සිරියාවේ රසායනික අවි පිලිබඳ ගිවිසුම, එක්සත් ජනපද යුද්ධය කල්දමනවා මිස අවලංගු නොකරයි

Syria chemical weapons deal—US war postponed, not canceled

2013 සැප්තැම්බර් 16

සිරියානු ආන්ඩුවේ රසායනික අවි තොග විනාශ කිරීම පිලිබඳව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව් අතර ජිනීවාහිදී ඇතිකරගත් ගිවිසුම නිසා, මැදපෙරදිග ආක‍්‍රමනකාරී නව යුද්ධයකට විරුද්ධ වූ බොහෝ දෙනෙකුට සැනසීමක් ඇතිවූ බවට සැකයක් නැත.

එහෙත් කටුක සත්‍යය නම්, යුද්ධය කල් දමා ඇතුවා පමනක් වීම ය. ඔබාමා පාලනාධිකාරය සාමය වැලඳගෙන ඇති බව සිතන අයට, ඇමරිකානු මිලිටරිවාදී තල්ලුවට පිටුපසින් ඇති වෛෂයික සමාජ, ආර්ථික හා භූදේශපාලනික අවශ්‍යතා පිලිබඳව වැටහීමක් නැත. රුසියාව සමග එලඹගත් ගිවිසුම තිබිය දී පරිපාලනය ගෙන ඇත්තේ උපායාත්මක පසුබැසීමකට වැඩි පියවරක් නො වේ. ඉරානය සමග මිලිටරි ගැටුමක් සඳහා වන සූදානමේ කොටසක් ලෙස සිරියාවේ පාලන තන්ත‍්‍ර වෙනසකට ඇමරිකානු අධිරාජ්‍යවාදය කැපවී සිටියි.

15දා විකාශනය වූ ඒබීසී ජාලයේ “ජෝර්ජ් ස්ටෙෆනොපවුලස් සමග මේ සතිය” වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ජනාධිපති බරක් ඔබාමා “අප (සිරියාවට) පහර නොදීමෙන් අප ඉරානයට පහර නොදෙනු ඇත යන නිගමනය එරට විසින් නොගත යුතුය.” යනුවෙන් පැවසීම වැදගත් ය.

යන්තම් සතියක පමන කාලයක් තුල ඔබාමා පාලනාධිකාරය, සිරියාවට දරුනු බෝම්බ හෙලීමක අද්දර සිට රුසියාව සමග සාකච්ඡාමය ගිවිසුමකට ගමන් කලේ ය. එක්සත් ජනපද පිලිවෙතේ වේගවත් වෙනසට හේතු වූයේ, මිලිටරි ප‍්‍රහාරයකට සහාය දෙන යෝජනාවක් අගෝස්තු 29දා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් සිය පලමු ප‍්‍රකාශනය අත්කරගත්, පෙර නොවූ ආකාරයෙන් ගැඹුරට විහිද ගිය මහජන විරෝධය යි.

රුසියාව හා චීනය යන දෙරට විසින් ම විරුද්ධත්වය පල කිරීම නිසා, එක්සත් ජාතීන්ගේ යෝජනාවක් තුලින් නීතිමය කඩතුරාවක් සපයා ගැනීමට අසමත් වීම ද තම සමීපම අනුචරයාගෙන් සහයෝගය ලබාගැනීමට අපොහොසත් වීමෙන් හටගත් පසුතැවිල්ල ද නිසා මිලිටරි බලය යොදාගැනීමට බලය පවරන යෝජනාවක් සම්මත කර ගැනීමේ උත්සාහයක් ලෙස ඔබාමා පාලනාධිකාරය එක්සත් ජනපද කොන්ග‍්‍රසය කරා නැඹුරු විය. ජාත්‍යන්තර ආක‍්‍රමනයේ නීති විරෝධී හා ඒක පාර්ශවික කි‍්‍රයාවක් වනු ඇති යුද්ධයට මහජන සහයෝගය හා ව්‍යාජ නීත්‍යානුකූලත්වය ලැබී ඇතැයි යන වහන්තරාවක් එවන් අනුමැතියකින් ලැබෙනු ඇතැයි එය ගනන් බැලීය.

මෙහිදී ද පාලනාධිකාරය අසාර්ථක විය. කොන්ග‍්‍රස් සාමාජිකයින්ට තම මැතිවරන කොට්ඨාශවල නවයෙන් අටක් ම යුද්ධයට විරුද්ධත්වය පල කරමින් පනිවිඩ එවද්දී, රිපබ්ලිකානුවන් බහුතරයක් වන කොන්ග‍්‍රසයෙන් පමනක් නොව ඩිමොක‍්‍රටිකයින් බහුතරයක් වන සෙනේට් සභාවෙන් ද ඔබාමා පරදින බව පැහැදිලිව දිස් විය. මිලිටරි කි‍්‍රයාවන්ට අනුමැතිය බලාපොරොත්තුවන ජනාධිපතියෙක් එවන් කුජීත වීමකට එක්සත් ජනපද ඉතිහාසය තුල මුහුනපෑ පලමු අවස්ථාව වන මෙම සිද්ධිය ඔබාමාගේ ජනාධිපති කමට ද මාරක පහරක් විය.

අවසානයේදී ධවල මන්දිරය, සිරියාවේ රසායනික නිරායුධකරනය මත එකඟත්වයකට රුසියාව ගෙන ආ යෝජනාව සමග අත්වැල් බැඳගත්තේ මේ තත්වයන් යටතේ ය. ඩැමස්කස් තදාසන්නයේ අගෝස්තු 21දා රසායනික ප‍්‍රහාරය සඳහා වගකීම අසාද් තන්ත‍්‍රය මත පටවන තහවුරු නොකල චෝදනා ඔවුන් යුද්ධය සඳහා කඩතුරාව ලෙස යොදා ගත්තේ ය. ඔවුන් කියා සිටියේ, සිරියාවේ රසායනික අවි ශක්තිය “අවහිර කර පහත හෙලීමට” එක්සත් ජනපද මිලිටරි ප‍්‍රහාර උපයෝගීකර ගන්නා බවය.

ජනාධිපති බෂර් අල් අසාද්ගේ සිරියානු ආන්ඩුවට එක්සත් ජනපද මිලිටරි ප‍්‍රහාර වලක්වාගත හැක්කේ තම රසායනික අවි තොග මුලුමනින්ම විනාශ කිරීමට පියවර ගැනීමෙන් පමනක් යයි කෙරීගේ කට පල්ලෙන් වැටුනු බව පෙනීයන ප‍්‍රකාශය මොස්කෝව විසින් අල්ලා ගැනීමත් සමග එක්සත් ජනපදය උපායික පසුබෑමකට මුහුන පෑවේය. එය කිරීම පිනිස මොස්කෝව අසාද්ගේ එකඟතාවය ලබා ගත්තේය. ගැඹුරින් ම අපකීර්තියට පත් යුද ව්‍යායාමය සමග ඉදිරියට යෑමේ අසීරුවකට මුහුනපා සිටි ඔබාමා පාලනාධිකාරය, එතකුදු ටොම්හෝක් කෲස් මිසයිලයක් හෝ නොවිද අත්කරගත හැකි පරිදි ප‍්‍රදර්ශනාත්මක ලෙස එයට නැඹුරු විය.

ඊනියා “රාජ්‍යතාන්ති‍්‍රක මාවත” වැලඳ ගනිමින් ඔබාමා හා ඔහුගේ ආධාරකරුවෝ, යුද්ධය ස්ථිරව ම න්‍යායපත‍්‍රය මත තිබෙන බව පැහැදිලි කිරීමේ අසීරුවකට මුහුනපා සිටිති. ජානීවාහි දී ඇතිකරගත් ගිවිසුමට පවා හැකියාව ලැබුනේ “එක්සත් ජනපදයේ බලය යෙදීම පිලිබඳ තර්ජනයේ ප‍්‍රතිපලයක් ලෙස පමනක්” බව අවධාරනය කල ඔබාමා, “රාජ්‍යතාන්ති‍්‍රක මෙහෙවර අසාර්ථක වුවහොත් එක්සත් ජනපදය කි‍්‍රයාවට බැසීමට සූදානමින් සිටින බව” පැවසී ය.

තමාගේ පැත්තෙන් කෙරී, රසායනික අවි පිලිබඳ ගිවිසුමට අනුකූලව අසාද් තන්ත‍්‍රය කටයුතු කරන්නේ දැයි තීන්දු කිරීම එක්සත් ජනපදය විසින් කරනු ලබන බවත්, ඊට ගැලපෙන පරිදි මිලිටරි කි‍්‍රයාවන්ට එලඹෙනු ඇති බවත් පැහැදිලි කලේ ය. එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව මිලිටරි ප‍්‍රහාර දියත් කරනු ඇත. “එක්සත් ජනපද ජනාධිපතිගේ හා එලඹී ඇත්තේ එවැනි තත්වයක් බව සිතන සමචින්තක සහකරුවන්ගේ තීරනය පරිදි එය සිදුවනු ඇත.”

ධවල මන්දිරය, අනුමැතිය පතා කොන්ග‍්‍රසය වෙත යාමේ වැරැද්ද දෙපාරක් නොකරනු ඇති බව ද පැහැදිලි වී තිබේ. නියෝජිත මන්තී‍්‍ර මන්ඬලයේ දෙවෙනි පෙල ඩිමොක‍්‍රටිකයෙකු වන මේරිලන්ඩ්හි ස්ටෙනි හොයර් සති අන්තයේදී බ්ලූම්බර්ග් රූපවාහිනියට පැවසුවේ, තමා හෝ කොන්ග‍්‍රසයේ සුලුතර නායිකා නැන්සි පෙලෝසි හෝ “ජනාධිපති මේ අවස්ථාවේදී කොන්ග‍්‍රසයට පැමිනීම අවශ්‍යය යි විශ්වාස නොකරන අතර සිය කැමැත්ත පරිදි ඔහුට කටයුතු කල හැකි” බවය.

කෙසේ නමුත් හොයර්, රුසියාව සමග ඇතිකරගත් ගිවිසුම, කොන්ග‍්‍රසයට යුද්ධය අලෙවි කිරීම පිනිස උපයෝගී කරගත හැකියයි ද පැවසීය. “ජනතාව මෙසේ කියනු ඇත. ඔහුට කෙටි ඉඩ ප‍්‍රස්ථාවක් අවශ්‍යව තිබුනි. ඔහු එය ලබාගත්තේ ය. ජනතාව ඔහු විසින් ගත යුතු යයි බලකර සිටි රාජ්‍ය තාන්ති‍්‍රක මාවත ඔහු ගත්තේ ය. එහෙත් එය සාර්ථක නො වී ය. එබැවින් මේ තත්වය හමුවේ, අපට ඉතිරිව තිබෙන එකම විකල්පය, තවදුරටත් රසායනික අවි යොදාගැනීම නතර කර ඒවා යොදාගැනීමට සිරියාවට ඇති හැකියාව අවම කර අවහිර කිරීම සඳහා කි‍්‍රයාත්මක වීමයි.” ඔහු එසේ පැවසී ය.

නිසැකව ම මෙම දේශපාලන ගනන් බැලීම් ඔබාමා පාලනය විසින් ද සලකා බලනු ලබයි. සිරියාව සඳහා ඉතිහාසයේ පෙරනිමිති ශුභදායක නැත. තවත් මැද පෙරදිග නායකයින් දෙදෙනෙක් ද සිය රාසායනික අවි තොග විනාශ කිරීමට කැමැත්ත පලකොට තිබුනි. ඉරාකයේ හිටපු සදාම් හුසේන් හා ලිබියාවේ හිටපු මුවම්මර් ගඩාෆි ඒ දෙදෙනා ය. එම රටවල් එක්සත් ජනපදයේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ ව්‍යාපාරයට ගොදුරු වූ අතර ඉන් එක් අයෙක් හෝ අද ජීවතුන් අතර නො සිටියි.

එක්සත් ජනපද-රුසියානු ගිවිසුම, රසායනික අවි විශේෂඥයින්ට අනුව කිසිසේත්ම ඉටු කිරීමට අපහසු කොන්දේසි මාලාවක් සිරියාව මත පනවා තිබේ. රසායනික අවි ගිවිසුම අනුව එය අත්සන් තැබූ දින සිට රටකට දින 60ක කාලයක් තම අවි තොග ලැයිස්තුගතකොට ඉදිරිපත් කිරීමට ලැබෙන නමුත් ජිනීවාහිදී අත්සන්කල ගිවිසුමෙන් සිරියාවට ලැබෙන්නේ සතියක කාලයක් පමනි. එක්සත් ජනපදය පසුගිය 18 වසරක කාලයක් තම රසායනික අවි තොග විනාශ කිරීමට වැයකර ඇති අතර එය නිමා කිරීමට තවත් දස වසරක්වත් ගතවනු ඇතැයි ගනන් බලා ඇත. එම කර්තව්‍යය ම ඉටු කිරීමට සිරියාවට ලැබෙන්නේ නව මසක කාලයක් පමනි.

මෙම බාධක ඉවත් කිරීමට අපොහොසත් වුවහොත්, යුද්ධය සඳහා නිමිත්තක් සපයා ගැනීම සඳහා, අල් කයිඩාව ප‍්‍රමුඛ “කැරලිකරුවන්” විසින් තවත් රසායනික අවි ප‍්‍රකෝපකරනයක් ඇති කර අසාද් තන්ත‍්‍ර ය මත එහි වරද පැටවීමේ ඉඩකඩක් හැම විටම පවතියි.

රසායනික අවි කිසි විටෙකත්, සෘජු එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක අරමුන නො වී ය. එය කඩතුරාවක් පමනි. යුද ප‍්‍රචාරනය සඳහා කැපවී සිටින ව්‍යාපාරික මාධ්‍ය විසින් ඔසවනු ලබන කතාන්තරය, එනම්, සිරියානු සිවිල් යුද්ධයේ භීතියට පත් නිරීක්ෂකයෙක් පමනක් වන වොෂින්ටනය, පරම වශයෙන්ම උත්සුක වන්නේ අනාරක්ෂිත සිවිල් වැසියන්ගේ ශුභසාධනය ගැනය යන්න, අමූලික මුසාවකි. ප‍්‍රධාන කොටම මෙම යුද්ධය අවුලුවන්නා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි. අසාද් විරෝධී ත‍්‍රස්තවාදීන්ට ඩොලර් බිලියන කාලක් තරම් මුදලක් සපයා ඇති ඇමරිකාව, අරාබි ලෝකයේ සිය ප‍්‍රමුඛ සහචරයින් වන සවුදි අරාබිය හා කටාර් වැනි ප‍්‍රතිගාමී සුන්නි රාජාන්ඩු වෙතින් ඊටත් වඩා විශාල අවි තොග හා අරමුදල් සැපයීම සම්බන්ධීකරනය කරයි.

රට කෑලි වලට ඉරා ඇති ඉස්ලාම්වාදීන්, අපරාධකරුවන් හා කුලී භටයින්ගේ එකතුවක් වන “කැරලිකරුවන්” පුහුනු කර සන්නද්ධ කිරීමට දැන් සීඅයිඒ සංවිධානය කෙලින්ම සම්බන්ධ වීමට පටන් ගෙන ඇත. පසුගිය ජූලියේදී අල් කියුසායර් නගරය අහිමිවීමත් සමග ඇරඹුනු වොෂින්ටනයේ කුලී හමුදාවන්ගේ මිලිටරි පරාජයන් පෙල, රසායනික අවි පිලිබඳ එක්සත් ජනපදයේ “රතු ඉර” ඇඳීමටත්, යුද්ධයට පැනීමටත් ක්ෂනික ආවේෂය සම්පාදනය කලේ ය. නිකායික ලේ හැලීම් හා ප‍්‍රතිගාමී ඉස්ලාමීය දෘෂ්ටිවාදය හේතුකොටගෙන සිරියානු ජනතාවගේ පුලූල් කොටස් අතර වෛරයට පාත‍්‍රව සිටින සීඅයිඒ පිටුබලය දෙන බලවේග සිටින්නේ පරාජයේ අද්දර ය.

වඩාත් මූලික කාරනය, සිරියාවේ පාලන තන්ති‍්‍රක වෙනසක් සඳහා වොෂින්ටනය සහාය දක්වන යුද්ධය, බල ශක්තිය අතින් පොහොසත් මැද පෙරදිග පමනක් නොව ඊටත් වඩා විහිද ගිය මූලෝපායිකව තීරනාත්මක යුරේසියා භූමි ස්කන්ධය මත තම ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ වොෂින්ටනයේ මූලෝපායෙහි කොටසකි. ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද්ධ ගෙන ගිය සිය පූර්වගාමියා මෙන්ම ඔබාමා පාලනාධිකාරය ද පෙරට ඇදෙන්නේ, එම කොල්ලකාරී අරමුනු මුල්කරගෙන ය. සිය සාපේක්ෂ ආර්ථික පරිහානිය ජය ගැනීමේ මාධ්‍ය ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය මිලිටරි ශක්තිය යොදාගැනීමට උත්සාහ දරයි. සිරියාවේ මැදිහත්වීමෙහි එල්ලය හුදෙක් ඩැමස්කස් තන්ත‍්‍රය පමනක් නො වේ. කලාපය තුල ඉරානයේ මෙන්ම රුසියාවේ ද චීනයේ ද බලය හා අනුහස බිඳ හෙලීම ය.

එක්සත් ජනපද නාවික ප‍්‍රහාරක බල ඇනි හා වර්ධනය වන රුසියානු නාවික යාත‍්‍රා නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ මුහුනට මුහුනලා නතරකර ඇත. සිරියාවේ රසායනික අවි පිලිබඳ එක්සත් ජනපද-රුසියානු ගිවිසුම සාමයේ නව අවදියක් විවර කරන්නේ නැත. පලමු හා දෙවන ලෝක සංග‍්‍රාමයන්ට පෙරාතුව පැවති මිලිටරි ප‍්‍රකෝපකරනයේ හා යුද බියේ අවධියක තවත් සිදුවීමක් පමනි එය.

පැතිරයන කලාපීය යුද්ධයක හා නව ගෝලීය ගිනි ජාලාවක තර්ජනයට පිලිතුරු දිය හැක්කේ, ධනවාදයට එරෙහි එක්සත් අරගලයක ස්වාධීන ශක්තිය බලමුලු ගන්වන ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: