වොෂින්ටනයට රුසියාව සමග යුද්ධය අවශ්‍ය ද?

Does Washington want war with Russia?

2014 අප්‍රේල් 24

වොෂින්ටනයට රුසියාව සමග යුද්ධය අවශ්‍ය ද? යුක්‍රේන අර්බුදය වටා සිදුවූ එක්සත් ජනපදයේ මෑත කටයුතු විමසා බලන විට, කලකදී සිතාගැනීමටවත් නොපුලුවන්වූ එම ප්‍රශ්නය පැහැදිලිව මතුවී ඇති බව පෙනී යයි. ඔබාමා පාලනාධිකාරය අතිශය අන්තරායකාරී රුසියානු රූලට් ක්‍රීඩාවේ යෙදී සිටියි.

පසුගිය පැය 48 තුල පෙන්ටගනය, පෝලන්තය හා පැරනි සෝවියට් සංගමයේ බෝල්ටික් සමූහාන්ඩු තුන වන එස්තෝනියා, ලැට්වියා හා ලිතුවේනියාවේ එක්සත් ජනපද පැරාටෲප් ඒකක යොදවන බව නිවේදනය කලේය. ඒ අනුව රුසියාවේ දේශසීමාව දක්වාම එජ හමුදා ගෙනැවිත් ඇත. තවත් ඇමරිකානු යුද නැවක් කලු මුහුදට ඇතුල්කර, රැපිඩ් ට්‍රයිඩන්ට් මෙහෙයුම ලෙස හඳුන්වන යුද අභ්‍යාසය යටතේ මෙම ග්‍රීෂ්ම සෘතුවේදී තවත් එජ හමුදා යුක්‍රේනය තුලටම ගෙන එනු ලැබේ.

වොෂින්ටනය මෙම මිලිටරි පියවර ගනු ලබන්නේ, එය හා එහි රූකඩයින්ට පින්සිදුවන්නට, යුක්‍රේනය තුල ඇවිලෙන දරුනු අර්බුදය පූර්න සිවිල් යුද්ධයක් බවට පත්වීමේ කොන්දේසි හමුවේය.

යුක්‍රේනය තුල සියලු ප්‍රචන්ඩ ක්‍රියා අවසන් කිරීමටත්, නීති විරෝධී කන්ඩායම් නිරායුධ කිරීමටත් පිලින දෙමින් ජිනීවාහිදී රුසියාව සමග එජ හා යුරෝපීය සංගමය ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් තැබීමෙන් සතියකටත් අඩු කාලයකට පසුව කියෙව්හි එජ රූකඩ පාලන තන්ත්‍රය, එරට වයඹ දිග කාර්මික ප්‍රදේශයේ වසන රුසියානු බස කථාකරන ජනතාවට එරෙහිව “ත්‍රස්ත විරෝධී” කඩාපැනීම් සඳහා සිය මිලිටරියට නියෝග දී ඇත. ඒතාක් දුරට එම තන්ත්‍රය මෙහෙයවා ඇත්තේ හමුදාව, යුද ටැංකි හා ප්‍රහාරක ගුවන් යානා පමනක් නොව, නව නාසි දක්ෂින නිකායේ සන්නද්ධ මැරයන් ද වේ.

මංමුලාසහගත ලෙස වොෂින්ටනය සමග සම්මුතියක් පතන මොස්කෝවේ පුටින් ආන්ඩුව, තත්වයේ මාරක බරපතල කම හමුවේ අවදි වෙමින් සිටන බව පෙනී යයි. 23දා ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය කෙරෙන රජයේ ආර්ටී රූපවාහිනියට කථාකරමින් රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රෝව්, යුක්‍රේනයේ රුසියානු පුරවැසියන්ට එල්ල කරන ප්‍රහාරයක් රුසියාවටම පහර දීමක් ලෙස සලකන බවට අනතුරු ඇඟවීය. ජෝර්ජියානු ආන්ඩුව දකුනු ඔසේටියාවේ රුසියානුවන්ට එරෙහිව 2008 අගෝස්තුවේදී දියත්කල ප්‍රහාරය ඔහු පූර්වාදර්ශයක් ලෙස ගෙනහැර දැක්වීය. එහිදී රුසියාව ජෝර්ජියානු හමුදා පලවා හැරීම පිනිස මිලිටරි මැදිහත්වීමකින් ප්‍රතිචාර දැක්වීය.

යුක්‍රේන හමුදා ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කථා කරන සිවිල් වැසියන් මරාදැමීම නතර කිරීමට රුසියානු ආන්ඩුව, එවැනිම මැදිහත්වීමක් කරන බවට කෙරුනු අනතුරු ඇඟවීම අතිශය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතුය.

එම සාකච්ඡාවේදී ලැව්රෝව්, කියෙව් ආන්ඩුවේ ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින්, “ඇමරිකානුවන් ඉතා සමීපව මෙම ක්‍රියාවලිය මෙහෙයවන” බව කියා සිටියේය. මෙය අවිවාදිතය. 1991 සෝවියට් සංඟමය විසුරුවා හැරීමෙන් පසුව ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදය නඟාසිටුවීම” සඳහා යුක්‍රේනයට ඩොලර් මිලියන 5ක් පොම්ප කිරීම යනාදි වශයෙන් එරට අභ්‍යන්තර කටයුතු වලට ඇමරිකාව දිගින් දිගටම මැදිහත්වීමේ නිර්මානයකි, එරට වත්මන් තන්ත්‍රය.

වීදිවල විරෝධතා තුලින් රුසියාවට හිතවත් ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව අස්ථාවර කිරීමට දක්ෂිනාංශික විපක්ෂයක් හැඩගැස්වීම මෙම ව්‍යායාමයේ කුලුගැන්වීම විය. යනුකොවිච් හා විපක්ෂය අතර ගිවිසුමකට කපුකම් කිරීමේදී වොෂින්ටනය, එය බිඳ දමන බවට හා පැරා මිලිටරි ෆැසිස්ට් බලවේග විසින් තෝරාපත්කරගත් ජනාධිපති පෙරලා දමන බවට වග බලා ගත්තේය. පෙබරවාරි 22දා ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත්‍රනයෙන් බලයට පත් කල එම තන්ත්‍රයේ අගමැති ආසෙනී යැට්සෙන්යුක්, ඔහුට “යැට්ස්“ යන සුරතල් නමෙන් ඇමතූ එජ නිලධාරීන් විසින් අහුලාගත් පුද්ගලයෙකි.

මෙම මෙහෙයුමේ කැපී පෙනෙන පුද්ගලයා වූයේ යුරේසියානු කටයුතු පිලිබඳ එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ය. ඇය උප ජනාධිපති ඩික් චේනිගේ හිටපු ප්‍රධාන ආරක්ෂක උපදේශක හා නව ඇමරිකානු සියවස යන ව්‍යාපෘතියේ ආරම්භක සභාපති වන රොබට් කාගන්ගේ භාර්යාවයි. ඇය යුක්‍රේනය මෙන්ම රුසියාව සම්බන්ධයෙන් ද 2003 ඉරාක ආක්‍රමනයේදී ක්‍රියාවට නැඟූ ආක්‍රමනික යුද්ධයේ එම පිලිවෙතම පිහිටුවූවාය.

ඩොන්බාස්හි ප්‍රථම අසාර්ථක “ත්‍රස්ත විරෝධී” මෙහෙයුම දියත් කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේදී සිදුවූ සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ගේ රහසිගත කියෙව් සංචාරයත්, ඒ සමගම මේ සතියේදී සිදුවූ උප ජනාධිපති ජෝසෆ් බිඩෙන්ගේ සංචාරයත් සමග, වොෂින්ටනය මැදිහත්වීමේ ක්‍රමයෙහි වඩාත් දුෂ්ඨ ස්වභාවය එලිමහනට පැමිනියේය.

ආරම්භය සිට අවසානය දක්වාම යුක්‍රේන අර්බුදය උසිගන්වනු ලැබුවේ එජ අධිරාජ්‍යවාදයයි. වොෂින්ටනය ගෙන ඇති සෑම පියවරක්ම මෙම අර්බුදය අවුලුවා උත්සන්න කිරීම වෙත යොමුව තිබේ. මෙම අර්බුදය දිග්ගැස්සෙන තරමට, එජ ප්‍රතිපත්තිය යොමුව ඇත්තේ යුක්‍රේනය දිසාවටම පමනක් නොව රුසියාව දෙසට ද බව පැහැදිලි වෙමින් තිබේ. පෙනෙන්නට ඇති පරිදි යුක්‍රේනය යොදා ගැනෙන්නේ, රුසියාව සමග යුද්ධයක් සඳහා කඩතුරාව ලෙස පමනි.

එපමනක් නොව, රුසියාව කැබලි කර දුබල අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමේ අරමුන සහිත ආක්‍රමනකාරිත්වය දෙගුන කිරීමට පමනක් කොන්දේසි සකසන පරිදි මොස්කෝවේ නිහීන යටත්වීම සඳහා බලකිරීමටත් එය යොදාගනු ඇත.

ධවල මන්දිරයේ හා පෙන්ටගනයේ සිටින අය, එවන් ගැටුමක් න්‍යෂ්ටික යුද්ධයක් කරාම නොයනු ඇතැයි විශ්වාස කරනවා විය හැක. එහෙත් කවුරු දනිද් ද?

රුසියාවට එරෙහි එජ යුද්ධයක තර්ජනය, මහජනතාව මත පතුරුවා හැරෙන යුද ප්‍රචාරන ප්‍රවාහය සැලකිල්ලට ගන්නා විට ද පැහැදිලි වන්නේය. කලින් සදාම් හුසේන් හා මුවමර් ගඩාෆි සඳහා වෙන්කර තිබුනු යක්ෂාවේෂයක එම රූපයම ව්ලැඩිමීර් පුටින්ට ද දැන් යොදනු ලැබේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුව හා නිව් යෝර්ක් ටයිම්ස් හි එහි අන්තේවාසිකයෝ, යුක්‍රේනය තුල රුසියානු හමුදාවන් සිටින බවට “ඡායාරූප සාක්ෂි” ගෙනහැර දක්වති. ඉරාකයේ “ජනඝාතක අවි“ පිලිබඳව ද එවැනිම ‘සාක්ෂි'” ඔවුහු ඉදිරිපත් කලහ.

යුද්ධය කරා වන එජ තල්ලුවට යටින් පවතින්නේ කුමක් ද? යුක්‍රේන අර්බුදයට මග හෙලිකිරීමේදී වොෂින්ටනය, පුටින්, ජාතික ආරක්ෂක ඒජන්සියේ තොරතුරු හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන්හට රැකවරන සැලසීම ගැන සඳහන් නොකලත්, සිරියාවට හා ඉරානයට එරෙහි එජ යුද සැලසුම් වලට හරස්වූ රුසියාවේ ක්‍රියාකලාපය පිලිබඳව දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය.

මීට පෙර, දකුනු ඔසේටියාවට එරෙහිව එජ පිටුබලය සහිතව ජෝර්ජියාව 2008දී දියත් කල යුද්ධය පරාජය කරමින් මොස්කෝව වොෂින්ටනයට එල්ල කල ප්‍රහාරය නිසා ඇති කල නින්දාව ද තිබුනි. යුක්‍රේනයේ සිදුවීම් වලින් පෙන්වන්නේ, මැද පෙරදිග කලාපයේ හා වඩාත් පුලුල්ව යුරේසියානු භූමි ස්කන්ධයේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමට වන එජ තල්ලුවට බාධාවක් වන රුසියාව අතුගා දැමීමේ මූලෝපායක් මත පිහිටා එජ අධිරාජ්‍යවාදය කටයුතු කරන බවයි.

වොෂින්ටනය යුද්ධය කරා තල්ලු කරන අභ්‍යන්තර සාධක ද තිබේ. එජ තුල සමාජ ප්‍රතිඝතිතා අනතුරුදායක මට්ටමකට ලඟාවී ඇත. වෝල් වීදිය, 2008 බිඳවැටීමෙන් ලත් අලාභ පියවා ගනිමින් කවර කලෙකටත් වඩා ධනවත්ව සිටියදී ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජන සමූහයා මත පටවනු ලැබේ.

ඇමරිකාවේ පෙර නොවූ විරූ සමාජ අසමානතාවට හා කාලකන්නි කමට වගකිවයුතු පාර්ශවය ලෙස සුපිරි ධනවතුන් වෙත වඩ වඩාත් ඇඟිලි දිගු කෙරෙමින් තිබේ.

අතීතයේදී සෑම විටෙකම සිදුවූවාක් මෙන්, අභ්‍යන්තර සමාජ පීඩනයන් හා දේශීය නොසංසුන්තාව පිටතට හරවා යැවීම පිනිස යුද්ධය යොදාගැනෙමින් තිබේ. මිලිටරි මැදිහත්වීම් කෙරෙහි පවතින ඉහ වහා යන විරුද්ධත්වයේ කොන්දේසි හමුවේ, එක දෙයක් පැහැදිලිය. එනම්, රුසියාව සමග යුද්ධයක්, ව්‍යවස්ථාව නොතකා හැරීමට ද ප්‍රජාතන්ත්‍ර අයිතින් කටුගා දැමීමට ද දේශපාලන විපක්ෂය නීති විරෝධී කිරීමට හා පොලිස් රාජ්‍ය පියවර දැවැන්ත ලෙස පුලුල් කිරීම සඳහා පොට පාදා දෙනු ඇතැයි ද යන්නය.

විශාලම අනතුර යුද්ධයේ තර්ජනය අඩු තක්සේරු කිරීමය. ක්ෂනික තත්වයන් මත එය මඟහරවා හෝ කල්දමා ගත්ත ද ධනවාදයට අවසන් තිත තැබීම සඳහා කම්කරු පන්තිය සිය ශක්තිය ජාත්‍යන්තරව බලමුලු නොගැන්වීමේ තත්වයකදී අධිරාජ්‍යවාදී ක්‍රමයේ ආන්තික ප්‍රතිවිරෝධයන්, න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයේ ව්‍යසනය හුදු අනතුරක් පමනක් නොව අනිවාර්ය දෙයක් බවට ද පත් කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද මැයි 04දා ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලිය පවත්වන්නේ, එවන් අරගලයකට සුදානම් විම පිනිසය. සැම රටකම කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, මෙතරම් හදිසි භාවයකින් මතුව තිබෙන ජාත්‍යන්තර විප්ලවවාදී, සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීම පිනිස මෙම පොදු සංසදයට එක් වෙමින් සාකච්ඡාවන්ට එලඹෙන ලෙස ය.

බිල් වැන් ඕකන්

Share this article: