සිරියාවට එරෙහි යුද්ධය එපා!

No to war against Syria!

2013 සැප්තැම්බර් 02

1. සිරියාවට මිලිටරි ප්‍රහාර එල්ල කිරීමේ ඔබාමා පාලනාධිකාරයෙහි හා එහි සහචරයින්ගේ සැලසුම් වලට එරෙහිව සිය සාමුහික ශක්තිය යොදවන ලෙස සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ලොව පුරා කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටී.

සිරියාවට බෝම්බ හෙලීම සඳහා තමා කොන්ග්‍රස් සභාවේ අනුමැතිය බලාපොරොත්තු වන බවට අගෝස්තු 31දා ජනාධිපති ඔබාමා කල ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ, ප්‍රහාරය අත්හිටුවන බවක් නොව එය ප්‍රමාද කර ඇති බව පමනි. v

කොන්ග්‍රසයෙන් ඡන්දයක් ඉල්ලා සිටීම වනාහි, බොරු මත පදනම් කල යුද්ධයට නීත්‍යානුකූල භාවයක් ආරෝපනය කිරීමේ නරුම දේශපාලන උපාමාරුවකි. යුද්ධයකට පක්ෂව ගෙන ආ යෝජනාව 29දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කැපී පෙනෙන පරාජයකට මුහුන පෑමෙන් අනතුරුව ඔබාමා පාලනය, ඇමරිකානු ජනතාවගේ ඉමහත් බහුතරයක් විරුද්ධත්වය පලකරන නීති විරෝධී යුද්ධයට දේශපාලන කඩතුරාවක් නිර්මානය කර ගැනීමට දඟලමින් සිටියි. සිරියාවට පහර දීමට කොන්ග්‍රසයේ අනුමැතිය පලවන බව විශ්වාස කිරීමට ඔබාමාට ප්‍රබල හේතු ඇත. තව ද, විකාරයක් වන කොන්ග්‍රසයේ විවාදය මගින් යුද්ධය සඳහා තීරනයට එලඹ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බව ද එය “ජනතාවගේ කැමැත්ත” ප්‍රකාශ කරන බව ද කියා පෑම සඳහා ඔබාමාට අවස්ථාව සැලසෙයි. මෙම තර්කය, යුද්ධයට එරෙහි වන්නන්ට විරුද්ධව මර්දනය දැඩි කිරීම යුක්තිසහගත කිරීම පිනිස හරඹ කරනු ඇත.

2. ඔබාමා පාලනය විසින් උපයෝගී කරගෙන තිබෙන මූලික බොරු අතර, රසායනික අවි භාවිතා කිරීමට එරෙහිව සිරියානු ජනාධිපති බෂර් අල් අසාඩ්ට දඬුවම් කිරීම පමනක් අරමුනු කර ගන්නා “සීමිත” මිලිටරි මෙහෙයුමක්ය යන ප්‍රකාශය වෙයි.

සිරියාවට එරෙහිව මුදාහරිනු ඇති දැවැන්ත බෝම්බ ප්‍රහාරයන්හි සීමිත බවක් තිබිය නොහැකිය. රෝස් ගාඩ්න් කථාවේදී ඔබාමා, ප්‍රහාරය මගින් සිරියානු මිලිටරියේ “පරිමාව පහත හෙලීමට” අරමුනු කර ඇති බව පැවසීය. මේ සඳහා විශාල පරිමානයකින් යුද උපකරන හා මෙවලම් ද දහස් ගනන් සෙබලුන් මරා දැමීම ද අවශ්‍ය වනු ඇත. එක්සත් ජනපදයේ මිලිටරි සැලැස්ම, 2003 ඉරාකයට එරෙහිව යොදාගත් “තැතිගැන්ම හා සන්ත්‍රාසයේ” නම හැරෙන්නට සියලු ක්‍රමෝපායන් පුනර්කරනය කරනු ඇත.

එක්සත් ජනපද මෙහෙයුම එහි සියලු මූලෝපායික අරමුනු ලඟාකරගන්නා තෙක් නවතිනු නැත. ඒ අතර, එක්සත් ජනපදය අනුබලය දෙන විපක්ෂයට වාසිදායක වන ලෙස සිරියානු සිවිල් යුද්ධයේ මඟ වෙනස් කිරීම, හැකිනම් ජනාධිපති අසාද් මරා දැමීම, පාලන තන්ත්‍රය අඩපන කොට එක්සත් ජනපදයේ රූකඩ පාලනයක් ඇටවීම සඳහා මඟ හෙලිකර ගැනීම වෙයි.

සිරියාවට ඔබ්බෙහි පවතින අරමුන, කලාපය තුල ඉරානය, රුසියාව හා චීනය ද අනෙකුත් සියලු එක්සත් ජනපද ප්‍රතිවාදීන්ගේ ද මඟ ඇහිරීමයි. සිරියාවට එරෙහි යුද්ධය ඉරානයට එරෙහි මිලිටරි ගැටුමක් බවට වේගයෙන් පත්වනු ඇත. 01දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කල පරිදි ඔබාමා සිය කාර්ය මන්ඬලයට පවසා ඇත්තේ, කොන්ග්‍රසයේ අනුමැතිය ලැබීමට වඩාත්ම "බලපා” ඇති කාරනය, "සමහරවිට ඉරානය සමඟ, ඉදිරි වසර තුන තුල ඔහුගේ මැද පෙරදිග මිලිටරි ඝට්ටනයන්හිදී, කොන්ග්‍රසයේ අනුමැතිය අවශ්‍යව තිබිය දී හිතුවක්කාරීව කටයුතු කලහොත් තමන්ට කැපිල්ලක් සිදුවිය හැකි බැවිනි.”

3. ඔබාමා පාලනය බරපතල අර්බුදයකට මුහුනපා ඇති බව නිසැක ය. යුද්ධයේ මාවත ඔබාමා බලාපොරොත්තුවූ ආකාරයට සුමුදු එකක් වූයේ නැත. විෂ වායු ප්‍රහාරය පිලිබඳ චෝදනා යුද්ධය සඳහා මහජන මතය නම්මවා ගැනීමට සමත්වේ යයි ඔබාමා බලාපොරොත්තු විය. පිලිතුරු සැපයීම කෙසේ වෙතත් කිසිදු ප්‍රශ්නයක් හෝ නැඟීමට පෙරාතුව මිසයිල් හා බෝම්බ හෙලීමට බලාපොරොත්තු විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදය තුල, සිරියාව රසායනික අවි පාවිච්චි කල බවට එල්ල කෙරෙන කිසිදු චෝදනාවක් තහවුරු කිරීමට අගමැති ඩේවිඩ් කැමරන් අසමත් වන බව පැහැදිලි වන තතු හමුවේ මෙම සැලසුම් වල පසුබෑමක් ඇති විය.

එක්සත් ජනපදයේ ජනමත විමසුම් අනුව සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට පක්ෂ කොටස සියයට 9ක් තරම් අඩු මට්ටමක පැවති අතර එරට මහජන සහායෙන් තොරව ම යුද්ධය ඇරඹීමට ඔබාමා සූදානම්ව සිටින අතර තුර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ලත් පරාජය, අස්ථාවර දේශපාලන තත්වයක් නිර්මානය කලේය. දේශීය සහයෝගයකින් තොරව හා විශ්වාසනීය ජාත්‍යන්තර පිටුබලයකින් තොරව යුද්ධය ඇරඹීම දේශපාලනිකව අනතුරුදායක යයි ඔබාමා පාලනය නිගමනය කලේය. කොන්ග්‍රසයේ ඡන්දයෙන් අදහස් කෙරෙන්නේ යුද්ධය සඳහා පුලුල් මහජන සහයෝගයක් පවතින්නේය යන මායාව ඇති කිරීම ය.

4. කොන්ග්‍රස් විවාදය අරඹන දිනයට ඇත්තේ තව සතියක කාලයක් පමනක් වන අතර, සිරියානු ආන්ඩුව රසායනික අවි පාවිච්චි කලේය යන්න මත මාධ්‍යගතව, යුද්ධයට සහාය ගොනු කරන දැවැන්ත මාධ්‍ය ව්‍යාපාරයක් ඉදිරි දිනවලදී දැකගත හැකිවනු ඇත.

මෙම චොදනාවන්ට කිසිදු විශ්වාසනීයත්වයක් ඇත්තේ නැත. පලවන නොයෙකුත් වාර්තා දැනටමත් ඇඟවුම්කර ඇත්තේ, අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධාන විසින් අධිකාරය දරන විපක්ෂය, ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි. අසාද්ට විරුද්ධ සවුදි අරාබියාවේ බුද්ධි අංශ විසින් සම්පාදනය කල රසායනික අවි, විපක්ෂ හමුදා සතුව ඇති බව අවධාරනය කරන ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මෙම වාර්තාවන්ට අන්තර්ගතව තිබේ. තව ද එක්සත් ජනපදයේ පිටුබලය ලබන විපක්ෂ හමුදා මීට පෙර නර්ව් ගෑස් (ස්නායු හාරක විෂ වායු) පාවිච්චිකර තිබීම හා සැරීන් නර්ව් ගෑස් සන්තකයේ තබාගෙන සිටිය දී ඔවුන් අල්ලාගෙන තිබීමේ කාරනය ද සැලකිල්ලට ගත යුතුය. රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් පසුගිය 30දා නිකුත්කල එක්සත් ජනපදයේ ඔත්තු බලන ආයතනවල "බුද්ධි තක්සේරු,” කිසිදු සාක්ෂියකින් සනාථ නොකරන ප්‍රකාශ හා මුසාවාද ගොන්නකි. ස්වාධීන විමර්ෂනයක් සඳහා මෙම තොරතුරු එක්සත් ජාතීන් වෙත ලබාදෙන ලෙසට රුසියාව කල ඉල්ලීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

5. සිරියානු මිලිටරිය විෂ වායු පාවිච්චි කර ඇති බව තහවුරු කල යුතුව තිබිය දී වුවත්, එය එක්සත් ජනපද මැදිහත්වීමේ කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ස්වභාවය වෙනස් කරනු නැත. දෙවසරක් තිස්සේ එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා ප්‍රන්සයේ ද සහාය ඇතිව කලාපයේ සිය අනුචරයින් සමග එක්ව, පාලන තන්ත්‍රයේ වෙනසක් අරමුනු කරගෙන, සිවිල් යුද්ධය අවුලුවා තිබේ. බොහෝකොටම රුසියාව හා ඉරානය සමග ඇති සමීප බැඳීම් හේතුකොටගෙන අසාද් තන්ත්‍රය දිගු කාලයක් මුලුල්ලේම මැද පෙරදිග එක්සත් ජනපද යාන්ත්‍රනයට මුහුනදීමට සිදුවිය හැකි බාධකයක් ලෙස හඳුනාගෙන තිබුනි.

තමන් මෙහෙයවෙන්නේ "මානවවාදී” අරමුනු මගින් බවට කෙරෙන ඔබාමා පාලනයේ කුහක ප්‍රකාශ, මැද පෙරදිග තුල එහි දිගු කාලීන හා ලේ වැකි වාර්තාවෙන් හෙලිදරව් කෙරී ඇත. ඩොලර් බිලියන ගනන් තමන්ම සහනාධාර අරමුදල් සපයන ඊජිප්තු මිලිටරිය විසින් පසුගිය මාසයේදී ගෙනගිය සමූහ ඝාතන නොතකා හැරීමට එක්සත් ජනපදයට කිසිදු අපහසුවක් තිබුනේ නැත.

සූදානම් කෙරෙමින් තිබෙන ව්‍යසනයට එරෙහි තීරනාත්මක අරගලයක අවශ්‍යතාව මතුව තිබේ. කෙසේ වෙතත් යුද්ධයට දක්වන විරුද්ධත්වය තුල ධවල මන්දිරයට නොඅඩුව ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තිය විසින් පාලනය කරන ආයතනයක් වන කොන්ග්‍රසය කෙරේ විශ්වාසය තැබීමක් අඟවන්නේ නැත.

ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපක්ෂයේම ඉහල නිලධාරීහු, යුද්ධය කෙරෙහි සිය සහායෝගය දැනටමත් පලකොට තිබේ. සමස්ත දේශපාලන සංස්ථාපිතයම නොනිමෙන යුද්ධය දශකයකට වැඩි කාලයක් මුලුල්ලේ පවත්වාගෙන ගොස් තිබේ. ඒ, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” මුවාවෙනි. යුද්ධය සඳහා යෝජනාව ඡන්දයෙන් පරාජයට පත් වුව ද එය ‍වැඩිම වුනොත් යුද ධාවනය කල් යවනවා මිස නතර කරන්නේ නැත. බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් ද එය සත්‍යය. එක්සත් ජනපද කොන්ග්‍රසය ගන්නා පියවරෙන් පසුව, යුද්ධයට අනුමැතිය පල කරන තවත් ඡන්දයක් සඳහා උපාමාරු දැමීම එහි දැනටමත් ආරම්භ කෙරී ඇත.

6. යුද්ධය නතර කිරීමට සිදු වුවහොත් වැඩකරන ජනතාව, තරුනයින් හා ශිෂ්‍යයින් කොන්ග්‍රසයෙන් හා මහා ව්‍යාපාරිකයේ පක්ෂ දෙකෙන් ස්වාධීනව සටන තමන් අතට ගත යුතුය. යුද්ධයට එරෙහි අරගලය, කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට නොකඩවා එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි අරගලයේ හී තුඩ බවට පත්කල යුතුය. මෙය සාරාර්ථයෙන්ම ධනවාදයට එරෙහි අරගලයකි.

මෙය නැවතී බලාසිටින්නට කාලයක් නොව සවිඥානක දේශපාලන ක්‍රියාවේ මොහොතකි. මෙය වහාම ආරම්භ කල යුතුය. යුද්ධයට එරෙහි සියල්ලන්ගේම හඬ, ඇසීමට සැලැස්වීම අවශ්‍යය. යුද්ධය පිලිබඳ ප්‍රශ්නය පාලක පැලැන්තියේ හා එහි දේශපාලන නියෝජිතයින්ගේ අතින් ඉවතට ගත යුතුය.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය හා ලෝකයේ එහි සහෝදර පක්ෂ, පෙලපාලි, රැස්වීම්, අධ්‍යයන කව, හා යුද විරෝධී මනෝ භාවයන් ප්‍රකාශයට පත් කරන වෙනත් ජනතාවාදි ක්‍රියා සංවිධානය කරන ලෙස කැඳවුම් කරයි. මේවා වැඩපොලවල හා පාසැල්වල සංවිධානය කල යුතුය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය දේශපාලන තත්වය පිලිබඳ විශ්ලේෂන හා යුද කුමන්ත්‍රනය හෙලිදරව් කිරීම අඛන්ඬව කරගෙන යනු ඇත. සසප හා ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ සසජාතශි සංවිධානය යුද්ධයට එරෙහි මහජන විරෝධය දිරිමත් කර සංවිධානය කිරීම සඳහා කල හැකි සියල්ල කරනු ඇත. මෙම අරගලයට ඒකාබද්ධ වන ලෙස අපි ලෝසවෙඅ පාඨකයින්ට ඇරයුම් කරමු.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: