G-20 සමුලුව ආසන්න වන විට සිරියාව සම්බන්ධයෙන් ලෝ පුරා ආතතිය නැඟේ

Global tensions over Syria on eve of G-20 summit

බිල් වෑන් ඕකන් විසිනි, 2013 සැප්තැම්බර් 5

සිරියාවට එරෙහිව හමුදා බලය යෙදවීමට බලය පවරන අභියෝජනාවක් ඇමරිකානු කොන්ග්‍රස් මන්ඩලයෙන් අනුමත කරවා ගැනීම සඳහා එක්සත් ජනපද පාලනය දරන ප්‍රයත්නය මධ්‍යයේ ජනාධිපති බරක් ඔබාමා බදාදා ස්වීඩනය කරා පැමිනියේ ය. මෙසේ ඔහු ස්වීඩනයට පැමිනියේ, එලැඹෙමින් පවත්නා යුද්ධයේ සෙවනැලි විසින් අඳුරු කර දැමෙනු ඇතැයි සිතීමට බොහෝ සෙයින් ඉඩ ඇති G-20 සමුලුවක් කරා යන අතරවාරයේ දී ය.

ඔබාමා රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හි පැවැත්වෙන සමුලුව කරා පිටත්ව යන මොහොත වන විට ද, සිරියාවට එරෙහි එක්සත් ජනපද හමුදා ආක්‍රමනයට සහාය ගොනු කර ගැනීම සඳහා වූ ඔහුගේ ප්‍රයත්නය එතරම් පල දරන බවක් පෙනෙන්නට නො තිබින.

ස්ටොක්හෝම්හි බදාදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී, සිරියාව තුල රසායනික අවි භාවිතය පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් ඔබාමා නිවේදනය කලේ "මම රතු ඉර නො ඇන්දෙමි. රතු ඉර අඳිනු ලැබුවේ ලෝකය විසින් ය. මගේ විශ්වාසනීයත්වය අවදානමට භාජනය වී නැත. අවදානමට ලක් ව ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසනීයත්වයයි," යනුවෙනි.

සිරියාව විසින් කෙරෙන කවරාකාර හෝ රසායනික අවි භාවිතයක් එක්සත් ජනපදයේ ප්‍රතිචාරයක් කැඳවා සිටින "රතු ඉර" ඉක්මවා යාමක් වනු ඇතැයි වසරකට ඉහත දී ඔහු කල සඳහන මඟ හැර කෙරෙන මේ පුරසාරම් සහගත සාටෝප කථා, කිසිවෙකු ඒත්තු ගැන්වීමෙහි ලා සුවිශේෂීව ම අසමත් ය. යුරෝපීය ආන්ඩු එබඳු "රතු ඉරක්" ඇඳීම එක්සත් ජාතීන් විසින් කල යුත්තකැයි යන ආස්ථානයේ රූපිකව රැඳී සිටින අතර, වොෂින්ටනයේ රිපබ්ලිකානුවෝ යෝජිත හමුදා ක්‍රියා මාර්ගයේ වගකීමෙන් කර හරිතැයි ඔබාමාට චෝදනා කරති.

ඔබාමාගේ ප්‍රධාන ජාත්‍යන්තර අනුචර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පසුගිය සතියේ ලද තිගැස්සෙන සුලු පසුබෑම හමුවේ මේ ආකල්පය තහවුරු වී ඇත. යුද්ධ ක්‍රියාමාර්ගයකට සහයෝගය දීමේ කැමරන්ගේ යෝජනාව පාර්ලිමේන්තුව තුල පරාජයට පත් වූ අතර, එක්සත් ජනපද මූලිකත්වයෙන් සිරියාවට එල්ල කෙරෙන ප්‍රහාරයකට තම රජය සහභාගී නොවනු ඇතැයි ඉනික්බිතිව ඔහු නිවේදනය කලේ ය.

ඔබාමා, G-20 සමුලුවේ සත්කාරක රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කෙරෙන් එල්ල වන විරුද්ධත්වයට මුහුන දී සිටියි. එක්සත් ජනපද ජනාධිපති පැමිනි සන්ධ්‍යාවේ, සිරියානු රජය රසායනික අවි භාවිතා කොට ඇතැයි යන ඇමරිකානු චෝදනාව "සිතාගත නොහැකි තරමේ ප්‍රලාපයකැ"යි බැහැර කල පුටින් කවර හෝ ඇමරිකානු හමුදා ක්‍රියා මාර්ගයක් නීතිවිරෝධී ආක්‍රමනයක් වනු ඇතැයි නම් කොට හෙලා දුටුවේ ය.

සමුලුවට පෙර ඔබාමා හා පුටින් අතර පැවැත්වීමට සැලසුම් කොට තිබූ ද්වි පාර්ශ්වික රැස්වීමක් අවලංගු කිරීමට වොෂින්ටනය ක්‍රියා කලේ ය. එම අවලංගු කිරීම සිදු කෙරුනේ එක්සත් ජනපද හා ලෝක ජනතාවට එරෙහිව සිදු කෙරුනු මහා පරිමාන නීතිවිරෝධී ඔත්තු බැලීමේ මෙහෙයුම පිලිබඳව හෙලි කල ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) කොන්ත්‍රාත් සේවකයකු වූ එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාව විසින් දේශපාලන රැකවරන ප්‍රදානය කරනු ලැබීමට එකට එක කිරීමක් ලෙස ය.

ඉහත G-20 සමුලුවලට සහභාගී වූ ලෝක නායකයන්ගේ කථාබහට විද්‍යුත් උපකරන යොදා හොරෙන් සවන් දීමට එක්සත් ජනපද රහස් ඔත්තු ඒජන්සිය කටයුතු කල බවට වාර්තා පලවී ඇති හෙයින්, එන්එස්ඒ ඔත්තු බැලීම් පිලිබඳ හෙලිදරව් කිරීම් ද G-20 කටයුතු මත අඳුරු සෙවනැලි පතිත කිරීමට නියමිත ය. ඇසොෂියේටඩ් ප්‍රෙස් හා රුසියාවේ චැනල් 1 සමඟ පවත්වනු ලදුව බදාදා නිකුත් කෙරුනු සම්මුඛ සාකච්ඡාවක දී පුටින්, අගෝස්තු 21වන දින ඩැමස්කසයෙන් පිටත සිදු වූ බවට චෝදනා කෙරෙන රසායනික අවි භාවිතය පිලිබඳ ව සිරියානු රජය වගකිව යුතුය යන ඔප්පු නොකල ප්‍රනිශ්චයන් සහිත එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවේ රහස්‍ය යයි වර්ගීකරනය නොකල වාර්තාවක් සමච්චලයට භාජනය කලේ ය. සිරියාවට එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල කිරීම සාධාරනීකරනය කිරීමේ ව්‍යාජ ආවරනයක් ලෙස යොදා ගැනීමට උත්සාහ දරන්නේ මෙම වාර්තාවයි.

"අපේ දෘෂ්ටි කෝනයෙන් ගත් කල, අද දවසේ ප්‍රහාරකාත්මක ව ක්‍රියාත්මක වන්නේ සන්නද්ධ හමුදාවන් ය, එනම්, නිත්‍ය සන්නද්ධ හමුදාවන් ය. ඇතැම් ප්‍රදේශයන්හි ඔවුහු කැරලිකරුවන්යැයි කියනු ලබන අය වට කර සමූලඝාතනය කරමින් සිටිති. තහනම් රසායනික අවි භාවිතා කිරීම තමන්ට එරෙහිව බලය යෙදීම ද ඇතුලු සම්බාධක පැනවීමට හේතුවක් ලෙස යොදා ගැනෙන බැව් ඉතා හොඳින් දැන දැනම එසේ කිරීමට මේ තතු යටතේ දී ආන්ඩුවේ පාර්ශවය කටයුතු කරන බවක් සිතීම පරිපූර්න තකතිරු කමකැ"යි රුසියානු ජනාධිපති පැවසී ය.

චෝදනා නැඟෙන රසායනික ප්‍රහාරය සිදු වූයේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ ආරාධනයෙන් සිරියාවට පැමිනි එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකයන් සිය කටයුතු ආරම්භ කල දිනයේ දී ම ය.

එම රහස්ය් ලෙස වර්ගීකරනය නොකල වාර්තාව ම වොෂින්ටනය විසින් මොස්කව් වෙත ද එවා ඇති බව සඳහන් කල රුසියානු විදේශ ඇමති සර්ජි ලව්රොව්, එහි කියා සිටින දේ සනාථ කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විට එම තොරතුරු "රහස්‍යයැ"යි දන්වා ඇති බව පැවසී ය.

"(චෝදනා) තහවුරු කිරීමේ කරුනු කිසිත් නැත, ඇත්තේ නැවත නැවතත් කියනු ලබන 'අපි නිසැකව ම දනිමු' ආකාරයේ කථා පමනෙකැ"යි ලව්රොව් පැවසී ය. "අප වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා සිටි විට අපට ලැබුනු ප්‍රතිචාරය වූයේ, 'මේවා රහස්‍ය තොරතුරු බව ඔබ දන්නෙහිය, එබැවින් අපට එය ඔබට පෙන්විය නොහැක' යන්නයි. මේ අනුව, තවමත් කරුනු කිසිවක් දක්වා නැත."

මාර්තු 19 වන දා 26 දෙනෙකුට මරු කැඳවමින් - ඉන් බහුතරය සිරියානු සෙබලුන් ය - අලෙප්පෝ අසල දකුනු දිග සිරියානු නගරයක් වන ඛාන් අල් - අසාල් වෙත එල්ල වූ රසායනික අවි ප්‍රහාරය සිදු වූ ස්ථානයෙන් රුසියානු විශේෂඥයන් විසින් එකතු කර ගන්නා ලද සාම්පල මත පදනම් ව රුසියානු රජය බදාදා පිටු 100කින් යුත් සිය ඔත්තු සේවා තොරතුරු වාර්තාවක් එක්සත් ජාතීන් වෙත නිකුත් කලේ ය.

අඩංගුව තිබූ රසායන ද්‍රව්‍ය හා ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගැනුනු රොකට්ටු පිලිබඳ විශ්ලේෂනයක් මත පදනම් ව වාර්තාව නිගමනය කොට තිබුනේ එම ප්‍රහාරය සිරියාව තුල ක්‍රියාත්මක වන බටහිර සහාය ලබන මිලීෂියා භටයන් විසින් එල්ල කරන ලද්දක් බවයි.

"මාර්තු 19වන දින කැරලිකරුවන්, රජයේ පාලනය යටතේ පැවැති ඛාන් අල් - අසාල් නගරය වෙත නියාමනය නොකල බෂාර් 3 මිසයිලයක් යැවූ බැව් නිශ්චය කොට ඇතැ"යි එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති විටලි චර්කින් ප්‍රකාශ කලේ ය. "විශ්ලේෂනයේ ප්‍රතිඵල පැහැදිලිව පෙන්නුම් කලේ ඛාන් අල්-අසාද්හි භාවිතා කෙරුනු ෂෙල් උන්ඩය කම්හලක නිපදවූ එකක් නොවන බව සහ එහි සැරින් වායුව අඩංගු වූ බවයි." ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ, එහි අඩංගුව තිබූ ද්‍රව්‍ය රාජ්‍ය හමුදාවන් අත දක්නට ලැබෙන "සම්මත රසායනික පිරවුමක්" නොවන බැව් රසායනික විශ්ලේෂනයෙන් පෙන්නුම් කොට ඇති බවයි.

ඊනියා "කැරලිකරුවන්" සතුව රසායනික අවි පවතින බවට හා ඔවුන් ඒවා භාවිතා කර ඇති බවට පවත්නා විස්තීර්න සාක්ෂි වොෂින්ටනය විසින් බැහැර කරනු ලැබ ඇත්තේ එම සාක්ෂිවලින්, රජය පෙරැලීමේ යුද්ධයක් කරලියට ගෙන ඒම සඳහා තමන් නිෂ්පාදනය කල ව්‍යාජ ආවරනය ඉරා දැමෙන නිසා ය.

ඩැමස්කස් නගරාසන්නයේ පිහිටි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකට ලක් වීමෙන් මතුවීමට ඉඩ ඇති අවදානම පිලිබඳ ව හදිසි විශ්ලේෂනයක් සූදානම් කිරීම සඳහා ද රුසියානු විදේශ අමාත්‍යංශය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමානු බලශක්ති ඒජන්සියට කැඳවුම් කොට ඇත්තේ, "එවැන්නක ප්‍රතිවිපාක අතිශය ව්‍යසනකාරී විය හැකි" බවට අනතුරු අඟවමිනි.

බදාදා මොස්කව්හි දී කථා කරමින් පුටින්, ඒක පාර්ශ්වික එක්සත් ජනපද ප්‍රහාරයකට එරෙහිව අනතුරු හැඟැවූයේ, "ස්ව-ආරක්ෂාව සපයා ගැනීමේ දී හැර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට පිටින් කෙරෙන ඕනෑම දෙයක් ආක්‍රමනයක් වෙයි. හරය වශයෙන් ගත් කල දැන් කොන්ග්‍රසය හා එක්සත් ජනපද සෙනේට් මන්ඩලය සිදු කරමින් සිටින්නේ ආක්‍රමනයට නීත්‍යානුකූලභාවයක් ලබා දීමයි. ප්‍රතිපත්තියක් ලෙස මෙය නොපිලිගත හැකිය," යනුවෙනි.

තව ද, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අඟහරුවාදා සෙනේට් කමිටුවක් ඉදිරියේ ලබා දුන් වාචික සාක්ෂිය නිසා පුටින් ඔහු "බොරු කාරයෙකැ"යි හංවඩු ගැසී ය. ඊනියා "කැරලිකරුවන්" "කාලයාගේ ඇවෑමෙන් වඩවඩාත් අල් කයිඩාවේ කාවැදීමට ලක් වී ඇතැ"යි පැවසීම අසත්‍යයක් දැයි සෙනේට් සභිකයෙකු විසින් මතු කල ප්‍රශ්නයට කෙරී පිලිතුරු දී තිබුනේ, "නැහැ, එය මූලික ව ගත් කල ඇත්තක් නොවෙයි. එය මූලිකව වැරදියි," යනුවෙනි. ක්‍රෙම්ලිනයේ බදාදා පැවැති රැස්වීමක දී පුටින් මෙසේ පැවසී ය: "සත්තකින් ම ඔවුහු යස අගේට බොරු කියති. මම කොන්ග්‍රසයේ විවාද දුටුවෙමි. 'අල් කයිඩාව එහි සිටී දැ'යි කොන්ග්‍රස් සභිකයෙක් කෙරී මහතාගෙන් අසයි. ඔහු මෙසේ පිලිතුරු දෙයි: 'නැත. මම ඔබට වගකීමෙන් යුතුව කියන්නේ එය එහි නැති බවයි."

පුටින් වැඩිදුරටත් මෙසේ පැවසීය: "ප්‍රධාන කැරලි හමුදා ඛන්ඩ සමන්විත වනුයේ අල් කයිඩා ඒකකයන්ගෙනි. ඔවුහු ඒ බව දනිති. එය මට අප්‍රසන්න හා මවිතකර විය - අපි (එක්සත් ජනපද නිලධාරීන්) ඔවුන් හා කථා කරමු, ඔවුන් ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් වෙතැයි යන උපකල්පනයේ සිට අපි ක්‍රියා කරමු. එහෙත් ඔහු බොරු කියන අතර, ඔහු තමා බොරු කියන බව දනියි. එය කනගාටුදායක ය."

රුසියානු රූපවාහිනිය (ආර්ටී) බදාදා වාර්තා කලේ, එක්සත් ජනපද ප්‍රහාරයකට එරෙහිව "මිනිස් පලිහවල්" ලෙස ඉදිරිපත් වෙමින් සිරියානු විරෝධතාකරුවන් ප්‍රධානතම හමුදා කඳවුරු අසල එක්රැස් වූ බවයි. පෙලපාලිකරුවෝ ඩැමස්කසයෙන් පිටත ක්වේසියන් කඳු පාමුල කඳවුරු බැඳ සිටිති. මෙය ප්‍රමුඛ හමුදා පහසුකම් ගනනාවක් පිහිටි ස්ථානයකි.

විරෝධතාකරුවන් අතරින් එක් අයෙකු රුසියානු රූපවාහිනිය අමතා ප්‍රකාශ කලේ මෙසේ ය: "අප මෙහි සිටින්නේ ඇමරිකානු තර්ජන හමුවේ අපේ රට කෙරෙහි පක්ෂපාතීත්වය පල කිරීමට ය. ඉරාකයේ දී ඔවුන් රසායනික අවි යොදාගෙන කල දේ අපේ රටේ දී සිදුවනු දැකීමට අපට අවශ්‍ය නැත."

Share this article: