ජේම්ස් ෆොලි ඝාතනය සඳහා වග කිව යුත්තේ කවුරුන් ද?

Who is responsible for the murder of James Foley?

2014 අගෝස්තු 22

ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍ය (අයිසිස්) සංවිධානය විසින් සිදු කල ඇමරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොලිගේ ම්ලේච්ඡ ඝාතනය, එජ හා ලොව පුරා කම්කරුවන් අතර අව්‍යාජ පිලිකුලට හා වෛරයට පාත්‍රවී ඇත.

තමන් යුද විරෝධියෙකු ලෙස හඳුන්වාගත් ෆොලි, තමන් පුවත්පත් කලාව වෙතට හැරුනේ සිරියාව, ලිබියාව හා ඉරාකයේ ජනතාව මත එහි මානව බලපෑම හෙලිදරව් කිරීම සඳහා බව පවසා තිබුනේ ය. ඔහුගේ අභාවය පිලිබඳ සංවේගයත් මාධ්‍යවේදියෙකු වශයෙන් හා මනුෂ්‍යයකු වශයෙන් ඔහුගේ වැඩකටයුතු මෙන්ම ඔහුගේ දයාව හා නිර්ලෝභිත්වය පිලිබඳව පුළුල් මනෝභාවයක් පැතිර පවතියි.

ඉරාකයේ එජ බෝම්බ දැමීමේ ව්‍යාපාරය වෙනුවෙන් පලිගැනීමක් බව පවසමින් අයිසිස්, වීඩියෝ ගත කරන ලද හිස ගසා දැමීම යුක්තිසහගත කලේය. ඔහුගේ රටේ ආන්ඩුවේ හා පාලක පන්තියේ අපරාධ ― ඒ ගැන ඔහුට පාලනයක් නො තිබූ අතර ඇමරිකානුවන් මිලියන ගනනාවක් මෙන් ඔහු ද එයට පැහැදිලිව විරුද්ධ විය - වෙනුවෙන් එවැනි තනි පුද්ගලයෙකුට මරනදන්ඩනය පැනවීම තුලින් අයිසිස්, තමන්ගේම ලෝක දෘෂ්ටියේ බංකොලොත්කම හා ගැඹුරු ප්‍රතිගාමිත්වය පමනක් ප්‍රකාශයට පත්කරයි.

අයිසිස් හා අල් කයිඩාවට සම්බන්ධ අනෙකුත් කන්ඩායම් පිලිබිඹු කරන්නේ, අධිරාජ්‍යවාදී මර්දනයෙන් නිදහස්වීම සඳහා වන පීඩිත මහජනතාවගේ ප්‍රෝත්සාහය නො ව, ඔවුන්ගේ ම පන්ති න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයාමේ මාධ්‍ය ලෙස, නිකායික බෙදීම් හැසිරවීමට උත්සාහ ගන්නා අරාබි හා මුස්ලිම් ලෝකයේ අසන්තෘප්ත ධනේශ්වර ස්ථරයන්ගේ අවශ්‍යතා ය.

මෙම අර්ථයෙන් ගත් විට, මැද පෙරදිග නව යුද්ධයක් දිසාවට වන ගමනට, ඇමරිකානු ජනතාවගේ පුලුල් විරුද්ධත්වය හැරවීමේ ‍ලීවරයක් ලෙස ෆොලීගේ ප්‍රචන්ඬ මරනය කෙරෙහි පල වන මනෝභාවයන් ගසාකෑමට අධිෂ්ඨාන සහගත එජ තකිපයාධිකාරය තුල ප්‍රමුඛ ස්ථරයන්ගේ දෘෂ්ටියට වඩා ඔවුන්ගේ දෘෂ්ටිය කිසිසේත් වෙනස් නැත.

ඉරාකය තුල එක්සත් ජනපද ඝාතනයන්ට පලිගැනීමක නාමයෙන් සිදු කල ෆොලීගේ ඝාතනයට එරට මාධ්‍යයෙහි බලගතු කන්ඩායම් උත්තර දී ඇත්තේ, කලාපය තුල එජ මිලිටරි මැදිහත්වීම් උත්සන්න කරමින් එකට එක කිරීමේ පලිගැනීමක් සඳහා බෙරිහන් දෙමිනි.

මෙලෙස, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ 22දා කතුවැකිය, අයිඑස්අයිඑස් වැඩී ඇත්තේ “ ඔබාමා සිරියාව තුල මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම” හා “2011දී ඔහු සම්පුර්නයෙන් ම ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීම ”නිසා බව පවසයි. “බුෂ් මහතා ගෙන ගිය යුද්ධ අවසන් කිරීම පිලිබඳව එජ ජනාධිපති දරන දේශපාලන ප්‍රතිෂ්ඨාපනය ඉවත් කර ගත යුතු අතර මේ රට ඉරාකයට එරෙහිව නැවතත් සටන් වැදිය යුතු බව පිලිගත යුතු යැ”යි එය කියා සිටියේ ය.

ඒ ආකාරයනේ ම වොෂින්ටන් පෝස්ට් කතුවැකිය මෙසේ ප්‍රකාශ කලේ ය: “ ඉස්ලාම්වාදී අන්තවාදීන් සිරියාව තුල ඔවුන්ගේ ශක්තිය ගොඩනගන අතර අවුරුදු තුනක් තිස්සේ එක්සත් ජනපදය පසෙකට වී බලා සිටියේ ය. හිටිඅඩියේ ඔවුන් ඉරාකයට ගලා ඒමත් සමග ජූනියේ දී වොෂින්ටනය පුදුමයට පත්වි ය...ඔවුහු ආඩම්බර ලෙස ඇමරිකාවට එරෙහි සිය වෛරය පල කරති. ප්‍රතිචාර වශයෙන් ඇමරිකාවට අවංක මූලෝපායක් අවශ්‍ය ය.”

ඔහුගේ “ලිහිල් ඇගැයුම” ආපසු හරවන්නේ කෙසේ දැ යි ඔබාමාට උපදෙස් දෙමින් රිපබ්ලිකානු මූලෝපායඥයෙකු වන එඩ් රොජරස් විසින් ලියන ලදුව එකී පත්තරයේ “පෝස්ට්පාටිසන්” නම් බ්ලොග් හි පලවුනු ගොරහැඩි ප්‍රවේශයක් සමගින් එම කතුවැකිය ඌනපූරනය කරන ලදී.

“ෆොලීගේ ඝාතනයට සම්බන්ධ අය මත විනාශය මුදාහරිනු. පලිගැනීම ගැන සාධාරන වීමට අවශ්‍ය නැත. එය වඩාත්ම, එක්සත් ජනපදයේ හතුරන් සඳහා තම ගබඩාවල ඇත්තේ මොනවා දැ යි ලෝකයට පෙන්වීම පිලිබඳ කාරනයකි... මෙම සිද්ධියේ දී ප්‍රචන්ඩ පලිගැනීම හොඳ ප්‍රතිපත්තියකි” යි රොජර්ස් සඳහන් කලේ ය.

මැද පෙරදිග නව එක්සත් ජනපද ආක්‍රමනකාරී යුද්ධයක් සඳහා වන මෙම ලුහුඬු සටහන් පදනම් වන්නේ, ෆොලීගේ ඝාතනයේ සැබෑ මූලයන් වසංකිරීමේ හාස්‍යජනක බොරු මත ය.

අයිසිස් නැගීමට කොන්දේසි නිර්මානය කලේ, එක්සත් ජනපදය සිරියාව තුල “මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම” හෝ “ පැත්තකට වී බලාසිටීම” මගින් නොව, එජ මැදිහත්වීම සඳහා වැරහැලිවී ඇති “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කඩතුරාව අතහැර දමමින් ඔබාමා පාලනාධිකාරය, පලමුව ලිබියාවේ දී ද ඊට පසු සිරියාවේ දී ද පාලන තන්ත්‍ර වෙනස් කිරීම සඳහා ආරම්භ කල යුද්ධවල දී, ඉස්ලාම්වාදීන් නායකත්වය දෙනු ලබන මිලීෂියා හමුදාවන් සන්නද්ධ කිරීම හා ඔවුන්ට සහාය දීම නිසා ය. ලිබියාවේ අනාගාමික රාජ්‍ය නායක මුවම්මර් ගඩාෆි ආසන්න වශයෙන් වසර තුනකට පෙර පෙරලා දමන ලද අතර අද රට පවතින්නේ බිඳ වැටෙන තත්වයක ය. එකිනෙකාට හතුරු මිලීෂියා හමුදා අතර ප්‍රචන්ඩතා රට පුරා පැතිර ඇත. එහි ආර්ථිකය අඩපන වී ඇති අතර මිලියනයකට වැඩි සංඛ්‍යාවකට සිය දිවි බේරාගැනීම සඳහා පලායමට බලකෙරී තිබේ.

තවත් අනාගාමික රාජ්‍ය නායකයකු වන සිරියාවේ බෂාර් අල්-අසාද් ඒ ආකාරයටම පෙරලා දැමීමට දරන උත්සාහයේ දී එක්සත් ජනපදය හා කලාපයේ එහි ප්‍රධාන සහචරයන් - තුර්කිය, සෞදි අරාබිය, කටාර් හා කුවේට් පාලකයන්- නිකායික සිවිල් යුද්ධයක් අවුලුවා ඇති අතර එය තුල 100,000ට වැඩි මිනිසුන්ගේ ජීවිතවල වියදමින් අසාද් තන්ත්‍රයේ ප්‍රමුඛ සන්නද්ධ විරුද්ධවාදීන් ලෙස අයිසිස් ඉස්මතු වී ඇත. බලෙන් අල්ලා ගෙන යුද්ධයට බඳවා ගත් අයගේ, රාජ්‍ය සේවකයින්ගේ, ආගමික සුළුතර සාමාජිකයින්ගේ හා තමන්ට හරස් වන ඕනෑ ම අයෙකුගේ හිසගසා දමමින් අයිසිස්, සිරියාව පුරා විනාශය කටිද්දී, ඔබාමා උපායශීලී නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගියේ ය.

දශක ගනනාවක සම්බාධක, 2003 එක්සත් ජනපද ආක්‍රමනයේ “කම්පනය හා විස්මයේ” යුද ප්‍රහාර, වොෂින්ටනයේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය මගින් නිකායික බෙදීම් අවුලුවන ලද අවුරුදු අටක වාඩිලාගැනීම මගින් සමස්ත සමාජ ව්‍යුහය ම සොලවා දැමුනු ඉරාකය තුලට දැන් මෙම අයිසිස් සංවිධානයම රිංගා ගෙන ඇත.

ෆොලිගේ ම්ලේච්ඡ ඝාතනය තවත් යුද අරමුනක් සඳහා ගසා කෑ හැකි බවට පාලක කවයන් තුල පවතින අපේක්ෂාව, ඔබාමා “ඉරාකයේ අර්බුදය සමග ගනුදෙනු බේරා ගත යුතු” යයි කියා සිටි හිටපු උප ජනාධිපති ඩික් චේනි රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රචාරයන්හි විද්‍යාමාන වීම තුල සිය උග්‍ර විකාර සහගත ප්‍රකාශනය අත්කර ගත්තේ ය. ෆොලිගේ ඝාතනය “බිහිසුනු සිද්ධියක්” බව පිලිගන්නා අතර චේනි තවත් 9/11ක් ගැන අනතුරු ඇඟවූයේ ය. “අප මෙම අර්බුදය සමග පොරබැදුවේ නැත්නම්, අවශේෂ ලෝකයට දැකගත හැක්කේ මිලියන වාරයකටත් වඩා විශාල එවැනි තවත් දෙයකි” ඔහු පැවසීය.

“ජන ඝාතක අවි” හා සදාම් හුසේන් හා අල් කයිඩා අතර නො පැවති සන්ධානයක් ගැන බොරු ඇමරිකානු ජනතාව මතට බලෙන් පැටවීමේ දී චේනි ඒ සා ප්‍රමුඛ කර්යභාරයක් ඉටු කල, තෙල් හා අධිරාජ්‍යවාදී උත්සුකයන් සඳහාවූ යුද්ධයක ප්‍රතිඵල වශයෙන් විනාශ කල ජීවිත සංඛ්‍යාව ගැන හොඳම තක්සේරුවක්, ෆොලීගේ ඝාතනය මිලියන වාරයකින් විශාල කිරීම තුලින් යමෙකුට ලබාගත හැකිය. දැන් යුද්ධයේ ප්‍රතිඵල සරල ලෙස දැකගත හැකිය. ගඩාෆි හා අසාද් මෙන්ම අල් කයිඩාවේ අනාගමික විරුද්ධවාදියෙකු වූ හුසේන් බලයෙන් පහකිරීම, රටේ හතරෙන් එකක් තරම් විශාල ප්‍රදේශයක අල් කයිඩාවට අඬු විහිදාගැනීම සඳහා අනියම් ආකාරයකින් වාසිදායක කොන්දේසි නිර්මානය කර ඇත.

තවත් එක්සත් ජනපද යුද්ධයක් කෙසේ හෝ සාමය හා ආරක්ෂාව සහතික කරනු ඇතැයි ප්‍රකාශ කරමින් මහජන මතය විසකුරු ලෙස දූෂනය කිරීමට ඉඩ නොතැබීම සඳහා චේනි සිටිය යුත්තේ යුද අපරාධකරුවෙකු ලෙස සිරගෙයකය.

අවසානයේ දී ජේම්ස් ෆොලීගේ ඝාතනයට දෝෂාරෝපනය කල යුත්තේ කාට ද? පිහියක් අතැති ඉස්ලාමීය මිනීමරුවා පිටුපස ඇත්තේ දශකයකට වැඩි කාලයක් බුෂ් හා ඔබාමා පාලනාධිකාරය යටතේ ගෙන ගිය එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම්ය. එය සමස්ත සමාජයන්ම සොලවා දමා ඇති අතර මෙවැනි කන්ඩායම් කොල්ලකාරී අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ කුලීකාරයන් ලෙස ඔසවා තබා ඇත.

මිලියන වාරයකින් වැඩිකර දක්වන මෙම විනාසය පිලිබඳ චේනිගේ අනතුරු ඇගවීම් තුල සිතා නොබැලූ සත්‍යයේ අංශුවක් ද නැත්තේ නොවේ. විග්‍රහයේ දී පාලක පන්තිය ෆොලීගේ මරනය වටා ඇවිස්සීමට උත්සාහ කරන යුද උත්සන්නිය ධාවනය කරන්නේ අර්බුද-ග්‍රස්ත ධනවාදයේ නොවිසඳිය හැකි ප්‍රතිඝතිතා මගිනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ආර්ථික පරිහානිය ජය ගැනීමට උත්සාහ කරන්නේ, මැද පෙරදිග පමනක් නො ව නැගෙනහිර යුරෝපයේ, ආසියා ශාන්තිකර කලාපයේ හා ලෝකය පුරා මිලිටරි මාධ්‍යය හරඹ කිරීමෙනි. කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් මගින් නතර නො කල හොත් අධිරාජ්‍යවාදය නැවත වතාවක් මනුෂ්‍යවර්ගයා ගෝලීය රුධිරස්නානයකට ඇදගෙන යනවා ඇත.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: