වින්නඹු සේවක ප්‍රශ්නය මත සෞඛ්‍ය වෘත්තීය සමිති සිදු කරන කාකෙටවීම් ආන්ඩුවේ අත ශක්තිමත් කරයි

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2014 ජනවාරි 31

හෙද සේවිකාවන්ට සූතිකා පුහුනුව දීමට එරෙහිව රජයේ වින්නඹු සේවිකාවන්ගේ සංගමය (රවිසේසං) ජනවාරි 16 දා කොලඹ දී විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වීය. සිය සේවාවන් හෙද සේවකයන්ට පවරා දීම මගින් රැකියාවලට තර්ජනයක් එල්ල වනු ඇතයි පැතිරී ඇති භීතිය නිසා වින්නඹු සේවිකාවෝ දහස් ගනනක් මෙම උද්ඝෝෂනයට එක්ව සිටියහ. දැනට රාජ්‍ය අංශයේ වින්නඹු සේවිකාවෝ 9000ක් පමන සිටිති.

කෙසේවුවද, වින්නඹු සේවිකාවන් අතර මතුව ඇති විරෝධය නොමග යවමින් සමිති නායකත්වය විසින් එය මූලිකව එල්ල කෙරුනේ හෙද සේවිකාවන්ට එරෙහිව ය. වින්නඹු සේවිකාවන් මාතෘ වාට්ටුවලින් "එලියට ඇද දැමීමට" උත්සාහ කරන බවට රවිසේසං සභාපති දේවික කොඩිතුවක්කු හෙද සේවිකාවන්ට චෝදනා කලේ ය.

වින්නඹු සේවක ප්‍රශ්නයත් සමග සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති සේවකයන් අතර ප්‍රතිගාමී ශ්‍රේනිවාදී කාකොටා ගැනීම් උත්සන්න කිරීම නාටකාකාර ලෙස ප්‍රදර්ශනය කෙරී ඇත.

රවිසේසං උද්ඝෝෂනයට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිසං) පසු දින ජාතික මට්ටමේ විරෝධතා උද්ඝෝනයක් කැඳවුම් කලේ ය. වින්නඹු සේවිකාවන්ට විරුද්ධ නැතැයි රහෙනිසං සභාපති සමන් රත්නප්‍රිය කොලඹ පැවති උද්ඝෝෂනයේ දී ප්‍රකාශ කලත් හුදෙක් රවිසේසං විරුද්ධත්වය නිසා හෙදියන් සදහා යෝජිත සූතිකා පුහුනුව නතර කලොත් ඊට විරුද්ධව "ජාතික පරිමාන වර්ජනයක් කැඳවුම් කරන" බවට තර්ජනය කලේ ය.

වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන සමස්ත ලංකා හෙද සංගමය ද 16 දා ඒ හා සමාන තර්ජනයක් කලේ ය. හෙද සේවිකාවන්ට කිනම් පුහුනුවක් දිය යුතු දැයි කීමට වින්නඹු සේවිකාවන්ට අයිතියක් නැතැයි ප්‍රකාශ කල එහි සභාපති ගාමිනී කුමාරසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ නියෝගවලට අනුව ක්‍රියා නොකල යුතුයැයි අනතුරු ඇඟවීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙසං) විසින් තම සංගමයේ හෙද නිලධාරීන් මෙහෙයවමින් හෙද සේවිකාවන් සදහා සූතිකා පුහුනුව ජනවාරි 20 දා සිට බලහත්කාරයෙන් ආරම්භ කර ඇත. එය තුඩු දෙන්නේ හෙද සහ වින්නඹු සේවිකාවන් අතර ගැටුම තවත් තීව්‍ර කිරීමට ය. හෙද සේවිකාවන් සූතිකාගාරවල සේවයේ යෙදවීමෙන් මාතෘ සහ ලමා මරන සංඛ්‍යාව ඉහල ගොස් ඇතයි වින්නඹු සේවා වෘත්තීය සමිතිය කලැයි කියන ප්‍රකාශයකට විරෝධය පල කල රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජ්‍ය සභාපති දයානන්ද බොරලැස්ස, වින්නඹු සේවිකාවන් රජයේ රෝහල්වලින් "එලියට ඇද දමන" බවට තර්ජනය කර ඇත. එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව ඇතුළු එම සංගමයේ නිලධරය ශ්‍රේනිවාදී කාකෙටවීම් පිලිබඳව අපකීර්තිමත් වාර්තාවක් ඇති, රාජපක්ෂ ආන්ඩුවෙන් විවිධාකාර වරප්‍රසාද ලබමින් යැපෙන සමිති නඩයකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, හෙද සේවිකාවන්ට සූතිකා පුහුනුව දීමට විරුද්ධ ය. ඒ වින්නඹු සේවිකාවන් සම්බන්ධයෙන් විශේෂ අනුකම්පාවක් නිසා නොව, රජයේ වෛද්‍ය නිලධාරීනේගේ සංගමයට අනුව වින්නඹු සේවිකාවන් සූතිකාගාර සේවයෙහි යෙදවීම හෙද සේවිකාවන් යෙදවීමට වඩා "ආර්ථික වසයෙන් වාසිදායක" ය. එනම් වින්නඹු සේවිකාවන්පුහුනු කිරීමට වඩා වැඩි වියදමක් හෙද සේවිකාවන් පුහුනු කිරීම සඳහා ආන්ඩුවට දැරීමට සිදුවන හෙයිනි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමට ඉඩ නොදිය යුතු යයි ද, හෙද සේවිකාවන් සදහා යෝජිත සූතිකා පුහුනුව ක්‍රියාත්මක කලහොත් එම පාඨමාලාව සදහා රජයට රුපියල් මිලියන 2.8ක අමතර වියදමක් දැරීමට සිදුවෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා ප්‍රකාශ කර ඇත. වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම ප්‍රතිගාමී පිලිවෙත ආන්ඩුවේ කප්පාදු සැලසුම් සමග සෘජුව ම සම්බන්ධ වෙයි. හෙද සේවකයන් සහ තාක්ෂනික හා ඖෂධ සංයෝජක ඇතුළු සේවාවන් සදහා පැවැත්වෙන සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාවට ද දැඩිව විරුද්ධ වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂ ආන්ඩුවේ අතකොලුවක් ලෙසිනි.

සූතිකා පුහුනුව නිමිති කරගෙන රාජ්‍ය සෞඛ්‍ය සේවයේ හෙද සහ වින්නඹු සේවකයන් අතර විරසකවීමක් සහ කාකොටා ගැනීමක් ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිති විසින් නිර්මානය කරනු ලැබ ඇත්තේ එලෙස ය. වෘත්තීය සමිති විසින් කරනු ලබන මෙම දුෂ්ට ශ්‍රේනිවාදී උසිගැන්වීම තුඩු දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත රාජ්‍ය වියදම් කැපීමේ කොටසක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සංධාන ආන්ඩුව විසින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ හා සේවක අයිතීන්ට පහර දීමේ සැලසුම්වලට එරෙහිව සෞඛ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම වලක්වා එකී සැලසුම් ක්‍රියාවට දැමීමට ඉඩ සැලසෙන ආකාරයට ආන්ඩුවේ අත ශක්තිමත් කිරීමකි.

ආරාවුලට තුඩු දී ඇත්තේ මෙතෙක් තෝරාගත් හෙද සේවිකාවන් කොටසකට පමනක් ලබාදුන් සූතිකා පුහුනුව හෙද වෘත්තීය සමිතිවල ඉල්ලීම මත සියලුම හෙද සේවිකාවන්ට මෙම වසරේ සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීන්දුවකි. ඒ අනුව ජනවාරි 16 දා සිට 2009 බී කන්ඩායමේ හෙද සිසුවියන් සදහා සූතිකාගාර පුහුනුව ආරම්භ කිරීමට නියමිතව තිබුනි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධවූ නිසා එය අත්හිටුවීමට නියෝග කල සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්නය "විසඳීමට" තාක්ෂනික කොමිටියක් පත් කලේ ය.

වින්නඹු සේවිකාවන්ගේ පාඨමාලාවට සූතිකා පුහුනුව ඇතුලත් වන අතර ඔවුන්ගෙන් කොටසක් රෝහල්වල මාතෘ වාට්ටු හා සූතිකාගාර සේවයටත් බහුතරය ක්ෂේත්‍ර සේවා කටයුතුවලටත් යොමු කරනු ලබයි. දරු ප්‍රසූතියේ යෙදෙන ගැබිනි මව්වරුන්ට සහයවීමේ දී සූතිඝර තුල වැඩි වගකීමක් දරන්නේ තමන් බව වින්නඹු සේවිකාවෝ කියති. වැඩි වගකීම දරන්නේ තමන් යයි හෙද සේවිකාවෝ අනෙක් අතට කියති.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා හෙද සංගමය, රජයේ වින්නඹු සේවා සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිතිවල නිලධරය මෙම විරසකය ඇවිස්සීමේ පාර්ශවකරුවෝ ලෙස ක්‍රියා කරති.

ශ්‍රේනිවාදී කාකෙටවීම් උසිගන්වන වෘත්තීය සමිතිවල මෙම පිලිවෙත අතිශයින්ම ප්‍රතිගාමී ය. සෞඛ්‍ය සේවකයන්ගේ රැකියා සහ සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව ඔවුන්ගේ ඒකාබද්ධ ආරගලයක් සංවිධානය කිරීමට මෙම සියලුම වෘත්තීය සමිති මුළුමනින් ම හතුරු ය. එපමනක් නොව නිදහස් සෞඛ්‍ය සේවය වැනසීමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම්වලට විරුද්ධව කිසිදු අරගලයක් කිරීමට ද මෙම සමිති නිලධරය සූදානම් නැත.

ආන්ඩුවේ වියදම් කප්පාදුවේ ප්‍රතිපලයක් ලෙස වෛද්‍යවරුන්ගේ සිට පහලට සියලුම ශ්‍රේනිවල සේවකයන්ගේ බරපතල හිගයක් රාජ්‍ය සෞඛ්‍ය සේවය තුල ඇත. උපකරන, ඖෂධ සහ සෙසු පහසුකම්වල ද ඇත්තේ එබඳුම හිගයකි. රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව රාජ්‍ය සෞඛ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට හා දෙස් විදෙස් ආයෝජකයන්ට ලාබ පොදිගසා ගැනීමට බදු සහන සහිතව පුද්ගලික රෝහල් සේවා ඇරඹීම වේගවත් කිරීමට දිරි දී ඇත.

සමිති නිලධරයේ උසිගැන්වීම් මත ශ්‍රේනිවාදී කාකොටා ගැනීම්වලට නතු වීමෙන් සිය පන්ති එකමුතුව සහ සටන් ශක්තිය ද දුර්වලවන බවත් ධනපති පාලක පන්තියේ අත ශක්තිමත් වන බවත් වින්නඹු හා හෙද සේවකයන් තේරුම් ගත යුතු ය. ශ්‍රේනිගත වෘත්තීය සමිති විසින් අවුලුවන කාකෙටවීම් වින්නඹු සහ හෙද සේවිකාවන් මෙන් ම වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. ඒ ඒ අංශවල සෞඛ්‍ය සේවකයන් ස්වාධීනව පත්කරගන්නා ක්‍රියාකාරී කමිටු මගින් සාකච්ඡා කල යුත්තේ නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමේ වැඩපිලිවෙලකි; අවශේෂ කම්කරුවන්ගේ සහාය ඊට දිනාගැනීමේ වැඩපිලිවෙලකි. සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන් රැකගැනීම ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයට එරෙහි දේශපාලන අරගලයේ කොටසකි.

Share this article: