යුද්ධයට පදනම දැමීම සඳහා වොෂින්ටනය සිරියානු සාකච්ඡාවලට සහභාගී වෙයි

Washington maneuvers in Syrian negotiations to lay groundwork for war

බිල් වෑන් ඕකන් විසිනි, 2013 සැප්තැම්බර් 14

සැප්තැම්බර් 13දා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් අතර ජිනීවාහි පැවැත්වෙන සාකච්ඡා එහි දෙවන දිනය නිමා කරන විට, සිරියානු රජයේ රසායනික යුද උපකරන විනාශ කිරීමේ කටයුතු සූදානම් කිරීමට ඒවා ජාත්‍යන්තර පාලනයට නතු කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් එකඟතාවයකට එලැඹි බවට කිසිදු ලකුනක් පල වී තිබුනේ නැත.

සිරියාවේ දෙවසරකට වඩා පැරනි සිවිල් යුද්ධය සාකච්ඡා මගින් සමථයකට ගෙන ඒම සඳහා “ජිනීවා 2” ලෙස හඳුන්වනු ලැබෙන සමුලුව කැඳවීම පිලිබඳව සාකච්ඡා කිරීමට, එක්සත් ජනපද හා රුසියානු නියෝජිතයෝ උදෑසන අරාබි ලීගයේ සිරියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලක්දාර් බ‍්‍රහිමි හමු වූහ.

සාකච්ඡා “අර්ථභාරී” හ“ප්‍රයෝජනවත්” වූ බවට තිදෙනාම කෙටි පකාශ ලබා දුන් නමුත්, සාකච්ඡාවල අන්තර්ගත වූ දේ පිලිබඳ කිසිදු අදහසක් ලබා දීමෙන් ඔවුහු වැලැකී සිටියහ.

“රාජ්‍යතාන්ති‍්‍රක මාවතක්” අනුයාම වෙනුවෙන් සිරියාවට එරෙහිව සිදු කිරීමට ඉතා ආසන්න ව පැවැති - නීතිවිරෝධී - හමුදා ප‍්‍රහාරයක තර්ජන අකුලා ගනිමින් ජනාධිපති බරක් ඔබාමා රූපවාහිනී මගින් ජාතිය ඇමතීමේ සිට ගත වූ තෙදින තුල වඩ වඩාත් පෙනී ගියේ, වොෂින්ටනයේ ඇසින් ගත් කල මේ මාවතේ ප‍්‍රධාන අරමුන යුද්ධය කරා නව පාරක් සැකසීම බවයි.

ජාත්‍යන්තරව හුදෙකලා වෙමින් ද, රට තුල අතිප‍්‍රබලව නැගෙන මහජන විරෝධය හා පොර බදමින් ද, කොන්ග‍්‍රසයේ මන්තී‍්‍ර මන්ඩල දෙක තුල දී හමුදා බලය යෙදවීමට බලය දීමේ විසර්ජන යෝජනාව පරාජයවීමේ අවදානමට මුහුන දෙමින් ද සිටි ඔබාමා පාලනය, සිරියාවේ රසායනික අවි හරනය සඳහා වූ රුසියානු රජයේ යෝජනාව ප‍්‍රසිද්ධියේ වැලඳ ගැනීමට ඉදිරිපත් වූයේ, එම කි‍්‍රයාවලිය තුල යුද්ධය සඳහා නව ව්‍යාජ හේතුවක් නිර්මානය වනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

පසුගිය මාසයේ පුවත්පත් සාකච්ඡාවක දී අවි හරන කි‍්‍රයාවලියක් පිලිබඳව ප‍්‍රසිද්ධියේ යෝජනා කල හා ඒ සම්බන්ධයෙන් කෙරී සමග සාකච්ඡා කල පෝලන්ත විදේශ ඇමතිවරයා වොෂින්ටනය හා එහි අනුචරයන් සිතන ආකාරය පිලිබඳ අන්තර් දැක්මක් සපයයි. එක්සත් ජනපද ප‍්‍රහාරයක් වැලැක්විය හැකි යම් ක‍්‍රමයක් වෙත්දැයි සැප්තැම්බර් 9වන දින ලන්ඩන්හි පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගෙන් කෙරුනු විමසීමට පිලිතුරු ලෙස ඔහු එම අදහස ඉදිරිපත් කිරීමට ප‍්‍රථම, පෝලන්ත විදේශ ඇමතිවරයා ඔහු සමග එම සාකච්ඡාව සිදු කර තිබින.

ෆයිනෑන්ෂල් ටයිම්ස් ඔෆ් ලන්ඩන් සඟරාව සමග සාකච්ඡාවක් පවත්වමින් පෝලන්ත විදේශ ඇමති රඩොස්ලෝ සිකෝර්ස්කි තරයේ පවසා සිටියේ, රසායනික අවි සම්මුතිය, “අවිහරන සැලසුම විස්තීර්න කෙරෙන හා යමෙකු වංචාකාරීව කටයුතු කරන්නේ නම් බලය යෙදීමට අධිකාරය ලබා දෙන” එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල විසර්ජන යෝජනාවක් මගින් මූර්තනය කල යුතු බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි අභියෝජනාවක් මගින්, “.... ඔවුන් සිය ප‍්‍රතිඥාවන් කඩ කලහොත් ප‍්‍රහාරයක් සඳහා අපට පැහැදිලි නෛතික අනුමැතියක් හිමි වන” බවයි.

සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයාමාර්ග ගැනීමේ බලය පවරන කවර හෝ විසර්ජන යෝජනාවකට රුසියාවෙන් එල්ල වන විරුද්ධත්වය හා ආරක්ෂක මන්ඩලය තුල ඊට හිමි නිෂේධ බලය මත, රසායනික අවි සම්බන්ධව කි‍්‍රයාත්මක කල හැකි ජාත්‍යන්තර සම්මුතියක් ඇති කර ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්තා “සියයට 50කට වඩා අඩු”යැයි සිකෝර්ස්කි ගනන් බලයි.

එහෙත් ඉන් පසු ඔහු මෙසේ සඳහන් කරයි: “අවසානයේ බලගතු විසර්ජන යෝජනාවක් සඳහා රුසියාව එකඟ නොවන්නේ නම් එවිට, අප (එජා අවි) පරීක්ෂකයන්ගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිට ඇති බව ද, සාමයට අවස්ථාවක් ලබා දී ඇති බව ද සහතික වනු ඇත. ඒ නිසා බි‍්‍රතාන්‍ය හෝ ඇමරිකානු පාර්ලිමේන්තුව ඉදිරියේ යුද්ධය සඳහා වඩාත් ශක්තිමත් හේතු පවතිනු ඇත.”

වෙනත් වචනවලින් කිවහොත්, “සාමයට අවස්ථාවක් ලබා දෙන” බවට කෙරෙන මවාපෑම සැලසුම් කොට ඇත්තේ යුද්ධය සඳහා වඩාත් හොඳ හේතු නිර්මානය කර ගැනීම සඳහා ය.

සිරියාවට එරෙහි ආක‍්‍රමනකාරී යුද්ධයක දී එක්සත් ජනපදය සමග හවුල්වීමට සූදානම් බව හඟවා ඇති එකම රට වන ප‍්‍රන්සය, ආරක්ෂක මන්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා සිරියානු රසායනික අවි පිලිබඳ විසර්ජන යෝජනාවක් දැනටමත් කෙටුම්පත් කොට ඇත. වාර්තා පෙන්වා දෙන්නේ, මෙම කෙටුම්පත කඩිනම් හා යථාර්ථවාදී නොවන සමාප්ති කාල සීමාවන් හා සිරියාව ඒවා සපුරාලීමට අසමත් වුවහොත් ඊට එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ 7වන පරිච්ඡෙදයේ ප‍්‍රකාර හමුදා යොදා පහර දෙනු ඇතැයි යන තර්ජනය ද පනවා ඇති බවයි. ලිබියාවට එරෙහිව මෙහෙයවුනු එක්සත් ජනපද - නැටෝ යුද්ධය සඳහා අනුමැතිය දීමට භාවිතා කෙරුනු බල පැවරුම ද සිදු කෙරුනේ එම වගන්ති යටතේ ම ය.

අසාද් රජය මේ සතියේ අත්සන් තැබූ රසායනික අවි පිලිබඳ සම්මුතිය යටතේ රජය සතු සියලු රසායනික අවි සහ ආශි‍්‍රත පහසුකම් පිලිබඳ සම්පූර්න විස්තරයක් ලබා දීම සඳහා දින 60ක කාලසීමාවක් ලබා දෙන අතර, ප‍්‍රන්ස විසර්ජන යෝජනාව එම කාර්යයට ලබා දී ඇත්තේ දින 15ක කාලයකි.

සිරියානු රජය, “(එබඳු) කිසියම් හෝ සියලු ප‍්‍රදේශයන්ට, පහසුකම්වලට, උපකරනවලට, වාර්තාවලට හා ප‍්‍රවාහන පහසුකම්වලට වහාම, කොන්දේසි විරහිතව, නිර්බාධිත ප‍්‍රවේශයක් ලබා දිය යුතු යැලයි කෙටුම්පත ඉල්ලා සිටී. ඇතැම් වාර්තා, රසායනික අවි ජාත්‍යන්තර නියෝජිතයන්ට භාර දුන් පසු ඒවා ආරක්ෂා කිරීමට දහස් සංඛ්‍යාත විදේශ හමුදා සිරියාව තුල රඳවා තැබිය යුතුයැයි යෝජනා කෙරෙන තරම් දුරකට ගොස් ඇත.

ප‍්‍රන්ස විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක පිලිප් ලැලියට් සැප්තැම්බර් 13වන සිකුරාදා පැවසුවේ සිරියානු නිරායුධකරන කි‍්‍රයාදාමය, රසායනික අවි ගිවිසුම රැකීමේ වගකීම දරන සංවිධානය වන රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය හරහා සිදු කිරීමට ඉඩ හැරීමට තම රජය අපේක්ෂා නොකරන බවයි.

ප‍්‍රන්ස තක්සේරු කිරීම්වලට අනුව, එම සංවිධානයේ ප‍්‍රමිතීන් යටතේ සිරියානු අවි සූචිකරනයට මාස ගනන් ගත විය හැකි අතර, ඒවා කොටස්වලට ගැලවීම ආරම්භ කිරීමට පවා වසර දෙකක් දක්වා ගත විය හැකිය.

“එය අප අපේක්ෂා කරන කාල සීමාවට වඩා බෙහෙවින් දීර්ඝ කාල රාමුවකැ”යි ලැලියට් පැවසී ය. “යම් උල්ලංඝනයන් සිදු වුවහොත් ඔවුන්ට දඬුවම් දීමට සිදුවනු ඇත. එසේ නොමැතිනම්, විසර්ජන යෝජනා අර්ථ විරහිත වනු ඇත.”

රසායනික අවි සංචිත කොටස්වලට ගැලවීම කඩිමුඩියේ කල හැකිය යන අදහස එම කි‍්‍රයාවලිය සම්බන්ධ සියලු අත්දැකීම්වලට මුලුමනින් පටහැනිව යන්නකි. උදාහරනයක් ලෙස 1997 දී රසායනික අවි ගිවිසුමට එලැඹි එක්සත් ජනපදය සතුව - අවුරුදු දහසයක ඇවෑමෙන් - අද ද ටොන් 3,000ක් ඉක්මවූ රසායනික අවි සංචිතයක් - එනම්, සිරියාවේ ඇතැයි චෝදනා කෙරෙන ප‍්‍රමානය මෙන් තුන් ගුනයකටත් වැඩි ප‍්‍රමානයක් - පවතී. පෙන්ටගනයේ ගනන් බැලීම්වලට අනුව ඒ සියල්ල විනාශ කර දැමීමට තවත් දශකයක් ගත වේ.

එබඳු අවි ගලවා කොටස්වලට වෙන් කිරීමේ කි‍්‍රයාවලිය කල් ගත වන සහ අනතුරුදායක එකකි. එබඳු කාර්යයක් කඩිනම් කිරීමට දැරෙන කවර හෝ ප‍්‍රයත්නයක් ජීවිත රැසක් විනාශ කල හැකි විනාශකාරී අනතුරක අවදානම දරා සිටී.

වාර්තාවන පරිදි ප‍්‍රන්ස යෝජනාව අගෝස්තු 21 ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු රජයට දෝෂාරෝපනය කරයි. ඒ සඳහා කවර හෝ සාක්ෂියක් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කොට නැත. තව ද එය, එම ප‍්‍රහාරයට වගකිවයුත්තන් ජාත්‍යන්තර අපරාධ අධිකරනය හමුවට පැමිනවිය යුතු යැයි ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

මේ විසර්ජන යෝජනාව සැලසුම් කෙරී ඇත්තේ හමුදා ප‍්‍රහාරයක් ඇවිලවිය හැකි පේ‍්‍රරකයන් මාලාවක් සහිතව ය. එක්සත් ජනපදයේ ඉරාක ආක‍්‍රමනයට පෙරාතුව සදාම් හුසේන් රජය මත මේ හා සමාන කොන්දේසි පටවන ලද අවස්ථාවේ මෙන් මෙවර ද අරමුන වන්නේ තමාට කිසිසේත් ඔප්පු නොකල හැකි යමක් - එනම්, සිය සමස්ත භූමි ප‍්‍රදේශය තුල එකදු රසායනික අවියක් හෝ සඟවනු ලැබ නැතැයි යන බව - ඔප්පු කිරීමට සිරියානු ආන්ඩුවට බල කිරීමයි. එමගින් එම රටේ ස්වෛරීභාවය යකඩ සපත්තුවෙන් පෑගීමට කොන්දේසි නිර්මානය කර ගනිමින් රජය පෙරලන යුද්ධයක් සඳහා වඩාත් හොඳින් සූදානම් වීමයි.

සැප්තැම්බර් 16දා කෙරී, ප‍්‍රන්ස විදේශ ඇමති ලෝරන්ට් ෆෙබියස් හා බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් අතර පැරීසියේ දී විසර්ජන යෝජනාව සාකච්ඡාවට ගැනීමට නියමිත ය. එදින ම, ඩැමස්කසයෙන් පිටත දී අගෝස්තු 21 රසායන අවි ප‍්‍රහාරය සිදු වූ ස්ථානයට සංචාරය කල එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන් සිය වාර්තාව නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාව, එම දිනයේ සිදු වූ මරනවලට රසායනික අවි ප‍්‍රහාරය හේතුවී යයි තහවුරු කරනු ඇතැයි පූර්වාපේක්ෂිත ය. එහෙත් කවුරු එය සිදු කලෝදැයි එහි සඳහන් වන බවට කිසිත් හැඟැවුමක් නොමැත. සිය චෝදනාව සනාථ කල හැකි, සත්‍ය අසත්‍යතාවය සොයා බලා තහවුරු කර ගත හැකි සාක්ෂියක අංශුමාත‍්‍රයක් හෝ ඉදිරිපත් නොකොට, බෂාර් අල් - අසාද්ගේ සිරියානු රජය ප‍්‍රහාරය සිදු කල බවට එක්සත් ජනපදය හා එහි අනුචරයන් දිගින් දිගටම කියා සිටියේ එය සනාථ වූ කරුනක් පරිද්දෙනි.

සිරියානු රජය තමන් එවැනි ප‍්‍රහාරයක් එල්ල කල බවට නගන චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි. ඇත්තෙන් ම, අසාද් විසින් රට තුලට පිවිසීමට ආරාධනා කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන් සිය කාර්යය ආරම්භ කරමින් සිටි දවසේ ම, ප‍්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට සැතපුම් කිහිපයක් නුදුරින් ඔවුන් කි‍්‍රයාත්මක වෙමින් සිටිය දී එවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා පෙලඹීම් කල හේතුවක් ද නැත. ඒ අතරතුර, අසාද් රජයට එරෙහිව සටන් වැද සිටින, බටහිර සහාය ලබන ඉස්ලාම්වාදී මිලීෂියාවන් මේ ප‍්‍රහාරයට සම්බන්ධ කෙරෙන සාක්ෂි රුසියාව විසින් ඉදිරිපත් කෙරී ඇත. අගෝස්තු 21 ප‍්‍රහාරය එක්සත් ජනපද අනුග‍්‍රහය ලබන “කැරලිකරුවන්” විසින් කරලියට ගෙන එන ලද්දකැයි චෝදනා කරන රුසියාව, එහි දෝෂාරෝපනය රජයට පැවරීම මගින් සැර බාල වෙමින් පවත්නා ඔවුන්ගේ කැරැල්ලේ සහායයට එක්සත් ජනපදයේ මැදිහත්වීමක් කැඳවා ගැනෙන ප‍්‍රකෝපකරනයක් නිර්මානය කර ගැනීම එහි අභිප‍්‍රාය වී යැයි සඳහන් කරයි.

තුර්කි චෝදකයන් 12දා, අල් කයිදා බැඳීම් සහිත සිරියානු “කැරලි” කන්ඩායම් සාමාජිකයෙකුට හා තුර්කි පුරවැසියන් පස් දෙනෙකුට එරෙහිව, සැරින් වායුව නිපදවීමට උපයෝගී කර ගන්නා රසායන ද්‍රව්‍ය රැස් කිරීම පිලිබඳව නිල වශයෙන් චෝදනා ගොනු කිරීමත් සමග මෙම තක්සේරුව තවදුරටත් ශක්තිමත් වී ඇත. සැරීන් යනු අගෝස්තු 21 දින ඩැමස්කසයෙන් පිටත සිදු කෙරුනු රසායනික අවි ප‍්‍රහාරය සඳහා යොදා ගැනුනැයි විශ්වාස කෙරෙන ද්‍රව්‍යයයි.

මෙම අධිචෝදනා එල්ල කෙරෙන්නේ සිරියානුවෙකු වන හයිතම් කසප්, මරනීය රසායනික අවි නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය සැපයීමේ කාර්යය සඳහා තුර්කිය තුල ජාලයක් ගොඩ නගා ගැනීමේ අරමුනින් අල් නුස්රා පෙරමුන හා තවත් ඉස්ලාමීය මිලීෂියාවක් වන අහ්රා අල් ෂාම් සේනාංක වෙනුවෙන් වැඩ කරමින් සිටි බවටයි. ඔවුන් වෙත තිබී හමු වූ රසායන ද්‍රව්‍යය සැරීන් වායුව නිපදවීමට දැනටමත් සංයෝජනය කොට ඇතැයි මුලින්ම වාර්තා වූ කල්හි, කසප් හා ඔහුගේ තුර්කි ජාතික සහචරයෝ පසුගිය මැයි මාසයේදී අත් අඩංගුවට ගනු ලැබීය. මෙම නඩුවට එක්සත් ජනපදයේ සංස්ථාපිත මාධ්‍යවලින් කිසිත් අවධානයක් පල නො වූ තරම් ය.

Share this article: