අසමානතාවය හා යුද්ධය කරා තල්ලුව

Inequality and the drive to war

2014 අප්‍රේල් 16

පසුගිය සතියේ ඉක්විලර් නම් එක්සකටිව් කොම්පන්සේෂන් රිසච් ආයතනය වාර්තාකල පරිදි, එක්සත් ජනපද (එජ) ඉහලම ආදායම් ලබන ව්‍යාපාරික ප්‍රධාන විධායක නිලධාරීන් 100දෙනා, 2013 වසර තුල සිය වැටුප සියයට 9න් ඉහල ගොස් ඩොලර් මිලියන 13.9 දක්වා නැඟී ගිය ආකාරය අත්දුටුවේය.

වාර්තාව එලි දැක්වුනේ, එජ මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය යුද ප්‍රචාරනයේ නව ප්‍රවාහයක් මුදාහැරීමට සමගාමීවය. මෙවර එය රුසියාවට එරෙහිවය. සර්බියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියානු ගැටුම් වලදී මෙන්ම යුක්‍රේන අර්බුදයේදී ද එජ මාධ්‍ය අමූලික බොරු වපුරුවා හරියි. සෑම විටෙක මෙන්ම මෙහිදී ද කිසිවක් වෛෂයිකව විමසා බැලෙන්නේ නැත. සතුරාට එරෙහි දෝෂාරෝපන සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කෙරෙන්නේ නැත. කිසිදු ඓතිහාසික පසුබිමක් සම්පාදනය කෙරෙන්නේ ද නැත. ඒ වෙනුවට, මිලිටරි මැදිහත්වීමක් කෙරෙහි පලවන විරුද්ධත්වය යටපත් කිරීම පිනිස, ජනතාව නිහඬ කිරීම හා බිය ගැන්වීම සඳහා උත්සාහ දැරේ.

නව යුද්ධ දියත් කිරීමේදී හෝ යුද තර්ජන එල්ල කිරීමේදී එජ, ඇමරිකානු පාලක පන්තියේ කොල්ලකාරී භූදේශපාලනික අරමුනු මුල්කර ගනියි. එසේම එය, අසාමාන්‍ය ලෙස වර්ධනය වන සමාජ අසමානතාව මගින් අවුලුවනු ලබන දැවැන්ත සමාජ ආතතීන් තුල මුල්බැස තිබේ.

දිගු කාලයක් තිස්සේ යුද්ධය, සමාජ ප්‍රතිඝතිතා පිටතට හැරවීමට හා බාහිර සතුරෙකුට එරෙහිව එල්ල කිරීම සඳහා සේවය සපයා තිබේ. හිමිකම් පනතේ කතුවර ජේම්ස් මැඩිසන් නිරීක්ෂනය කල පරිදි “රෝමානුවන් අතරදී එය, කැරැල්ලක් පිලිබඳ සැක මතුවූ කවර විටෙකදී හෝ යුද්ධයක් පෙලඹවීම සිද්ධාන්තයක් වී ඇත.”

ප්‍රධාන කාර්මික බලවතුන් අතරින් වඩාත්ම අසමානවූ එජ, සමාජ වෙඩිබෙහෙත් හෙප්පුවකි. ආර්ථික පසුබෑම හමුවේ ජනගහනයේ අති මහත් බහුතරය සිය ජීවන තත්වයේ ඓතිහාසික පරිහානියක් අත්විඳියි. එහෙත් ධනවත්තු හා සුපිරි ධනවත්තු, අන් කවරදාකටත් වඩා විශාල ධනයක් මඩිගසාගෙන සිටිති.

ඉක්විලර් වාර්තාවේ සඳහන් ප්‍රධාන විධායකයින්ගේ වැටුප් ඉහල යාම හෙලිකරන්නේ, මෙම ක්‍රියාවලියයි. යෝධ මෘදුකාංඟ යෝධයෙකු වන ඔරැකල්හි ප්‍රධාන විධායකයා වන ලැරී එලිසන් ලෝකයේ පස්වන පොහොසත්ම පුද්ගලයා ද වන අතර 2013දී වැටුප් හා පාරිතෝෂික වශයෙන් මිලියන 78.4ක් සාක්කුවේ දමාගනිමින් යලි වතාවක් ලැයිස්තුවේ ඉහලින්ම වැජඹෙයි. එලිසන්ගේ සමස්ත ධනය බිලියන 48.8ක් ලෙස ගනන් බලා ඇති අතර එය, වෙන වෙනම රටවල් 100ක දල දේශීය නිෂ්පාදිතයට වඩා වැඩිය. 2012දී එලිසන් ඔහුගේ මිලියන සිය ගනනක් වන ඉඩම් වලට ලනායි යන හවායි දූපතේ මුලු ඉඩම් වලින් සියයට 98ක් මිලට ගෙන එකතුකර ගත්තේය.

එලිසන් සමස්ත සමාජ ස්ථරයක නියෝජිතයාය. සුපිරි ධනවතුන්ගේ ආදායමෙහි ඉමහත් වර්ධනය සමග ඔවුන්ගේ ශුද්ධ ධනය ද ඊටත් වඩා නාටකාකාර ලෙස දෙගුනවී තිබේ. මේ මාසයේදී ප්‍රසිද්ධියට පත් කල එමෑනුවෙල් සායෙස් හා ගේබ්‍රියෙල් සුක්මාන් යන මහාචාර්යවරුන්ගේ සංඛ්‍යා ලේඛන වලට අනුව, ජනගහනයේ ඉහලම ආදායම් ලබන සියයට 1 ධනය ඉමහත් ලෙස වර්ධනය වෙද්දී ජනගහනයේ සෑම කොටසකගේම ධනයේ පංඟුව 1980 ගනන් වල පටන් සැලකිය යුතු තරමකින් පිරිහී ගොස් තිබේ.

ධනයේ විශාලතම නැඟීම, ඉහලම කොටසට වෙන්වී තිබේ. ජනගහනයේ ධනවත්ම සියයට 0.5 සතු ධනයේ පංඟුව 1978දී පැවති සියයට 17 සිට 2012 වන විට සියයට 35 දක්වා දෙගුනයකින් වර්ධනය වී ඇත. ඉහලම සියයට 0.1 හෙවත් ජනගහනයෙන් දහසකට එකක් දැන් සමස්ත ධනයෙන් සියයට 20ට වැඩි කොටසක් සතුකරගෙන සිටිති.

එක් ධ්‍රැවයක ධනය කඳු ගැසෙද්දී අනෙක් ධ්‍රැවයෙහි ව්‍යසනකාරී සමාජ කොන්දේසි ගොඩගැසෙමින් තිබේ. තරුනයින්ගේ පරම්පරාවක්ම දුප්පත් කමට හා විරැකියාවට ඇද දමා ඇත. වයස අවුරුදු 25-34 අතර තරුනයින්ගෙන් සියයට 16ක් පමන දෙනාගේ ආදායම ෆෙඩරල් ආන්ඩුවේ දුගී රේඛාවෙන් පහල මට්ටමක පවතියි. වසර 2000දී එම වයස් කාන්ඩයේම තරුනයින්ගෙන් සියයට 10ක් පමනක් දුගී බවේ සීමාව තුලට ගැනුනි. මූර්ත වටිනාකම් අනුව මධ්‍යම මට්ටමේ ආදායම් ලබන තරුන කුටුම්භයන්ගේ ආදායම 2000 වසරේ පැවතියාට වඩා ඩොලර් 8,000න් පහත වැටී ඇත.

2008 දී හටගත් ආර්ථික හා මූල්‍ය අර්බුදයේ තැන් පටන් වසර පහ හමාරක් ගත්වීමෙන් පසුව ජනගහනයේ අති බහුතරයක් වන තරුන හා මහලු අය මුහුන දෙන සමාජ තත්වය සංලක්ෂිතව ඇත්තේ, ආර්ථික අනාරක්ෂිත බව, පහත් වැටුප් හා පෙර නොවූ විරූ නයගැති කමෙනි.

සමාජ අසමානතාවේ මෙම මට්ටම්, ප්‍රජාතන්ත්‍රවාය සමග නොපෑහේ. දේශපාලන පද්ධතිය අන් කවර කලෙකටත් වඩා නග්න ලෙස ක්‍රියාත්මක වන්නේ පරපුටු මූල්‍ය කතිපයාධිකාරයේ උපකරන ලෙසය.

රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික් යන මහ ව්‍යාපාරික ධනපති පක්ෂ දෙකම, පහල සිට ඉහලට ධනය යලි බෙදාහැරීමේ ප්‍රතිපත්තියක් එක හිතින්ම අනුයමින් සිටිති. 2014 අර්ධ වාර්ෂික මැතිවරන ලඟාවෙමින් තිබියදී ඔබාමා පාලනාධිකාරය හා ඩිමොක්‍රටිකයෝ, අසමානතාවයේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති. ඔවුන්ගේ “ප්‍රගතිශීලී” යයි කියාගන්නා නව න්‍යායපත්‍රයට අනුව අවම වැටුප වැඩිකිරීම -මූර්ත අගය අනුව 1968 තිබුනු මට්ටමටත් පහල- හා පසුගිය වසර අග අවසන් වීමට ඉඩ හල දිගු කාලීන රැකියා වියුක්තිකයින්ට දෙන සහන තවත් මාස කිහිපයකට දීර්ග කර ඇත. තුන්වන යෝජනාව කාන්තාවන්ට සමාන වැටුප් ගෙවීම ලෙස හුවා දැක්වේ.

දැවැන්ත පරිමානයේ සමාජ අර්බුදයකට විසඳුම් සඳහා මුලුමනින්ම අප්‍රමානවත් මෙම යෝජනා පවා ඉදිරිපත්කොට ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමේ බැරෑරුම් අදහසින් තොරවය. සැබවින්ම, මහජන විරැකියාව හා පහත් වැටුප්, ව්‍යාපාරික ලාභ නැංවීමේ සමස්ත මූලෝපායක වැදගත් උපාංඟ වන්නේය.

අධිකරනය පවා මෙය තුලට ඇදී විත් තිබේ. මේ මස මුලදී එජ ශ්‍රේෂ්ඨාධිකරනය, ඇමරිකානු සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී මූනත් තහඩුවේ තවත් එක් තට්ටුවක් ඉරා දමමින් , දේශපාලන ව්‍යාපාරයන් සඳහා පුද්ගලයින්ට දිය හැකි මුදල් ආධාරවල සීමාව ඉවත් කිරීමේ තීන්දුවක් ලබා දුන්නේය.

පාලක පන්තිය එම නිර්දය භාවයෙන් හා සාපරාධිත්වයෙන්ම විදේශ පිලිවෙත ද පෙරට ගෙනයයි. ෆැසිස්ට්වාදීන් විසින් මූලිකත්වය ගත්, දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් යුක්‍රේනය තුල සංවිධානය කර, සමස්ත කලාපයම ඒ වටා පෙල ගැස්වීමේ අසාමාන්‍ය අදූරදර්ශී පියවර මගින්, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයක පැටලීමේ අනතුර මතුකර තිබේ.

යුද්ධයක් පිලිබඳව නිර්මානය කර ඇති නව භීතිකාව, සමාජ ආතතීන් හරවා යැවීමේ මාධ්‍යයක් ලෙස පමනක් දැකගත නොයුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන නව ප්‍රහාරයන් යුක්තිසහගත කිරීම සඳහා ද තව තවත්පොලිස් රාජ්‍ය බලතල අත්කර ගැනීමට ද මග සලසයි. ජනතාවගේ ඔත්තු බැලීම හා එජ පුරවැසියන් ඝාතනය කිරීමේ අයිතිය ප්‍රකාශ කරන ආන්ඩුව, සියලු මූලික ව්‍යවස්ථාපිත රැකවරන උදුරා ගිනියි.

මූල්‍ය වංශාධිපතියන් පෙර නොවූ විරූ තරම් විශාල ධන සම්පත් ගොනුකරගෙන සිටීම, සම්පත් දැවැන්ත ලෙස අව පරිහරනය කිරීමක් මෙන්ම මානව වර්ගයාගේ අනාගතයටම තර්ජනයක් වන්නේය. ලෝක බලවතුන් අතර මිලිටරි ගැටුමකින් ඇතිකල හැකි න්‍යෂ්ටික හොලොකෝස්ටය හා යුද්ධයට එරෙහි අරගලය, සමාජය මත මූල්‍ය කතිපයාධිකාරයේ ගල ග්‍රහනය බිඳ හෙලීමේ අරගලයට සම්බන්ධ කල යුතුය.

මෙය කල හැකි වන්නේ, සමාජය අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මතා, එනම් සමාජවාදී පදනම් මත ප්‍රති සංවිධානය කිරීම සඳහා වන සටනේදී කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම තුලින් පමනි.

ඇන්ඩ්‍රේ ඩැමෝන්

Share this article: