යුද්ධයට එරෙහිව විරෝධය වැඩෙද්දී පෙන්ටගනය සිරියාවට එරෙහිව දැවැන්ත ප‍්‍රහාරයක් සැලසුම් කරයි

As opposition to war mounts" Pentagon plans massive attack on Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2013 සැප්තැම්බර් 7

ඇමරිකානු ජනතාව කෙරෙන් සිය යුද සැලසුම්වලට එරෙහිව පල වෙමින් ඇති අතිප‍්‍රබල විරුද්ධත්වයට ද, හමුදාව යෙදවීමට බලය පැවරෙන විසර්ජන යෝජනාව කොන්ග‍්‍රසය තුල ඡන්දයෙන් පරාජය වීමේ අවදානමට ද, පෙර නොවූ විරූ පරිද්දෙන් ලෝ කරලිය මත තනිවීමකට ද මුහුන දී සිටින ඔබාමා පාලනය, තමන් ඉහත දී අඟවා තුබූ මට්ටම ඉක්මවා යන අතිශයින් පුලුල් වූ ප‍්‍රහාරයක් සිරියාවට එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලෙස පෙන්ටගනයට අන දී ඇතැයි වාර්තා වේ.

නම් හෙලි නොකල පෙන්ටගන නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, “රසායනික අවි භාවිතා කිරීම සඳහා අසාද් මහතාට පවතින ශක්‍යතාවයට ‘බාධා පැමිනවීම හා එම හැකියාව අවම කිරීම‘ ලෙස ඔබාමා පාලනය විසින් ප‍්‍රකාශිත සිරියාවට එරෙහි ප‍්‍රහාරයේ අරමුනු අතරින් ‘අවම කිරීමේ‘ කොටසට වඩාත් වැඩි අවධාරනයක් දීමට” ඔබාමා “දැන් අධිෂ්ඨාන කොට ගෙන සිටින” බවයි.

ටයිම්ස් පුවත්පතට අනුව මෙන්ම වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ හා සීඑන්එන්හි ඒ හා සමාන වාර්තාවන්ට අනුව ද පෙනී යන්නේ, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ යොදවා ඇති එක්සත් ජනපද නාවුක හමුදාවේ කුඩා නැව් කන්ඩායමකින් කෲස් මිසයිල යවා කෙරෙන යුද ඝෝෂාව ඉක්මවා යමින්, කලාපයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු මෙන් ම එක්සත් ජනපද භූමියේම සිටත්, එක්සත් ජනපද යුද ගුවන් යානා යවමින් සිදු කෙරෙන නිත්‍ය බෝම්බ හෙලීමේ යුද ප‍්‍රයත්නයක් ද ඇතුලත් වන පරිදි සිරියා යුද්ධයේ සැලැසුම පරිනාමය වෙමින් පවත්නා බවයි.

”හඳුනාගත් ඉලක්ක” වලට පහර දීම සඳහාත්, ”මුල් (ප‍්‍රහාර) රැල්ල ඉලක්ක විනාශ කිරීමට අසමත් වුවහොත් දිගින් දිගට ම සිදුකෙරෙන ප‍්‍රහාර සඳහාත්” ගුවන් හමුදා බෝම්බ ප‍්‍රහාරක යානා යොදා ගැනීමට සලකා බැලෙමින් පවතින බව ජර්නලය වාර්තා කලේය. මෙම ප‍්‍රහාරක යානාවලට නෞකාවල සවි කල මිසයිලවලට වඩා වැඩි බරකින් යුත් බෝම්බ පතිත කල හැකිය.

ජර්නලයට අනුව, ”තෝරා ගැනීමට ඇති විකල්ප අතර කෲස් මිසයිල ගෙන යා හැකි බී 52 බෝම්බ ප‍්‍රහාරක යානා; කටාරයේ රඳවා ඇති, ගුවනින් ගොඩබිමට විදින දිගු දුර මිසයිල ගෙන යා හැකි පහතින් පියාසර කරන බී 1 යානා; සහ මිසූරිහි රඳවා තිබෙන, නියාමනය කල බර බෝම්බ ගෙන යා හැකි, රහසේ පහර දිය හැකි බී 2 බෝම්බ ප‍්‍රහාරක යානා ද වෙති.”

එබඳු සූදානමක් හමුවේ, සිරියාවට එරෙහිව සැලසුම් කෙරෙන ප්‍රහාරයට ”ජාත්‍යන්තර ප‍්‍රතිමානයන්” නොනැසී රැක ගැනීම සමඟ හෝ රසායනික අවි භාවිතා කලැයි චෝදනා කෙරෙන ජනාධිපති බෂර් අල් අසාද්ගේ සිරියානු රජයට ඒ සම්බන්ධයෙන් දඬුවම් පැමිනවීම සමඟ හෝ කිසියම්ම සම්බන්ධයක් ඇතැයි තවමත් විශ්වාස කල හැක්කේ දැන දැනම මුලාවේ වැටෙන අඥානයෙකුට පමනි.

අගෝස්තු 21වන දින ඩැමස්කසයෙන් පිටත දී එල්ල කෙරුනු බවට චෝදනා කෙරෙන රසායනික ප‍්‍රහාරය සම්බන්ධයෙන් අසාද් රජය වගකිව යුතුය යන ප‍්‍රකාශය සනාථ කිරීමට, හරි වැරදි පිරික්සා බැලිය හැකි සාක්ෂියක ලේශමාත‍්‍රයක් හෝ ඉදිරිපත් කිරීමට ඔබාමා පාලනය මෙතෙක් සමත් වී නැත.

ඇමරිකානු ජනාධිපතිවරයා රුසියාවේ පැවැති ජී-20 සමුලුවේ දී මුහුන පෑවේ ඒකාන්ත කුජීත වීමකට ය. එක්සත් ජනපද හමුදා කි‍්‍රයා මාර්ගයට සහාය දීමට එකම ආන්ඩුවක් හෝ ඒත්තු ගන්වා ගැනීමට ඔහුට හැකි වූයේ නැත. එබඳු (රසායනික) ප‍්‍රහාරයක සාක්ෂි බෙදා හදා ගත හැකි මොනයම්ම ස්ථානයක් හෝ වී නම්, ඒ සෙන්ට් පීටර්ස්බර්ග්හි දී මුලු දුන් රාජ්‍ය නායකයන් සමගයැයි කෙනෙකුට අනුමාන කල හැකි ව තිබින. එහෙත් ඔබාමා සතුව එබඳු ඔප්පු කල හැකි සාක්ෂි කිසිත් නැති අතර, ලෝකයේ සෑම ආන්ඩුවක්ම ඒ බව දනී.

අගෝස්තු 21 දින සිද්ධිය වූ කලී හුදෙක්, සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා පමනක් නොව ඊට වඩා බෙහෙවින් පුලුල් යුද්ධයක් සඳහා යුක්තිකරනයක් සපයා ගනු වස්, වොෂින්ටනය හා එහි බත්බැලයන් වන අල් කයිඩාවේ නායකත්වයෙන් යුත් ඉස්ලාම්වාදී මිලීෂියාවන් විසින් කරලියට ගෙන ආ ප‍්‍රකෝපකරනයකි.

පලමු අවස්ථාව සඳහා සූදානම් කොට ඇත්තේ සිරියානු රජය හා එහි හමුදාව මත හෙලනු ලබන පූර්න පරිමාන ප‍්‍රහාරයකි. අසාද් ඝාතනය කිරීම හා සිරියානු හමුදාවේ වැඩි කොටසක් අතු ගා දැමීම ද අරමුනුවලට ඇතුලත් වනු ඇත. මේ කි‍්‍රයාදාමය අතරතුර දී දහස් සංඛ්‍යාත සිරියානු සිවිල් වැසියන් - පිරිමින්, කාන්තාවන් හා ලමුන් - ද මරා දැමෙනු ඇත.

එක්සත් ජනපදයේ පාලක සංස්ථාපිතය ඇතුලත මෙකී එල්ලයන් සුපැහැදිලි ලෙස උච්ඡාරනය කෙරෙමින් පවතී. මූලෝපායයික හා ජාත්‍යන්තර අධ්‍යයනයන් පිලිබඳ මධ්‍යස්ථානයේ (සීඑස්අයිඑස්) ප‍්‍රමුඛ විශ්ලේෂකයෙකු හා පෙන්ටගනයේ හිටපු රහස් තොරතුරු නිලධාරියෙකු වන ඇන්තනි කෝඩ්ස්මන් විසින් සැප්තැම්බර් 5 දින ප‍්‍රසිද්ධියට පත් කෙරුනු වාර්තාවකට යොදා තිබූ ශීර්ෂ පාඨය, “සිරියානු සිවිල් යුද්ධය තුල එක්සත් ජනපද ප‍්‍රහාරයන්හි සහ මැදිහත්වීමේ ප‍්‍රතිඵලය අර්ථාන්විත අයුරින් හැඩ ගැස්වීම” යන්නයි.

“එක්සත් ජනපදයට කිසියම් කල් පවත්නා මූලෝපායයික ප‍්‍රතිඵලයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නම්, එය සිරියාවේ රසායනික අවි පිලිබඳව අවධානය යොමු කරනු වෙනුවට, සැබෑ ලෙසම දැවැන්ත වූ කෲස් මිසයිල ප‍්‍රහාරයක් මගින් සිරියානු සිවිල් යුද්ධයේ අවසාන ප‍්‍රතිඵලය වෙනස් කිරීමට අවධානය යොමු කල යුතුයැ”යි කෝඩ්ස්මන් ලියා ඇත. “කෙටිකාලීනව මින් අදහස් කෙරෙන්නේ, රසායනික අවි පිලිබඳ ව අවධානය සංකේන්ද්‍රනය කරනු වෙනුවට සිවිල් යුද්ධය කෙරේ බලපෑමක් ඇති කෙරෙන පරිද්දෙන් ඉහල වටිනාකමකින් යුත් හමුදා ඉලක්ක කෙරේ අවධානය යෙදවීමයි.”

තවදුරටත් ඔහු උදක් ම කියා සිටියේ, “තුලනයේ සීමාසහිත, කෙටිකාලීන වාසියක් ලබා ගැනීම ප‍්‍රමානවත් නොවන” බවයි. ඔහු තර්ක කරන්නේ එක්සත් ජනපද ප‍්‍රහාරය, ඊනියා “කැරලිකරුවන්” ලෙස හඳුන්වනු ලබන, වොෂින්ටනය වෙනුවෙන් නිකායවාදී සිවිල් යුද්ධයක් ගෙන යන ෆැසිස්ට්වාදී ඉස්ලාමීය තුවක්කුකරුවන් සන්නද්ධ කිරීමේ වැඩ පිලිවෙලේ ප‍්‍රධාන පෙලේ තීව‍්‍ර කිරීමක් සමඟ අත්වැල් බැඳ ගත යුතු බවටයි.

මෙය දැනටමත් සිදුවෙමින් පවතී. ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත සිකුරාදා වාර්තා කල පරිදි, “සීඅයිඒ සංවිධානය, ලබන සතියේ ආරම්භ විය හැකි එක්සත් ජනපද බෝම්බ ප‍්‍රහාර මාලාවක වාසිය ලබා ගැනීමට සිරියාවේ කැරලිකරුවන්ට ආධාර කරනු වස් ඔවුන් වෙත සවුදි අරාබියේ හා අනෙකුත් අරාබි රටවල සිට යැවෙන නවතම අවි තොග පරීක්ෂා කරමින් සිටී.”

යුද්ධෝපකරනයන්හි මෙම දැවැන්ත නව සැපයුමට යුද ටැංකි නාශක අවි, ගොඩ බිම සිට අහසට යැවෙන මිසයිල හා වෙනත් අවි ද ඇතුලත් ය. එමෙන් ම තවත් ප‍්‍රකෝපකරනයක අවශ්‍යතාව පැන නැඟුනහොත් පාවිච්චි කිරීම සඳහා සවුදි රහස් ඔත්තු අංශ ප‍්‍රධානී බන්දාර් බින් සුල්තාන් අල් සවුද් කුමාරයා විසින් යවනු ලැබෙන රසායනික අවි ද ඊට ඇතුලත් වීමට බොහෝසෙයින් ඉඩ ඇත.

මේ ආයුධ යැවෙන්නේ, සමස්ත සිරියාව පුරා හා ඩැමස්කස් නුවරමත් නිකායවාදී සංහාර සිදුකිරීම සඳහා දැන් එක්සත් ජනපද රජය සමඟ සමීපතම කි‍්‍රයාන්විත එකමුතුවක් පවත්වා ගෙන යන අල් කයිඩාව මෙහෙයවන මිලීෂියාවන්ට ය.

මෙම ව්‍යාපාරයෙහි ඉලක්කය හුදෙක් සිරියාවට සීමා වී නැත. එය, පර්සියානු බොක්කෙහි හා මධ්‍යම ආසියාවේ ඛනිජ තෙලින් පොහොසත් හා තීරනාත්මක මූලෝපායයික වැදගත්කමකින් යුත් භූමි භාගයන්හි එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට ඇති සියලූ බාධා ඉවත් කිරීමේ අරමුනින් ඉරානය ඉලක්ක කෙරෙන වඩාත් පුලුල් කලාපීය යුද්ධයක් සූදානම් කිරීම කරා යොමු වූවකි. ඔබාමා ද හඹා යන්නේ සමස්තයක් ලෙස ඉහත දශකය පුරා ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සිදු කෙරුනු යුද්ධ පසුබිමින් පැවැති එම කොල්ලකාර අරමුනු පසුපසම ය.

සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුව විසින් සකස් කෙරුනු, හමුදා බලය යෙදීමට බලය දීමේ අභියෝජනාව විධිමත්ව හඳුන්වා දීම සඳහා එහි බහුතර කන්ඩායමේ නායක හැරී රීඩ්ට ඉඩ සලසනු වස්, එක්සත් ජනපද සෙනේට් සභාව සිකුරාදා සුලු වේලාවක් රැස් වූයේය. පූර්න සෙනේට් සභාව එහි නිවාඩුවෙන් පසු සඳුදා යලි රැස්වන අතර, සිරියාවේ යුද්ධයට සහාය දැක්වෙන පියවරයන් සම්බන්ධයෙන් ලබන බදාදා තරම් කඩිමුඩියේ ඡන්දය විමසීම සිදු වෙතැයි අපේක්ෂා කෙරේ.

දැනටමත් විනාශවී ඇති මැද පෙරදිග එම රටට දින 60ක් දක්වා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට මෙම අභියෝජනාව මඟින් ඉඩ සලසා ඇත. තවදුරටත් පහර දිය යුතුයැයි ඔබාමා පාලනය තීරනය කලහොත් තවත් දින 30කින් කාලය දීර්ඝ කෙරෙනු ඇත.

නීති සම්පාදන ලියැවිල්ලේ පෙල කුමක්වුව ද, එය එක්සත් ජනපදයේ මන්තී‍්‍ර මන්ඩල දෙකෙන් ම සම්මත වූව ද නොවූව ද - දිනෙන් දිනම වැඩිවැඩියෙන් පෙනී යන්නේ එය සම්මත කර ගැනීම සැක සහිත බවය - පාලනය දැනටමත් එය මුලින්ම ඉදිරිපත් කල කෙටුම්පතෙන් සිය මිලිටරි එල්ලයන්ගේ විෂය පථය බොහෝ දුර දිග යන එකක් බව පැහැදිලිව පෙන්වා දී ඇත. මෙම අභියෝජනාව සිරියානු රසායනික අවි “සම්බන්ධයෙන්” මෙන්ම, එබඳු අවි හෝ ඒවා ආශි‍්‍රත ද්‍රව්‍ය “සිරියාව තුලින්” ප‍්‍රගුනනය වීම “සම්බන්ධයෙන්” ද තථ්‍ය ලෙස ම අසීමිත මිලිටරි බලයක් පාවිච්චි කිරීමට අවසර දී ඇත. එබඳු භාෂාවක් භාවිතා කිරීම මඟින්, ඉරානයට හෝ රුසියාවට හෝ සිරියාව සමඟ “සම්බන්ධයැයි”, නැතහොත් ඊට ආධාර දෙතැයි එක්සත් ජනපදය නිර්නය කරන ඕනෑම රටකට පහර දීමට ද ඉඩ සැලැසෙනු ඇත.

පසුගිය සතියේ ඊස්රායලයේ ඉහල හමුදා නිලධාරීන්ගේ හා රහස් තොරතුරු නිලධාරීන්ගේ විශාල නියෝජිත පිරිසක් වොෂින්ටනයට පැමින සිටීමෙන් ද, ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවා ගැනීමට බාධා පැමිනවීම සඳහා සිරියාවට මැදිහත්වීම අත්‍යවශ්‍යයැයි කෙරෙන ප‍්‍රචාරක ඝෝෂාව විසින් ද පෙන්නුම් කෙරෙන්නේ එක්සත් ජනපදයේ මැදිහත් වීමේ අරමුන එයම බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා සඳහන් කල පරිදි ඔබාමා පාලනය, හමුදා බලය යෙදීමට බලය පවරන අභියෝජනාවට සහාය දෙන ලෙස කොන්ග‍්‍රස් සභිකයන්ට පීඩනය යෙදීම සඳහා, ඇමරිකානු ඊස්රායල මහජන කටයුතු කමිටුව (ඒඅයිපීඒසී) වැනි සියොන්වාදී පෙලඹවීම් කන්ඩායම් මත බෙහෙවින් ම රැඳී සිටී.

කොන්ග‍්‍රසය තුල සිදු කෙරෙන විචාරනයන්හි ප‍්‍රතිඵලය කුමක් වුව ද, එලැඹෙන යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුල කවර හෝ නීතිමය විවාදයක් පැවැත්වෙන අවසාන අවස්ථාව මෙය වනු ඇත. එක්සත් ජනපදයේ ධනපති ක‍්‍රමය මුහුන දී සිටින අර්බුදයේ ගැඹුර විසින් ඇමරිකානු ජනයාගේ ආකල්ප නොතකා, සිය ආර්ථික කඩා වැටීම හා තීව‍්‍රතර අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන් මඟ හරවා ගැනීම සඳහා ආක‍්‍රමනකාරී යුද්ධයකට එය ඇද දමනු ලැබ ඇත.

මෙය කුමන්ත‍්‍රනයේ ආන්ඩුවකි. එය අතිමහත් මිලිටරි හා ඔත්තු සේවා උපකරනයන්ගේ ආධිපත්‍යයට නතු ව, සමාගම්වල, බැංකුවල හා සුපිරි ධනවතුන්ගේ අභිලාෂයන්ට මුලුමනින්ම යටත්ව පවතී. ඔබාමා සහ ඔහුගේ ආධාරකරුවන්ම පිලිගන්නා පරිදි ජනගහනයේ අති විශාල බහුතරයක් යුද කි‍්‍රයා මාර්ගවලට විරුද්ධත්වය දක්වන තතු යටතේ එය, තොග පිටින් දෙසා බාමින් සිටින මුසාවාදයන්ගේ පදනම මත, ඇමරිකානු ජනතාව යුද්ධයක් කරා ඇදගෙන යමින් සිටී. අවසානයේ දී මෙය සිදු කල හැකිවනු ඇත්තේ ඉමහත් මර්දනයකින් පමනෙකි.

පැමිනෙන යුද්ධය නැවැත්විය හැක්කේ ඊට එරෙහිව මහජන බලවේගවල විරුද්ධත්වය බලමුලු ගැන්වීමෙන් පමනෙකි. ඒ සඳහා කම්කරු ජනයා, ශිෂ්‍යයන් හා තරුනයන් ඔබාමා පාලනයට, කොන්ග‍්‍රසයට හා මහා ව්‍යවසායකයන්ගේ දේශපාලන පක්ෂ දෙකටම ද එරෙහිව ස්වාධීන කි‍්‍රයාකාරීත්වයට එලැඹීම අත්‍යවශ්‍යය. යුද්ධයට එරෙහි අරගලය, මිලිටරීකරනයේ හා අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයේ ප‍්‍රභවය වන, එම ධනේශ්වර ක‍්‍රමයේ හා පාලක මූල්‍ය කතිපයාධිපත්‍යයේම නිර්දය පහරට ලක්ව ඇති ජීවන මට්ටම් හා මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටන සමඟ ඒකාබද්ධ විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය, එක්සත් ජනපදය පුරා හා ජාත්‍යන්තරව ද රැස්වීම් පවත්වමින් හා පෙලපාලි කැඳවමින් මෙම විරුද්ධත්වය සංවිධානය කිරීමට සටන් වදී. මෙම සටනට එක් වන මෙන් අපි අපේ සියලු පාඨකයන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: