ශ‍්‍රී ලංකාව:සේවයෙන් නෙරපූ ඇන්සල් වර්ජකයන් පිලිබඳ ව්‍යාජ වෘත්තීය සමිති උද්ඝෝෂනය

Sri Lanka: Bogus union campaign for sacked Ansell strikers

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 ජනවාරි 13

ජිනීවා මූලස්ථානය කරගත් ඉන්ඩස්ට්‍රියල් ඕල් ග්ලෝබල් ටේ‍්‍රඩ් යූනියන් (අයිජීයූව ) සහ එහි ශ‍්‍රී ලාංකික ශාඛාව වන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙක හා පොසේසේසං) සේවයෙන් පහ කල ඇන්සල් ලංකා කම්කරුවන් ආරක්ෂා කිරීමේ නමින් අන්තර් ජාල උද්ඝෝෂනයක් පටන් ගෙන ඇත. මෙම උද්ඝෝෂනය මුළුමනින් ම වංචාවකි. මෙම වෘත්තීය සමිති මාස දෙකකට ආසන්නව පැවති ඇන්සල් වර්ජනය හුදකලා කොට එහි පරාජයට මග පෑදීය.

බියගම නිවෙක ඇන්සල් ලංකා කම්කරුවන් 800 ට වැඩි පිරිසක් වැඩ ඉලක්කයන් ඉහල දැමීමට සහ නිවෙක හා පොසේසේසං අනුබද්ධ ඇන්සල් ලංකා වෘත්තීය සමිතියේ නායකයන් 11 දෙනෙකු සේවයෙන් නෙරපීමට එරෙහිව ඔක්තෝබර් 11 වැඩ වර්ජනයක් ආරම්භ කලහ. වර්ජනය බිඳීමේ අධිෂ්ඨානය ඇතිව ඇන්සල් පාලනාධිකාරය නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා කොන්ත‍්‍රාත් කම්කරුවන් බඳවා ගත්තේය.රටවල් 42 ශාඛා සහිත ඔස්ටේ‍්‍රලියාව පදනම් කරගත් බහු ජාතික සංගතයක් වන ඇන්සල් ආරක්ෂක රෙදි සහ සැත්කම් හා කාර්මික කටයුතුවලට භාවිතා කරන අත්වැසුම් නිෂ්පාදනය කරයි.

නොවැම්බර් 26 වනවිට සේවයට වාර්තා කරන්නැයි සමාගම වර්ජකයන්ට අවසන් නිවේදනයක් නිකුත් කලේ ය. නිවෙක හා පොසේසේසං හෝ අයිජියූවෙන් ආරක්ෂාවක් නොලැබෙන බව දැකීමෙන් වර්ජකයන්ගෙන් අඩකට වැඩි පිරිසක් ආපසු වැඩට ගියේ ය. නිවෙක හා පොසේසේසං නායක ඇන්ටන් මාකස්ගේ උපදෙස් පිට දින කිහිපයකට පසු සෙසු සේවකයින් ද වැඩට යාමට උත්සාහ කල මුත් පාලකයෝ ඔවුන්ට දොර වැසුහ.

ඔවුන්ගේ නඩුව විභාග කරන තුරු සේවයෙන් පහකල සේවකයන් 51 දෙනෙකු තාවකාලිකව ආපසු වැඩට ගන්නා ලෙස පසු ගිය මාසය අග දී අධිකරනය ඇන්සල් ලංකා සමාගමට නියෝග කලේ ය. එහෙත් ඔවුන්ව සේවයට ගැනීම වැලැක්වීම සඳහා උප්පරවැට්ටියක් ලෙස පවරන ඕනෑම වැඩක් කිරීමට ඔවුන් එකඟ විය යුතුයැයි සමාගම අවධාරනය කලේ ය.

රටවල් 140 මිලියන 50 සාමාජිකත්වයක් ඇති බවත් කම්කරුවන්ගේ අයිතීන් රැකීමට සටන් කරන බටටත් අයිජීයූව කයිවාරු ගහයි. නොවැම්බර් 21 නිකුත් කල ප‍්‍රකාශයක ඇන්සල් ලංකා කම්කරුවන් "සංවිධානය කල හා 20 වසරක් ඔවුන්ව ආරක්ෂා කල” නිවෙක හා පොසේසේසං පිටුපසින් "එය සහයෝගය ගොනු කරමින් සිටින” බව අයිජියූව සඳහන් කලේ ය.

මෙය පචයකි. ඇන්සල් වර්ජනය පැවති මුළු කාලය තුල ම නිවෙක හා පොසේසේසං සහ අයිජීයූව වර්ජකයන් ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිම අරගලයක් සංවිධානය කලේ නැත. ඇන්සල් ලංකා කම්කරුවන් පිටුපසින් සහයෝගය ගොනු කිරීම සඳහා නිවෙක හා පොසේසේසං එහි සාමාජිකයන් අතර හෝ සෙසු කම්කරුවන් අතර ද කිසිවක් ම කලේ නැත.

"වෘත්තීය සමිතිය අපව ආරක්ෂා කිරීමට කිසිම පියවරක් නො ගත් නිසා අපට වැඩට යාමට බල කෙරුනා. දැන් අප විවිධ දඬුවම් වලට මුහුන දෙනවා. වැඩ ඉල්ලක්කයන් තවත් ඉහල දාල. බොහෝ දෙනෙක් වෙනත් අංශවලට මාරු කරලා. දෙසැම්බර් මාසේ බෝනස් දුන්නෙත් නැහැ.” යි ඇන්සල් කම්කරුවකු කීවේ ය.

නිවෙක හා පොසේසේසං නායක මාකස් මෙය ම කටුනායක පැලා සපත්තු නිෂ්පාදන කම්කරුවන්ට ද කලේ ය. වැටුප් වැඩිවීමක් ඉල්ලා හෙමින් වැඩ කිරීමේ උද්ඝෝෂනයක යෙදුන කම්කරුවන් 170 ක ගේ සේවය දෙසැම්බර් 2 සිට අත් හිටුවා ඇත. වෘත්තීය සමිතිය හුදෙක් කම්කරුවන්ට කියා ඇත්තේ සමාගමට එරෙහිව නඩුවක් පැවරීමට ය.

අයිජීයූව කර ඇත්තේ සමථයක් ප‍්‍රතික්ෂේප කල පාලනාධිකාරයට ම "සමථයක්‘” සඳහා ආයාචනය කිරීමයි. සේවයෙන් පහකල ක‍්‍රියාකාරීන් යලි සේවයේ පිහිටුවන ලෙස සමාගමෙන් ඉල්ලා සිටින අන්තර් ජාල විරෝධතා ලිපි යැවීම එහි ඊනියා "සහයෝගය ගොනු කිරීමේ” වැඩ පිලිවෙලට ඇතුලත් ය. එය මෙසේ කියයි. "ඔබට පියවරක් ගත හැකිය. ශ‍්‍රී ලංකාවේ කම්කරුවන් සමග සාකච්ඡාමය විසඳුමකට එන ලෙස ඇන්සල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට හා පරිපාලන අධ්‍යක්ෂට කියන්න”

මෙම ආයාචනයන් එකකටවත් බහුජාතික සමාගම ඇහුම්කන් නොදෙන බව හොඳින් ම දන්නා අයිජීයූව සහ නිවෙක හා පොසේසේසං කරන්නේ පීඩනය යෙදීම මගින් පාලානධිකාරය නම්මා ගත හැකියයි කම්කරුවන්ට ලනු දීමකි. ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස ආයාචනා කරමින් මාකස් ශ‍්‍රී ලංකා ආන්ඩුවට, ඕස්ටේ‍්‍රලියාවේ ඇන්සල් සමාගමට සහ ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු හා ඇමරිකානු තානාපති කාර්යාලවලට ලිපි ලියුවේ ය.

ඇන්සල් ලංකා කම්කරුවන්ගේ අරගලයට ඇමරිකන් ඒඑෆ්එල්-සිඅයි ඕ සංවිධානයේ, ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ සහ ඕස්ටේ‍්‍රලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ඒසීටීයූව) සහයෝගය දිනාගෙන ඇති බව අයිජීයූව කියයි. මහා සංගතවල අවශ්‍යතාවයන් කම්කරුවන් මත පැටවීම මිස කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමක් මෙම කිසිදු සමිති සම්මේලනයක් කරන්නේ නැත. උදාහරනයක් ලෙස දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමි කරමින් ඔස්ටේ‍්‍රලියාව තුල ඔවුන්ගේ වාහන නිෂ්පාදන කම්හල් වසා දැමීමට ෆෝර්ඩ් සහ ජෙනරල් මෝටර්ස් සමාගම් වලට ඒසීටීයූව මේ දිනවල සහයෝගය දෙමින් සිටී.

ඇන්සල් ලංකා සමාගමට දුන් බදුසහන "අලුත් කිරීම ප‍්‍රතික්ෂේප කරන ලෙසත්” සේවයෙන් පහකල සියලු ම කම්කරුවන් හිඟ වැටුප් සහිතව යලි සේවයේ පිහිටුවීම සහතික කරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ජිනීවා රැස්වීමක දී ඉල්ලා සිටීමට අයිජීයූ විධායකය "යෝජනා” කර ඇත. කම්කරුවන් යලි සේවයට කැඳවා "නිවෙක හා පොසේසෙස්සං සමග අවංක සංවාදයකට එලඹෙන ” ලෙස ද එය ඇන්සල් පාලානාධිකාරයෙන් ඉල්ලා සිටියේ ය.

මෙය තවත් ප්‍රෝඩාවකි. කම්කරුවන්ගේ අරගල මැඩීම සඳහා හදිසි නීතිය හා මිලිටරි විධික‍්‍රම උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව කුප්ප‍්‍රකට ය. විරෝධතාවයක යෙදුන කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට පහරදීම සදහා ආන්ඩුව 2011මැයි මාසයේ, පොලිස් කොමාන්ඩෝ භටයන් යැවීය. එම ප‍්‍රහාරයෙන් එක් කම්කරුවක් මිය ගොස් තවත් අය ආබාධිත වුහ.

අයිජීයූව සහ නිවෙක හා පොසේසේසං උනන්දු වන්නේ කම්කරුවන්ගේ අයිතීන් රැකීමට නොව; "අවංක සංවාද” හරහා පාලානාධිකාරයේ උත්සුකතාවයන් ආරක්ෂා කිරීමේ හොඳම මාධ්‍යයන් ලෙස ඔවුන්ගේ සේවය සැපයීම මගින් ආන්ඩුවේ සහ ඇන්සල් සමාගමේ පිලිගැනීම ලබා ගැනීමට පමනි.

කම්කරුවන්ගේ සංවිධානය වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මර්දනය කිරීමේ දිගු වාර්තාවක් ඇන්සල් ලංකා සමාගමට තිබේ. වෘත්තීය සමිතිය මර්දනයට එරෙහිව දහස් ගනනක් ඇන්සල් කම්කරුවෝ 1994 විරෝධතා උද්ගෝසනයක යෙදුනහ. රාපක්ෂට පෙර සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් යැවූ පොලීසිය පෙලපාලියට කල වෙඩි තැබීමෙන් කම්කරුවෙකු මරනයට පත් විය.

ඇන්සල් ලංකා කම්කරුවන්ගේ සේවා කොන්දේසිවලට සහ මූලික අයිතීන්ට පහරදීම ශ‍්‍රී ලංකාවට පමනක් සීමා නොවේ; එය ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ නිෂ්පාදන වියදම් කැපීම සහ ලාබ ඉහල දමා ගැනීම සඳහා ජාත්‍යන්තර සංගත විසින් ක‍්‍රියාවට දමනු ලබන රුදුරු ගෝලීය ප‍්‍රතිව්‍යුහකරනයේ කොටසකි. ඉල්ලූම පහත වැටීම හා ජාත්‍යන්තර තරඟය උග‍්‍ර වීමේ ප‍්‍රතිවිපාකයක් ලෙස 2012 වසරේ මුල් 6 මාසය තුල ඇන්සල් සමාගමේ ලාබය සියයට 15 න් හෙවත් ඩොලර් මිලියන 55 න් පහත වැටුනි.

ලෝකවෙලඳපොල තුල තරඟ කල හැකි ලෙස ස්ථීර රැකියා කප්පාදුවට හා නිෂ්පාදන වියදම පහත දමා ගැනීම සඳහා "ඔවුන්ගේම” එක් එක් රට තුල දී ලෝක පරිමානව ම වෘත්තීය සමිති සමාගම්වලට සහයෝගය දෙනු ලබයි. මෙම ප‍්‍රහාරයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන්ට සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ජාත්‍යන්තර මුලොපායක් අවශ්‍ය කරයි. ශ‍්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පලල් සහාය ගොනු කර ගැනීම සඳහා ඇන්සල් ලංකා කම්කරුවන් වෘත්තීය සමිති යකඩ හැට්ටයෙන් බිඳී තමන්ගේ ම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. මෙම ගෝලීය අරගලයේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුවට ආයාචනා කිරීම වෙනුවට සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරු- ගොවි ආන්ඩුවක් සඳහා සටන් කල යුතුය.

Share this article: