ඔබ න්‍යෂ්ටික යුද්ධයට සූදානම් ද?

Are you ready for nuclear war?

2014 ජූලි 30

<

එක්සත් ජනපදය, යුරෝපය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයේ හැකියාව ද සහිත යුද්ධයට ඔබ සූදානම් ද? එම්එච් 17 මැලේසියානු ගුවන් යානා අනතුරෙන් පසුව ඇතිව තිබෙන වර්ධනයන්ගේ ආලෝකයෙන් බලන විට සියලු දෙනා තමාගෙන්ම අසාගත යුතු ප‍්‍රශ්නය එයයි.

ගුවන් යානය වෙඩිතබා බිම හෙලීමට රුසියාව වගකිව යුතුය යන ඇමරිකාවෙන් හා යුරෝපයෙන් නැගෙන චෝදනා මගින් අවුලුවන අර්බුදය, 1962 කියුබානු මිසයිල් අර්බුදයෙන් මෙපිට ලෝකය, ගෝලීය යුද්ධය සමීපයටම ගෙනැවිත් තිබේ. එහෙත් අද තත්වය ඊටත් වඩා අනතුරුදායක වනු ඇත. අඩ සියවසකට පෙර, කුමන පාර්ශවයකින් හෝ සිදුවිය හැකි අත් වැරැද්දකින් න්‍යෂ්ටික ගැටුමක් ඇතිවීම පිලිබඳ භීතිය කෙනඩි පාලනාධිකාරය මත අරක්ගෙන තිබුනු අතර සෝවියට් නායකයින් යක්ෂාවේෂ ගැන්වීමෙන් වැලකී සන්නිවේදන මාර්ග විවෘතව තබා ගැනීමට ඔවුන් උත්සුක විය.

අනෙක් අතට සීඅයිඒ සංවිධානය අද දිනයේදී, ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික අවි තොග සහිත රට සමග සෘජු මිලිටරි ගැටුමක් අවුලුවා ගැනීම අරමුනුකරගත් බව පෙනීයන ගිනිගන්නා සුලු ප‍්‍රචාරක ව්‍යාපාරයක්, රුසියාවට හා එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව එල්ල කර ඇත. රුසියානු විරෝධී උන්මාදයකින් මහජන මතය දූෂනය කිරීම සඳහා සීඅයිඒ සංවිධානය, ආන්ඩු හා මාධ්‍ය ඇතුලත මෙන්ම ශාස්ත‍්‍රාලිකයින් අතර ද තමන්ගේ අනසක යටතේ ඇති සියලු සම්පත් හා සහකරුවන් බලමුලු ගැන්වීමේ ප‍්‍රවේසම් සහගත ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත්කර තිබෙන බවට කිසිදු සැකයක් ඇත්තේ නැත.

එම්එච්17 විනාශයට තුඩු දුන් සිදුවීම් පෙල පිලිබඳ කිසිදු නිශ්චිත පැහැදිලි කමකට අද දක්වාම පැමින නැත. වාර්ෂිකව ඩොලර් බිලියන ගනන් ගිල දමන, තමන් සන්තකයේ ඇති සියලු දැවැන්ත සුපරීක්ෂාකාරී තාක්ෂනය තිබියදීත් එජ ඔත්තු සේවා ආයතන, රුසියාවේ වගකීම පිලිබඳව නගන දෝෂාරෝපන තහවුරු කරන ප‍්‍රබල සාක්ෂි කිසිවක් ඉදිරිපත්කර ඇත්තේ ද නැත.

එම්එච්17 විනාශය වටා ඇති භෞතික කාරනා කිසිවක් තවමත් හෙලිදරව් කෙරී නැති නමුත් මෙම ඛේදවාචකය ගසාකනු ලබන දේශපාලන අරමුනු ඕනෑවටත් වඩා පැහැදිලිවී තිබේ.

සතිය ආරම්භයේ පටන්ම, ටයිම්, ද ඉකොනොමිස්ට් හා ඩර් ස්පීගල් යන එක්සත් ජනපදයේ, බි‍්‍රතාන්‍යයේ හා ජර්මනියේ පලවන වඩාත්ම බලපෑම් සහගත, බෙහෙවින් පරිහරනය කරන ප‍්‍රවෘත්ති සඟරා, ව්ලැඩිමීර් පුටින්ට එරෙහි වියරු සහගත චෝදනා සමග බැඳුනු, රුසියාව සමග බල අරගලයක් සඳහා කෙරෙන ඉල්ලීම් ඇතුලත් මුල් පිටුවේ කතන්දර පලකොට තිබේ.

මෙම මුල් පෙලේ කතන්දර පිලිබඳ අතිශය කැපී පෙනෙන හා පැහැදිලි ලක්ෂනය නම්, ඒවා මුලුමනින්ම පාහේ එක සමාන වීමය. ඒ සියල්ල සංස්කරනය කර ඇත්තේ සීඅයිඒ විසිනි. එම කතන්දර එකම ගර්හාවන් හා සමානව ගොතන ලද දෑ යොදාගනියි. ඔවුන් පුටින්ගේ “මුසාවාද ජාලය” හෙලා දකියි. රුසියානු ජනාධිපති පින්තාරු කරන්නේ “දූෂිත” සමූහ මිනීමරුවෙකු ලෙසය.

ආනුභාවය සහිත ප‍්‍රවෘත්ති සඟරා රුසියානු ජනාධිපතිට එරෙහිව මෙවන් භාෂාවක් යොදාගැනීමට හේතු කවරේ ද? ඔහු සිටින්නේ, මීට පෙර සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසෙවික්ට, ඉරාකයේ සදාම් හුසේන්ට, ලිබියාවේ මුවම්මර් ගඩාෆිට, හා සිරියාවේ බෂර් අල් අසාද්ට එරෙහිව යොදාගත් එම හෙලාදැකීම් ව්‍යාපාරයේම ගොදුරක් ලෙසය. නිසැකවම පුටින් මෙම ප‍්‍රචාරක ව්‍යාපාරයන්ගේ ප‍්‍රතිපලය ගැන දැනුවත්ය. සර්බියාවට බෝම්බ දමා දේශපාලන යටත්වීමකට ඇද දමමින්, මිලොසෙවික් හේග් නුවරට (ජාත්‍යන්තර යුද අධිකරනය) දක්කන ලද අතර එහි සිරගෙයක් තුල ඔහු අබිරහස් ලෙස මිය ගියේය. ඉරාකය ආක‍්‍රමනය කර සදාම් හුසේන් ඝාතනය කරන ලදී. ලිබියාව ද ආක‍්‍රමනය කල අතර හිලරි ක්ලින්ටන් බෙහෙවින් ප‍්‍රමෝදයට පත්කිරීමට තරම් රුදුරු ලෙස වධදී වග විභාගයකින් තොරව මුවම්මර් ගඩාෆි ඝාතනය කරන ලදී. අසාද් සම්බන්ධයෙන් ගත් කල, සිරියානුවන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකගේ දිවි නැසීමට තුඩු දුන් බිහිසුනු ත‍්‍රස්තවාදයක් එජ විසින් මෙහෙයවා ඇත.

මෙම වාර්තාව හමුවේ පුටින්, එජ හා එහි අනුචරයින්ට අවශ්‍ය පරිදි මිය යෑමෙන් අවසන් විය හැකි භීතිකාවකින් පෙලෙන බවට චෝදනා නැගීම දුෂ්කරය. ගැටුම පැතිර යද්දී ඔහුගේම කටයුතු දිගහැරෙන මගෙහිදී මෙම මනාව සැලසුම් කල සැකය කුමන බලපෑමක් ඇතිකරනු ඇත් ද යන්න ගැන යමෙක් විමසිය යුතුව ඇත.

ඉහතකී වාර්තා ඇතුලත් සඟරා තුනෙහිදීම, එජ හා බටහිර යුරෝපීය ආන්ඩු, පුටින්ට හා රුසියාවට විරුද්ධව පියවර ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් වරදකරුවන් කර ඇත. සඟරා තුනෙන්ම පිටවී ඇත්තේ, තමන්ට පෙනීගොස් ඇති ආක‍්‍රමනකාරිත්වයේ නොසෑහෙන සුලු භාවය පිලිබඳ කෝපාවිෂ්ඨ නොඉවසිලි සහගත හඬකි. සාකච්ඡා සඳහා පැවති කාලය අවසන්වී ඇති බවට ඔවුන් සියල්ලෝම තර්ක කරති. ඩර් ස්පීගල් මෙසේ පවසයි. “එම්එච්17 සුන්බුන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද සුන්බුන්ය.”

මෙම ප‍්‍රකාශය අර්ථ දැක්විය හැක්කේ කෙසේ ද? රාජ්‍යතාන්ත‍්‍රික පියවර අසාර්ථකවී ඇත්නම්, එහි එකම අර්ථය යුද්ධය නොවැලැක්විය හැකි ය යන්නයි.

“රුසියාවේදී, දඬුවම් නොලබන අපරාධය” යන තම ලිපිය තුල ටයිම් සඟරාව, රුසියාවට එරෙහිව වහාම යුද්ධයේ තර්ජනය එල්ල කරනවා වෙනුවට, යානය කඩාවැටීම පිලිබඳ පරීක්ෂන වලට සහාය දක්වන ලෙස පුටින්ගෙන් ඉල්ලීම ගැන ඔබාමාට පහර දෙයි. එය මෙසේ ලියයි. “මෙය හිස් කටුවක් තුල අර්බුදයක් විය, පුටින්ට කල හැකි අවමය වන්නේ ඔබාමාට ඉල්ලා සිටිය හැකි උපරිමයයි. ඇමරිකානු ජනාධිපති අවසන් දින නියමකර නැත, රතු ඉරි කිසිවක් ඇඳ නැතුවාක් මෙන්ම තර්ජන එල්ලකර ද නැත.”

“අවසන් දින, රතු ඉරි, තර්ජන” ඉල්ලා සිටීම යුද්ධයේ භාෂාවයි. මෙම වචන කියවිය හැක්කේ අන් කවර ආකාරයකට ද?

රුසියාවට එරෙහි ආක‍්‍රමනකාරිත්වයට පිටුබලය නොදීම ගැන ටයිම් සඟරාව, ඉතාලිය හා ප‍්‍රන්සයට මෙන්ම ඔබාමා පාලනයට පමනක් නොව, ඇමරිකානු ජනතාවට ද පහර දෙයි. “තමන්ට එරෙහිව පෙල ගැසෙන බලවේගයන් දෙස බලන කල පුටින්ට, පසුතැවීමට බොහෝ දේවල් නැත. යුද්ධයෙන් හෙම්බත්ව සිටින ජාතියක නායකයා ලෙස ඔබාමා, යුකේ‍්‍රනයට ආයුධ සැපයීම ද ඇතුලු සියලු මිලිටරි විකල්ප අවලංගු කර ඇත.” පැහැදිලිවම ටයිම් සඟරාවට අවශ්‍යව ඇත්තේ මිලිටරි විකල්ප මේසය මත තැබීමටය.

“මුසාවාද ජාලය” යන හිසින් යුත් සිය ප‍්‍රධාන කතුවැකිය තුල ද ඉකොනොමිස්ට්, දෙගිඩියාව ගැන බටහිරට දොස් පවරමින්, ඉහත සංස්කරනයම අනුගමනය කරයි. “සම්බාධක තමන්ගේ වානිජ්‍ය අවශ්‍යතාවන්ට වල කපනු ඇති නිසා, රාජ්‍යතාන්ත‍්‍රික මාවත් කොටසක් හෝ විවෘතව තැබීම අවශ්‍ය බව ජර්මානුවන් හා ඉතාලියානුවන් කියා සිටියි. බි‍්‍රතාන්‍ය සම්බාධක වෙනුවෙන් කථාකරන නමුත් ඔවුන් ලංඩන් නගරයේ රුසියානු ව්‍යාපාර වලට හානි සිදුකර ගැනීමට මැලිකමක් දක්වයි. ඇමරිකාව තදින් කථාකරන නමුත් අලුතෙන් කිසිවක් කර ඇත්තේ නැත.”

සම්බන්ධීකරනය කල මාධ්‍ය ව්‍යාපාරය දැනටමත්, ඔවුන් ප‍්‍රිය කරන බලපෑම සිදුකර ඇත. තමන් දැඩි සම්බාධකවල අලුත් කට්ටලයක් පිලිබඳව එකඟත්වයකට පැමිනි බව ඔබාමා පාලනය හා යුරෝපීය සංගමය 29දා නිවේදනය කලේය. “මූල්‍ය යුද්ධයේ පරමානු බෝම්බය” ලෙස ෆිනෑන්ෂල් ටයිම්ස්හි තීරු රචක වොල්ෆ්ගෑන්ග් මුන්චාවු විසින් විස්තර කර තිබෙන තත්වය කරා තැබෙන අන්තර්වාර පියවරක් ලෙස මෙම කටයුතු අර්ථ දක්වා තිබේ. මුන්චාවුගේ ලිපිය ෆිනෑන්ෂල් ටයිම්ස්හි පමනක් නොව ඩර් ස්පීගල්හි ද පලකොට තිබේ.

ආර්ථික ගෙල සිරකිරීම හා මිලිටරි තර්ජනය යන දෙකේ එකතුව තුලින් එජ හා යුරෝ සංගමය, රුසියාව දේශපාලනිකව අස්ථාවර කිරීම කරා ගමන් ගනියි. රුසියානු කතිපයාධිකාරීන් ගැන ඔවුන්ගේ නිරන්තර කථාබහෙන් පැහැදිලි වී ඇත්තේ, මූල්‍ය සම්බාධක මගින් පුටින් පෙරලා දැමීමේ හෝ ඝාතනය කිරීමේ පවා, කුමන්ත‍්‍රනයක් දිරිමත් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවයි. වොෂින්ටනය විසින් සූදානම් කරන තන්ත‍්‍රයක්, රුසියාව නව යටත්විජිත වැයික්කියක් බවට පරිවර්තනය කරනු ඇත. එය දේශපාලනිකව, ආර්ථිකව හා මිලිටරිමයව එජ අධිරාජ්‍යවාදයට මුලුමනින්ම යටත් වනු ඇත.

සත්තකින්ම පුටින් සිය ගමන් මග වෙනස්කර එජ ඉල්ලීම් වලට එකඟ වුවහොත්, මාධ්‍ය ව්‍යාපාරය අවශ්‍ය වෙනස්කම් සිදුකරනු ඇත. කෙසේ වෙතත් සිදුවීම් පෙලගැසෙනු ඇත්තේ, කිසිදු සීඅයිඒ සැලැස්මකින් පෙර නොදුටු දිසාවකටය. ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික අවි තොගය පාලනය කරන බලවතා වන රුසියාව අස්ථාවර කිරීමේ ප‍්‍රතිපත්තියේ අදූරදර්ශීකම කියා නිමකල නොහැක. නැගෙනහිර යුරෝපය පුරා හා කලු මුහුදේ මිලිටරි බලවේග සීරුවෙන් තබා ඇති, යුකේ‍්‍රනියානු හා රුසියානු හමුදා තම දේශසීමා දිගේ කාලතුවක්කු වෙඩි හුවමාරුකර ගන්නා තතු තුල, වැරදි ගනන් බැලීමක හැකියාව දිනක් පාසා ඉහල යයි.

කෙටිකාලීන ප‍්‍රතිපලය කුමක් වුවත්, එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් අනුගමනය කරන න්‍යාය පත‍්‍රයේ දිගුකාලීන ඇඟවුම් නොවැලැක්විය හැකි ලෙසම මෙහෙය වෙන්නේ බිහිසුනු ප‍්‍රතිවිපාක ගෙන එන යුද්ධයේ දිශාවටය.

කම්කරු පන්තිය මුහුන දෙන දැවැන්තම අන්තරාය, මානව වර්ගයා තමන් මුහුනපා සිටින අන්තරාය ගැන අනවධානයෙන් සිටින තතු තුල, තිරයට පිටුපසින් එම තීන්දු දැනටමත් ගැනෙමින් තිබීමයි.

සියක් වසරකට පෙර මේ සතියේදී, යුද්ධයේ ජයග‍්‍රහනය වෙනුවෙන් සෑම දෙයක්ම පරදුවට තැබීමේ තීරනය මත යුරෝපය පුරා ඇමතිවරු කුඩා කල්ලියක්, රජ පෙලපතේ අය හා ව්‍යාපාරික කොටස් මිලියන ගනන් ජීවිත හානි වලට තුඩු දුන් පලමුවන ලෝක යුද්ධය දියත් කලහ. අද දිනයේ එම බලවේග, ග‍්‍රහ ලෝකයම විනාශයට ඇද දැමිය හැකි අග්නි ජාලාවක් නිර්මානය කිරීමේ දිශාවට ඇදී යමින් සිටිති.

දේශපාලනිකව සවිඥානක කම්කරු පන්තියේ මැදිහත්වීමක් නොමැතිව, යුද්ධය කරා වන තල්ලුව නතර කල හැකි වෙනත් ක‍්‍රමයක් ඇත්තේ නැත. 1914 වන විට බලයේ සිටි අය මෙන් නොව වර්තමානයේ ආන්ඩු, ව්‍යසනයක අවදානම නොගනු ඇතැයි විශ්වාස කරන අය, තමන්ම රවටා ගනිති. අද දින බලයේ සිටින පාලන තන්ත‍්‍ර වඩාත් අදූරදර්ශී ලෙස කටයුතු කරන බව සහතිකය. තමන්ට කිසිදු ප‍්‍රගතිශීලී විසඳුමක් ලබාදිය නොහැකි නැගී එන ආර්ථික හා සමාජ ගැටලු හමුවේ ඔවුහු, යුද්ධයේ අවදානම ගැනීම යෙහෙකැයි කල්පනා කරති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, යුද විරෝධී, අධිරාජ්‍ය විරෝධී හා ධනපති විරෝධී ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ දැවෙන අවශ්‍යතාවය අවධාරනය කරන්නේ එබැවින්ය.

ඩේවිඩ් නෝර්ත් හා ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: