අධිරාජ්‍යවාදී යුද්ධය එපා! මැයි දිනයේ විප්ලවවාදී සම්ප‍්‍රදායන් යලි අත් කර ගනිමු!

No to imperialist war! Reclaim the revolutionary traditions of May Day!

2014 අප්‍රේල් 12

ලබන මැයි හතර වන ඉරුදින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2014 මැයි දිනය සැමරීමට ජාත්‍යන්තර රැලියක් අන්තර් ජාලය මගින් පවත්වනු ඇත. ලෝකය පුරාම අසන්නන්ට විවෘත වූ මෙම රැලියේ අරමුන වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදරත්වයේ මෙම ඓතිහාසික දිනයේ විප්ලවවාදී සමාජවාදී සම්ප‍්‍රදායයන් යලි පනගැන්වීමයි.

තමන් ගමන් කල මගෙහි අත්දැකීම් වලින් කම්කරු පන්තිය උගත යුතුය: මෙම වර්ෂයේ මැයි දිනය ඉතිහාසයේ අත්දැකීම් වලින් රැව් දෙයි. අවුරුදු සියයකට පෙර, 1914 දී මැයි දින උත්සවය පවත්වනු ලැබුවේ විසිවන සියවසේ ප‍්‍රාරම්භ විපාක ජනක ව්‍යසනය වූ පලමුවන ලෝක යුද්ධයේ පුපුරායාමට යාන්තම් මාස කිහිපයකට පෙර ය. 1914 එම දෛවොපගත දිනයේ දී ප‍්‍රධාන යුරෝපිය නගර හැම එකකම පැවත් වුනු රැුලි වලට සහභාගී වූ සහශ‍්‍ර සංඛ්‍යාත කම්කරුවෝ අධිරාජ්‍යවාදයට ද ධනේශ්වර යුදවාදයට ද තමන් සතුරු බව ප‍්‍රකාශයට පත් කලෝය. එකල්හි පැවති මහාජන කම්කරු පන්ති සංවිධාන - අන් සියල්ලටමත් වඩා ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය සහ ප‍්‍රන්සයේ සමාජවාදී පක්ෂය - එයට පෙර වසර ගනනාවක් තිස්සේ අනතුරු හඟවමින් සිටියේ, මහා ධනපති රාජ්‍යයන් අතර යටත් විජිත ද බල වැයික්කි ද සඳහා කරගෙන යනු ලබන නිර්දය අරගලය යුද අවි වියදම් එන්න එන්න ම වැඩි කර යුද්ධය පැන නංවනු ඇති බවය.

මීට මාස 18කට පෙර, 1912 නොවැම්බරයේ දී දෙවන ජාත්‍යන්තරය ලෝකය පුරාම සමාජවාදී පක්ෂවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේ බැසල් නගරයේ දී පවත්වන ලද සම්මේලනයේ දී සම්මත කරගත් යෝජනාව කියා සිටියේ කම්කරු පන්තියේ පක්ෂ සහ සංවිධාන යුද්ධය වලක්වාලීම සඳහා තමන්ට කලහැකි සියලු දෙයම කල යුතු බව ය. දෙවන ජාත්‍යන්තරයේ සම්මේලන නියෝජිතයෝ මෙසේ ද සම්මත කර ගත්හ. “එහෙත් යුද්ධය වලක්වා ගත නොහැකි වුවහොත්, යුද්ධය විසින් නිර්මානය කරනු ලබන ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදාගෙන මහජනයා පුබුදුවා ධනේශ්වර පන්ති පාලනය බිඳවැටීම ඉක්මන් කල යුතු ය.”

මෙම සපථය උරගා බැලීමට වැඩි කල් ගියේ නැත. 1914 ගිම්හානයේ දී බොස්නියාවේ සේරජිවෝ නගරයේ දී සිදුවූ සුලු දේශපාලන සිද්ධියක්, එනම් ඔස්ටි‍්‍රයාවේ ඔටුන්න හිමි මහාදිපාද ෆ‍්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ව ඝාතනය කිරීම සමස්ත යුරෝපිය අර්බුදයක් ඇතිකල අතර, එය සති ගනනාවක් තුල දී ජර්මනිය සහ ඔස්ටි‍්‍රයා-හන්ගරිය ද අනෙක් අතට ප‍්‍රන්සය මහා බි‍්‍රතාන්‍යය සහ රුසියාව ද අතර යුද්ධයකට වැඩී ගියේ ය.

යුද්ධය පිලිබඳ යථාර්ථය ඉදිරියේ විශාලතම සමාජවාදී පක්ෂ, එනම් ජර්මනියේ, ප‍්‍රන්සයේ බි‍්‍රතාන්‍යයේ සහ ඔස්ටි‍්‍රයාවේ සමාජවාදී පක්ෂවල නායකයෝ සිය ක‍්‍රියාමාර්ග හැරපියා තම තමන්ගේ ජාතික පාලක පක්ෂවල යුද ක‍්‍රියාවලට සහයෝගිත්වය ප‍්‍රකාශ කලෝ ය. 1914 අගෝස්තු 4, අඟහරුවාදා, පෙර නුවූ විරු මට්ටමක දේශපාලන පාවාදීමකට කම්කරු පන්තිය භාජනය කරමින්, ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයෝ යුද්ධය සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වලට පක්ෂව ඒකමතිකව ඡන්දය දුන්නෝ ය.

මෙම පාවා දීමේ විපාකය වූයේ අධිරාජ්‍යවාදී යුද්ධයේ ඊලඟ හතර අවුරුද්ද ඇතුලත දී දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මරනයට පත් වීමය. විශේෂයෙන් ම ජර්මනිය, ප‍්‍රන්සය, බි‍්‍රතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය (එක්සත් ජනපදය යුද්ධයට ඇතුලු වුයේ 1917 දී ය) ආදී රටවල බලගතු ජාතික ධනපති ආසක්තයන්ගේ ලෝකාධිපත්‍යය සඳහා ගෙන ගිය යුද්ධයේ රුධිර ස්නානය තුල ලෝකය පුරා කම්කරු පන්තික තරුනයන්ගේ හොඳම කොටස මරනයට පත් විය.

යුද්ධයේ සිව් වසර තුල ගංගා, නගර, පමනක් නොව එක අර්ධද්වීපයක් පවා - සොම්, මාර්න්, යිප්රෙස්, වර්ඩන්, සහ ගැලිපොලි - මහා ඝාතනයන් සමග සමානාර්ථ බවට පත් විය.

සියලු සමාජවාදීන්ම සිය මූලධර්මයන් පාවාදුන්නා නොවේ. දෙවන ජාත්‍යන්තරයේ පාවාදීමට විරුද්ධව, එම යුගයේ ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදියෝ යුද්ධය හෙලා දුටුවෝය. එපමනක් නොව යුද්ධයේ සාරභූත හේතු ද පැහැදිලි කර දුන්නෝ ය. රුසියානු බෝල්ෂෙවිකයන්ගේ නායක ව්ලැඩිමීර් ලෙනින්, ලෝක යුද්ධය අනිවාර්යව ම පැනනැංගේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ සහ දැවැන්ත මහා සංගත ඒකාධිකාරයන් විසින් ආධිපාත්‍යය දරනලද ලෝක අධිරාජ්‍ය පද්ධතියේ ප‍්‍රතිඝතිතාවන් තුලින් බව, පැහැදිලි කර දුන්නේ ය. 1905 රුසියාවේ විප්ලවයේ ප‍්‍රධාන නායකයෙකු ලෙස ප‍්‍රමුඛත්වයට පත් ලියොන් ට්‍රොට්ස්කි, එම යුද්ධය වනාහි ලෝක ආර්ථිකයේ වර්ධනයේ ද යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතියේ ද පුපුරා යන සුලු ප‍්‍රතිඝතිතාවේ ප‍්‍රකාශනය බව පෙන්වාදුනි.

ලෙනින් ද ට්‍රොට්ස්කි ද ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධයක පුපුරා යාම ලෝක සමාජවාදී විප්ලවයට මග සාදන බව පෙර දුටුවෝය. ඔවුන් නව විප්ලවවාදී ජාත්‍යන්තරයක් නිර්මානය කිරීම සඳහා කැඳවුම් කරමින් 1917 ඔක්තෝබරයේ දී රුසියාවේ ප‍්‍රථම සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය ට දේශපාලන පදනම දැමීම ට ඉදිරියට ගියේ මෙම පදනමේ ය.

ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනය යුරෝපයේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත ව්‍යාපාරයක් ජනනය කල අතර අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට බල කරන තත්වයක් උද්ගත කලේ ය. රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂයට සම වූ මාක්ස්වාදී නායකත්වයක් යුරෝපය තුල නොතිබුනු හෙයින් මේ වන විට ආධිපත්‍යයට පත්ව සිටි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධාරයෙන් පශ්චාත් යුද්ධ විප්ලවවාදී රැල්ල පසු බස්සා පන රැක ගැනීමට යුරෝපිය ධනේශ්වරය සමත් විය.

යුරෝපයේ කම්කරු පන්තිය ලත් පරාජයන් හේතු කොට ගෙන හුදෙකලා භාවයට පත් සෝවියට් සංගමය තුල පැනනැගි තත්වාරක්ෂක නිලධරය, ස්ටැලින්ගේ නායකත්වයෙන් අනුක‍්‍රමයෙන් කම්කරු පන්තියෙන් දේශපාලන බලය උදුරාගත්තේ ය. ඔක්තෝබර් විප්ලවයේ පදනම ලෙස තහවුරු කරන ලද විප්ලවවාදී ජාත්‍යන්තරවාදී මූලධර්ම “තනිරටේ සමාජවාදය” පිලිබඳ ස්ටැලින්ගේ ප‍්‍රතිගාමී ජාතිකවාදී වැඩ පිලිවෙල විසින් විස්ථාපනය කර දමන ලදී. මෙසේ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදය ප‍්‍රතික්ෂේප කල ස්ටැලින්වාදය සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස රැක ගැනීම ද සමාජවාදී විප්ලවය එරටේ දේශ සීමාවලට පිටත ජයග‍්‍රහනය කිරීම ද එකිනෙකින් වෙන් කර දැමී ය.

භාවිතයේ දී ස්ටැලින් ගේ ක‍්‍රියා මාර්ගයේ අර්ථය වූයේ සෝවියට් නිලධරයේ ප‍්‍රාදේශීය ජාතික ආසක්තයන්ට ජාත්‍යන්තර කම්කරු පන්තිය යටපත් කර ලීම ය. සෝවියට් නිලධරයේ උත්සුකය වූයේ අන් සියල්ලටත් වඩා සෝවියට් සංගමය තුල තම වරප‍්‍රසාදයන් ආරක්ෂා කර ගැනීම ය. තුන්වන ජාත්‍යන්තරයේ කොමියුනිස්ට් පක්ෂ තුලින් අති මහත් දේශපාලන බලපෑමක් සිදු කල ස්ටැලින්වාදය කම්කරු පන්තිය අවමංගත කොට නොමග යවමින්, ප‍්‍රමුඛ පරාජයන් මාලාවකට මං පෑදීය, ඒවා අතරින් වඩාත්ම ව්‍යසනකාරී සිද්ධිය වූයේ 1933 ජනවාරි මාසයේ දී ජර්මනියේ දී හිට්ලර්ගේ නාසි පක්ෂය බලයට පත් වී ගැනීම ය.

1927 දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් පලවාහරිනු ලැබ 1929 දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කෙරුනු ලියොන් ට්‍රොට්ස්කි, ජර්මනියේ ෆැසිස්ට්වාදයේ ජයග‍්‍රහනය පලමුවැන්නට වඩා අති භයානක දෙවන ලෝක යුද්ධයකට තුඩු දෙනු ඇතිබව අවබෝධ කර ගත්තේ ය. ධනවාදය පෙරලා දැමීමෙන් තොරව වෙන කිසියම් ලෙසකිනුත් මෙම යුද්ධය නතර කල නොහැකිය. එහෙත් මෙම කර්තව්‍යය ඉෂ්ට කර ගැනීමට නම්, යලිදු, නව ජාත්‍යන්තරයක් ගොඩ නැගීම අවශ්‍ය වේ - එනම් හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීම අවශ්‍ය වේ.

දෙවන ලෝක යුද්ධයේ පුපුරා යාමට යන්තම් වසරකට පෙර හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ලේ, ට්‍රොට්ස්කි ලෝක ධනවාදය පිලිබඳ සාරගර්භ, සංක්ෂිප්ත සහ සාතිශයව නිරවද්‍ය චිත‍්‍රයක් ඉදිරිපත් කලේ ය:

මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එක තැන පල් වෙයි. නව සොයාගැනීම් හා වැඩි දියුනු කිරීම් මේ වන විටත් ද්‍රව්‍යමය වස්තු සම්භාරයේ මට්ටමට නැංවීමට සමත් ය. සමස්ත ධනේශ්වර ක‍්‍රමයේ සමාජ අර්බුද තත්වයන් යටතේ මතු වන ප‍්‍රාසංගික අර්බුදයෝ එන්ට එන්ට ම බරපතල වන නැතිබැරියාවන් හා දුක් පීඩා ජනතාවන් මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුදල් අර්බුදය ගැඹුරු කර අස්ථාවර මූල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳ ලයි. ෆැසිස්ට්වාදී පාලනයන් මෙන් ම ප‍්‍රජාතාන්ති‍්‍රක පාලනයෝ ද එක් බංකොලොත්කමක සිට තවකෙකට ලුහුටා යති.

ධනේශ්වරයට නම් මෙයින් ගැලවෙන මගක් නැත. අන්තිම තුරුම්පුව ලෙස ෆැසිස්ට්වාදය කරා තල්ලු වී යාමට බල කෙරී ඇති රටවල ධනේශ්වරය ආර්ථික හා මිලිටරි විනාශයක් කරා දෑස් වසා ගෙන රූටා යයි. ඓතිහාසික වසයෙන් වරප‍්‍රසාදිත රටවල, එනම්, රැස් කරන ලද ජාතික වස්තුවේ වියදමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමැති සුඛෝපභෝගය තව දුරටත් එක්තරා කාල සීමාවකට පවත්වා ගතහැකි (මහා බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය, එක්සත් ජනපදය ආදී රටවල) ප‍්‍රාග්ධනයේ සියලු සාම්ප‍්‍රදායික පක්ෂ අධිෂ්ඨානභංගය අද්දරට සේන්දු වී වියවුල්ව සිටී. . .

ජාත්‍යන්තර සබඳතා ද මීට වඩා හොඳ චිත‍්‍රයක් ඉදිරිපත් නො කරයි. ධනවාදය සිඳී බිඳී විසිර යාමේ දී වර්ධනය වන ආතතිය යටතේ අධිරාජ්‍යවාදී සතුරුකම් මහා අගාධයක් කරා සේන්දු වෙයි. එහි උච්ච අවස්ථාවේ දී වෙන් වෙන් ඝට්ටන හා ලේවැකි ප‍්‍රාදේශීය කැලඹිලි (ඉතියෝපියාව, ස්පාඤ්ඤය, ඈත පෙරදිග, මධ්‍යම යුරෝපය) අනිවාර්යයෙන්ම ඒකීභූත වී ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට පත් විය යුතු ම ය. අලුත් යුද්ධයකින් තම ආධිපත්‍යයට එල්ල වන මාරක අනතුර ගැන ධනේශ්වරය සත්තකින් ම දැනුවත් ය. එහෙත් එම පන්තිය 1914 දීටත් වඩා අද දින යුද්ධය වැලැක්වීමට අතිශයින් ම නො සමත් ය.

ට්‍රොට්ස්කි ධනවාදයේ ලෝක අර්බුදය පිලිබඳ සිය ගුනාංග කරනය අනතුරු හැඟවීමකින් සමාප්ත කලේ ය: “මීලඟ ඓතිහාසික යුගයේ දී සමාජවාදී විප්ලවයක් නො සිදු වුව හොත් මානව වර්ගයාගේ මුලු මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය.”

මෙම අනතුරු හැඟවීම, එහි සකල ඛේදනීය පරිමානයන්ගෙන් ම සනාථ විය. මෙයට වසර හැත්තෑපහකට පෙර 1939 සැප්තැම්බරයේ දී දෙවන ලෝක යුද්ධය ඇරඹුනි. එය ප‍්‍රජාතන්ත‍්‍රය සහ ෆැසිස්ට්වාදය අතර අරගලයක් වූයේ නැත. පලමුවැනි ලෝක යුද්ධය මෙන්ම දෙවන ලෝක යුද්ධය ද සාරභූත වශයෙන් ම භූ දේශපාලන සහ ආර්ථික ආධිපත්‍යය උදෙසා අධිරාජ්‍යවාදී බලවතුන් අතර කර ගැනුනු අරගලයක් විය. එහිදී ප‍්‍රධාන ප‍්‍රතිමල්ලයෝ භූගෝලීය සම්පත් තමන්ට වඩාත් වාසි සහගත ආකාරයකට යලි බෙදා ගැනීමකට උත්සාහ කලෝය. මෙහිදී හිට්ලර් බි‍්‍රතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිය ධනේශ්වර ප‍්‍රතිමල්ලයන් ගෙන් වෙනස් වූයේ ඔහු අධිරාජ්‍යවාදය ට කලහැකි අපරාධ අතිශයින්ම මෘග අන්දමින් ප‍්‍රකාශිත කල හෙයින් පමනි. එහෙත් යුද්ධය අවසන් වන විට, ජපානය මත පරමානු බෝම්බ හෙලීම මගින් ඇමරිකාවේ ඩිමොක‍්‍රටික් පාක්ෂික ජනාධිපති හැරී එස්. ට්රුමන් නමැති මෘදු ගුන ධාරී මිසුරි ප‍්‍රාන්තිය සුලු බඩු වෙලෙන්දා ලෝකයට අනතුරු අඟවා සිටියේ මහා ඝාතක තාක්ෂනය උමතු නාසි ඒකාධිපතියාට පමනක් තනියෙන් අයිති නොවූ බව ය. ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ම වැඩට බැස ගෙන තිබුනු හෙයිනි.

දල වශයෙන් ජීවිත මිලියන හැටක් බිලිගත් දෙ වන ලෝක මහා යුද්ධයේ ව්‍යසනකාරී විනාශයෙන් ඉක්බිත්තේ, ලෝක ආර්ථිකය ප‍්‍රසාරනය විය. මහා විශාල ප‍්‍රමානයක් යලි ගොඩ නැගිය යුතුව තිබුනි. ඉන් පැනනැගී ජාතික රාජ්‍ය ප‍්‍රතිසංස්කරනවාදය දියුනු ධනපති රටවල පමනක් නොව සෝවියට් සංගමයේ ද ජීවන මට්ටම් වල සැලකියයුතු වර්ධනයක් අත්පත් කර දුන්නේ ය. චීන විප්ලවය මෘග මර්දනයට පාත‍්‍රවී පැවති ඒ රටේ ඍජු අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කලේ ය. මහා යටත් විජිත විරෝධී අරගල රැල්ලක් තුන්වන ලෝකය හරහා පැතිර ගියේය.

එහෙත් විසිවන සියවසේ මූලික ඓතිහාසික ගැටලුව විසඳනු ලැබුවේ නැත. 1914-1935 තිස් අවුරුදු විපත්තිකර අර්බුදය ඉක්මවා පන රැක ගැනීමට ධනවාදය සමත් වී ගති. පශ්චාත් යුදකාලීන වර්ෂවල සමෘද්ධිය කම්කරු ව්‍යාපාරය තුල ස්ටැලින්වාදී සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිලධරයන්ගේ දිග්ගැසුනු පිරිහීමක් සලකුනු කලේ ය. පශ්චාත් යුද කාලීන වර්ධනය සිඳී යන තතු තුල අර්බුදයට තුඩු දෙන ප‍්‍රවනතාවය යලි පන ගසා එත්ම - එය ප‍්‍රථමයෙන් ම සහ ප‍්‍රමුඛව මතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය තුල ය - නිලධරයන් හුදෙක් ආන්ඩුවට එරෙහිව අරගල කිරීමට අසමත් බව සහ අකමැති බව ඔප්පුකරගත්තා පමනක් නොවේ. ඔවුහු, ධනවාදයේ වර්ධනය වන්නාවූ අර්බුදයට විප්ලවවාදී විසඳුමක් සොයාගැනීම සඳහා කම්කරු පන්තිය විසින් දැරෙන සෑම ප‍්‍රයත්නයකම පරාජය සහතික කරලීමට ද තමන් අත තිබුනු සෑම සම්පතක් ම යොදා ගත්තෝය.

සෑමවිටම සිදුවන පරිදි, නිලධරයෝ තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කර ගත් හ. එහෙත් කම්කරු පන්තියේ පැරනි මහා සංවිධාන වල - දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වල - අබල බවට යටින් පැවති තීරනාත්මක සාධකය වුයේ ලෝක ධනේශ්වර පද්ධතියේ පෙර නුවූ විරූ භූගෝලීය ඒකාග‍්‍ර කරනයක් විසින් සංලක්ෂිත නව කාලපරිච්ඡේදයක් තුල ඔවුන්ගේ ජාතික - ප‍්‍රතිසංස්කරනවාදී ක‍්‍රියාමාර්ග මුහුනපාසිටි බංකොලොත් භාවයයි. නිෂ්පාදන සන්තතිය උදෙසා අතිමහත් ගම්‍යතා සහිත වූ තාක්ෂනයේ විප්ලවවාදී වර්ධනයන් ප‍්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර පාලක පන්තිය - එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලැබ - 1970 ගනන්වල අවසානය වන විට කම්කරු පන්තියට එරෙහි නිර්දය සහ අතොරක්නැති ප‍්‍රහාරයක් ආරම්භ කලේ ය. මෙම ප‍්‍රහාරය කෙරේ කම්කරු නිලධරයන්හි ප‍්‍රතිචාරය වූයේ මුල සිට අගට යටත් වීමයි. 1989-1991 සමයේ නැගෙනහිර යුරෝපයේ ද සෝවියට් සංගමයේ ද ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් විසුරුවාහැරීම වනාහි මෙම සන්තතියේ කූටප‍්‍රාප්තියයි. එම කාලපරිච්ඡේදය තුල දීම 1989 චීනයේ තිඑන් අන් මෙන් චතුරශ‍්‍රයේ ශිෂ්‍ය ඝාතනය සහ ඒ හා සිදු කැරුනු මෘග කම්කරු විරෝධී මර්දනය චීනයේ ධනවාදය පුනස්ථාපනයට එරෙහි මහා ජන විරෝධය මර්දනය කිරීමේ ලා තීරක භූමිකාවක් ඉටු කලේ ය.

1980 ගනන් වල අග දී, සෝවියට් සංගමය නැතිකර දැමීමට කටයුතු කරමින් සිටි ගොර්බචෙව් යටතේ ස්ටැලින්වාදී නිලධරය ජාත්‍යන්තර භූ දේශපාලන ක්ෂේත‍්‍රයේ සිය “නව චින්තනය” ගැන පුරසාරම් දෙඩවීය. අධිරාජ්‍යවාදය වනාහි ලෙනින් විසින් ගොතන ලද කෙප්පයක් යයි කියාසිටි ගොර්බචෙව් සහ ඔහුගේ ගෝලයෝ අධිරාජ්‍යවාදය පිලිබඳ සකල සැඳහුම් නිගාවට ලක් කලෝය. සෝවියට් සංගමයේ අවසානයත් සමග සාර්වත‍්‍රික සාමයේ නව කාලපරිච්ඡේදයක් උදාවනු ඇත.

මේ ශෝචනීය සහ මුග්ධ ස්වප්නයන් යථාර්තය විසින් නිෂ්ප‍්‍රභා කරනු ලැබ ඇත. සෝවියට් සංගමය බිඳදමා ගත වූ අවුරුදු 20 කට වැඩි කාලය නිමක් නැති, ප‍්‍රගාමීව උග‍්‍රවන්නාවූ ගෝලීය ඝට්ටනයක් විසින් සලකුනුව පවතී. සෝවියට් නිලධරය විසින් සෝවියට් දේශය විසුරුවාලනු ලැබීමට ද පෙර ජනාධිපති ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ්, ඉරාකය ආක‍්‍රමනය කිරීම සංවිධානය කරමින් ‘නව ලෝක පර්යායක’ උපත නිවේදනය කලේ ය.

2001 දී දි යත් කෙරුනු “ත‍්‍රස්තවාදට එරෙහි යුද්ධය” ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආසක්තයන්ට ලෝකයේ සෑම ප‍්‍රදේශයක් ම යටත් කර ගැනීමේ අපාලිත ගෝලීය යුද මෙහෙයුමක් බවට වැඩී අවුත් තිබේ. විශේෂයෙන් ම 2008 වෝල් වීදියේ බිඳවැටීමත් සමග මෙම සන්තතිය සුවිශේෂ තියුනු ස්වරූපයක් අත්කර ගෙන ඇත. ගිය වසර තුල පමනක් ඇමරිකා එක්සත් ජනපදය චීනය වට කරන යුද මෙහෙයුම් උග‍්‍රකරමින් ද සිරියාවට සහ ඉරානයට එරෙහි යුද තර්ජන එල්ල කරමින් ද වඩාත් මෑතදී රුසියාව සමග ඝට්ටනයක් අවුලුවාලීම අරමුනු කර ගෙන යුකේ‍්‍රනයේ බල කොල්ලයක් සංවිධානය කරමින් ද සිය යුද සැලසුම් උග‍්‍රකර සිටි.

මෙම මෙහෙයුමේ දී ඇමරිකා එක්සත් ජනපදය ක‍්‍රියාකොට ඇත්තේ තනිවම නොවේ. මුලුමහත් යුරෝපා සංගමයම, විශේෂයෙන්ම ජර්මනිය, රුසියාව සමග පිලිමල් බව උනන්දුවෙන් අනුමත කොට ඇත. යුකේ‍්‍රනයේ අර්බුදය වර්ධනය වෙමින් පවතින අතරතුරේ ජර්මානු ජනාධිපති ජෝකිම් ගෞච්ක් ප‍්‍රකාශ කර සිටියේ, ජර්මනිය තම ආර්ථික බලය සමග සැසඳෙන භූමිකාවක් ලෝක දේශපාලන තලයෙහි ද ක‍්‍රියාත්මක කිරීමට කාලය එලඹ ඇති බව ය. මේ සඳහා ජර්මානු යුද බලය ගොඩ නැගීම ද ක‍්‍රියාත්මක කිරීම ද අවශ්‍ය බව ඔහු පැහැදිලි කලේ ය. එතැන් පටන් යුකේ‍්‍රනයේ අර්බුදය සමග ජර්මානු මාධ්‍යයන් තුල උග‍්‍ර රුසියන් විරෝධී ව්‍යායාමයක් වර්ධනය වී පවතී. මේ ව්‍යායාමයේ නිරන්තර තේමාවක් බවට පත්ව ඇත්තේ, ජර්මානු ජනතාව තුල යුදවාදයට එරෙහිව ගැඹුරට මුල් බැස ගෙන ඇති විරුද්ධත්වයට රුදුරු ලෙස පහර දීමයි.

යුකේ‍්‍රනය පිලිබඳව රුසියාව සමග ප‍්‍රතිමල්ල වීම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ දිශාවනතියේ අලුත් සහ භයංකර නැම්මක් පෙන්නුම් කරයි. අධිරාජ්‍යවාදී යුද්ධයේ දේවතාවෝ ලේ පිපාසිතව සිටිති! පලමුවන ලෝක යුද්ධයට පෙර සමයේදී හා දෙවන ලෝක යුද්ධ සමයේ දී මෙන් මොවුන් ලෝකය තවත් වරක් අලුතින් බෙදාගන්නට සැරසීමක් මින් පෙන්නුම් කෙරෙයි.

චීනය සහ රුසියාව සමග යුද්ධයක් සිදුවිය නොහැක්කකැයි ද - ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් න්‍යෂ්ටික අවි දරන රටවල් සමග යුද්ධයක අවදානමට බැස ගැනීම සිදුවිය නොහැක්කකියි ද සිතන අය තමන්ව ම රවට්ට ගන්නෝය.

මහා විනාශකාරී යුද්ධ දෙකකින් ද, ගනන් නැති “ප‍්‍රදේශ ගත” ඝට්ටනයන්ගෙන් ද සමන්විත ඉතිහාසයකින් යුතු විසිවන ශත වර්ෂයේ ඉතිහාසය අධිරාජ්‍යවාදී පාලක පන්තීන් ලොව ම ඇද දමන්නට සුදානම් අවදානම් තත්වයන් ගැන ඇති තරම් සාක්කි සපයයි. ඔවුහු සත්තකින්ම සමස්ත මානව වර්ගයා ම ද මුලු මහත් පෘථිවි තලයම ද පරදුවට තැබීමට, අනතුරේ හෙලීමට සැරසී සිටිති.

පලමුවන ලෝක යුද්ධයෙන් එකසිය වසරකට ද දෙවන ලෝක යුද්ධයෙන් හැත්තෑපස් වසරකට ද පසු තුන්වන ලෝක යුද්ධයක අධිරාජ්‍යවාදී ව්‍යසනයක අන්තරාය ට එරෙහි අරගලය ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියට එලඹ තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම අනතුර හඟවන කාහල නාදය නංවමින් අධිරාජ්‍යවාදයට එරෙහි යලි පනගැන්වුනු අරගලයක් තුල දී කම්කරු පන්තියේ ලෝක පරිමාන එක්සත්භාවය සඳහා සටන් වැදීමට අන්තර්ජාලය මගින් පවත් වන මෙවර මැයි දින උත්සවය ට එක්වන ලෙස කැඳවුම් කර සිටි.

මැයි 4 දා අප සමග එක්වන්න! මැයි දිනය ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදරත්වයේ ද ලෝක සමාජවාදය සඳහා අරගලයේ ද දිනය ලෙස යලි අත්කර ගනිමු.

[අන්තර්ජාල මැයි යි දින රැලිය සඳහා ලේඛනගත වන්නට මෙම පිටුවට පිවිසෙන්න.]

ඩේවිඩ් නෝත්

Share this article: