ෆෙඩරල් මහ බැංකුවේ “කප්පාදු” තීරනය ගැඹුරුවන මූල්‍ය අර්බුදය වෙත ඇඟිල්ල දිගු කරයි

Fed “taper” decision points to deepening financial crisis

2013 සැප්තැම්බර් 23

පසුගිය සතියේ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකු මන්ඩලය මාසයකට ඩොලර් බිලියන 85 බැගින් බැඳුම්කර මිලට ගන්නා ප්‍රතිපත්තිය කපා නොහැරීමට ගත් තීන්දුව, මූල්‍ය වෙලඳපොලට අතිශයින්ම ලාභ මුදල් පොම්ප කිරීම දිගටම පවත්වාගෙන යාම මත ගෝලීය මූල්‍ය ක්‍රමය කෙතරම් දුරට රැඳී ඇත් ද යන්න යලිත් සලකුනු කරයි.

පස් වසරකට පෙර ලේමන් බ්‍රදර්ස් බැංකුව බිඳවැටීමත් සමග හටගත් අර්බුදය විසඳී නැතුවා පමනක් නොව, ෆෙඩරල් හා අනෙකුත් මහ බැංකුවල ප්‍රතිපත්ති, 2008-09 ට වඩා විශාල පරිමාවක් පවා අත්කරගැනීමේ හැකියාව සහිත, තවත් මූල්‍ය ව්‍යසනයක් සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇතැයි ද එය හෙලි කරයි.

වෝල් වීදිය තීරනයෙන් කුල්මත් විය. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය හා එස්ඇන්ඩ්පී 500 දර්ශකය නව වාර්තාගත මුදුනකට ලඟා විය. ඊනියා “නැඟී එන වෙලඳපොලවල්” සැනසුම් සුසුමක් හෙලීය. ඒ, ෆෙඩරල් බැංකුවේ “කප්පාදුව” බලාපොරොත්තුව එක්සත් ජනපදයේ පොලී අනුපාතික ඉහල යාමේ ප්‍රතිපල වශයෙන්, මැත මාසවල හටගෙන තිබූ මුදල් ඉවතට ගලා යාම අඩපන වනු ඇතැයි යන අපේක්ෂාව මතය. ඒ අනුව ඉන්දියාව, බ්‍රසීලය හා ඉන්දුනීසියාව වැනි රටවල මුදල් අගය කඩා වැටීම අවසන් වනු ඇතැයි ගනන් බලමිනි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව වැනි අනෙකුත් රටවල දක්නට ඇත්තේ ඊට වෙනස් ප්‍රතික්‍රියාවකි. මුදලේ අගය අසාමාන්‍ය ලෙස ඉහල මට්ටමක පවතිනු ඇතැයි ද ආර්ථික වර්ධනය අඩුවනු ඇතැයි ද මෙම බලපෑම මඟහැරීම පිනිස මහ බැංකු පොලී අනුපාතික කපා හැරීමට පටන් ගැනීම නිසා නිවාස වෙලඳපොලෙහි බුබුලක් නිර්මානය කෙරෙන කො‍න්දේසි සකසනු ඇතැයි ද යන බිය නිසාය ඒ.

සිය තීන්දුව දැනුම් දෙමින් ෆෙඩරල් බැංකුව, “මෑත මාසවල පවත්වාගෙන ගිය මූල්‍ය කොන්දේසි දැඩි කලහොත්, ආර්ථිකයේ හා ශ්‍රම වෙලඳපොලේ ප්‍රගතිය බාලවනු ඇති” බව පෙන්වා දුන්නේය.

මැයි මාසයේදී ෆෙඩරල් මහ බැංකුවේ සභාපති බෙන් බර්නන්කේ, “කප්පාදුව” හඳුන්වාදුන් අවස්ථාවේ පටන්, ගෝලීය මූල්‍ය ක්‍රමයේ මූලික පදනම ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ දස අවුරුදු මහ බැංකු බැඳුම්කර පොලී අනුපාතිකය, සියයට 1.56 සිට සියයට 3 පමන දක්වා ඉහල ගියේය.

විරැකියාව පහත හෙලීමේ අවශ්‍යතාවය හුවාදක්වනු ලැබුව ද මහ බැංකුවේ මූලික උත්සුකය, සමස්ත ආර්ථිකය හා මිලියන සිය ගනනක් වන වැඩරන ජනතාව මුහුන‍ දෙන එන්ට එන්ටම නරක අතට හැරෙන තත්වය නොව, වත්කම් මිලෙහි උද්ධමනකාරී තත්වයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරික හා මූල්‍ය වංශාධිපතියන්ට වාසි සැලසීම ය.

ෆෙඩරල් හා අනෙකුත් මහ බැංකුවල ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්ති වලින්, ආයෝජන, රැකියා හෝ ආර්ථික ප්‍රසාරනය වෙනුවෙන් කිසිදු දායකත්වයක් ලැබී නැති අතර ඒවායේ අරමුන ජනගහනයේ අති බහුතරයකගේ වියදමෙන් මූල්‍ය සමපේක්ෂනය සඳහා අරමුදල් සැපයීම බවට පුලුල් පිලිගැනීමක් පවතියි.

බ්‍රිතාන්‍යයේ හිටපු මූල්‍ය සේවා අධිකාරයේ ප්‍රධානී ඇඩයර් ටර්නර් මෑතකදී සඳහන් කලේ, එරට මූල්‍ය ගලනයෙන් ආයෝජන ව්‍යාපෘතීන් වෙත ගොස් ඇත්තේ සියයට 15ක් පමනක් බවත් ඉතිරිය පවතින ව්‍යාපාරික වත්කම්, ‍දේපොල හෝ පෞද්ගලික මූල්‍ය තුලට ගොස් ඇති බවත්ය.

ප්‍රමානාත්මක ලිහිල් කිරීම් අවසන් කිරීම හෝ එහි සැලකිය යුතු “කප්පාදුවක්” පවා, පුම්බා තිබෙන මූල්‍ය වත්කම්වල බිඳවැටීමකට තුඩුදෙනු ඇති බවට බියක් පවතියි. පසුගිය 20දා ෆිනෑන්ෂියල් ටයිම්ස් පත්‍රයේ පලවු කතුවැකියකට අනුව, “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ හදිසි අවසානයක්, විශේෂයෙන්ම පුලුල් බංකොලොත්වීම් නිර්මානය කිරීමට තරම් ඉක්මනින් වත්කම් මිල පහත වැටුනොත්, ආර්ථික ප්‍රකෘතිය අවදානමේ හෙලනු ඇත. තව ද අනුක්‍රමික අවසානයක් නිවේදනය කලහොත්, ස්වයංක්‍රියව ම වඩාත් හදිසි වැටීමක් සිදුවිය හැකිය.” ෆෙඩරල් බැංකුවට සිය ප්‍රතිපත්ති “හොර රහසේ” තබාගත නොහැකි ය. වෙලඳපොලවල් “අන්ධකාරයේ තැබුවොත්, ඒවායේ හැසිරීම අන්තරායකාරී ලෙස පෙර නොදැකිය හැකි තැනකට පත්වනු ඇත.” කතුවැකිය අනතුරු ඇඟවීය. එහෙත් ෆෙඩරල් බැංකුවේ සෘජු නිවේදනයක ප්‍රතිපල වශයෙන් එවැනි අස්ථාවර බවකට පොහොර වැටෙයි. තම අභිමතාර්ථයන් පිලිබඳව මූල්‍ය වෙලඳපොලවල් අවදි කරමින් ෆෙඩරල් බැංකුව කියා සිටියේ, සිය ප්‍රතිපත්ති “ඉදිරි මඟපෙන්වීමක්” සහිතව ගෙනයන බවයි. එහෙත් කප්පාදු පියවරක් ඇඟවුම් කර පසුව එය අකුලා ගැනීම මගින්, එය කැලඹීමේ නව මූලාශ්‍රයක් නිර්මානය කලේ ය.

කෙසේ වෙතත් පසුගිය දශක තුනක කාලය තුල, මූල්‍ය වෙලඳපොලවල පිනුම් ගැසීම, ගෝලීය ධනේශ්වර ව්‍යූහයේම හා මූල්‍ය ක්‍රමයේම මූලික පරිවර්තනයක් පිලිබඳ ක්ෂනික ප්‍රකාශනය වනවා පමනි.

ගෝලීය කලමනාකරන උපදේශන ආයතනයක් වන බේන් සහ සමාගම මෑතකදී කල අධ්‍යයනයකට අනුව, මූල්‍ය හා සැබෑ ආර්ථිකය අතර සම්බන්ධතාවය “තීරනාත්මක සන්ධිස්ථානයකට” පැමින තිබේ. මෑත වසරවල ආර්ථික වර්ධනය “දිග්ගැස්සුනු පහත වැටීමක්” අත්විඳින අතර “ගෝලීය මූල්‍ය වත්කම්වල පරිමාව වේගවත් පරාසයක් තුල ප්‍රසාරනය වී ඇත.”

2010 වන විට ගෝලීය ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 600 දක්වා ඉහල ගියේ ය. එය පසුගිය දශක දෙක තුල තුන්ගුනයක වැඩිවීමකි. දැන් මූල්‍ය වත්කම්වල අගය භාන්ඩ හා සේවාවන්හි ගෝලීය නිමැවුමෙන් දස ගුනයකට ආසන්න ය.

එහෙත් කාල වකවානුව තවත් පස්සට දැමුවහොත්, ප්‍රසාරනය ඊටත් වඩා නාටකාකාර වනු ඇත. 1980දී ගනන් බලා තිබුනේ මූල්‍ය වත්කම් අගය දල වශයෙන් ගෝලීය නිමැවුමට සමාන වන බවයි. ගෝලීය මූල්‍ය ක්‍රමය එන්ට එන්ටම ඔලුවෙන් හිටවූ පිරමිඩයකට සමානකම් දක්වයි. මූල්‍ය වත්කම් සිය පැවැත්ම රඳා සිටුවන සැබෑ ආර්ථිකයට සාපේක්ෂව, ඒවායේ අගය වඩ වඩාත් ප්‍රසාරනය වෙයි.

මෙය, ගෝලීය ධනවාදයේ ක්‍රියාකාරිත්වයෙහි අති මූලික වෙනසකට තුඩුදී ඇත. බේන් වාර්තාව පැහැදිලි කරන පරිදි, මූල්‍යකරනයේ වර්ධනයෙහි අර්ථය, “සම්ප්‍රදායිකව වඩාත් ස්ථාවර ව්‍යාපාර පවා ක්‍රියාත්මක වන්නේ බොහෝ කොටම ආරක්ෂක අරමුදල් ක්‍රියාකරන ආකාරයට ය.” වෙනත් වචන වලින් කිවහොත්, දැන් ලාභ සමුච්චයකරනයේ අධිකාරවත් ක්‍රමවේදය සමපේක්ෂනය යි.

ප්‍රාග්ධන සමුච්චයකරනයේ ගාමකය විමසා බලමින් මාක්ස්, එහි බලයේ අති මූලික රූපාකාරය, මුදල් තවත් මුදල්, විශාල ප්‍රමානයක් බවට පරිවර්තනය කිරීම බව පැවසීය. ඒ, “මුදල් ඉපැයීමේ අරමුන සඳහා අත්‍යවශ්‍ය දුෂ්ටත්වයක්” ලෙස සරලව පෙනී යන නිෂ්පාදන ක්‍රියාවලිය සමග ය. එංගල්ස් සඳහන් කරන පරිදි ධනපති ජාතීන්, “නිෂ්පාදන ක්‍රියාවලියේ මැදිහත් වීමකින් තොරව මුදල් ඉපැයීමට උත්සාහ දැරීමේදී, කරකැවිල්ලේ මූර්ඡාවට පත්වන්නේ” මක්නිසා ද යන්න මෙයින් පැහැදිලි කෙරේ.

මාක්ස් හා එංගල්ස්ගේ කාලයේ පැවති “මූර්ඡාව” දැන් ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ ස්ථිර තත්වය බවට පත්ව තිබේ.

2008 අර්බුදය මෙම ඓතිහාසික පරිවර්තනයේ ආරම්භක ප්‍රකාශනය වේ. එහෙත්, එතැන් පටන් ගනු ලැබ ඇති පියවර, මූල්‍ය උනුවී යාම තුල මතුපිටට පුපුරා ආ ප්‍රතිවිරෝධයන් උග්‍ර කරනවා පමනි.

සිය ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන තුලින් ෆෙඩරල් බැංකුව, සිය වත්කම් පදනම, 2007 වසරේ පැවති ඩොලර් ට්‍රිලියන 1 සිට අද වන විට ට්‍රිලියන 4 දක්වා ඉහල නංවාගෙන ඇත. එය එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට සමානවෙයි.

ආර්ථික ඉතිහාසයේ පෙර නොවූ විරූ වත්කම් මිලට ගැනීම, 2008දි කලාක් මෙන්, අවසන් නය දෙන්නා ලෙස යම් තරමකට මූල්‍ය වෙලඳපොලෙන් පිටත සිටිනවා වෙනුවට, ෆෙඩරල් බැංකුව හා අනෙකුත් මහ බැංකු, දැන් වෙලඳපොලේ ක්‍රියාවන්ට ගැඹුරෙන්ම ඒකාග්‍රවී සිටියි. මෙහි අර්ථය, දැනටමත් ඒ සඳහා කොන්දේසි බෙහෙවින් මෝරා ඇති, මීලඟ මූල්‍ය අර්බුදයේදී, මුල්‍ය ක්‍රමයේ පරිපූර්න බිඳ වැටීමක තත්වය සකස් කරමින් මධ්‍යම බැංකු ම ඊට දායක වන බවයි.

සමපේක්ෂනය තුලින් ආර්ථිකය කොල්ලකෑම හරහා පෙර නොවූ විරූ ආකාරයෙන් ධන සමුච්චයකරනයේ යෙදී සිටින පාලක පැලැන්තීන්, නව වටයක සමාජ අරගලයන් පුපුරා යෑමට මුල පුරන නව අර්බුදයක් ලඟාවෙමින් තිබෙන බව දැන සිටියි.

එයට මුහුන දීම සඳහා ඔවුහු, වඩාත් ආඥාදායක රූපාකාරයන් සහිත පාලනයකට කැසපොට ගසමින් සිටිති. එසේම කම්කරු පන්තිය ද ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත දේශපාලන බලය ගැනීමේ අරගලයක් වර්ධනය කරමින් ඊට සුදානම් විය යුතු ය.

නික් බීම්ස්

Share this article: