ප්‍රෝඩාකාරී මැතිවරනය බංග්ලාදේශයේ දේශපාලන අර්බූදය උග‍්‍ර කරයි

Sham election deepens Bangladesh political crisis

කේ. රත්නායක විසිනි, 2014 ජනවාරි 7

05දා පැවති බංග්ලාදේශ මැතිවරනය අඩු ඡන්ද ප‍්‍රතිශතය සහ පෙර නුවූ විරූ ප‍්‍රචන්ඩත්වය සනිටුහන් කල දේශපාලන මගඩියකි. පොලිස් වෙඩිතැබීම් සහ ප‍්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙක වන, පාලක අවාමි ලීගය සහ ඡන්දය වර්ජනය කල විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂය (බජාප) අතර ලේවැකි ගැටුම් වලින් මැතිවරන දිනයේ පමනක් 16ක් මරුමුවට පත්විය. මැතිවරනය වඩාත් නරක අතට හැරෙන දේශපාලන අර්බූදයකට දොර හැර තිබේ.

මැතිවරන කොමිසම පාවිච්චි කල ඡන්ද ප‍්‍රතිශතය පිලිබඳව අවසන් සංඛ්‍යා ඉදිරිපත් කර නැත. කෙසේ වෙතත්, මැතිවරන නිරීක්ෂක කන්ඩායම් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කලේ, එය සාමාන්‍යයක් ලෙස ඡන්දදායකයින්ගෙන් හුදු සියයට 25ක් වනු ඇති බවය. මෙය 1996දී එවකට විපක්ෂයේ සිටි අවාමි ලීගය ඡන්දය වර්ජනය කල අවස්ථාවෙහි වාර්තාවූ සියයට 25 අඩුම ප‍්‍රතිශතයට වඩා සුළු වශයෙන් වැඩි ප‍්‍රමානයකි. අවසන් මැතිරනය පැවති 2008 ඡන්ද ප‍්‍රතිශතය සියයට 83ක් විය.

මධ්‍යස්ථාන 570ක ඡන්දය නොපැවති බව පිලිගත් ආන්ඩුවෙන් පත් කල මැතිවරන කොමිෂම, කෙසේ නමුත් ආසන සියයට 97ක ඡන්දය සාධාරනව පැවති බව පැවසීය. ඡන්දයට පෙරාතුව විපක්ෂ මැර කල්ලි අඩු තරමේ ඡන්ද පොලවල් 200ක් තරම් ගිනි තැබූහ. විපාක්ශික කි‍්‍රයාකරුවන් සිය ගනනක් අත්අඬංගුවට ගනු ලැබින. බජාප නායක ඛලිඩා ෂියා දෙසැම්බර් 26දා සිටම නිවාස අඩස්සියේ පසුවේ.

බජාප ගෙන ගිය වර්ජනය නිසාවෙන් මැතිවරන ප‍්‍රතිපලය අපේක්ෂිත පරිදිම වීය. මැතිවරනයට පෙරාතුවම පාලක හවුල, ආසන 300කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 153ක් ‘නිතරඟයෙන්’ දිනා ගත්තේය. 05දා ඡන්දය පැවති ආසන 147න් අවාමි ලීගය තවත් ආසන 104ක් දිනා ගනිද්දී ඔවුන්ගේ හවුල් කරුවෝ ඉතිරිය හිමිකර ගත්හ.

අඩු ඡන්ද ප‍්‍රතිශතය සහ වර්ජනය හේතුවෙන් ඇගේ මීලඟ ආන්ඩුවේ නීත්‍යානුකූල භාවයක් නොමැතිවේය වැනි ඕනෑම අදහසක් අගමැතිනි ෂීක් හසීනා විසින් බැහැර කලාය. "ජනතාව මැතිවරනයට සභභාගී වුනා, අනෙකුත් පක්ෂ සභාගීවුනා" යයි ඇය තුච්ඡ විදියට පැවසූවාය. ප‍්‍රචන්ඩත්වය පිලිබඳව විපක්ෂයට දොස් පවරමින් ඇය මෙසේ ද පැවසුවාය, "ඒගොල්ලන් අපි එක්කල කතා කරන්න එනව නම් එයාලට ඔය ත‍්‍රස්ත වැඩ අත්හරින්න වේවි”.

මැතිවරනය ස්වාධීන භාරකාර ආන්ඩුවක් යටතේ පවත්වන්නැයි විපක්ෂය කල ඉල්ලීම ආන්ඩුව ඉවත දැමීය. 2007 වසර මුල බජාප විසින් කලින් පත්කරන ලද භාරකාර ආන්ඩුවට හසීනා ඇඟිල්ල දිගු කලාය. අලුතින් මැතිවරනයක් පැවැත්වූ 2008 අවසානය වනතෙක් එම ආන්ඩුව, මිලිටරියේ ද පිටුබලය සහිතව බලයේ රැඳී සිටියේය.

විශාල ජයග‍්‍රනයක් ලබා බලයට පැමිනි අවාමි ලීගය, භාරකාර ආන්ඩුවක් පත් කිරීමේ අවශ්‍යතාවය අහෝසි කිරීමට ව්‍යවස්ථාව වෙනස් කලේය. 2011 ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අනුමත කල නමුත් ඉදිරි මැතිවරන දෙක භරකාර ආන්ඩු යටතේ පැවැත්විය හැකියයි ප‍්‍රකාශ කලේය. තම ආන්ඩුවේ සහයෝගය හෝදා පාලුවන විට හසිනා, උසාවි නියෝගය හුදෙක් නොතකා හැරියාය.

ආන්ඩුව බජාප යේ ප‍්‍රධාන ආධාරකරුවා සහ රටේ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාට් එ ඉස්ලමි සංවිධානයට එරෙහි මර්දනයක් දියත් කරමින් විපක්ෂය දුර්වල කිරීමට වෑයම් කලේය. ඔවුන් ගේ කි‍්‍රයාමාර්ගය අනාගමික ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය යන පදනමින් එම සංවිධානය තහනම් කිරීමට මග පෑදූ පසුගිය වසරේ ඉහල උසාවියෙහි ගොනු කල නඩුවකට ආන්ඩුවේ සහයෝගය ලැබුනි.

බංග්ලාදේශය නිර්මානය කිරීමට තුඩුදුන් 1971 වසරේ නැගෙනහිර පකිස්තානු කැරැල්ලේදී පකිස්තාන හමුදා සමග සහයෝගී වෙමින් සිදුකලායයි කියනු ලබන අපරාධ පිලිබඳව ජමාට් ඉස්ලාමීය නායකයන්ට නඩු පැවරීමට ද ආන්ඩුව වැඩ කරගෙන ගියේය. එහි නායකයන් ගනනාවක් වැරදිකරුවන් කිරීමටත් මරන දඬුවමට යටත් කිරීමටත් සාවද්‍ය ලෙස නම් කෙරුන රටේ ජාත්‍යන්තර අපරාධ අධිකරනය වැඩ කලේය. පසුගිය මාසයේ ජ්‍යෙෂ්ඨ ජමාට් ඉස්ලාමීය නායක අබ්දුල් කදීර් මුල්ලා මරා දැමුනි.

තමන් බංග්ලාදේශ සමාජයේ "අනාගමික ස්වභාවය" සුරකින්නේය යන අවාමි ලීගයේ මවා පෑම හුදු දේශපාලන උප්පරවැට්ටියකි -1996 මහ මැතිවරනයේදී ජමාට් ඉස්ලාමීය පක්ෂය සමග එකතුවීමට ඔවුනට කිසිදු දේශපාලන අවුලක් නොවීය.

බජාප උප සභාපති ෂම්ශෙර් මොබින් ශවුද්රි, "මෙම ඊනියා මැතිවරනය ජනතාව විසින් පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කර ඇතැ”යි පවසමින් 05දා මැතිවරනය හෙලා දුටුවේය. ප‍්‍රතිපල අවලංඟු කර, ඉල්ලා අස්වී, භාරකර පාලනයක් යටතේ නව මැතිවරනයක් පවත්වන ලෙස ආන්ඩුවෙන් ඉල්ලීම සඳහා බජප ය තවත් පැය 48 ක වර්ජනයක් කැඳවා තිබේ.

බජාප ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයකු ලෙස පෙනී සිටීම වංචාවකි. මිලිටරියේ කොටස් සමග සමීප සම්බන්ධතා ඇති එම පක්ෂය, බලයේ සිටියදී අවාමි ලීගය සේම කුරිරු ලෙස පොලිස් මර්දනය සහ මැතිවරන වංචා ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ කටයුතුවල නිරතවී ඇත.

ආන්ඩුව සහ විපක්ෂය අතර අරෝව පාලක කවයන් අතර කනස්සල්ල ඇතිකරවන ගැඹුරු දේශපාලන අර්බූදයකට මග සකසනු ඇත. අවාමි ලීගයට හිතවත් ඬේලි ස්ටාර් පුවත් පත ඊයේ මෙසේ ලිවීය: "අවාමි ලීගය පලදායී ලෙස ආන්ඩු කිරීමට ජන වරමක් හෝ සදාචාරමය තත්වයක් නැති, බලාපොරොත්තුවූ ආකරයටම හිස් ජයක් ලබා තිබේ.”

අවාමි ලීගය සහ බජාප ය බංග්ලාදේශ ධනේශ්වරයේ එකිනෙකට වෙනස් අංශ දෙකක් නියෝජනය කරන අතර මන්දගාමී වන ආර්ථිකය සහ නරක අතට හැරෙමින් පවතින ගෝලීය ආර්ථික කඩාවැටීම නිසා ඇතිව තිබෙන වැඩෙන අවිනිශ්චිත භාවය මධ්‍යයේ ඔවුන්ගේ අරෝව ගැඹුරු වෙමින් තිබේ. පාර්ශව දෙකම කම්කරුවන්ගේ හෝ ගැමි ජනයාගේ මොනම ස්වාධීන ව්‍යාපාරයකට හෝ ගැඹුරින්ම සතුරු වන අතර ඕනෑම විරුද්ධතාවයක් මැඩීමට පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් යෙදවීමට පැකිලී නැත.

දේශපාලන අරෝව භූ-දේශපාලන ආතතීන් මගින් ද අවුලුවනු ලබමින් තිබේ. 1972 ඉන්දියානු මැදිහත් වීමෙන් අනතුරුව ස්වාධීන බංග්ලාදේශයේ බලය තහවුරු කරගත් අවාමි ලීගය, බජාප යට පකිස්තානයේ කුප‍්‍රකට මිලිටරි ඔත්තු සේවය වන ඉන්ටර් සර්විස් ඉන්ටෙලිජන්ස් (අයිඑස්අයි) ද ඇතුලු පකිස්ථානු රාජ්‍යයේ පිටුබලය ලබන බවට චෝදනා කරයි. ඊට ප‍්‍රතිචාර වශයෙන් බජාපය, ඉන්දියාවට රටේ ස්වාධිපත්‍ය පාවාදෙන බවට අවාමි ලීගය සහ හසිනා හෙලාදකියි.

පකිස්තානයට ද පසුගිය දශකයේදී බංග්ලාදේශය සමග වෙලඳ සහ මිලිටරි සම්බන්ධකම් වැඩි දියුනු කරගත් චීනයට ද මුහුන දීම සඳහා අවාමි ලීගය සමග ඇති සිය සම්බන්ධකම් භාවිතා කිරීමට ඉන්දියාව උත්සාහ දරයි. 07දා ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාෂක සයෙඩ් අක්බාරුද්ධීන් අදහස් දක්වමින්, 05දා මැතිවරනය ආරක්ෂාකලේ, එය "ව්‍යවස්ථාමය අවශ්‍යතාවයකි" යනුවෙන් සරලව පවසමිනි.

එක්සත් ජනපදය ද බීජිනය රාජ්‍යතාන්ති‍්‍රකව ප‍්‍රතිමුඛ කිරීම සහ චීනය මිලිටරිමය ලෙස වට කිරීම එල්ලය කර ගත් සිය පුලුල් "ආසියාවට හැරීම” වැඩ සටහනේ කොටසක් ලෙස බංග්ලාදේශය මත චීන බලපෑමට වලකැපීම ගැන උත්සුක වන්නේය.

දක්ෂිනාංශික චින්තන මන්ඩලයක් වන හෙරිටේජ් පදනමෙහි ලිසා කර්ටිස් සහ මනීශා හුසේන් පසු ගිය මාසයෙහි ඉදිරිපත්කල දීර්ඝ වාර්තාවක මෙසේ දක්වා තිබින: "චීනය බංග්ලාදේශය සමග සෙමෙන් සෙමෙන් සම්බන්ධකම් ගොඩ නගා ගනිමින් සිටින අතර කලාපයේ ආධිපත්‍ය සඳහා ඉන්දියාව සමග තරග වදිමින් සිටී. චීනය බංග්ලාදේශයේ ප‍්‍රමුඛ මිලිටරි සැපයුම්කරුවා වන අතර ලොකුම වෙලඳ ගනුදෙනුකරුවා ද වන්නේය. 2012 දී චීනය සහ බංග්ලාදේශය අතර වෙලඳාම ඩොලර් බිලියන 8 ඉක්ම වීය.

අවාමි ලීග පාලනය යටතේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර සම්බන්ධකම් තර වූ බව සටහන් කරන වාර්තාව "එරට තුල නව දිල්ලි බලපෑම වැඞී එන චීන සේයාවන් මොටකර දැමීමට උදව් වන හෙයින්, ඇමෙරිකාව "ශක්තිමත් ඉන්දු-බංග්ලාදේශ් සබඳතා වන්ට” පහසුකම් සැපයිය යුතු යයි උපදෙස් දෙයි. එසේම, තවදුරටත් චීනයට මුහුන දීම සඳහා වැඩි නාවුක අන්තර්ක‍්‍රියා සහ සම්බන්ධීකාරක බැඳීම් ඇති කරන ලෙස ද එය සටහන් කරයි.

ඇමෙරිකාව බංග්ලාදේශයේ වැඩීඑන දේශපාලන ගැටුම් අවසන් කරන ලෙස ඉල්ලා සිටින අතරම, ඉන්දියාවට පිටුබලය දීමට එජ වක‍්‍රව සහ එලිපිටම ගෙනයන උප්පරවැට්ටිවලින් සිදුවන්නේ ගැටුම් තවතවත් උග‍්‍ර වීම පමනි.

Share this article: