අධිරාජ්‍යවාදය හා රූබල් මුදලේ අර්බුදය

Imperialism and the ruble crisis

2014 දෙසැම්බර් 18

මේ සතියේ සිදුවූ රුසියානු රූබලයේ බිඳ වැටීම වනාහි, යුරේසියාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ නව යටත් විජිත පිලිවෙතට දන නැමීම සඳහා රුසියාවට බලකෙරෙන පරිදි, ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ක‍්‍රියාත්මක කල පිලිවෙත්වල කුරිරු ප‍්‍රතිපලය විය. යුකේ‍්‍රනය හා සිරියාව වැනි රටවල පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා වන තම සැලසුම් තුලට මැදිහත්වූ පුටින් තන්ත‍්‍රයට දඬුවම් කිරීමේ අරමුනෙන් නේටෝ බලවතුන්, මූල්‍යමය වශයෙන් රුසියාවේ ගෙල සිරකර තිබේ.

පසුගිය පෙබරවාරියේදී කියෙව්හි සිදුවූ කුමන්ත‍්‍රනයට රුසියාව දක්වන විරුද්ධත්වය කෙරෙහි ප‍්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක, ආර්ථික යුද්ධයකට සමානකම් දරයි. පසුගිය සිව් මස පුරා රුසියානු මුදල වන රූබලයේ වටිනාකම සියයට 50කටත් වැඩියෙන් කඩා වැටුනි. එක් දිනක් තුල ඩොලරයට සාපේක්ෂව රූබලය සියයට 10න් පහත වැටුනු පසුගිය 16දා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, රුසියාවට වඩාත් කුරිරු සම්බාධක පැනවීම හා යුකේ‍්‍රනයේ නේටෝ ගැති අන්ත දක්ෂිනාංශික තන්ත‍්‍රය සෘජුවම සන්නද්ධ කිරීමට වොෂින්ටනයට ඉඩ සැලසෙන පරිදි ඉදිරිපත්ව ඇති පනතට සිය අත්සන යොදන බව ඇඟවුම් කලේය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ලුතිනන් ජෙනරාල් මිසින්ස්ටෙව් “රුසියානු දේශසීමාවේ සැලකිය යුතු තරම් නේටෝ මිලිටරි කටයුතු ඉහල නැංවීම පිලිබඳව කනස්සල්ල” පලකල විට පෙන්ටගන් නිලධාරීන් පිලිතුරු දුන්නේ, රුසියාව වටා තම “ගුවන්, ගොඩබිම් හා මුහුදු මෙහෙයුම්” තවදුරටත් වර්ධනය කරන බවටය.

නැගෙනහිර යුකේ‍්‍රනයේ බෙදුම්වාදීන්ට දෙන සහාය නතර කර, කියෙව් තන්ත‍්‍රයට මොස්කෝව හිස නමන තෙක් රුසියාවේ මූල්‍ය අර්බුදය නොවිසඳෙනු ඇති බවට අනතුරු අඟවමින් ප‍්‍රධාන පුවත්පත් ගනනාවක්ම 17දා සිය කතුවැකි පලකොට තිබුනි. ලන්ඩනයේ පලවන ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය මෙසේ ලියා තිබුනි. “මුදල අවප‍්‍රමානය වීමේ ගැඹුර පෙන්නුම් කරන්නේ, පුටින් මහතා තවදුරටත් රුසියාවේ ආර්ථික අවශ්‍යතා පෙරටුකරගෙන සිය පාලනය ගෙන නොයන බව හා ඒ වෙනුවට භූ දේශපාලනික හිතලුවක් පිටුපස ගමන් කරන බවට වැඩෙන අවබෝධයක් පවතින බවය. යුකේ‍්‍රන අර්බුදය යලි පතුරුවා හැරීම රුසියානු ආර්ථිකය මත යෙදෙන ජාත්‍යන්තර බලපෑම් අඩු කරනු ඇතැයි යන විශ්වාසයේ අංශුවකට හෝ නේටෝව ඉඩ නොතැබිය යුතුය. දැනට පවා බලාපොරොත්තු වන්නේ, පුටින් මහතා සිය ආස්ථානය වෙනස් කරනු ඇති බවය.”

“පුටින් මහතාට ඉතුරුව ඇති එකම දෙය වන්නේ, යුකේ‍්‍රනයෙන් ඉවත්වීමය. එමගින් සම්බාධක වලින් ක්ෂනික සහනයක් ද වත්මන් අර්බුදය ලිහිල් කිරීමක් ද රටේ ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට නිලධාරීන්ට අවකාශයක් ද සලසනු ඇත. ප‍්‍රශ්නය වන්නේ, මෙම අදූරදර්ශී නායකයා සිය පිලිවෙත වෙනස් කිරීමට තරම් නිහතමානී ද යන්නයි.” එසේ ලියා ඇත්තේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතයි.

රුසියාව එක්සත් ජනපද-නේටෝ අන පිලිපදින්නේ නම් සරලවම සිදුවනු ඇත්තේ එම යටත්වීම යොදාගනිමින් තව තවත් කොන්දේසි ඉදිරිපත්වීම හා අවසාන ප‍්‍රතිපලය වශයෙන් රට කැබලිවී යාමයි.

1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ හා පසුව සිදුවූ ධනපති පුනස්ථාපනයේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ඕනෑවටත් වඩා පැහැදිලිය. රුසියාවේ විශාලත්වය ද එහි මිලිටරියේ හා තෙල් සම්පත්වල ප‍්‍රමානය ද තිබියදීම, එරට අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට හරස් කැපුවොත්, තලා දැමීමට ලක්වන මූල්‍ය ප‍්‍රාග්ධනයේ උපාංගයක් ලෙස, අර්ධ යටත් විජිත තත්වයක් පිලිගැනීමට එරටට බලකෙරී ඇත.

බැංකුකරුවෝ රුසියාවේ ගෙල වටා මූල්‍ය තොන්ඩුව තදකරමින් සිටිති. ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිලිබඳ පීටර්සන්ආයතනයේ ඇන්ඩර්ස් අස්ලූන්ඩ් මෙසේ ලියා තිබුනි. රුසියාවට එරෙහි වොෂින්ටනයේ සම්බාධක ක‍්‍රියාත්මකවූ තැන් පටන් “රුසියාවට සැලකිය යුතු තරමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලැබී නැත. චීනයේ රාජ්‍ය බැංකුවලින් පවා ලැබී නැත. මක්නිසා ද යත් සෑම කෙනෙක්ම එක්සත් ජනපද මූල්‍ය නියාමකයන්ට බිය වන නිසාය.”

වෝල් වීදියේ මූල්‍ය පරපුට්ටන් හා ඔවුන්ගේ යුරෝපීය සහචරයින් විසින් ජාත්‍යන්තර මුල්‍ය වෙලඳපොලෙන් කැපී ගිය රුසියාවේ, ගෙල සිරකරමින් සිටියි. දල වශයෙන් ඩොලර් බිලියන 200ක ද්‍රවශීල මූල්‍ය සංචිත ද මේ වසර තුල බිලියන 125ක ශුද්ධ ප‍්‍රාග්ධන ඉවත ගැලීම් ද බිලියන 600ක විදේශීය නය ද සහිත රුසියාව, ඇස්ලූන්ඩ්ගේ ගනන් බැලීම් වලට අනුව, යන්තම් දෙවසරක් තරම් කෙටි කාලයක් තුලදී දන ගැස්විය හැකිය.

තෙල් මිල වැටීමට යටින් පවතින ගෝලීය ආර්ථික සාධක ගොන්නක් පවතින නමුදු, එහි දැවැන්ත කඩාවැටීම තුල ඔපෙක් සංවිධානය හා රියාද්හි සව්දි රජු සමග පවත්වන වොෂින්ටනයේ සහයෝගිතාව, නිෂ්පාදනය නංවා ලෝක තෙල් වෙලඳපොලවල අධි ධාරිතාවක් නිර්මානය කිරීමේදී මූලික ක‍්‍රියාකලාපයක් ඉටුකල බව නිසැකය.

යුකේ‍්‍රනයේ අර්බුදය හටගැනීමෙන් පසුව පසුගිය මාර්තුවේදී ඔබාමා සව්දිය වෙත ගමන් ගනිද්දී ගාඩියන් පුවත්පත මෙසේ ලිවීය. “1979දී සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමනය කල විට කෝපයට පත්වූ සව්දිවරු 1980 ගනන් මැද හරියේදී ගෝලීය අමු තෙල් බැරලයක් ඩොලර් 20 දක්වා පහත වැටෙන තෙක් තෙල් කරාම ඇර තැබූහ. අද දවසේ ද සව්දිවරු එවන් වැඩකට සූදානම් වනවා විය හැකිය. ඔවුන් සිරියාවේ අසාද් තන්ත‍්‍රයට දක්වන පුටින්ගේ සහාය හේතුකොටගෙන ඔහුට දඬුවම් පැමිනවීමට බලනවා විය හැකිය. වොෂින්ටනය මේ අදහස රියාද් වෙත දුන්නා විය හැකි ද? එසේ නොවූවානම් එය පුදුමයකි.”

මේ තතු හමුවේ මිල ගනන් වේගයෙන් පහත වැටෙද්දී, සවුදිය ඔපෙක් සමග එක්ව නිෂ්පාදනය කපා හැරීම ප‍්‍රතික්ෂේප කරයි. දැන් මිල බැරලයක් ඩොලර් 60නුත් පහලට ගොස් තිබේ.

මෙම වර්ධනයන්, රුසියාව අධිරාජ්‍යවාදී බලවතෙක් බවට නොයෙකුත් ව්‍යාජ වාම සංවිධාන විසින් කරන ප‍්‍රකාශයන්ගේ අභූත ස්වාභාවය හෙලිදරව් කරයි. එවන් තර්ක මගින් ලෝක මූල්‍යයේ හා භූදේශපාලන ව්‍යුහය තුල අධිරාජ්‍යවාදයේ පැවැත්ම හා එය නැගී ආ ඓතිහාසික සන්දර්භය සරලවම නොසලකා හරියි. සෝවියට් සංගමය විසුරුවා හැරීම නියෝජනය කරන්නේ, අධිරාජ්‍යවාදයට යටත්වීම මිස, එම බලවතුන් සමග උරෙන්උර ගැටෙමින් නැගී ගන්නා “නව” රුසියාවක් නොවේ.

1929දී ට්‍රොට්ස්කි පැහැදිලි කලේ මෙසේය: “ලෝක ආධිපත්‍යය සඳහා අරගලය දැවැන්ත පරිමානව සිදුවෙමින් තිබේ. මෙම අරගලයන්ගේ විවිධ අදියරයන් ඉදිරියට ගියේ දුබල හා පසුගාමී ජාතීන්ගේ ඇටකටු මතින්ය. ලෝක යුද්ධයේ ගමන් මගෙහිදී සාර්වාදී රුසියාව පූර්වයෙන් හිමිකර ගෙන සිටි ස්ථානයේ තුන්වන තැනවත් ධනේශ්වර රුසියවට දැන් හිමිකරගත නොහැකිය. අද දවසේ රුසියානු ධනවාදය කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව, පවත්නා තත්වය මත යැපෙන, අර්ධ යටත් විජිත ධනවාදයකි. නොම්බර දෙකේ රුසියාව හිමිකරගන්නේ නොම්බර එකේ රුසියාව හා ඉන්දියාව අතර කිසියම් තැනකි. ජනසතු කල කර්මාන්තය හා විදේශ වෙලඳාමේ ඒකාධිකාරය සහිත සෝවියට් ක‍්‍රමය, එහි සියලු ප‍්‍රතිවිරෝධතා හා දුෂ්කරතා තිබියදී වුවත් රටේ ආර්ථික හා සංස්කෘතික නිදහස සඳහා වන ආරක්ෂිත පද්ධතියකි.”

සෝවියට් සංගමය විසුරුවා හැරීමේ අවසන් අදියරවලදී සෝවියට් නිලධරය හා ශාස්ත‍්‍රාලික බුද්ධිමත්තු, අධිරාජ්‍යවාදය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනය පසෙකට දමා ගොර්බචෙව්ගේ “නව චින්තනය” උජාරුවෙන් වැලඳ ගත්හ. සමාජ ප‍්‍රතිගමනයේ ද අධිරාජ්‍යවාදයට යටත් වීමේ ද සිද්ධි දාමය තුල ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් සනාථ වී ඇත. චෙච්නියාවේ රුසියානු යුද්ධයේ සිට යුකේ‍්‍රනයේ වත්මන් යුද්ධය දක්වා සලකුනු කෙරෙන ආකාරයට පැරනි සෝවියට් සමූහාන්ඩු වාර්ගික සිවිල් යුද්ධ තුලට ඇද වැටී තිබේ. කාර්මික ජීවිතය බිඳ වැටුනු අතර ඊලඟ දශකය තුල ආර්ථික නිෂ්පාදනය දල වශයෙන් සියයට 40න් වැටුනි. රජය සතුව තිබූ කම්හල් සාපරාධී ව්‍යාපාරික කතිපයාධිකාරීන් හා විදේශීය බැංකු විසින් කුනු කොල්ලයට මිලට ගෙන කොල්ලකන ලදී.

2000 ගනන්වලදී ආර්ථික බිඳවැටීම නතරවූ අතර ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වටා ගැවසුනු ව්‍යාපාරික කතිපයාධිකාරීන්ගේ කල්ලියක් විසින් අධිකාරය දරන ලද තෙල් හා ගෑස් අපනයනය වටා රුසියානු ධනවාදය යලි ගොඩනගනු ලැබිනි. රුසියානු සමාජයේ බංකොලොත්කම එරට පාලකයින් විසින් පවා පිලිගෙන තිබේ.

“රුසියාව පෙරට” කථාවේදී එවක රුසියානු ජනාධිපතිව සිටි ඩිමිත‍්‍රි මෙඩ්විඩෙව් මෙසේ පාපොච්ඡාරනය කලේය: “කලබලකාරී වෙනස්කම්වල විසි වසර, අපගේ රට නින්දිත ලෙස අමුද්‍රව්‍ය මත රැඳී සිටීමේ තත්වයෙන් මුදා නැත. අපගේ වත්මන් ආර්ථිකය තවමත් සෝවියට් ක‍්‍රමයේ දෝෂ පිලිබිඹු කරයි. එය පුද්ගලයාගේ අවශ්‍යතා බොහෝකොටම නොතකා හැර ඇත. විශේෂ අවස්ථා කිහිපයකදී හැරෙන්නට දේශීය ව්‍යාපාර, ජනතාවට අවශ්‍ය දෑ හා තාක්ෂනය නිර්මානය කරන්නේ හෝ සොයාගන්නේ නැත. අප අලෙවි කරන්නේ අප නිපදවන දෑ නොවේ. අමුද්‍රව්‍ය හෝ අපනයනය කල දෑය. රුසියාව තුල නිපදවන නිෂ්පාදිත භාන්ඩ බොහෝකොටම ඒවායේ පහත් තරඟකාරිත්වයෙන් වැසී ඇත.”

රූබලයේ බිඳ වැටීම හා අද දිනයේ ආක‍්‍රමනකාරී අධිරාජ්‍යවාදී පිලිවෙත රුසියානු ධනවාදයේ බංකොලොත්කම පෙරට ගෙනැවිත් තිබේ. රූබල් වලින් මිල නියම කල ආහාර හා පාරිභෝගික භාන්ඩ මිල අහස උසට නගිනු ඇති බව සැලකේ. රුසියාව, දේශීය ආහාර නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික යෙදවුම් හා ආනයනික නිෂ්පාදිත භාන්ඩ මත රැඳී සිටින තතු හමුවේ ජනතාව දුගී භාවයට ඇද වැටෙනු ඇත.

රුසියාවේ පාලක කල්ලිය සම්බන්ධයෙන් ගත් කල එය අපේක්ෂා භංග උභතෝකෝටිකයකි. රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රෝව් පැවසුවේ එක්සත් ජනපද සම්බාධකවල එල්ලය රුසියාවේ පාලන තන්ත‍්‍ර වෙනසක් බවයි. වොෂින්ටනය විසින් තන්ත‍්‍ර වෙනසක් සඳහා ඉලක්ක කරගත් ඉරාකයේ සිට ලිබියාව දක්වා වූ තෙල් වලින් පොහොසත් අනෙකුත් රටවල අත්දැකීම් පදනම් කරගත් විට මෙහි අර්ථය, රුසියානු ආන්ඩුවේ විනාශය, එහි ප‍්‍රමුඛ පෙලේ නිලධාරීන් ඝාතනය කිරීම හා බටහිර සමාගම් විසින් රුසියාවේ තෙල් සම්පත් කොල්ලකෑමට උත්සාහ දැරීමේ ව්‍යායාමයක් ලෙස ක්‍රෙම්ලිනය එය විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් මෙම මංමුලාසහගත තත්වය හමුවේ පවා ක්‍රෙම්ලිනය, රුසියාවේ ආඥාදායකත්වයට පිලිගත හැකි මට්ටමට සිය ප‍්‍රතිපත්ති සීමාකර ගැනීමට යටහත් පහත් ලෙස කැපවී සිටියි. ඔවුන්ගේ ධනය ගලා එන්නේ රාජ්‍ය වත්කම් කොල්ලකෑම තුලින්ය. මූල්‍ය පාලනයන් හා විදේශ බැංකු වලට කරන ගෙවීම් අත්හිටුවීම වැනි අත්‍යවශ්‍ය මූල්‍ය පියවර ගැනීම පවා මගහැරීමට ඔවුහු උත්සාහ කරති.

මෑතකදී පුටින් රුසියානු ජාතිකවාදය උසිගන්වමින් පලමු ලෝක යුද්ධය ආරම්භයේදී සාර්වාදී ජෙනරාල් ඇලෙක්සි බෘසිලොව්ගේ “පුරාවෘත්තමය” ආක‍්‍රමනය හුවාදැක්වීමත්, බොල්ෂෙවිකයින් අධිරාජ්‍ය රුසියාවේ ද්‍රෝහීන් ලෙස හැඳින්වීමත් තරයේම ප‍්‍රතිගාමීය. ක්‍රෙම්ලිනය තම මිලිටරි ශක්තිය මත ගනන් බලමින් නේටෝව සමග ගැටුමකට සූදානම් වන්නේ නම් එය, සමස්ත ග‍්‍රහ ලෝකයම විනාශ කරන න්‍යෂ්ටික යුද්ධයක අවදානම ගැනීමක් බවට පත් වෙයි.

රුසියානු අර්බුදයට ජාතික විසඳුමක් ඇත්තේ නැත. අධිරාජ්‍යවාදයට එරෙහිව රුසියානු වැඩකරන ජනතාවගේ ආරක්ෂාවට ඇති බලවත්ම බාධකය ධනේශ්වර කතිපයාධිකාරයමය. රුසියානු කම්කරු පන්තිය හමුවේ ඇති ප‍්‍රමුඛ කර්තව්‍යය වන්නේ ඔක්තෝබර් විප්ලවය හා ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයෙහි සම්ප‍්‍රධායන් සමග සිය බැඳීම යලි පිහිටුවා ගැනීමය.

අධිරාජ්‍යවාදයේ මිලිටරිවාදයට හා ක්‍රෙම්ලිනයේ උපාමාරු වලට විරුද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන මැදිහත්වීමක් තුලින් හැරෙන්නට යුද්ධය කරා වන තල්ලුව මෙන්ම රුසියාව කොල්ලකෑමේ ව්‍යායාමය ද පරාජය කල නොහැකිය. සමාජවාදී විප්ලවය සඳහා සටන් වදින, කම්කරු පන්තියේ අධිරාජ්‍යවාදයට විරුද්ධ හා ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අවධාරනය කරන්නේ එබැවින්ය.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: