ලෝක ධනවාදයේ ස්වභාවය: ශ්‍රම ඵලදායිතාව ඉහලට, මූර්ත වැටුප් පහලට

The state of world capitalism: Labor productivity up, real wages down

2014 දෙසැම්බර් 06

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) සිකුරාදා නිකුත් කල 2014/15 ගෝලීය වැටුප් වාර්තාව, නිෂ්පාදන ඵලදායිතාව දිගට ම ඉහල යද්දී පවා ‍දියුනු කාර්මික රටවල් බොහෝමයක කම්කරුවන්ගේ වැටුප් එකතැන පල්වෙන බව සඳහන් කර යි. මෙහි ප්‍රතිඵලය වන්නේ ධනේශ්වර පන්තිය එකතු කර ගන්නා ආදායමේ පංගුව හැමදා ඉහල යන අතර තමන් නිෂ්පාදනය කරන දෙයින් කම්කරුවන් ලබන ‍පංගුව නොකඩවා හැකිලෙමින් තිබීම යි.

“පසු ගිය වසර දෙක තුල කාන්ඩයක් වශයෙන් දියුනු ආර්ථිකයන්හි වැටුප් වර්ධනය බිංදුවටම ආසන්නව පහත වැටී ඇත. සමහර රටවල වැටුප් පහත වැටී තිබේ.” ප්‍රතිපත්ති පිලබඳ අයිඑල්ඕ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැන්ඩ්‍රා පොලස්කි පැවසුවා ය. “මෙය සමස්ත ආර්ථික කාර්ය සාධනය මත බර පටවා ඇති අතර එම තත්වය, අර්ථිකයන් බොහොමයක අක්‍රීය කුටුම්බ ඉල්ලීමට මඟ පාදමින් යුරෝ කලාපය තුල අවපාතයේ අවදානම වැඩි කර ඇත.” ඇය පැවසුවා ය.

ලෝක දේශපාලනය කෙරෙහි ඉමහත් ගම්‍යයන් සහිත වාර්තාවේ සඳහන් ප්‍රධාන කාරනා කීපයක් පහත දැක්වේ:

• 2013දී වැටුප් අනුපාත ඉහල ගියේ යන්තම් සියයට 2.0කින් වන අතර එය 2012 පැවති සියයට 2.2ට වඩා පහල මෙන් ම 2008 මූල්‍ය අර්බුදයට පෙර පැවති සියයට 3ට වඩා බෝහෝ පහල ය.

• චීනය ඉවත් කලහොත් 2013 වැටුප් වර්ධනය අඩකින් කැපී යයි. අනෙකුත් සියළු රටවලට සියයට 1.1ක් වන අතර චීනය ඇතුළු කල විට එය සියයට 2.0කි.

• ලතින් ඇමරිකාවේ හා කැරීබියන් රටවල මූර්ත වැටුප් වර්ධනය 2012දී සියයට 2.3 සිට 2013දී සියයට 1ටත් අඩු තැනකට පහල වැටුනි.

• ඉතාලිය හා එක්සත් රාජධානිය “පෙර නො වූ විරූ මූර්ත වැටුප් පහත වැටීමකට” මුහුන දුන්නේය. විශේෂයෙන් ම, “පහත් වැටුප් කොමිසමට (Low Pay Commission ) අනුව 1964දී එහි වාර්තා තැබීම ආරම්භ කල තැන් පටන් කවර කලකටත් වඩා බ්‍රිතාන්‍යයේ වැටුප් පහත වැටී ඇත.”

• ග්‍රීසිය,අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ස්පාඤ්ඤය හා එක්සත් රාජධානිය ඇතුළු සංවර්ධිත රටවල් බොහොමයක 2013දී සාමාන්‍ය මූර්ත වැටුප් 2007 මට්ටමට වඩා පහල ය.

වැඩිම ආදායම් අසමානතාව සහිත දියුනු රටවල් දෙකේ, එනම් ස්පාඤ්ඤයේ හා එක්සත් ජනපදයේ අසමානතාව ගැඹුරු වීමට රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදු හේතු වී ඇත.

සමහර විට වාර්තාවේ විනාසකාරීම කරුන මෙය විය හැක: “සමස්තයක් ලෙස, 1999 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුල දියුනු රටවල් කන්ඩායමේ මූර්ත වැටුප් වර්ධනය ශ්‍රම ඵලදායිත්වයේ වර්ධනයට පසු පස ගෑටී ය.” මෙහි අර්ථය වන්නේ වසර 14ක මෙම කාල පරිච්ඡේදය තුල කම්කරු පන්තියට හිමිවන ජාතික ආදායමේ පංගුව වැටුන අතර ජනගහනයේ පුංචි සුළුතරයක් වන ධනපතීන්ට හිමි පංගුව වේගයෙන් වැඩිවුන බව යි.

මෙම සංඛ්‍යා ගොනු කරන්නේ ධනවාදයේ අසාර්ථකත්වය හා සමාජවාදයේ අවශ්‍යතාව විදහා පෑමට උත්සාහ ගන්නා විප්ලවවාදී මාක්ස්වාදීන් විසින් නො ව, ධනවාදයේ ආරක්ෂකයින්, එනම් රජයේ නිලධාරීන්, සංගත විධායකයින් හා වෘත්තීය සමිති නිලධරයන් විසිනි.

කෙසේ නමුත්, ප්‍රවේශමෙන් වචන ගලපන ලද අනතුරු ඇඟවීම් එහි පවතී. විශේෂයෙන් ම යුරෝපය අනුගමනය කරන ප්‍රතිපත්ති තුල නිශ්චිත අන්තරායන් අයිඑල්ඕ වාර්තාව සඳහන් කර යි. “කිට්ටු ආර්ථික බැඳීම් හෝ විශාල භූගෝලීය ප්‍රදේශයක් සහිත බොහෝ රටවල් (යුරෝපීය සංගමය වැනි) එක වරම ‘වැටුප් සංශෝධනය’ හඹා ගිය හොත් ප්‍රතිඵලය වනු ඇත්තේ, සාමාන්‍ය ඉල්ලුමේ ඌනතාවකි.” වෙනත් වචනවලින් කිවහොත්, වැටුප් කප්පාදුව ඌන පරිභෝජනයට තුඩුදෙමින් භාන්ඩ මිල දී ගන්නන් අතලොස්සක් බවට පත්වීමයි.

තවද, “බොහෝ රටවල ශ්‍රම වෙලඳපොල තවමත් ව්‍යාකූල තත්වයක පවතින අතර ගෝලීය රැකියා හිඟය, 2008 ගෝලීය මූල්‍ය හා ආර්ථික බිඳ වැටීම ආරම්භ වීමට පෙර තිබුනාට වඩා අද නරකිනුත් නරක ය. ඇස්තමේන්තු ගත රැකියා විරහිතයින් මිලියන 199.5ක් අන්තර්ග්‍රහනය කර ගැනීම හා ඉදිරි දශකයේ දී ශ්‍රම වෙලඳපොලට අළුතින් පිවිසෙන්නන් මිලියන 395.7ක් ඒකාබද්ධ කර ගැනීම දැවන්ත අභියෝගයකි.”

මෙම සංඛ්‍යා සලකා බලන්න: ලෝකය පුරා ආසන්න වශයෙන් කම්කරුවන් මිලියන 200ක් රැකියා නොමැතිව සිටින අතර එලඹෙන දශකයේ දී රැකියා සොයමින් තවත් මිලියන 400ක් රැකියා වෙලඳපොලට අවතීර්න වනු ඇත. ලෝක පරිමාන ආර්ථික පල්වීමේ කොන්දේසි යටතේ ධනවාදය මිලියන 600ක් නව රැකියා නිර්මානය කරන්නේ කෙසේ ද? කුමන තත්වයක වැටුප් ගෙවනු ඇත් ද? සේවා කොන්දේසි කුමක් විය හැකි ද? සූරාකෑමේ මට්ටම කුමක් විය හැකි ද? මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීමම අවධාරනය කරන්නේ ලාභ පද්ධතිය දැන් මුහුන දෙන අර්බුදයේ විප්ලවවාදී පරිමානයයි.

අයිඑල්ඕ වාර්තාවේ කතුවරුන්ගේ උත්සුකයන් මොනවා වුවත්, ඔවුන්ට යෝජනා කිරීමට බැරෑරුම් කිසිවක් ඇත්තේ නැත. එය එසේ වන්නේ ලෝකය පුරා වැටුප් මට්ටම් වලට එල්ල කරන කුරිරු ප්‍රහාරය ඉදිරියට යන්නේ ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර වෙලඳපොල හා ඔවුන් නියෝජනය කරන පාලක පන්තියේ උත්සුකයන් නිසා ය.

දෙආකාරයකින් පමනක් අවසන් විය හැකි අර්බුදයකට තම පද්ධතිය අවතීර්න වී ඇති බව මැනවින් වටහා ගන්නා පිරිසක් ධනේශ්වර පාලක ප්‍රභුවේ ඉහල ම ස්ථරයන් අතර සිටිති: එක්කෝ කම්කරු පන්තිය විසින් ධනේශ්වරය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම හා ප්‍රකෝටිපතියන් හා සංගත ප්‍රධානීන්ගේ කුඩා සුළුතරය අස්වාමික කිරීම; නැතහොත් විසිවැනි සියවස තුල අධිරාජ්‍යවාදය සිදුකල අපරාධ පරයා යන මට්ටමේ ප්‍රතිවිප්ලවවාදී රුධිරස්නානනය යි. ඊට අනුකූලව යමින් ලෝක පාලක පන්තීන් ආයුධ කඳු ගැසීම, පොලිස් හමුදා ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ඔවුන් එල්ල කරන ප්‍රහාර උත්සන්න කිරීම හා සමස්ත ලෝක ජනතාව ගැන ම ඔත්තු බැලීම ක්‍රියාත්මක කරයි.

කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යය වන්නේ, සිය පන්ති අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි දැක්මක් හා සම්මුති විරහිත අරගලයකට සූදානම් වීමයි. එහිදී කම්කරු පන්තියට ඓතිහාසිකව තීරනාත්මක හිතකර තත්වයක් පවතී. කම්කරු පන්තිය නැගී එන, ප්‍රගතිශීලී පන්තිය වන අතර මානව වර්ගයාගේ අතිවිශාල බහුතරය ඊට අයත්වේ. එමෙන් ම විද්‍යාවේ, තාක්ෂනයේ හා සංස්කෘතියේ සියළුම ජයග්‍රහන ඇතුළුව මානව ශිෂ්ටාචාරයේ වටිනා දේවල් වල බාරකරුවා එම පන්තියයි.

පැට්‍රික් මාටින්

Share this article: