සෞඛ්‍ය සේවක අරගලයට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2014 අගෝස්තු 20

ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව විසින් අගෝස්තු 20 දාට කැඳවා ඇති දීප ව්‍යාප්ත දෙදින සංකේත වැඩවර්ජනයට සහ කොලඹ පැවැත්වෙන පා ගමනට වෘත්තීය සමිති 27 ක් නියෝජනය කරමින් ශ්‍රේනි 21 ක සෞඛ්‍ය කම්කරුවන් සහභාගි වීමට නියමිතය.

2006 වැටුප් සංශෝධන චක‍්‍රලේඛනයට අනුව 2012 වැටුප් වැඩිවීමට අදාල හිඟ වැටුප් ලබාදීම, දින 180 සම්පුර්න කල ආදේශක කම්කරුවන් ස්ථිර කිරීම, අතිකාල දීමනා රේට්ටුව වැඩි කිරීම, දින පහක වැඩ සතියක් ලබාදීම හා දින දෙකක රාත‍්‍රී සේවා මුරයක් ලබාදීම යන ඉල්ලීම් මත වර්ජනය කැඳවා ඇත. සෞඛ්‍ය සහායක, රියදුරු, දුරකතන කි‍්‍රයාකරුවන්, උපස්ථායක වැනි ශ්‍රේනීන් ගේ සිට නිවාස පාලකයින් හා වාට්ටු ලිපිකරුවන් දක්වා වන ශ්‍රේනීන්ට අයත් කම්කරුවන් 47,000කට මෙම ඉල්ලීම් අදාලවේ.

ඉහත ඉල්ලීම් මත ඒකාබද්ධ කමිටුවේ කැඳවීමෙන් පසුගිය ජූලි 14 දා කොලඹ ජාතික රෝහල් පරිශ‍්‍රයේ ආරම්භ කෙරුනු සත්‍යග‍්‍රහයට මේ වන විට දින 37 ක් ගතව ඇත. මෙම කාලය තුල සිදුවූ වර්ධනයන් මෙසේය:

x ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග කල සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, ඒකාබද්ධ කමිටුවේ කැඳවුම මත පසුගිය ජූලි 30 දා ලෙඩ නිවාඩු දැමීමට හා ජාතික රෝහල් පරිශ‍්‍රයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය තෙක් ගිය විරෝධතා පාගමනට රෝහල් කම්කරුවන් දහස් ගනනක් සහභාගි විය.

x ලේක්හවුස් වටරවුමේදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා පාගමන නතර කල අතර ඉල්ලීම් සම්බන්ධයෙන් “ජනාධිපති දැනුවත් කිරීමේ” සංදේශය භාරදීම සඳහා නියෝජිතයන් කීප දෙනෙකුට පමනක් ලේකම් කාර්යාලයට ඇතුලුවීමට අවසර ලැබුනි.

x අගෝස්තු 06 දා එවැනිම පාගමනකින් කම්කරුවන් කැටුව සෞඛ්‍ය අමාත්‍යංශයට ගිය සමිති නායකයෝ “ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිට නිවැරදි තොරතුරු සපයන ලෙස” සෞඛ්‍ය ලේකම්වරියට සන්දේශයක් බාර දුන්හ.

x සෞඛ්‍ය සේවකයන් “තනිව සටන් කිරීම නිරර්ථක බවත් ඉල්ලීම් කෙරහි රජයේ අවධානය යොමුකරගත හැක්කේ ඒකාබද්ධ අරගලයකින්” බවත් පවසමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ සමස්ත ලංකා සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිතිය, ඒකාබද්ධ කමිටුවට හෝ එහි උද්ඝෝෂන කි‍්‍රයාවන්ට සහභාගි වූයේ නැත.

x ජවිපෙ සමිතිය අගෝස්තු 13 දා තම සාමාජිකයන් ලෙඩ නිවාඩු උද්ඝෝෂනයකට කැඳවා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ පිකට් උද්ඝෝෂනයක් පැවැත්වීය.

ඒකාබද්ධ කමිටුව කැඳවූ ලෙඩ නිවාඩු උද්ඝෝෂනයට දසදහස් ගනනින් ද පාගමනට දහස් ගනනින් ද කම්කරුවන් සහභාගිවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ ආන්ඩුව කම්කරු‐පීඩිත මහජනතාව මත යොදන නන්විධ පීඩනයන් හා රුදුරු මර්දනය මධ්‍යයේ, තම ජීවන තත්වයන්ට එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට කම්කරු පන්තියේ ඇති සූදානමයි.

කම්කරුවන් අතර පවත්නා මෙම කැකෑරෙන තත්වය හමුවේ වෘත්තීය සමිති නිලධරය පෙරට පැමින සිටින්නේ ආන්ඩුවේ බලධාරින් සමග සාකච්ඡා හා ඔවුන් “දැනුවත් කිරීමේ සංදේශ” බාරදීමේ වටවංගුවල කම්කරුවන් රස්තියාදු කොට හෙම්බත් කිරීමෙන් ඔවුනගේ සටන්කාමිත්වය වාෂ්ප කර දැමීම සඳහාය.

ඒකාබද්ධ කමිටුවේ සංයුතියෙන්ම එහි සැබෑ පිලිවෙත පැහැදිලිය. එහි එක් ප‍්‍රධාන වෘත්තීය සමිතියක් වන්නේ ජනාධිපති රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට (ශී‍්‍රලනිප) අයත් නිදහස් සෞඛ්‍ය සේවා සංගමයයි. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක්සත් සෞඛ්‍ය සේවා සංගමය තවත් ප‍්‍රධාන වෘත්තීය සමිතියකි. ශී‍්‍රලනිප සමිති කම්කරුවන් මත කප්පාදු පිලිවෙත් පටවන රාජපක්ෂ ආන්ඩුවේ අත්ගෙඩියක් ලෙස කි‍්‍රයා කරන අතර එජාප සමිති එම පක්ෂය ආන්ඩු කරන සමයේ කම්කරුවන්ගේ අරගලයන්ට එරෙහිව මැර නඩ මුදාහරිමින් ඉටු කලේ එවන් කි‍්‍රයාකලාපයකි.

මෙම සමිති නිලධරය විසින් පෙරට දමා ඇති ඉල්ලීම් කම්කරුවන් අතර සිදු කෙරුනු කවර හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකින් නිර්නය වූ ඒවා නොවේ. ඊට විපරීතව මෙම ඉල්ලීම් ආන්ඩුව විසින් පනවන ලද චක‍්‍රලේඛ රාමුවල එල්ලන ලද ඒවාය. විශේෂයෙන් ම ඉහල යන ජීවන වියදමට සරිලන ආකාරයේ වැටුප් ඉල්ලීම් කම්කරුවන් අතර එවන් සාකච්ඡාවකින් තීන්දු කරනවා වෙනුවට එය 2006 වක‍්‍රලේඛයක සීමාවට සිඳවා තිබේ.

ඒකාබද්ධ කමිටුවට අනුව “ජනාධිපති දැනුවත් කිරීම” ද ජවිපෙ සමිතියට අනුව “රජයේ අවධානය යොමු කරගැනීම” ද මගින් තම ඉල්ලීම් දිනාගත හැකිය යන මාරාන්තික මිථ්‍යාවේ කම්කරුවන් ගිල්වීමේ මෙම සමිති නිලධරයෝ යෙදී සිටිති. රාජපක්ෂ ආන්ඩුව එක දිගටම පෙන්වා ඇත්තේ කම්කරු පන්තියේ කවර කොටසක හෝ ජීවන තත්වයන් හා සමාජ කොන්දේසි ඉහල දැමීමට තමා සූදානම් නැති බවයි. ලොව අන් සෑම පාලකයෙකු මෙන්ම රාජපක්ෂ පෙනී සිටින්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව වෙනුවෙනි. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට, හලාවත ධීවරයන්ට හා වැලිවේරිය තරුනයන්ට වෙඩිතබා ඝාතනය කිරීමෙන් රාජපක්ෂ පෙන්නුවේ, කම්කරු පීඩිත මහජනතාවට එරෙහි කවර හෝ වියදමකින් එය ඉටු කිරීමට ඇති සූදානමයි.

2008 දී පුපුරා ගිය ලෝක ධනේශ්වර බිඳ වැටීම මධ්‍යයේ අධිරාජ්‍යවාදීන් ප‍්‍රමුඛ ධනපති පාලකයන් ලෝක මහජනතාව ඇදගෙන යමින් පවතින්නේ විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් දෙසටය. මීට සමගාමීව රටක් රටක් පාසා පාලක පන්තීන් විසින් කම්කරු පීඩිත මහජනතාව භුක්ති විඳින සමාජ සුබසාධන ඇතුලු ජීවන කොන්දේසි මුලුමනින්ම විනාශ කෙරෙන සමාජ ප‍්‍රතිවිප්ලවයන් දියත් කෙරෙමින් පවතී. සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මහජන සේවාවන් කප්පාදු කරමින් රාජපක්ෂ යෙදී සිටින්නේ මෙම කාර්යයේය.

2016 අවසන් වනවිට රජයේ අයවැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3.8 දක්වා කපා දැමීමට රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී සිටී. 2014 අවසන් වනවිට එය සියයට 5.6 ක් විය යුතුය. මෙහි ප‍්‍රතිඵලය වන්නේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම නොව ඔවුනගේ ජීවන තත්වයන් තවතවත් තලා දැමීමයි. රාජපක්ෂ ආන්ඩුව 2006 සිට කම්කරු වැටුප් කැටිකොට එනම් වර්ධනය නතර කොට තබා ඇත.

අරගලයට අවතීර්න වන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් මර්දනය කිරීම සඳහා තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේදී වර්ධනය කරගත් පොලිස්‐මිලිටරි යන්ත‍්‍රයට අමතරව කම්කරු පන්තිය භේද කරනු වස් වාර්ගික හා ආගමික ප‍්‍රකෝපකරනයන් යොදා ගනිමින් පවතී. මුස්ලිම් ජනයාට එරෙහිව බොදුබල සේනා වැනි ෆැසිස්ට් පන්නයේ නඩ වීදි බස්සවා ඇත්තේ ආන්ඩුවේ පූර්න පිටුබලයෙනි.

එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් තමාට එල්ල කරන පීඩනය ද කම්කරු පන්තියට එරෙහිව රාජපක්ෂ යොදා ගනී. බොරු අධිරාජ්‍ය විරෝධයක් හා දේශපේ‍්‍රමයක් මවාපාමින්, කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල “රට අස්ථාවර කෙරෙන කුමන්ත‍්‍රන” ලෙස නම් කර “රට වෙනුවෙන්” ඒවාට එරෙහි වන ලෙස පවසන රාජපක්ෂ අවශේෂ මහජනතාව කම්කරුවන්ට එරෙහිව පිහිටුවීමට යත්න දරයි.

අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සහ එය යටතේ උත්සන්න කෙරුනු මිලිටරිවාදය ද රාජපක්ෂ විසින් කම්කරු පන්තියට එරෙහිව යහමින් යොදා ගැනේ. “එල්ටීටීඊය නැවත හිස ඔසවමින්” සිටින බවට හා විශ්ව විද්‍යාල තුල “ත‍්‍රස්ත නඩ වර්ධනය වෙමින්” තිබෙන බවට කෙරෙන ප‍්‍රකාශ මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම වැඩපිලිවෙලයි.

ආන්ඩුවේ මෙම වැඩපිලිවෙල පරාජය කොට තම අයිතීන් තහවුරු කිරීමට නම් කම්කරු පන්තිය ආන්ඩුවට එරෙහිව දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කල යුතුය. එවන් ප‍්‍රතිප‍්‍රහාරයකට එකහෙලා විරුද්ධ වෘත්තීය සමිති, බලපෑම් දැමීමේ උගුල් තුල කම්කරුවන් සිරකර තැබීමේ කොන්ත‍්‍රාත්තුවේ යෙදී සිටී. ඒකාබද්ධ කමිටුව නැවත වතාවක් කැඳවා ඇත්තේ ජනාධිපති “දැනුවත් කිරීමේ” පාගමනකි. අයවැය ලඟ එන තතු තුල ජනාධිපති “දැනුවත් කිරීමෙන්” යමක් දිනාගත හැකිය යන මිථ්‍යාව සමිති නායකයන් විසින් කම්කරුවන් අතර වපුරා ඇත. මෙම මිථ්‍යාවට විපරීතව ජනාධිපතිගේ මුදල් ඇමැති පෑන වැඩ කරන්නේ කම්කරුවන්ගේ අවශ්‍යතාව අනුව නොව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවෙනි.

ජවිපෙ සමිතියේ වැඩපිලිවෙල මීට වෙනස් නැත. ඔවුන් යෝජනා කරන “ඒකාබද්ධ අරගලය” ද ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමාව ඉක්මවා නොයයි. මෙම සියලුම වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී ආන්ඩුවේ සමාජ ප‍්‍රතිවිප්ලවවාදී කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සිය අයීතීන් සඳහා වූ අරගලය තමා අතට ගැනීම පිනිස ආරම්භකත්වයක් ගනිමින් තමාගේම කි‍්‍රයාකාරී කමිටු ගොඩනැගීමට පෙරට පැමිනෙන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රමුඛ ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම පිනිස සිය නායකත්වය යටතේ ගම්බද දුගීන් තරුනයින් හා ශිෂ්‍යයන් ඇතුලු සෙසු පීඩිතයින් රැලි කර ගැනීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතුය. එය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව යුද්ධයේ සහ සමාජ ප‍්‍රතිවිප්ලවයේ පදනම වන ලෝක ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීම පිනිස ගෙන යන අරගලය සමග බැඳී ඇත.

මෙම ඉදිරිදර්ශනය මත කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසප හා එක්වෙමින් එම දේශපාලන අරගලය සඳහා පෙරට එනමෙන් සෞඛ්‍ය කම්කරුවන්ගෙන් ද අවශේෂ කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ පීඩිතයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: