ඔලිම්පික් තරග සූදානම් වෙද්දී ඇමෙරිකාව හා රුසියාව අතර ආතතිය උත්සන්න වෙයි

Tensions mount between US and Russia in lead-up to Olympics

ආන්ද්රෙයා පීටර්ස් විසිනි, 2014 ජනවාරි 27

ඉහල යන භූදේශපාලන ආතතීන් සහිත වාතාවරනයක පෙබරවාරි 6දා සෝචි ඔලිම්පික් තරග ආරම්භ වෙයි. මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ මොස්කව් හා වොෂින්ටනය අතර වැඩෙන ගැටුම්කාරිත්ව ය මධ්‍යයේ, එක්සත් ජනපද ආන්ඩුව සහ බටහිර මාධ්‍ය මෙම උලෙල රුසියානු ආන්ඩුව ලජ්ජාවට පත්කිරීමේ අවස්ථාවක් බවට හරවා ගැනීමට වැඩ කරමින් සිටී.

තරග පැවැත්වන රුසියානු නගරය වෙත සැපත් වන සිය ගනනක් රටවල මලල කී‍්‍රඩකයන්ට සහ ලක්ෂ ගනනක් නරඹන්නන්ට දැක ගත හැකිවනු ඇත්තේ සන්නද්ධ කඳවුරකි. හතලිස් දහසක් ආරක්ෂක නිලදරුවෝ ක්‍රෙම්ලිනය විසින් තරග භූමිය වටා යොදවා තිබෙන ඊනියා "වානේ පවුර” වටා මුර සංචාරය කරති. ඔවුනට පිටු බලය සැපයීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක්, කලු මුහුදේ මුර යාත‍්‍රා සහ අසල දකුනේ ජෝර්ජියානු මායිමේ සිටින 70,000 ක හමුදා පිරිස් සිටී.

මෑතක යලි පිහිටවනු ලැබූ, කුරිරු ප‍්‍රචන්ඩත්වය පිලිබඳව කූප‍්‍රකට සාර් යුගයේ අධිරාජ්‍ය පොලීසිය වන කොසැක් භට පිරිස් 400ක් කැඳවා ඔවුන්ට හැඳුනුම් පත් පරීක්ෂාව හා සැක කරුවන් අත් අඩංගුවට ගැනීම පවරා තිබේ. ජනවාරි මුල සිටම ඔලිම්පික් කලාපය තුල, ඉන් පිටත සහ ඒ අවට වාහන ගමනා ගමනය පාලනය කර ඇතිවාක් මෙන්ම පෙලපාලි, විරෝධතා සහ ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම සීමා කර තිබේ.

සෝවියට් සංගමය බිඳවැටුන තැන් සිටම මොස්කෝව සෝචි නගරය අසල පිහිටි උතුරු කොකේසස්හි ඉස්ලාමීය බෙදුම්වාදී කල්ලි කුඩු කර දැමීම ට දිගින් දිගට යුද්ධ සහ ලේවැකි කැරලි මර්දනය ක‍්‍රියාවට නගා තිබේ.. ඉස්ලාමිය ජිහාඩ් කන්ඩායම් සෝචි නගරය ප‍්‍රහාරක ඉලක්කයක් බව ප‍්‍රකාශයට පත් කර තිබේ.

2013 දෙසැම්බරයේ පුද්ගලයන් 34 දෙනකුට මරු කැඳවූ රුසියාවේ වොල්ගොග‍්‍රෑඩ් නගරයේ බෝම්බ ප‍්‍රහාරයේ වගකීම බාරගත් විලයාට් දජෙස්තාන් නමැති කන්ඩායම පසු ගිය සතියේ ප‍්‍රකාශයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ, රුසියාව ට "නිසල දිවියක් ගතකිරීමට නො ලැබෙනු ඇත” යනුවෙනි. කී‍්‍රඩා නැරඹීමට එන අමුත්තන් සඳහා "ත්‍යාගයක්” දෙන බවට ඔවුහු පොරොන්දු වූහ. මෑත දිනයන් හිදී යුරෝපීය රටවල් පහකට ද තර්ජනාත්මක ලිපි ලැබුන බව පැවසේ.

සෝචි තරග අතරවාරයේ සිදුවිය හැකි ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට මූලිකව වගකිව යුතු වන්නේ ඇමෙරිකාව සහ ඔවුන්ගේ හිත මිතුරු සෞදි අරාබියයි. චෙච්නියාවේ සහ දජෙස්තාන යේ ජිහාඩ් වාදීහු දැනට එජ සහාය ලබන වෙනත් ඉස්ලාමීය අන්තවාදීන් සමග එකපෙලට සිරියාවේ සටන් කරමින් සිටින අතර එහිදී තීරනාත්මක සටන් පුහුනුව සහ ආධාර ලබති.

මධ්‍යම ආසියාව තුල මොස්කෝව සමග ඇති විරසක යේ කොටසක් ලෙස වොෂින්ටනය, කලකට පෙර සිටම රුසියාවේ මූලෝපායික ව වැදගත් උතුරු කොකේසියානු කලාපයේ ඉස්ලාමීය කල්ලි වලට සහාය දුන්නේය.

කොකේසස් ඉස්ලාමීය අන්තවාදීන් ට සම්බන්ධතා තිබුන, පසුගිය වසරේ බොස්ටන් මැරතන් බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන තරුනයන් දෙදෙනාගේ වැනි, පෙරලා පහර දෙන ත‍්‍රස්තවාදී සිද්ධීන් තිබියදීමත් ඔවුහු මෙම පිලිවෙත අනුයමින් සිටිති. එම තරුනයින්ගේ මාමා වන රුස්ලාන් සාරින්ට එජ ඔත්තු සේවා සමග සම්බන්ධකම් තිබී ඇත.

කොකේසස්හි ඉස්ලාමීය කල්ලි වලට සහාය දෙන සෞදි අරාබියාවේ ඔත්තු සේවා ප‍්‍රධානී බන්දාරි කුමරු පසුගිය අගෝස්තුවේදී පුටින් මුන ගැසුන විට ඔහුට අනතුරු අඟවා සිටියේ, මොස්කෝව සිරියාවේ අසාද් පාලනයට දෙන සහාය නවතා දැමුව හොත් පමනක් ඔලිම්පික් තරග වල ආරක්ෂාව පිලිබඳව සහතික විය හැකි බවයි.

කලාපය තුල ත‍්‍රස්ත කල්ලි සහ ඇමෙරිකානු විදේශ පිලිවෙත අතර සබඳතාව ගැන නිශ්ශබ්දව හිඳින අතරවාරයේ, ත‍්‍රස්ත අනතුරු ගැන හඬ නගමින් ක‍්‍රීඩා තරග වලට ආරක්ෂාව සැලසීමේදී මොස්කෝවේ අසමත්කම ගැන කනස්සල්ල පල කරන ඇමෙරිකානු මාධ්‍ය වල කුහකත්වය මේ අනුව අනාවරනය වේ.

වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ තීරු ලිපි සම්පාදක වරියක් වන සැලී ජෙන්කින්ස් මෙසේ ලියයි, "ඔලිම්පික් තිබෙන්නේ මිනිසුන් මැරීමට නොවේ. එමගින් මිනිසුන් තව ඉහලට ඔසවා තැබේ. එහෙත් ව්ලඩිමීර් පුටින්ගේ රුසියානු පාලන තන්ත‍්‍රය ශීත සෘතු ඔලිම්පික් තරග නම් මැර ප‍්‍රචන්ඩත්වයේ අනතුරු වලින් බේරා ගැනීමට ප‍්‍රමාද වී වැඩිය.”

සෝචි ඔලිම්පික් අරබයා වන දේශපාලන ප‍්‍රකෝපකාරීත්වයේ වතාවරනය එජ නියෝජිත මන්තී‍්‍ර මන්ඩල කතානායක ජෝන් බොයෙනෙර් ගේ වදන් වලින් ප‍්‍රකාශයට පත් විය. ජේ. ලෙනෝ ප‍්‍රසංගයේ දී බොයෙනෙර් රුසියානු ජනාධිපති පුටින් අමු "මැරයකු” ලෙස හෙලා දුටු අතර "ඇමෙරිකානු උවමනාවන් සහ මිතුරන්, විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපා මිතුරන්, වඩා හොඳින් ආරක්ෂා කිරීම පිනිස” ඔබාමා මොස්කෝව සමග වඩාත් දැඩි පිලිවෙතකට යායුතු යයි ඉල්ලා සිටියේය.

තරග භූමියෙන් පිටත අඳුනා ගත හැකි අන්දමේ කැපී පෙනෙන කිසිදු ඇඳුමක් නොඅඳින ලෙස ඇමෙරිකානු කී‍්‍රඩකයන්ට උපදෙස් දී තිබේ. සෝචි වෙත එවා ඇතැයි කියන "කලු වැන්ඳඹුවන්” - මරාගෙන මැරෙන කාන්තා බෝම්බ කාරියන්- සෙවීමට මොස්කෝව පිරික්සුම් කරන බවට පලල් ලෙස ඉන්ගී‍්‍රසි භාෂාවෙන් වාර්තා පලවෙමින් තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කලාපයට යන සිය රටවැසියන්ට අලුත්ම තොරතුරු සැපයීම දිගටම කරගෙන යයි. රුසියානු ආන්ඩුවේ පූර්ව අනුමැතිය නොලබාම ඇමෙරිකානු නාවික හමුදාව හදිසි අවස්ථාවකදී ඇමෙරිකානු පුරවැසියන් බේරාගැනීම අරමුනු කරගෙන යුද නැව් දෙකක් කලු මුහුද වෙත යවා තිබේ.

සිකුරාදා කැනේඩියානු ආන්ඩුව එහි යාම යලි සලකා බලන ලෙස සිය රටවැසියන්ට උපදෙස් දුන්නේය.

කී‍්‍රඩාව තුලින් ලෝක බලවතකු ලෙස රුසියාවේ යලි මතුවීම සංකේතවත් කර ගැනීම අරමුනු කරගත් ත‍්‍රස්ත තර්ජනය පාලනය කරන ආකාරය ගැන එල්ලවූ විවේචන ඉවත දමමින් ක්‍රෙම්ලිනය, මීට ප‍්‍රතිචාර දැක්විය. පසුගිය සතියේ රුසියානු අගමැති දිමිත්රි මෙඩ්වෙඩෙෆ් සීඑන්එන් මාධ්‍ය ජාලය සමග දැඩි ලෙස කියා සිටියේ, සෝචි ඔලිම්පික් වලට ඇති තර්ජනය මීට පෙර පවත්වා ඇති තරග මුහුන දුන් තර්ජන වලට වඩා වැඩි දෙයක් නොවන බවයි.

කොම්සොමොල්ස්කයා ප‍්‍රව්ඩා පුවත්පතට පුටින්ගේ මාධ්‍ය ලේකම් දිමිත්රි පස්කොෆ් පැවසූවේ, "අපේ සෝචි ඔලිම්පික් දේශපාලනිකව අවමානයට පත් කිරීමට වෑයම් කරමින් සමහර රටවල් වැඩ කරන්නේ සම්පූර්නයෙන්ම වංක හා උද්දච්ච ලෙසයි.”

ඔලිම්පික් තරග වල ආරක්ෂාව පිලිබඳව අවුලුවා තිබෙන මාධ්‍ය සෝලිය, ඇමෙරිකාව හා එහි අනුචර ආන්ඩු තරගාවලිය කඩාකප්පල් කිරීමටත්, ඉන් රුසියාවට ලබා ගත හැකි යම් අභිමානයක් වෙතොත් එය අකා මකා දැමීමටත්, දරන යන වෑයමේ ම කොටසකි.

පසුගිය වසරේදී ධවල මන්දිරය, රුසියාව විසින් මෑතක සම්මත කර ගත් සම ලිංගිකයන් (gay) අවමානයට පත් කිරීමේ සහ සමලිංගිකත්වය ප‍්‍රවර්ධනය තහනම් කිරීමේ ප‍්‍රතිගාමී නීති මොස්කෝවට එරෙහි ”මිනිස් අයිතිවාසිකම්” විවේචන උත්සන්න කිරීම සඳහා යොදා ගත්තේය. කලාපය තුල වොෂින්ටනය පිටුබලය දෙන ඉස්ලාමීය බලවේගවල දක්ශිනාංෂික චර්යාව හා සැසඳීමේ දී එවන් විවේචන අතිශයින්ම කුහක ය.

කාරනාව තවදුරටත් පෙරට ගෙන යනු පිනිස ජනාධිපති ඔබාමා දෙසැම්බරයේ දී එලිපිට ම සමලිංගිකයින් ලෙස පෙනී සිටින නියෝජිතයන් ඇමෙරිකානු ඔලිම්පික් කන්ඩායමට නම් කලේය.

තරඟාවලියේ දී සමලිංගික අයිතීන් පිලිබඳ කාරනාව නරුම ලෙස යොදාගැනීමේ දී ඇමෙරිකාව, යුරෝපීය බලවතුන් සමග, විශේෂයෙන් ජර්මනිය සමග පෙල ගැසෙයි. සමලිංගික අභිමාන ව්‍යාපාරයේ ප‍්‍රචලිත සංකේතය විදහා දක්වමින් ජර්මානු මලල කී‍්‍රඩකයින් දේදුනු වර්න නිල ඇඳුමින් සැරසී සිටිනු ඇත.

ඇමෙරිකාව නිල වර්ජනයක් සඳහා කල කැඳවුම් ප‍්‍රතික්ෂේප කල නමුත් ජනාධිපති, ඔහුගේ ආර්යාව, උප ජනාධිපති යන සියල්ලෝම ඊට සහභාගී වීම පිලිකෙව් කලෝය. මෙවැන්නක් සිදුවූයේ 2,000න් පසු පලමු වතාවට ය.

රට දෙකඩ වීමේ අනතුර මතුකරන යුක්රේනයේ රුසියානු විරෝධී විපක්ෂයට කි‍්‍රයාශීලී සහාය දෙන රටක් වන ජර්මනියේ ජනාධිපති දෙසැම්බරයේ දී පැවසුවේ, රුසියාවේ මිනිස් අයිතිවාසිකම් කෙලෙසීම් වලට සහ "අධිරාජ්‍ය උද්දච්ඡ කමට” විරෝධය පෑම සඳහා ඔහු තරගාවලිය ට සහභාගී නොවන බව ය.

ඔලිම්පික් ඉතිහාසයේ අතිශයින්ම වියදම් සහිත වූ හා කලින් තක්සේරු කලාක් මෙන් සිව් ගුනයක් වැය වන සෝචි ඔලිම්පික් සඳහා ඩොලර් බිලියන 50 ඉක්මවන දැවැන්ත වියදම ද මාධ්‍ය උද්ඝෝෂනයේ කතා බහට අතුලත්ව තිබේ. ක්‍රෙම්ලිනය විවේචනය කරන අයට අනුව මෙම මුදලින් ඩොලර් බිලියන 30ක් ආන්ඩුව සමග හොඳ සම්බන්ධකම් තියෙන අය විසින් ගසා කා තිබේ.

සෝවියට් සංගමයේ ධනවාදය පුනස්ථාපනයෙන් පසු පැන නැගි පරපුටු පාලක ප‍්‍රභූවේ දැඩි වංචනික ස්වභාවය ගැන සැලකීමේදී, ඔවුන් ඔලිම්පික් උලෙල රටේ ධනයෙන් දැවැන්ත කොටසක් සුපිරි පොහොසතුන් අතට මාරු කර ගැනීමේ තවත් එක් අවස්ථාවක් ලෙස භාවිතා කිරීම පුදුමයට කාරනයක් නොවේ.

කෙසේ වෙතත් මෙහිදී, සෝචි උලෙල අනෙක් ඒවායෙන් වෙනස් වන්නේ ගසා කෑමේ පරිමාවේ පැත්තෙන් පමනි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සෝචි උලෙල පිලිබඳ කොමිසමේ ප‍්‍රධානී ශෝන් ක්ලෝඞ් කෙලී, ගසා කෑම් පිලිබඳ චෝදනා වලට මැයි මාසයේදී ප‍්‍රතිචාර දැක්වූයේ, "වංචා වලින් තොර කිසිදු ඔලිම්පික් උලෙලක් ගැන මට මතකයක් නැත” යනුවෙනි.

සෑම දෙයකදීම පගාව මුල් වෙමින් දශක ගනනාවක් තිස්සේ තරගාවලිය වංචාවන් ගෙන් ගොහොරු වී තිබෙන්නේ සිය කලාප වල ව්‍යාපාරිකයන්ට දැවන්ත සහ වාසිදායක කොන්ත‍්‍රාත්තු ලබා ගැනීමට හැකිවන නිසා මහ නගර සත්කාරකත්වයට පොරකෑමෙනි.

1996 ඇට්ලන්ටාවේ සහ 2002 සෝල්ට් ලේක් සිටි යන දෙතැන ම විමර්ශන වලදී සත්කාරකයන්ගේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යන දෙගොල්ලන්ගේ ම වංචා දූෂන පිලිබඳ පුලුල් සාක්ෂි පැවතුනි.

Share this article: