රෝල්ස් රොයිස් (මෝටර් රථ) අලෙවිය ප්‍රකට කරන්නේ ගෝලීය වශයෙන් නැඟී එන සමාජ අසමානතාවයි

Rolls Royce sales reflect mounting global social inequality

ඩෙට්මාර් හෙනින් විසිනි, 2014 පෙබරවාරි 1

කෙටි හා නොවැදගත් සේ පෙනී යන ප්‍රවෘති වාර්තාවක් සමහරවිට, ප්‍රමුඛ දේශපාලන හා සමාජ වර්ධනයන්හි පෙර ඇඟවුමක් බවට පත්වෙයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදක රෝල්ස් රොයිස් නෙලාගෙන ඇති වාර්තාගත අලෙවිය පිලිබඳ තොරතුරු එවැන්නකි. දැන් ජර්මානු බීඑම්ඩබ්ලිව් මෝටර් රථ නිෂ්පාදකයාට අයත්ව ඇති බ්‍රිතාන්‍යයේ අතිශයින්ම කීර්තිමත් එම මෝටර් රථ වර්ගය පසුගිය වසරේදී වෙන කවර කලෙකටත් වඩා වාහන අලෙවි කර තිබේ. වෙලඳ පරිමාව වාහන 3630ක් “පමනක්" වුව ද මෙම අධි සුඛෝපභෝගී වාහනයක් සාමාන්‍යයෙන් යුරෝ 400,000ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් 540,000ක් පමන මිලවේ.

රෝල්ස් රොයිස්හි ප්‍රධාන තරඟකරුවා හා වෝක්ස්වාගන් සමාගමේ අනුබද්ධයක් වන බෙන්ට්ලි වාහන ද පසුගිය වසරේ එහි අලෙවිය සියයට 20න්, ඒකක 10000කට වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහල නංවාගෙන ඇත. එහෙත් බෙන්ට්ලි වාහනයක මිල යුරෝ 170,000ක් “ පමනි“.

2008 වසරේ සිට මූල්‍ය වංශාධිපතියන් තමන්ගේම පොහොසත්කම තරකර ගැනීම පිනිස ආර්ථික අර්බුදය ගසාකා තිබෙන අතරවාරයේ ලෝකය පුරා මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාවන් අන්ත දුප්පත් කමට ඇද දමා ඇත. එක්සත් ජනපදයේ ද ආසියාවේ හා යුරෝපයේ ද ආන්ඩු, සුපිරි ධනපතියන්ගේ බැංකු ගිනුම් බේරාගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනින් මූල්‍ය වෙලඳපොලවලට මුදාහරින අතර මෙම මුදල්, පෙර නොවූ විරූ ආකාරයේ සමාජ වියදම් කප්පාදුවේ හා රැකියා විනාශයේ පියවර මගින් වැඩකරන ජනතාව මිරිකා ලබාගෙන හා ලබාගනිමින් සිටිති.

වාර්තාගත සුඛෝපභෝගී වාහන අ‍ලෙවිය පිලිබඳ මෙම තොරතුරු පල වූයේ, ජනගහනයෙන් අති මහත් බහුතරයකට තවදුරටත් කුඩා හෝ මධ්‍යම තරමේ වාහනයක්වත් නඩත්තු කල නොහැකි බවට පලවූ තවත් වාර්තාවකට සමාන්තරවය. යුරෝපා සංඟමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව හෙවත් “ත්‍රිත්වය“ විසින් ග්‍රීසිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවලට කුරිරු කප්පාදු වැඩසටහන් පනවා ඇති තත්වය තුල, මෙය විශේෂයෙන්ම දකුනු යුරෝපය සම්බන්ධයෙන් සත්‍යයකි.

දිගු කලක් තිස්සේ යුරෝපය ලෝකයේ විශාලතම රථවාහන වෙලඳපොලවල් අතරින් එකක් විය. එහෙත් ඇන් අලෙවිය හැකිලී ගොසින්ය. පසුගිය වසරේදී අලුත් වාහන ලියාපදිංචිය දශක දෙදකට පසුව වාර්තාවූ පහතම මට්ටමට වැටී ඇත.

සමාගම් ඊට ප්‍රතිචාර දක්වන්නේ, නොයෙකුත් කම්හල් වසාදමමින් හා තමන් සේවයෙහි යොදවන අයගේ වැටුප් හා සේවා කොන්දේසි වලට පහර දෙමිනි. ජර්මනියේ බෝකුම්හි ඕපල්, බෙල්ජියමේ ගෙන්ක්හි ෆෝර්ඩ්, පැරිසිය ආසන්නයේ අවුලනේහි පර්ජෝ-සිට්රන් හා ඉතාලියේ ෆියට් වාහන කම්හල් වසාදැමීම නිසා දහස් ගනන් කම්කරුවන්ට රැකියා අහිමිවී ගොසින්ය.

වර්තමානයේ ලෝක වාහන අලෙවියෙහි සුලු වැඩිවීමක් සිදුව ඇත්තේ ප්‍රධානකොටම එක්සත් ජනපදයේ හා චීනයේ වර්ධන අනුපාතය සාමාන්‍ය මට්ටමට වඩා ඉහලින් පැවතීම නිසාය. මෙයින් වාසි සැලසී ඇත්තේ මූලිකවම ඊනියා අනර්ග මෝටර් රථ නිෂ්පාදකයින්, විශේෂයෙන්ම ජර්මනියේ ඩෙම්ලර්, බීඑම්ඩබ් හා අවුඩි යන අයටයි. මක්නිසා ද යත්, වෙලඳපොලේ මෙම ක්ෂේත්‍රය, සමස්ත වෙලඳපොලට වඩා වේගයෙන් වර්ධනය වීම නිසාය.

මෝටර් රථ කර්මාන්තයේ මෙම වර්ධනය පිලිබිඹු කරන්නේ, 2008 වසරේ පටන් පෙර නොවූ විරූ ඉහලකට නැඟී තිබෙන සමාජ අසමානතාවයේ මට්ටමයි. මූල්‍ය අර්බුදයේ නව වටයක් සලකුනු කල 2009 මාර්තුවේ පටන්, ලෝකයේ ප්‍රකෝටිපතියන් සතු ධනසම්භාරය ඩොලර් ට්‍රිලියන 3.1(යුරෝ ට්‍රිලියන 2.26) සිට ඩොලර් ට්‍රිලියන 6.5 (යුරෝ ට්‍රිලියන 4.57) දක්වා දෙගුනයකටත් වඩා වැඩිවී ඇත. 2013 ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව 2009 සංඛ්‍යාවට වඩා සියයට 60න් ඉහල ගොස් තිබේ. එක්සත් ජනපදය හා චීනය හැරුනුකොට ලෝකයේ සියලුම රටවල දල ජාතික නිෂ්පාදිතයේ ඒකාබද්ධ අගයට වඩා වැඩි ධනයක් පුද්ගලයින් 2170ක් විසින් සතුකරගෙන තිබේ.

සතියකට පෙර ඔක්ස්ෆෑම් පුන්‍යායතනය ප්‍රකාශ කල වාර්තාවකට අනුව, ලෝකයේ පොහොසත්ම පුද්ගලයින් 85දෙනා ලෝක ජනගහනයෙන් සියයට පනහක් සතු ධනයටත් වඩා වැඩි පංඟුවක් හිමිකර ගනියි. එනම් මිනිසුන් බිලියන 3.5කටත් වැඩි සංඛ්‍යාවක්! දැන් ජනගහනයේ පොහොසත්ම සියයට එකක් ලෝක ධනයෙන් සියයට 46ක පංඟුවක්, එනම් ඩොලර් ට්‍රිලියන 110ක් හෙවත් යුරෝ ට්‍රිලියන 80ක් හිමිකර ගනිති.

සියලු කාර්මික රටවල් අතරින්, 2008 සිට සමාජ අසමානතාවයේ ඉහලම වර්ධන මට්ටම අත්කරගෙන ඇත්තේ එක්සත් ජනපදය විසින් බව පෙන්නුම් කරන ප්‍රස්ථාරයක් ද වාර්තාවට ඇතුලත් වේ. මෙම සොයාගැනීම් චීනය සැලකිල්ලට ගෙන නැත්තේ එරට සංඛ්‍යා ලබාගැනීමේ දුෂ්කරතාවය නිසා පමනකි. සුදෙත්යෙ සේතුං යන ජර්මානු පුවත්පත සඳහන් කරන්නේ, 2000 වසරේ පටන් ගනන් බලා ඇති පරිදි චීනය වෙතින් පමනක් බදු ක්ෂේමභූමි කරා ගෙනගොස් ඇති ධන සම්භාරය ඩොලර් ට්‍රිලියන 4ක් හෙවත් යුරෝ බිලියන 2.9ක් බවයි.

ජර්මනියේ සුපිරි ධනවතුන් ද කවර කලෙකටත් වඩා ධනවත්ව සිටියි. පසුගිය වසන්තයේදී ද ස්පීගල් ඛාන්ඩයේ මැනේජර් සඟරාව, තමන්ගේම සමීක්ෂනයක ප්‍රතිපල ප්‍රසිද්ධියට පත්කලේය. ඒඅනුව ජර්මනියේ ධනවත්ම 100 දෙනාගේ හා පවුල්වල වත්කම් පසුගිය මාස 12 තුල සියයට 5.2න් හෙවත් යුරෝ බිලියන 336.6ක වාර්තාගත අගයක් කරා නැඟී ඇත. ඊට පෙර වසරේ ඔවුන් සතුව පැවතියේ “යන්තම්" යුරෝ බිලියන 319ක් පමනි.

අන් සෑම රටකදී මෙන්ම ජර්මනියේදී ද දුගී භාවය ඉහල යද්දී, එරට ප්‍රකෝටිපතියන්ගේ සංඛ්‍යාව ද වාර්තාගත මට්ටම් කරා ලඟාවී තිබේ. සඟරාවේ පරියේෂකයින්ට අනුව ඔවුන්ගේ වත්කම් යුරෝ බිලියන 135ක් හෙවත් ඩොලර් බිලියන 184කි. මෑත වසරවල දක්නට ලැබුනු පරිදි පොහොසත්ම ජර්මානුවන් අයත් වන්නේ ඕල්ඩි සමාරම්භකයින් වන කාල් හා තියෝ ඇල්බ්‍රෙක්ට් පවුල් වලටය. පලමු ස්ථානය දරා සිටින්නේ, 93 හැවිරිදි කාල් ඇල්බ්‍රෙක්ට්ය. ඔහුගේ වත්කම යුරෝ බිලියන 17.8ක් හෙවත් ඩොලර් බිලියන 24.3 කරා ලඟාවී තිබේ. තියෝ නමැති 2010 වසරේදී මියගිය ඔහුගේ සහෝදරයාගේ පවුල යුරෝ බිලියන 16ක් හෙවත් ඩොලර් බිලියන 21.9ක් සහිතව දෙවැනි ස්ථානයේ පසුවෙයි.

තෙවන පොහොසත්ම ජර්මානුවා, ලිඩ්ල් හා කොෆ්ලන්ඩ් යන මූල්‍ය වට්ටම් ජාලයක හිමිකරු වන ඩේටර් ස්ක්වාස්ය. ඉහත කී මැනේජර් සඟරාවේ කලමනාකරු සඳහන් කර ඇත්තේ, තම සමාගම පසුගිය වසරට වඩා යුරෝ බිලියනයකින් වැඩි බිලියන 13කට හිමිකම් කින බවයි.

නාසි පාලනය යටතේ දමාගත් පදනම් මත ගොඩනැඟුනු ධනය ඉපැයීමේ කාර්මික පවුලක් වන කොන්ඩ්ට්හි විවිධ හිමිකරුවන් ද ධනවත්ම 20 අතරට වැටේ. කොන්ඩ්ට්හි හිමිකාරිය වන සුසාන් ක්ලැට්න්, යුරෝ බිලියන 10කට හිමිකම් කියන පොහොසත්ම අය අතර පස්වන ස්ථානයට පත් වෙයි. යුරෝ බිලියන 7.8ක වත්කම් සතු ස්ටෙෆන් කොන්ඩ්ට් ප්‍රකෝටිපති ලැයිස්තුවේ 9 තැනට ද එම ව්‍යාපාර අධිරාජ්‍යයේ අනුශාසක ජොහනා කොන්ඩ්ට් යුරෝ බිලියන 6.75ක් සතුකරගෙන දහවන ස්ථානයේ ද පසුවෙයි. ලෝකයේ ධනවත්ම මිනිසුන් බිහිව ඇත්තේ ඉහලම සමාජ අසමානතාවය හා දුප්පත්කම පවතින රටවල වීම අහම්බයක් නොවේ. නවතම ෆෝබ්ස් සඟරාවේ තොරතුරු වලට අනුව, ඩොලර් බිලියන 73ක ධනයකට හිමිකම් කියන මෙක්සිකෝවේ මහා ව්‍යාපාරිකයා වන කාලෝස් ස්ලිම් සුපිරි ධනවතුන්ගේ ලැස්තුවේ පලවෙනියාය. එක්සත් ජනපදයේ මයික්‍රොසොෆ්ට් සමාරම්භක බිල් ගේට්ස් බිලියන 67ක් සතුව දෙවන ස්ථානයේ ද සාරා මුල් සමාගමේ ඉන්ඩිටෙක්ස් හිමි ඇමැන්සියෝ ඔර්ටේගා යන ස්පාඤ්ඤ ජාතිකයා තෙවන ස්ථානයේ ද පසුවෙයි.

සිය සාමාජික රටවල් 34 සමාජ අසමානතාවය පෙලගස්වන ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ සංවිධානය හෙලිකර ඇති ආකාරයට මෙක්සිකෝව දෙවන තැනටත්, එජ සිව්වන තැනටත් ස්පාඤ්ඤය අටවන තැනටත් පත්වෙයි.

මැනේජර් මෙන්ම ෆෝබ්ස් සඟරාව ද ප්‍රකෝටිපතියන්ගේ ධනවත්කම තක්සේරු කිරීමේදී, ව්‍යාපාර හා කොටස් අයිතිය, ඉඩම් හා අනෙකුත් දේපල මෙන්ම කලා කෘති එකතුව ද සැලකිල්ලට ගෙන ඇත. කලා හා කෞතුක භාන්ඬ වෙලඳපොල ඉතිහාසයේ දැවැන්තම අලෙවිය බ්‍රිතාන්‍ය වෙන්දේසි සමාගමක් වන ක්‍රිස්ටීස් ආයතනය පසුගිය වසරේ වාර්තා කිරීම පුදුමයට කාරනයක් නොවේ. ඒවායේ ආදායම පසුගිය වසර හා සසඳන කල යුරෝ බිලියන 5.5ක් දක්වා සියයට 16න් ඉහල ගොස් ඇත.

ප්‍රකෝටිපතියන්ගේ වැඩිවන ධනවත්කම හා ජනතාවගේ පිරිහෙන ජීවන තත්වයන් අතර පුලුල් වන පරතරය, ගෝලීය ධනවාදයේ නිසැග ස්වභාවයයි. එය එන්ට එන්ටම ප්‍රජාතන්ත්‍ර අයිතීන් සමග නොපෑහෙන තැනකට ගමන් කරයි. ගෝලීය ධනවතුන් තුනී තට්ටුවක් සමස්ත ලෝක ජනගහනයම ගල ග්‍රහනයෙන් ගෙන ඇත. සිය ධනය රැකගැනීම පිනිස ඔවුන් අසීමිත ලෙස සමාජය කොල්ලකෑම දැඩි කර තිබේ. එමගින් දැවැන්ත ජන සමූහයන් දුප්පත්කමට, කාලකන්නිකමට හා විනාශයට ඇද දමා ඇත. බිලියන 3කටත් වඩා ජනතාවකට දිනකට ඩොලර් 2.50න් ජීවත්වීමට බලකෙරී තිබේ.

Share this article: