මිසෝරි ප‍්‍රාන්තයේ ෆර්ගියුසන්හි බලපැවැත්වෙන යුද නීතිය

De facto martial law in Ferguson, Missouri

2014 අගෝස්තු 20

මයිකල් බ‍්‍රවුන් යන නිරායුධ අප‍්‍රිකානු-ඇමරිකානු තරුනයා පොලිසිය විසින් මරාදැමීමට එරෙහිව අඛන්ඩව ක‍්‍රියාත්මක වන විරෝධතාවන්ට ප‍්‍රතිචාර වශයෙන්, ඔබාමා පාලනයේ පූර්න පිටුබලය සහිතව මිසෝරි ප‍්‍රාන්තයේ, බොහෝ කොටම කම්කරු පන්තික නගරයක් වන ෆර්ගියුසන්හි යුද නීතිය පනවා ඇත.

ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන එක්රැස්වීමේ අයිතිය ප‍්‍රදේශවාසීන්ට අහිමිකර ඇති අතර මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම මගින් මාධ්‍ය නිදහස උල්ලංඝනය කර ඇත. සෑම මංසන්ධියකම පොලිස් මුර කපොලු ඉදිකර තිබේ. සමාජ විරෝධතා තලාදැමීමටත් මිනිසුන් බියගන්වා ත‍්‍රස්ත කිරීමටත් මිලිටරි වාහන, හෙලිකොප්ටර්, ශබ්ද වෙඩි, එලිය විහිදුවන අත්බෝම්බ, කඳුලු ගෑස්, ප‍්‍රහාරක අවි ගත් ස්වැට් භට කන්ඩායම්, ජාතික රැකවල් හමුදාවේ පිටුබලය සහිත ප‍්‍රාදේශීය පොලිසිය සහිතව දැවැන්ත බලයක් මෙහෙයවා ඇත.

බ‍්‍රවුන් ඝාතනය ගැන සාධාරනය ඉටුවිය යුතු බව පවසමින් පැවැත්වූ, මුලුමනින්ම පාහේ සාමකාමී විරෝධතාවන්ට එරෙහි කඩාපැනීම් 18දා රාත‍්‍රිය තුල උත්සන්න කෙරුනි. කිසිදු නීත්‍යානුකූල හෝ ව්‍යවස්ථාමය පදනමකින් තොරව, විසිර යන ලෙසට කල පොලිස් අන පිලිපැදීමට අසමත්වූ 78 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිනි.

බලධාරීන් කියන පරිදි “නොහික්මුනු පිරිස් වලින් එල්ලවනවා යයි සලකන තර්ජනයට මුහුනදීමේදී” ඊට කිහිප ගුනයකින් දැවැන්ත මර්දනයක් මුදාහැර තිබේ. 19දා උදෑසන 2.20 වන විට පැවැත්වූ මාධ්‍ය හමුවකදී, ඩිමොක‍්‍රටික් පක්ෂයේ ආන්ඩුකාර ජේ. නික්සන් විසින් ආරක්ෂක මෙහෙයුම් බාරව කටයුතු කිරීම සඳහා පසුගිය සතියේ පත්කරන්නට යෙදුන මිසෝරි අධිවේගී මාර්ග ගමනාගමනයේ කැප්ටන් රොන් රොබින්සන්ට, එම රාත‍්‍රියේ සිදුකල ප‍්‍රචන්ඩ කඩාපැනීම් හා සමූහ අත්අඩංගුවට ගැනීම් යුක්තිසහගත කිරීම පිනිස පෙන්වීමට හැකිවූයේ, තමන් භාරයට ගත් බව පැවසූ ගිනි බෝම්බයක් හා තුවක්කු දෙකක් ද වතුර බෝතල් කිහිපයක් ද පමනි. “සාමකාමී විරෝධතාකරුවන්ට” එදින රාත‍්‍රියේ ගෙවල් වලට වී සිටින්නැයි ඔහු උපදෙස් දුන්නේය. එවිට, වීදිවල සිටින අය “පිටස්තර කඩාකප්පල්කාරීන්” ලෙස හඳුනා ගැනීමට හා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවන බව ඔහු පැවසීය.

හිතුවක්කාරී හා අසමානවූ බලයක් යෙදීම, සමස්ත අර්බුදයම සංලක්ෂනය කරයි. කිසිදු අවියක් නොමැතිව සිටි බ‍්‍රවුන්ට සමීපයේ සිට සය වතාවක් වෙඩි තබා ඇත. කුපිතවූ ප‍්‍රදේශවාසීන්ගේ සාමකාමී විරෝධතා, මිලිටරි ස්වභාවයක් ගත් කඩා පැනීම්, සමූහ අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතිය පැනවීමට හා යුද නීතියට සමාන තත්වයකට මුහුන පෑවේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය තමන් පල කල වීඩියෝ වාර්තා මගින් ෆර්ගියුසන්හි නිවැසියන්ට, තමන්ගේ නගරය තුල පවතින මිලිටරි-පොලිස් ග‍්‍රහනය, ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද ආන්ඩුව අනුගමනය කල එවැනිම ක‍්‍රමෝපායන් අතර සමානකම දැකගැනීමට සැලැස්වීය. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා ප‍්‍රචන්ඩ මාධ්‍යයන් යොදාගැනීම, විදේශ ආන්ඩු පෙරලා දැමීමට හේතුව ලෙස ඔවුන් කියා සිටි අතර, සිය රටෙහි ද පැන නැගෙන සමාජ විරෝධතාවක කුමන හෝ සලකුනක් මකා දැමීම පිනිස ඒ ක‍්‍රමවේදයන් එලෙසින්ම යොදාගන්නා තතු හමුවේ, මැද පෙරදිග ද මධ්‍යම ආසියාවේ ද ප‍්‍රජාතන්ත‍්‍රය හා මානව අයිතීන් සුරැකීම පිලිබඳ වොෂින්ටනයේ කියාපෑම්වල කුහකත්වය ඒවායින් පෙන්වා දුන්නේය.

බ‍්‍රවුන් ඝාතනයට දින කිහිපයකට පෙර ලෝසවෙඅ පෙන්වා දුන්නේ, හරියටම මේ කාරනයමය. The slaughter in Gaza: A warning to the international working class“ගාසාවේ ජන සංහාරය-ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි” යන සිරස්තලය යටතේ අගෝස්තු 04දා පල කල ඉදිරිදර්ශන තීරුවක ලෝසවෙඅ මෙසේ ලිවීය. “කප්පාදු න්‍යායපත‍්‍රයට, මිලිටරිවාදයට හා යුද්ධයට කම්කරු පන්තියෙන් විරෝධය පල වන සෑම රටකදීම යොදාන්නවා ඇති පියවර පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමකි ගාසාහි ඊස්රායල් සංහාරය. තමන්ට සතුරු ජනතාවන් ත‍්‍රස්ත කිරීම පිනිස එජ දශකයක් තිස්සේ, ඉරාකයේ ද ඇෆ්ගනිස්ථානයේ ද මෙහෙයවූ යුද ව්‍යාපාරය තුල වර්ධනය කල ක‍්‍රමවේදයන්, තමන්ගේ රැකියා, ජීවන තත්වයන් හා මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගැනීමට සටන් කරන කම්කරුවන්ට එරෙහිව ද යොදාගන්නවා ඇත.”

ෆර්ගියුසන්හි පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් යොදාගැනීම වූ කලී, ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිග්ගැස්සුනු කුනුවීමේ ප‍්‍රතිපලයයි. මෙම ක‍්‍රියාවලිය 2000 වර්ෂයේ ජනාධිපති මැතිවරනය සොරකම් කිරීමත් සමග නව අදියරකට පැමිනුනේය. එය, 9/11 හා ඊනියා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප‍්‍රකාශයට පත්කිරීමත් සමග උග‍්‍ර අතට හැරුනි. එම ප්‍රෝඩාකාරී යුද්ධය ආරම්භයේ පටන්ම යොදාගත්තේ, විදේශයන්හිදී අධිරාජ්‍යවාදී යුද්ධය පුපුරා යාම හා එජ තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල අතොරක් නැති ප‍්‍රහාර යුක්තිසහගත කිරීමටය.

පසුගිය 13 වසර පුරාම අත්දුටුවේ, ප‍්‍රජාතන්ත‍්‍රයේ වියදමෙන් රාජ්‍යයේ ප‍්‍රචන්ඩකාරී බලය දැවැන්ත ලෙස ගොඩනැගීමයි. එහි ප‍්‍රතිපලය වශයෙන් අද දිනයේ පොලිස් රාජ්‍යයක පැවැත්ම කල් යල් බලමින් සිටියි. ඇමරිකාවේ ද ලෝකය පුරා ද ජනතාව පිලිබඳ සීමාවකින් තොර ආන්ඩුවේ ඔත්තු බැලීම් ප‍්‍රසාරනය කිරීමට අත්වැල සැපයූ ඇඑජ දේශපේ‍්‍රමී පනත පිටුපසින්, පෙන්ටගනය එක දිගටම අධීක්ෂනය කල හා අරමුදල් සැපයූ, ප‍්‍රාදේශීය පොලීසි පැරාමිලිටරි ත‍්‍රස්ත විරෝධී බලයන් බවට පරිවර්තනය කල, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීය. එජ භූමි ප‍්‍රදේශ ආවරනය කරන, මෙතෙක් පිහිටවූ පලමු මිලිටරි අනදෙන මධ්‍යස්ථානය ලෙසින් උතුරු ආඥා මූලස්ථානය ස්ථාපිත කරන ලදී.

මෙම ආරම්භකත්වයන්, එජ සමාජ විරෝධතා මකා දැමීමට අවශ්‍ය ජනතා මර්දනය හා නාගරික යුද්ධය සඳහා මිලිටරි, ඔත්තු සේවා ආයතන හා බුද්ධි මන්ඩල විසින් කරන ලද නිමක් නැති සැලසුම් හා අධ්‍යයනයන් සමග බැඳී ඇත. 2013 බොස්ටන් මැරතන් තරගයේ සිදුවූ බෝම්බ ප‍්‍රහාර, එවන් සැලසුම් අත්හදා බැලීමේ අවස්ථාවක් ලෙස ඩැහැ ගත්තේය. ඇමරිකානු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, ප‍්‍රධාන නාගරික කලාපයක්, සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීමටත් මිලිටරි පොලිස් වැටලීමකටත් යටත් කරන ලදී. දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ කවර කොටසකින් හෝ සැලකිය යුතු මොනම විරුද්ධත්වයක් හෝ පල නොවීම, පාලක පන්තිය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කුමන හෝ කැපවීමක් නැතිකම සහතික කලේය.

ජෝර්ජ් බුෂ් යටතේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ලවූ ප‍්‍රහාර, බරක් ඔබාමා යටතේ උග‍්‍ර කෙරී ඇත. වත්මන් ජනාධිපති, වධ බන්ධන ක‍්‍රියාවන්හි හා ගුවන්තනාමෝ ගුලැග් වැඩසටහනේ නිර්මාතෘන්ට දඬුවම් කිරීම ආවරනය කලා පමනක් නොව, විධිමත් ක‍්‍රියාවලියකින් තොරව එජ පුරවැසියන් අනියත කාලයකට රඳවා තැබීම හා ඝාතනය කිරීමේ පවා අයිතිය ප‍්‍රකාශ කරමින් එසේ සිදුකර ඇති බව පිලිගෙන ද ඇත.

පොලිස් රාජ්‍යයක් සඳහා වන මෙම උත්සන්න කල සූදානම පිටුපස ඇති ගාමක බලය වන්නේ, සමාජ අසමානතාවයේ ඉමහත් වර්ධනයයි. සාධාරන ගෙවීම් සහිත රැකියා හා කාර්මික යටි තලය විනාශ කරන අතර පරපුටු ස්වභාවයේ සමපේක්ෂනයේ පදනම මත ධනවත්වූ සාපරාධී ව්‍යාපාරික-මූල්‍ය ප‍්‍රභූ පැලැන්තිය ජාතික ධනයෙන් පෙර නොවූ විරූ පංගුවක් තමන් වෙත පවරාගෙන ඇත. සාපරාධිත්වයේ මෙවන් රූපාකාරයක්, ප‍්‍රචන්ඩත්වය, යුද්ධය හා කොල්ලකෑම මත පදනම්වූ සාපරාධී විදෙස් පිලිවෙතකට නොවැලැක්විය හැකි ලෙසම බැඳී තිබේ.

වැඩකරන ජනතාවගේ සෑම ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අවශ්‍යතාවක්ම මෙම නව වංශාධිපතිත්වයේ සමාජ අවශ්‍යතා සමග ගැටේ. සමාජ විරෝධයේ සෑම ප‍්‍රකාශනයක්ම ඔවුන් දැකගන්නේ, වහාම තලා දැමිය යුතු, සිය අවශ්‍යතාවන්ට තර්ජනය කරන දෙයක් ලෙසය.

දැවැන්ත හා නොමිනිය හැකි මිලිටරි-පොලිස් ඔත්තු සේවා පර්යාය, මෙම සාපරාධී ධනපති ප‍්‍රභූවේ අවශ්‍යතාවන්හි සහතිකකරු ලෙස වසර ගනනාවක් තිස්සේ ගොඩනගනු ලැබින. ෆර්ගියුසන්හි සිදුවීම් පිලිබඳ දේශපාලන විග‍්‍රහයක් ආරම්භ කල යුත්තේ, ඔබාමා හා අනෙකුත් දේශපාලඥයින්ගේ පුහු හා වංක කයිවාරු සමගින් නොව, ඔවුන් කරන්නේ කුමක් ද යන්න සමගින් ය. තමන් සේවය කරන මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා හමුවේ ඔවුන්, රට පුරා නගරවල ක‍්‍රියාවට නැගීම සඳහා වන පූර්වාදර්ශයක් ලෙස, ෆර්ගියුසන්හි වැඩකරන ජනතාව ත‍්‍රස්ත කිරීමට රාජ්‍යයේ මර්දනකාරී ප‍්‍රචන්ඩත්වය බලමුලු ගන්වයි.

ඇමරිකාවේ යථාර්තය මෙයයි. සියලු දියුනු කාර්මික රටවල් අතුරින් සමාජීය වශයෙන් වඩාත්ම අසමානවූ රට වඩාත්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වීම අහම්බයක් නොවේ. මූල සාධකය ධනේශ්වර ක‍්‍රමයමය. එය ජනගහනයේ ඉමහත් බහුතරය වන කම්කරු පන්තියේ මූලික අවශ්‍යතා සපුරා ලීමට අසමත් වෙයි.

බැරී ගේ‍්‍ර

Share this article: