කරගනී” යනුවෙන් ලියවිල්ල සඳහන් කරයි. එවැනි හවුල්කාරකම්වල නිරත සමාගම් කිසිවක් නම් කරනු නො ලැබේ.

අනෙක් දේවල් අතරතුර, වැඩසටහන සැලසුම් කරනු ලැබෙන්නේ "වානිජමය කේතකරන පද්ධති තුලට අනාරක්ෂිතතාවයන් අඩංගු කිරීමට” ය. මේ අනාරක්ෂිතතාවයන් එන්එස්ඒ දැන සිටින නමුත් සාමාන්‍ය පාරිභෝගිකයන් ද ඇතුලු වෙනත් කිසිවෙක් නොදනිති. ගාඩියන් විශේෂයෙන් සඳහන් කොට ඇත්තේ මෙම අනාරක්ෂිතතාවයන් ගැන නොදන්නා සාමාන්‍ය පාරිභෝගිකයන් ද ඇතුලු අයවලුන් ලියවිල්ල තුල "හතුරන්” යයි කැපීපෙනෙන ලෙස සඳහන් කරනු ලැබ ඇති බවයි.

"සැලසුම්වල මෙම වෙනස්කම්, නවීකරනය පිලිබඳ ව පවතින පූර්ව ඥානය සමග .... අදාල පද්ධති සිගින්ට් එකතුවට ගසා කෑ හැකි බවට පත් කරයි. එහෙත් පාරිභෝගිකයා හා අනෙකුත් හතුරන් සම්බන්ධයෙන් ගත්කල පද්ධතියේ රහස්‍ය භාවය හෙලිදරවු නො වී තිබේ.”

ලියවිල්ල සඳහන් කරන්නේ, ලෝක පරිමාන වෙලඳපොල "හැඩගැන්වීම” හා 4-G දුරකථනවල ඊලඟ පරම්පරාව විසින් භාවිතා කරනු ලබන රහස් කේත බිඳීමේ උත්සාහයන් දිගට ම කරගෙන යාම මගින් වානිජ කේතකරන මෘදුකාංග එන්එස්ඒ සෝදිසි කිරීම්වලට "වඩාත් හසුකරගත හැකි” බවට පත්කිරීම වැඩසටහනේ ඉලක්කවලට අයත් බවයි.

දශක දෙකකට ඉහත දී, පි‍්‍රටි ගුඩ් ප‍්‍රයිවසි (*වඩා හොඳ පුද්ගලිකත්වය*) වැනි කේතකරන මෘදුකාංග පැතිරීම ගැන සැලකිලිමත් වූ එක්සත් ජනපද රහස් තොරතුරු ඒජන්සි, සංඛ්‍යාංක කේත අනාවරන කරගැනීමේ ස්ථීර යතුරක් එන්එස්ඒ වෙත ලබා දෙනු ඇත්තා වූ "ඇමුනුම් පෙත්තක්” පැටවීමට ක‍්‍රම සෙවූහ. එමගින් ඇමරිකාවේ ගෝලීය තාක්ෂනික වාසියට වල කැපෙනු ඇතැයි සැලකිලිමත් වූ දේශපාලනික හා ව්‍යාපාරික උත්සුකයන්, සිවිල් ස්වාධීනත්වයන් පිලිබඳ කන්ඩායම් සමග ඇතිකල ප‍්‍රතිවිරෝධයකින් පසු එම උත්සාහය පරාජය විය.

එන්එස්ඒ මේ තතු මග හැර යාමට ක්ෂනිකව කි‍්‍රයාකාරී විය. "කේතකරන මෙවලම් ක‍්‍රමයෙන් වෙබ් අඩවි වසා ගනිද්දී, 2000 වසරෙන් පටන්ගෙන එන්. එස්. ඒ. තම ඔත්තු බැලීමේ හැකියාව සුරක්ෂිත කර ගැනීමේ රහසිගත උද්ඝෝෂනයකට ඩොලර් බිලියන ගනනින් ආයෝජනය කලේ ය. සියලු කේතකරනයන් මත තමන්ගේ ම ‘පශ්චාත් ද්වාරයක්’ ඇතුලත් කිරීමට 1990 ගනන්වල ගෙනගිය ප‍්‍රසිද්ධ අරගලයකින් පරාජය වූ එන්එස්ඒ එම ඉලක්කයම රහසින් ජය ගැනීමට කි‍්‍රයාකාරී වීය” යයි ටයිම්ස් වාර්තා කරයි.

එක්සත් ජනපදයේ තාක්ෂනික සමාගම් සමග හවුලේ කි‍්‍රයාකරමින්, සුවිශේෂී පරිගනක යොදාගනිමින් "පනිවුඩ කේතකරනය කිරීමට පෙර ඒවා උගුලට හසුකර ගැනීමට එන්එස්ඒ පරිගනකවලට අනවසරයෙන් එබුනි. සමහර අවස්ථාවල දී තම ප‍්‍රධාන කේත යතුරු භාරදීමට හෝ තමන්ට ඇතුලුවිය හැකි පශ්වාත් ද්වාරයක් සැපයීමට ආන්ඩුව තමන්ට බලපෑම් කල බව සමාගම් කියයි. ලොව වඩාත් ම අත්දැකීම් සහිත කේත තනන්නා ලෙස එන්එස්ඒට තිබූ බලපෑම ලෝකයේ දෘඩාංග හා මෘදුකාංග තනන්නන් විසින් පිලිපදිනු ලබන කේත ප‍්‍රමිතීන් තුලට වක‍්‍රව අනාරක්ෂිතතා හඳුන්වා දීමට එය භාවිතා කලේ ය”යි ටයිම්ස් තව දුරටත් කියයි.

ඇමුනුම් පෙත්ත ඇතුල් කිරීමට අසමර්ථ වූ එන්එස්ඒ "ආපසු ගොස් කිසිවෙකුට නො කියා එය වෙනත් ක‍්‍රමයකින් කලා. සදාකාලික ‘අඳුරේ සිටීමට සිදුවීම’ පිලිබඳව කනස්සල්ලට පත්ව සිටි රහස් තොරතුරු ප‍්‍රජාව දැන් සීමිත උත්සාහයකින් පුද්ගලිකත්වයට ක්ෂනිකව මුලුමනින් කඩාවැදීම කරගෙන යමින් සිටිනවා. මෙය ඔත්තු බැලීමේ ස්වර්නමය යුගය යි” යනුවෙන්, ආරක්ෂිත කෙවෙනි ස්ථරීය (එස්එස්එල්) කේතකරන තාක්ෂනය සැලසුම් කිරීමට උපකාරී වූ පෝල් කෝචර් ටයිම්ස් >/em>වෙත කීවේ ය. එස්එල්එල් වූ කලී අද දින බහුලව භාවිතයට ගනු ලබන කේතකරන තාක්ෂනයයි.

එන්එස්ඒ සිය කේත බිඳීමේ හැකියාවන් බි‍්‍රතාන්‍යය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා කැනඩාවේ රහස් තොරතුරු ආයතන ඇතුලත් වන ඊනියා ඇස් පහේ හවුල්කාරයින් සමග ජාත්‍යන්තරව බෙදාහදා ගනී. 2010 දී එන්එස්ඒ සිය බි‍්‍රතාන්‍යයේ සහචරයන්ට ඉදිරිපත් කල සංක්ෂිප්තයක් පිලිබඳව විස්තර කරන සිහිපතක කියැවුනේ, "කේත විශ්ලේෂන හැකියාවන් දැන් මාර්ගගත වෙමින් තිබේ. මේ දක්වා ඉවත දමනු ලැබ තිබූ කේතගත අන්තර්ජාල දත්ත යෝධ ප‍්‍රමානයක් දැන් උපයෝජනය කල හැකිය” යනුවෙනි. තවත් සිහිපතක සඳහන් වූයේ, බි‍්‍රතාන්‍යයේ රහස් තොරතුරු විශ්ලේෂකයන්ට පලමු වරට මෙම වැඩසටහන ගැන කී විට "දැනට මත් ඒ ගැන දැන නො සිටි අය තුෂ්නිම්භූත වූ” බවය.

තවත් ලියවිල්ලක් වන එන්එස්ඒ අධ්‍යක්ෂ කනිෂ්ඨ ජේම්ස් ආර්. ක්ලැපර් ඉදිරිපත් කල 2013 අරමුදල් ඉල්ලා සිටින ලියැවිල්ල, ඒජන්සිය කරගෙන යන ඔත්තු බැලීමේ ප‍්‍රයත්නයන් පිලිබඳව සඳහන් කරයි. "අප අතිශය නවීන කේත විශ්ලේෂක හැකියාවන්වලට ආයෝජනය කරමින් සිටින්නේ සතුරු ගුප්ත ලේඛනකරනය පරාජය කිරීමට හා අන්තර්ජාල මාර්ග වාසියට හරවා ගැනීමට ය.” "අනෙකුත් රැස්කරන මාර්ගවලට උපකාරී වන ආකාරයට ගෝලීය ජාලය සකස් කිරීම සඳහා ප‍්‍රධාන විදුලි සන්දේශ සම්පාදකයින් සමග ගොඩනගා ගන්නා සබඳතා” ද අරමුදල් ඉල්ලා සිටින සිහිපත තුල ඉස්මතු කර දක්වයි.

එක්සත් ජනපද ආන්ඩුව "ජනතාවගේ විද්‍යුත් පනිවුඩ සෝදිසි කිරීම හෝ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දීම නොකරතැයි” ස්නෝඩන් නිශ්ශබ්ද කිරීමට ජාත්‍යන්තර දඩයමක මූලිකත්වය ගනිමින් සිටින ජනාධිපති ඔබාමා මේ සතිය මුල දී ස්ටොක්හෝම්හි කතාකරමින් ප‍්‍රකාශ කලේ ය. එහෙත් සත්‍ය වසයෙන් ඔබාමා පරිපාලනය හරියට ම කරමින් සිටින්නේ එය යි.

සිරියාවට එරෙහි තවත් නව විජිතවාදී යුද්ධයකට එරෙහි එක්සත් ජනපදයේ හා ලෝකය පුරා මහජන විරුද්ධත්වයට ද, එක්සත් ජනපදය තුල පුපුරන සුලු සමාජ ආතතීන්ට ද මුහුන දෙමින් සිටින ඇමරිකානු පාලක පන්තිය ප‍්‍රජාතාන්ති‍්‍රක ක‍්‍රමවලින් ඉවත් වෙමින් වඩ වඩා පොලිස් රාජ්‍ය ක‍්‍රම කි‍්‍රයාවේ යොදවමින් සිටී.

Share this article: