චීනය සමග වැඩෙන ආතතීන් හමුවේ ජපානය ප්‍රහාරක යානා ගුවන්ගත කරයි

Japan scrambles fighters amid escalating tensions with China

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2014 ජනවාරි 08

ඊසානදිග ආසියාවේ උග්‍ර ආතතිය පිලිබඳ තවත් සලකුනක් තබමින් ජපානය, නැගෙනහිර චීන මුහුදේ පිහිටි ජපානය සෙන්කාකු ලෙසත්, චීනය ඩයෝයු ලෙසත් හඳුන්වන මතභේදයට ලක්ව ඇති දිවයින් ආසන්නයේ චීන සිවිල් ගුවන් යානයක් පලවා හැරීමට සිය ප්‍රහාරක ජෙට් යානා ගුවන් ගත කල බව ඊයේ නිවේදනය කලේ ය. වයි-12 ප්‍රොපෙලර් ගුවන් යානයක් ජපානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ (ගුආහක) කලාපයට ඇතුල්වී ආපසු චීනය දෙසට පියාසර කර තිබේ. එය දිවයින් කලාපයේ ගුවන් පථයට ඇතුල්වී නොතිබුනි.

එක්සත් ජනපදයේ හා ජපානයේ ආක්‍රමනකාරී ප්‍රතිචාරයන් අවුලුවමින් චීනය, මතභේදයට ලක්ව ඇති දිවයින් ද ඇතුලත් නැගෙනහිර චීන මුහුදේ ගුආහක ප්‍රකෝපකාරී ලෙස නිවේදනය කල පසුගිය නොවැම්බරයේ පටන් එවන් සිද්ධියක් වාර්තාවූ පලමු අවස්ථාව මෙය විය. එක්සත් ජනපද මිලිටරි ගුවන්යානා නව චීන නිවේදන නොතකා හරින බව ඔබාමා පාලනාධිකාරය වහාම ප්‍රකාශ කල අතර න්‍යෂ්ඨික බලය සහිත එෆ්-52 බෝම්බ හෙලන යානා චීන බලධාරීන්ට නොදන්වා කලාපය හරහා පියාසර කරවීය. එක්සත් ජනපද සහචරයින් වන ජපානය හා දකුනු කොරියාව ද එය ම කල අතර ගැටුමකට තුඩුදෙන වරදක් හෝ වැරදි ගනන් බැලීමක් විවෘත ගැටුමක් කරා වර්ධනය වීමේ හැකියාව සහිත අන්තරාය මතු කලේ ය.

මෙම උනුසුම් භූදේශපාලනික වාතාවරනය තුල ජපාන ආන්ඩුව ද ඊයේ නිවේදනය කලේ, තවත් පාලු දිවයින් 280ක් රාජ්‍ය දේපොල ලෙස "ඒවායේ කලමනාකරනය ප්‍රවර්ධනය කිරීම" සඳහා ලියාපදිංචි කරන බව ය. සෙන්කාකු/ඩයෝයු දිවයින් තුනක් "ජනසතු" කරන බවට ටෝකියෝව මීට පෙර 2012 සැප්තැම්බරයේ ගත් තීන්දුව, චීනයේ දැඩි විරෝධය ඇවිලවූ අතර දෙරට අතර ආතතීන් නාටකාකාර ලෙස වැඩි වර්ධනය කලේ ය. මෙම දිවයින් 280 පිහිටීම තවමත් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන තතු හමුවේ ඉන් කිසිවක් මතභේදයට ලක්ව තිබෙන බවක් මෙතෙක් දැනගන්නට නැත. ජපානයේ සාගර ප්‍රතිපත්ති මූලස්ථානය හොංකොංහි සවුත් චයිනා මෝනිං පෝස්ට් පත්‍රයට පවසා ඇත්තේ මෙම දිවයින් සියල්ල "ජපානය වටා" ඇති බවත්, වෙනත් රටවල් ඒ කිසිවකටත් හිමිකම් නොපාන බවත් ය. කෙසේ වෙතත් පුවත්පතට අනුව, සමහර චීන විශ්ලේෂකයින් සලකන්නේ "ජපානයේ එම පියවර, එරට නාවික බලය තවදුරටත් නගාසිටුවීමේ ක්‍රියාවක්" ලෙස ය.

ජපාන ආන්ඩුව එම තීරනය කිසිවෙකුටත් හානියක් නැති දෙයක් ලෙස පෙන්නුම් කරන නමුත් "දූපත්වල ආරක්ෂාව" හා චීනයට කිට්ටුවෙන් පිහිටි ජපානයේ දකුනු දිවයින් සමූහයේ මිලිටරි ශක්තිය ගොඩනැගීම දෙසට වන ජපාන මිලිටරි මූලෝපායේ දිශාවනතිය සමග එය බැඳී තිබේ. 2012 දෙසැම්බරයේ බලයට පත්වූදා සිට දක්ෂිනාංශික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ආන්ඩුව දශකයකට පසු පලමු වතාවට මිලිටරි වියදම් ඉහල නංවා, ජපන් මිලිටරිය මත පනවා ඇති ව්‍යවස්ථාමය හා නීතිමය සීමා ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටියි.

අලුත් ඩිස්ට්‍රෝයර්ස් හතක් හා තවත් සබ්මැරීන හයකට අමතරව නාවික හමුදාව සැලකිය තරමින් පුලුල් කිරීම ද ඇතුලු පස් අවුරුදු ආරක්ෂක සැලසුමක් පසුගිය මාසයේ ජපානය නිවේදනය කලේය. "ආක්‍රමනයක තත්වයක් තුල වේගයෙන් ගොඩබැස්සවීම, යලි අත්පත්කර ගැනීම හා දිවයින්වල ආරක්ෂාව සඳහා" නව ඇම්ෆිබයස් (දිය ගොඩ දෙකෙහිම යුද වදින) බල ඇනියක් නිර්මානය කරනු ඇත. දකුනේ ඔකිනාවාහි ඊ-2සී යන කල්තියා අනතුරු ඇඟවීමේ ගුවන් යානා ඒකකයක් හා මිනිසුන් රහිත ඩ්‍රෝන් යානා ස්ථානගත කිරීම මගින් නාවික නිරීක්ෂන කටයුතු ද නඟාසිටුවීමට නියමිත ය.

රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික වශයෙන් චීනයට වල කැපීම ද මිලිටරිමය වශයෙන් එරට වැටලීම ද ඉලක්ක කරගත් ඔබාමාගේ "ආසියාවට හැරීමේ" කොටසක් ලෙස, ජපානයේ ප්‍රතිමිලිටරීකරනය දිරිගැන්වීම සඳහා සෘජුව ම වගකිව යුත්තේ එක්සත් ජනපදය ය. ජපානයේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද මිලිටරි කඳවුරු, පෙන්ටගනයේ යුද සූදානම සඳහා අත්‍යවශ්‍ය ය. ඔක්තෝබරයේ දී පැවති ජපන් හා එක්සත් ජනපද විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමෙන් පසුව නිකුත්කරන ලද දීර්ඝ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් පැහැදිලි කර ඇති ආකාරයට, ජපානයේ මිලිටරි ශක්තිය ගොඩනැගීම සිදුවන්නේ එක්සත් ජනපදය සමග සමීප සහයෝගයෙනි.

පසුගිය සිව් වසර පුරා ඉදිරියට ගිය ඔබාමා පාලනාධිකාරයේ "හැරීම" චීනය සම්බන්ධයෙන් වඩාත් ආක්‍රමනශීලී ආස්ථානයක් ගැනීමට ජපානය වැනි එහි ප්‍රමුඛ සහචරයින් දිරිගන්වා ඇති අතර යුද්ධයේ අන්තරාය බෙහෙවින් උත්සන්න කර තිබේ. පූර්වයෙන් පැවති ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ආන්ඩුව, 2010දී සෙන්කාකු/ඩයෝයු දිවයින් මත චීනය සමග රාජ්‍යතාන්ත්‍රික ආරවුල් ඇතිකරගත් අතර, යලිත් 2012දී ඔවුන් දිවයින් ජනසතු කිරීමත් සමග ලිබරල් ප්‍රජාතන්ත්‍රික පක්ෂයට බලය අල්ලා ගැනීම පිනිස ගසාකෑමට හැකියාව ගෙනදුන් භීතිකවේ වාතාවරනයක් නිර්මානය කලේ ය.

අගමැති ෂින්සෝ අබේ, දෙසැම්බර් 26දා යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීමේ කුප්‍රකට යසුකූනි දේවස්ථානයට යෑම මගින් චීනය සමග ආතතීන් තවදුරටත් තීව්‍ර කලේ ය. 2005 සිට බලයට පත්වූ පලමු අගමැති වශයෙන් කල එම සංචාරය, චීනයේ හා දකුනු කොරියාවේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර පුලුල් ජාත්‍යන්තර විවේචන ද එල්ල විය. දේවස්ථානය වරදකරුවන්වූ ජපාන යුද අපරාධකරුවන්ගේ ආත්මයන් සංකේතවත් කලා පමනක් නොවේ. ඊට සම්බන්ධ කෞතුකාගාරය 1930හා 40 ගනන්වල ජපන් මිලිටරිවාදය හුවා දක්වන අතර ඔවුන් සිදුකල අපරාධ යටපත් කරයි.

බීජිනය හා ටොකියෝව අතර නරක අතට හැරෙන ගැටුම සංකේතවත් කරමින් පසුගිය සතිය පුරා බ්‍රිතාන්‍යයේ ජපන් හා චීන තානාපතිවරු අතර ඇතිවූ කටුක වාග් සංග්‍රාමය තුලින් අබේගේ ගමනෙහි දේශපාලන ආනිසංශ තවදුරටත් ඉදිරියට ගියේ ය. එකිනෙකා අනෙක් රටට මිලිටරිවාදී හා ආක්‍රමනික යයි චෝදනා නඟමින්, අනෙක් රට සමාන කලේ, හැරී පොටර්ගේ නවකථාවල එන දුෂ්ඨත්වයේ අවතාරය වන වොල්ඩර්මෝට් සාමිට ය.

පසුගිය සතියේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයට ලියමින් චීන තානාපති ලියුෂියෝමිං ප්‍රකාශ කලේ, "මිලිටරිවාදය ජපානයේ හොල්මං කරන වොල්ඩර්මෝට් ය," යෂුකූනි දේවස්ථානය "නියෝජනය කරන්නේ එම ජාතියේ ආත්මයෙහි අඳුරු ම කොටස්ය" යනුවෙනි. තමන්ගේ ම මිලිටරි ගොඩනැඟීම් යුක්තිසහගත කරන මාධ්‍යයක් ලෙස ද රටතුල පවත්නා සමාජ අර්බුදය වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට ද විදේශයන්හි දී ගෙන යන රාජ්‍යතාන්ත්‍රික උපාමාරු සඳහා ද ජපන් විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීමට බීජිං තන්ත්‍රය ගෙනයන වඩාත් පුලුල් උද්ඝෝෂනයක කොටසකි, මෙම ලිපිය. පසුගිය දශක දෙක පුරා එක්සත් ජනපදය මෙහෙයවූ සියලු සාපරාධී යුද්ධයන්හි සහචරයෙක්වූ බ්‍රිතාන්‍යයට කල එතරම් කපටි නොවූ ආයාචනයක් සමගින් ලියූ ලිපිය අවසන් කර තිබුනි. එනම්, "කලාපීය ස්ථාවරත්වය හා ලෝක සාමය ආරක්ෂා කිරීම" වෙනුවෙන් දෙවන ලෝක සංග්‍රාම අවධියේ දෙරට අතර පැවති සන්ධානය අලුත් කරන ලෙස ඉල්ලීම යි.

ජනවාරි 06දා ඊට ප්‍රතිචාර දක්වමින් ජපන් තානාපති කීචි හයෂි ටෙලිග්‍රාෆ්හි පලකල ඔහුගේ ම ලිපියක, කලාපීය ආතතීන් අවුලුවන මිලිටරි ගොඩනැඟීම් පිලිබඳව චීනයට දොස් පැවරූ අතර ජපානය මිටරීකරනයේ යෙදීම ප්‍රතික්ෂේප කරමින්, යසුකූනි සිද්ධස්ථානයට කල අබේගේ සංචාරය කිසිදු දුෂ්ඨ වැදගත්කමක් අත්කර නොගන්නා බව ද කියා සිටියේ ය. "අවි තරගයේ දුෂ්ඨත්වය මුදාහරිමින් හා ආතතීන් වැඩිදියුනු කරමින් චීනය, කලාපය තුල වොල්ඩර්මෝගේ ක්‍රියාකලාපය" ඉෂ්ඨ කරන්නේ යයි චීනයට අනතුරු අඟවමින් ඔහු ලිපිය නිමාකර තිබුනි. නරක අතට හැරෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඇබේ ආන්ඩුව, චීන විරෝධී මනෝගතීන් ඇවිස්සීම මගින් ප්‍රතිමිලිටරීකරනය යුක්තිසහගත කිරීමටත්, තියුනු වන සමාජ ආතතීන් පිටතට හැරවීමටත් ක්‍රියා කරයි.

ලිපිවල නොවරදින සුලු රාජ්‍යතාන්ත්‍රික නොවන ස්වභාවය, දෙරට අතර පවතින විසංවාදයේ ගැඹුර පිලිබඳ මිම්මකි. නරක අතට පෙරලෙන ආරවුල මධ්‍යයේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් සිය ජපාන සහචර ඉට්සුනෝරි ඔනොඩේරාට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ, "ජපානය සිය අසල්වැසියන් සමග සම්බන්ධතා වැඩිදියුනු කරගැනීමට පියවර ගතයුතු" බව යි. එය දෝංකාර නැංවූයේ, යසුකූනි දේවස්ථානයට අබේ කල සංචාරය පිලිබඳව "කනස්සල්ල" පලකල එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධරයින්ගේ හඬ ය.

චීනය වෙත ජපානයේ ආක්‍රමනකාරී ආස්ථානය හිතාමතාම දිරිමත් කිරීමේ එක්සත් ජනපද භූමිකාව ගැන සලකන කල, එම ප්‍රකාශ කුහකත්වයෙන් පිරී පවතියි. අබේ දේවස්ථානයට කල සංචාරය පිලිබඳ වොෂින්ටනයේ කනස්සල්ල අන් කිසිවක් නොව, එමගින් ආසියාවේ අනෙකුත් එක්සත් ජනපද සහචරයින්, විශේෂකොටම දකුනු කොරියාවෙන් හුදෙකලා වීම හා ටෝකියෝව හා සියෝල් අතර සමීප මිලිටරි බැඳීම් ඇතිකරවීමට එක්සත් ජනපදය දරන උත්සාහයට හරස් කැපීමයි. ගැටුමේ හා යුද්ධයේ වැඩෙන අන්තරාය පිලිබඳ මූලික වගකීම පැවරෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙත ය. එක්සත් ජනපදය යලි වතාවක් සිය මිලිටරි ශක්තිය, ආසියාවේත් ජාත්‍යන්තරවත් සිය ආධිපත්‍ය දිගට ම පවත්වා ගැනීම සඳහා උපයෝගී කර ගනිමින් සිටියි.

.

Share this article: