රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි

China challenges US economic war against Russia

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2014 දෙසැම්බර් 23

රුසියාවේ රූබල් මුදලට වල කපා එරට ආර්ථිකය බංකොලොත් කිරීමේ අර්ථයෙන්, රුසියාවේ නය ගැනීම් කපා හැරීමේ නේටෝ බලවතුන්ගේ පිලිවෙතට සෘජුවම අභියෝග කර චීනය, මොස්කෝවට මූල්‍ය ආධාර සැපයීමට පිලින දෙයි.

මේ වසර තුල ඩොලරයට සාපේක්ෂව සියයට 45න් තියුනු ලෙස අගය පහත වැටුනු රූබල් අර්බුදය ගැන අදහස් දක්වමින් චීන විදේශ ඇමති වැන්ග් යී 20දා, චීනය හා රුසියාව අතර අන්‍යොන්‍ය ආධාර සැපයීමේ අවශ්‍යතාවය අවධාරනය කලේය. “ආර්ථික තත්වයේ පවත්නා දුෂ්කරතා ජයගැනීමට අවශ්‍ය ඥානය හා හැකියාව රුසියාව සතුව ඇත. රුසියානු පාර්ශවයට එවැන්නක් අවශ්‍ය නම් අපගේ ශක්ති ප්‍රමානයෙන් අවශ්‍ය ආධාර සැපයීමට කටයුතු කරනු ඇත.” ඔහු එසේ පැවසීය.

චීන වෙලඳ ඇමති ගාඕ හචෙන් 20දා හොංකොංහි ෆීනික්ස් රූපවාහිනියට පැවසුවේ, බීජිනය, මොස්කෝව සමග බලශක්ති නිෂ්පාදන සම්බන්ධකම් ශක්තිමත් කරන බවත්, රූබල් අර්බුදය නොතකා මේ වසර තුල චීන-රුසියානු වෙලඳ ගනුදෙනු සලසුම් කර තිබෙන පරිදි ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බවත්ය. ඩොලරය හා යුරෝවට සාපේක්ෂව රූබලයේ අගය තියුනු ලෙස උච්ඡාවචනය වෙද්දී ගාඕ යෝජනා කලේ, දෙරට අතර වෙලඳාමේදී ඩොලරයෙන් ඉවත්වී යුආන් හෝ රෙන්මිම්බි යන චීන මුදල ඒ වෙනුවට යොදාගත යුතු බවය.

“ආර්ථිකයන් දෙක එකිනෙකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන මූලික සාධක වෙත චීනය අවධානය යොමුකර තිබෙන” බව ගාඕ පැවසූහයි රොයිටර් වාර්තා කලේය. “ප්‍රාග්ධන ආයෝජකයින් කැලඹිලිකාරී කොටස් හා විදේශ විනිමය හුවමාරු වෙලඳපොලවල් කෙරෙහි වඩාත් උනන්දු වනු ඇත. එහෙත් දෙරට අතර සංයුක්ත සහයෝගිතාව පිලිබඳ අර්ථයෙන් ගත් කල අපට ඇත්තේ, තුලනාත්මක මානසිකත්වයක් හා එම සබැඳියාවන් පෙරට ගෙන යාමේ අවශ්‍යතාවක්” යයි, ගාඕ පැවසීය.

22දා චයිනා ඩේලි පුවත්පත සමාජ විද්‍යාව පිලිබඳ චීන ඇකඩමියේ ලී ජියැන්මින් උපුටා දක්වමින් වාර්තා කලේ, රුසියාවට සපයන ආධාර ෂැන්හයි කෝපරේෂන් (එස්සීඕ) නැත්නම් බ්‍රික්ස් සංසදය හරහා සැපයිය හැකි බවයි. චීනය, රුසියාව හා මධ්‍යම ආසියානු රටවල් සම්බන්ධ එස්සීඕ මෙන්ම බ්‍රසීලය, රුසියාව, චීනය, දකුනු අප්‍රිකාව හා ඉන්දියාව ඇතුලත් බ්‍රික්ස් සංවිධානය ද එක්සත් ජනපදය හා යුරෝපය බැහැර කොට තිබිම කැපී පෙනෙයි.

පසුගිය මාසයේදී ලී කේකුආන් හා ඩිමිත්‍රි මෙඩ්විඩෙව් යන චීන හා රුසියානු අගමැතිවරුන් කසාක්ස්ථානයේදී හමුවුනු විට, චීනයේ උතුරු සීමාවට යාබද රුසියාවේ ඈත පෙරදිග කලාපයේ සංවර්ධන කටයුතු හා යටිතල ව්‍යුහය, දුම්රිය මාර්ග ඉදිකිරීම පිලිබඳ පුලුල් ගිවිසුම් වලට අත්සන් තැබූ බව ලී කියා සිටියේය. “මේසය මත තිබුනු කරුනු අතර නය, ප්‍රධාන ව්‍යාපෘතීන්හි සම්බන්ධකම් මෙන්ම රුසියාවේ දේශීය යටිතල ව්‍යුහය සම්බන්ධ කාරනා පිලිබඳ සහභාගිත්වය ද විය.” එවන් එක් ගිවිසුමක් නම්, “රුසියානු ගෑස් මිලට ගැනීම සඳහා පසුගිය මාසයේදී චීනය අත්සන් තැබූ ඩොලර් බිලියන 400ක් වටිනා 30 අවුරුදු ගිවිසුමයි.”

යුරේසියාව ප්‍රතිව්‍යුහගත කිරීමේ එක්සත් ජනපද-යුරෝපියානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට විරුද්ධ වීමට දඬුවම් පැමිනවීම සඳහා ඔවුන් දියත් කර තිබෙන ආර්ථික යුද්ධයට, මෙම ආධාර පිරිනැමීම හරස්ව පිහිටනු ඇත.

කියෙව්හි යුක්‍රේනියානු තන්ත්‍රයට නේටෝව පිටුබලය දීම කෙරෙහි හා සිරියාව තුල නේටෝව ගෙනයන කුලීකාර යුද්ධයට එරෙහිව ජනාධිපති බෂීර් අල් අසාද්ට රුසියාව සහාය දීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස නේටෝ බලවත්තු, මූල්‍යමය වශයෙන් රුසියාවේ ගෙල සිරකිරීමට උත්සාහ දරති. ලෝක තෙල් මිල පහත වැටීමට අනුකූලව රුසියාවේ තෙල් ආදායම අඩුවීමත් රූබලය බිඳ වැටීමත් හමුවේ ඔවුහු, රුසියාව කියෙව් තන්ත්‍රයට හිස නැමිය යුතු බවට බල කරමින් රුසියාවේ නය සැපයුම කපා හැරීමට පියවර ගත්හ. (අධිරාජ්‍යවාදය හා රූබල් මුදලේ අර්බුදය යන ලිපිය ද කියවන්න)

මෙම මූලෝපායේ මූල්‍ය යාන්ත්‍රනය ගැන, ජාත්‍යන්තර අර්ථශාස්ත්‍රය පිලිබඳ පීටර්සන් ආයතනයේ ඇන්ඩර්ස් ඇස්ලුන්ඩ් විසින් ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ලියා තිබුනි. “රුසියාවට සැලකිය යුතු තරමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලැබී නැත. චීනයේ රාජ්‍ය බැංකුවලින් පවා ලැබී නැත. මක්නිසා ද යත් සෑම කෙනෙක්ම එක්සත් ජනපද මූල්‍ය නියාමකයන්ට බිය වන නිසාය. දල වශයෙන් ඩොලර් බිලියන 200ක ද්‍රවශීල මූල්‍ය සංචිත ද මේ වසර තුල බිලියන 125ක ශුද්ධ ප්‍රාග්ධන ඉවත ගැලීම් ද බිලියන 600ක විදේශීය නය ද සහිත රුසියාව, යන්තම් දෙවසරක් තරම් කෙටි කාලයක් තුලදී දන ගැස්විය හැකිය.”ඇස්ලුන්ඩ් සිය ගනන් බැලීම් වලට අනුව එසේ පවසයි.

කෙසේ වෙතත් දැන් බීජිනය, එක්සත් ජනපදය සමඟ ගැටුමක අවදානම ගනිමින් රුසියාවට ජීවන හුස්ම පිඹීමට ප්‍රසිද්ධියේම සූදානම් වන බව පෙනෙන්නට තිබේ. අඩුම තරමින් කඩදාසි මත වුවත් චීනය ඩොලර් ට්‍රිලියන 3.89ක් වන දැනට ලෝකයේ ඇති විශාලතම විදේශ මුදල් සංචිත හිමිකරගෙන සිටින අතර පහසුවෙන්ම රුසියාවේ නය ගෙවාදැමීමේ හැකියාව ද චීනයට ඇත.

පසුගිය සතියේ රුසියාව සම්බන්ධයෙන් පැවති යුරෝපීය සංගමයේ භේද භින්නවූ සමුලුවෙන් දිනකට පසුව වැන්ග් හා ගාඕගේ කැඳවුම නිකුත්වීම කැපී පෙනෙයි. රුසියාවට එරෙහි සම්බාධක වලට යුරෝපීය සංගමයේ සහාය දක්වන නමුත් ජර්මානු විදේශ ඇමති වෝල්ටර් ස්ටේන්මියර්, ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලන්දේ හා ඉතාලියානු අගමැති මැටියෝ රෙන්සි තවත් සම්බාධක පැනවීමට ප්‍රසිද්ධියේම විරෝධය පලකොට තිබුනි.

ප්‍රමුඛ යුරෝපීය පුවත්පත් ද රුසියානු රාජ්‍යයේ බිඳවැටීම පිලිබඳව අනතුරු අඟවා තිබුනි.

රූබල් අර්බුදයට ප්‍රතිචාර වශයෙන් චීන තන්ත්‍රය ඊට බර තබන විට, මන්දගාමී වන ආර්ථිකයකට ද කම්කරුවන්ගේ හා ගොවි ජනතාවගේ සමාජ විරෝධතා වර්ධනය වීමට ද මුහුනපා සිටියදී තම උතුරු අසල්වැසියා එක එල්ලේ ආර්ථික හා දේශපාලන පිපිරීමකට මුහුනපෑමේ අනිටු විපාක පිලිබඳව චීනය නිසැකවම බියට පත්ව සිටී.

තෙල් අර්බුදය මුල්කරගෙන ප්‍රධාන බලවතුන් අතර ආර්ථික ගැටුම් මතුව ඒම ද යුරේසියාවේ අධිරාජ්‍යවාදී යුද වියරුව ද ලෝක ධනවාදී අර්බුදයේ ඉහල අදියරක් ද ලෝක යුද්ධයේ නැඟී එන තර්ජනය ද සලකුනු කරයි.

සැබවින්ම රුසියාවට චීන ආධාර ලැබුන හොත් චීනය සමඟ එක්සත් ජනපද ගැටුම තවත් උග්‍ර වනු ඇත. ඕස්ට්‍රේලියාව, ජපානය හා ඉන්දියාව සමඟ සන්ධානගත වෙමින් වොෂින්ටනය, මිලිටරිමය වශයෙන් චීනය වැටලීමට උත්සාහ කරයි. චීනය සමඟ යුද්ධය සඳහා ආර්ථික හා මිලිටරි සැලසුම් නිසැකවම වෝල් වීදියේ හා පෙන්ටගනයේ සැලකීමට ලක්වෙමින් තිබේ.

වසරකට පෙරාතුව “චීනය කයිසර්ගේ වැරදි යලිත් නොකල යුතුයි” යන ශීර්ෂය සහිතව මාටින් වුල්ෆ් යන තීරු රචකයා ෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියක් පල කරමින් චීනයට අනතුරු ඇඟවූයේ, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට අභියෝගයක් වන කිසිවක් නොකල යුතු බවටයි. ඔහු ඇඟවුම් කලේ, චීනයේ පිලිවෙත 1914 පලමු ලෝක යුද්ධය හටගැනීමට පෙරාතුව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට ජර්මනියේ කයිසර් කල අභියෝගයට සමානකම් දරන බවයි. එය තුඩුදෙනු ඇත්තේ සමාන ප්‍රතිපලයකටය: එනම් පූර්න ගැටුමකි.

“විවෘත ගැටුමක් සිදුවුවහොත් එක්සත් ජනපදයට ලෝකය සමඟ කරන චීන වෙලඳාම කපා හැරිය හැකිය. එක්සත් ජනපදයට චීනයේ ද්‍රවශීල විදේශ වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ද අත්පත්කර ගත හැකිය.” වුල්ෆ් එසේ ලියන ලද්දේ, “චීනයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40ක් යයි ගනන් බලන ලද විදේශ වත්කම්, විදේශයන්හි ආයෝජනය කර තිබීම නිසාය.” චීනය යුරෝපය හා එක්සත් ජනපදය සමඟ කරන ලද වෙලඳාමෙන් උපයාගත් ඩොලර් ට්‍රිලියන ගනනක් එසේ එලිපිටම කොල්ලකෑම, ගෝලීය වෙලඳාමේ බිඳවැටීමක කොන්දේසි නිර්මානය කරන අතර න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක තර්ජනය ද මතු කරයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පෙර නොවූ විරූ අදූරදර්ශී පිලිවෙත්, තරමට වැඩි ආක්‍රමනික මැදිහත්වීමක් වනු ඇති අතර, රටතුල එය අපකීර්තියට පත් කෙරෙනවාක් මෙන්ම ප්‍රතිවාදී රාජ්‍යයන්ගේ විරුද්ධත්වය ද උග්‍ර කරනු ඇත. චීනය හා රුසියාව එකට ගෙන දැක්කීමේදී විශේෂයෙන්ම වොෂින්ටනය, දිගු කාලයක් තිස්සේ දැකගෙන ඇති ආකාරයට, එක්සත් ජනපද රාජ්‍ය මෙවලම 1972 අත්කරගෙන තිබුන ප්‍රමුඛ ජයග්‍රහනයක් ලිහා දමයි: පැරනි සෝවියට් සංඟමයට විරුද්ධව චීනය එක්සත් ජනපද සහචරයෙක් බවට පත් කල, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් හා චීන නායක මවෝ සේතුං අතර ඇතිකරගත් මිත්‍ර සන්ථවයයි.

“බොහෝ චීන ජාතිකයින් තවමත් දකින්නේ රුසියාව වැඩිමහල් සොහොයුරා ලෙසය. දෙරට එකිනෙකාට මූලෝපායිකව වැදගත් වන්නේය.” 1949 ස්ටැලින්වාදී චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) බලයට පත්වීමෙන් කෙටි කලකට පසුව එක්සත් ජනපදය සමඟ කොරියානු අර්ධද්වීපයේ යුද්ධයකට චීනය පැටලුනු අවස්ථාවේ එරටට සෝවියට් පිටුබලය ලැබුනු අවස්ථාව ගැන සඳහන් කරමින් රෙන්මින් විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ජින් කැන්රොන් එසේ සඳහන් කලේය. “ජාතික අවශ්‍යතාවන්ගේ නාමයෙන් චීනය, එවන් සහයෝගිතාවක් අවශ්‍ය වන වේලාවේ රුසියාව සමඟ සහයෝගිතාව ගැඹුරු කල යුතුය.”

ඊයේ කතුවැකියක් ලියමින් සීසීපීයට සම්බන්ධකම් ඇති ග්ලෝබල් ටයිම්ස් පුවත්පත ලියා ඇත්තේ, “ජාත්‍යන්තර කරලියේදී රුසියාව පිරිමැහිය නොහැකි හවුල්කරුවෙකි” යනුවෙනි. “වත්මන් අර්බුදයෙන් ගොඩ ඒ ගැනීමට රුසියාවට උදව් කිරීමේදී චීනය, පසුනොබසින ආකල්පයක් ගත යුතුය.”

Share this article: