2013 වසර නිමා වන විට ධනේශ්වර කඩා වැටීම උත්සන්න වේ

As 2013 draws to a close, capitalist breakdown is intensifying

2013 දෙසැම්බර් 30

1930 ගනන්වලින් පසු ඇතිවූ ගැඹුරුතම අර්බුදයෙන් වසර පහකට වඩා ගෙවී ඇති තතු තුල මෙම වසර අවසන් වන විට ලෝක ආර්ථිකය වරෙක ''සාමාන්‍යය" යැයි සැලකූ ආර්ථික වර්ධනය අසලටවත් පැමින නැත. ඉහලයාමක් වෙනුවට ස්ථිරසාර පහත් වර්ධනය, අවපාතය, ආයෝජන පහත වැටීම, අන් කවරදාටත් වඩා පහත් මූර්ත වැටුප් හා දිගින් දිගට ම ඇදී යන ඉහල විරැකියාව ආදියෙන් සැදුම්ලත් "පොදු ඇනහිටීමක්" පැතිරෙමින් පවතී.

ඩොලර් ට්‍රිලියන ගනන් ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතන වලට නොමිලේ ම වාගේ සපයන්නාවූ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ හා ජපන් මහ බැංකුවේ "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ " වැඩ පිලිවෙල ප්‍රධාන කොට ගත් පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රතිපත්ති පෙලක් පසුගිය මාස 12 තුල දක්නට ලැබිනි.

ෆෙඩරල් රිසර්ව් බැංකුව පමනක් ගත්ත ද 2008 මූල්‍ය අර්බුදය ආරම්භයේ දී පැවැතියාක් මෙන් සතර ගුනයකටත් වඩා, එනම් ඩොලර් ට්‍රිලියනකටත් වඩා, බැංකුව සිය ශේෂ පත්‍ර වත්කම් අගය මෙම වසර තුල පුලුල් කරගෙන තිබේ. ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්ති හසුරුවන ජපන් මහ බැංකුව එම රටෙහි මූල්‍ය සැපයුම දෙගුනයක් කිරීම සදහා කැපවී සිටියි.

මෙම ක්‍රියාමාර්ග දෙක ම යොදවනු ලැබුවේ එමගින් ආර්ථිකය උද්දීපනය වෙතැයි යන ප්‍රකාශ සමගිනි. එනමුදු ඉන් වාසි ලැබුවේ ප්‍රධාන බැංකු හා මූල්‍ය සමපේක්ෂකයින් පමනි. දෙවන ලෝක යුද්ධයේ පටන් ඇතිව තිබෙන අනෙකුත් ප්‍රසාරනයන්හි වසර හතරක සාමාන්‍ය ප්‍රතිශතය වන 4.1 සමග සසදන විට 2009 ජූනි මාසයේ දී අවපාතය නිල වශයෙන් අවසන් වීමෙන් පසු එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධනයෙහි සාමාන්‍යය යන්තම් සියයට 2.3ක් වන අතරතුර දී වසර අවසානයේ කොටස් වෙලඳපොල වාර්තාගත අගයන් කරා ඉහල ගියේ ය. 2009 පටන් ලෝකයේ ගෝලීය ප්‍රකෝටිපතියන්ගේ වත්කම් දෙගුන වීමෙන් මූල්‍ය පරපෝෂිතභාවයේ ඉහල යාම පෙනී යයි.

ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකුවල කටයුතු මගින් මූල්‍ය වෙලඳපොලවල මුදල් ගොඩ ගැසීම, 2008දී සිදුවූවාටත් වඩා බැරෑරුම් තවත් මූල්‍ය කඩා වැටීමකට පදනම සකසමින් තිබේ. නිදසුනක් ලෙස අවදානම වැඩි කසල ලෙස සලකන නය ප්‍රමානය 2008දී පැවති ඩොලර් බිලියන 593 ඉක්මවමින් මෙම වසර තුල වාර්තාගත ඩොලර් බිලියන 693ක් වූ බව බ්ලූම්බර්ග් වාර්තා කලේ ය.

2014දී එක්සත් ජනපද ආර්ථිකයේ "ඉහල නැගීමක්" පිලිබදව අනාවැකි පලකරන අය, පසුගිය සමය තුල නිල විරැකියා අනුපාතය පහත වැටීම පිලිබඳව නිසැකව ම කතා කරනු ඇත. එවන් විනිශ්චයක් මගින් නොතකා හරිනු ලබන්නේ, නව රැකියාවන්ගෙන් බහුතරයක් සැලකිය යුතු තරමේ අඩු වැටුප් රැකියා වන අතර ඒ ආකාර "වර්ධනය" සිදුවන්නේ වැඩි වැඩියෙන් ජනතාව ශ්‍රම බලකායෙන් ඉවතට තල්ලුවීම හේතු කොට ගෙන බව යි. 2009දී ඔබාමා පරිපාලනය විසින් සිදුකල ප්‍රතිව්‍යුහකරන ක්‍රියාමාර්ගයට අනුව අඩු වැටුප් රේට්ටු පිලිබද ප්‍රමිතිය යටතේ, රථ වාහන කම්හල්වලට බඳවා ගැනෙන නව ශ්‍රමිකයන්ගේ වැටුප අඩකින් කපා හැරිනි. පසුගිය මාස 43 තුල ඇතුල්වූවාට වඩා වැඩි පිරිසක් එක්සත් ජනපද ශ්‍රම වෙලඳපලින් බැහැර වී ඇත.

අබේ ආන්ඩුව හා ජපන් මහ බැංකුව විසින් මෙම වසර මුලදී ආරම්භ කල "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" ක්‍රියා මාර්ගය, ජපන් ආර්ථිකයට ප්‍රාරම්භක දිරියක් දෙනු ලැබුව ද එහි සඵලත්වය ක්ෂය වීමට පටන් ගෙන ඇත. ලබන මාර්තුවේ ආරම්භ වන මූල්‍ය වර්ෂයේ මූර්ත දල දේශීය නිෂ්පාදිතය සියයට 1.4ක් පමනක් වන බවට, එනම් මෙම වසර සඳහා ඇස්තමේන්තුගත සියයට 2.6ට වඩා පහල වැටෙන බවට, ආන්ඩුව පසුගිය සතියේ අනාවැකියක් පල කලේ ය.

දිගින් දිගට ම මාස 17ක් තිස්සේ පැවති පහල යාම් වලින් පසුව, පසුගිය මාසය තුල මූර්ත වැටුප් පහත නොවැටීම "හොඳ ප්‍රවෘත්තියක්'' ලෙස හුවා දැක්වීම, ජපන් ආර්ථිකයේ ඇනහිටීම පිලිබඳ මිනුමකි.

ගෝලීය ධනපති ආර්ථිකයේ අධස්ත කඩා වැටීමේ ප්‍රධාන දර්ශකයන්ගෙන් එකක් වන්නේ, ලාභ එක් රැස් කිරීම හා ආයෝජන මට්ටම එනම් සමස්ත ආර්ථිකයේ ප්‍රසාරනය සදහා වන මූලික ගාමක බලය අතර වැඩෙන ප්‍රතිවිරෝධය යි.

නව ආයෝජන සඳහා පවතින්නේ ඉතා සුලු අවස්ථාවන් බැවින් ගෝලීය සමාගම් ඩොලර් ට්‍රිලියන 4ක පමන මුදල් තොග ගසාගෙන සිටින බව ගනන් බලා ඇත. ඉන් අඩක් ම එක්සත් ජනපදයේ ය. නිෂ්පාදනය ඉහල දැමීම සඳහා ලාභ යොදවනු වෙනුවට සමාගම් සිය මුදල් සංචිත වැඩි වැඩියෙන් යොදවන්නේ, සමාගම් කොටස්වල අගය ඉහල දැමීම සදහා කොටස් ආපසු මිලට ගැනීම මගින් මූල්‍ය ලාභ, දැවැන්ත සමාගම්වල කොටස්කරුවන් වන හෙජ් අරමුදල්, බැංකු හා ආයෝජන සමාගම්වලට ලබා දීමට ය. මෙය, 1950 ගනන් මුල සිට පැවත එන ඒවා ද ඇතුලු කම්හල් හා අනෙකුත් පහසුකම් වසා දැමීමට යොමුවූ ගෝලීය වාහන කර්මාන්තයේ සිදුවූවාක් මෙන්, ප්‍රධාන "ප්‍රතිව්‍යුහකරනයක්" සමග සම්බන්ධ ය.

"ප්‍රතිව්‍යුහකරනයේ" සමාජ බලපෑම වඩාත් ම පැහැදිලිව නිරූපනය වන්නේ, ආයෝජන මට්ටම 2008ට පෙර පැවති මට්ටමට වඩා සියයට 30න් පහත වැටුනු යුරෝ ප්‍රදේශය තුල ය. බැංකුවල විධානයන්ට අනුකූලව සියලු ආන්ඩු විසින් ක්‍රියාත්මක කරනු ලැබූ කප්පාදු වැඩපිලිවෙලේ බලපෑම සමග එක්ව ගත්විට ප්‍රතිව්‍යුහකරනය සමාජ ව්‍යසනයක් ගෙන එයි.

කප්පාදු න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල ලෙස යුරෝපය දරිද්‍රතාවේ, බහුජන විරැකියාවේ, සමාජ හුදෙකලාවේ, ඉහල යන අසමානතාවේ හා සාමූහික ඉච්ඡාභංගත්වයේ දිගු කාල පරිච්ඡේදයක ගිලෙමින් සිටින බව ඔක්තෝබරයේ පල කෙරුනු ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ අධ්‍යනයෙන් පැහැදිලි කරයි. "මෙම අර්බුදයේ දිගු කාලීන ප්‍රතිඵල තවම මතුපිටට පැමින නැති" බව වාර්තාව කියා සිටියි. "ආර්ථිකය නුදුරු අනාගතයේ දී වඩා හොඳ අතට හැරුනාවුව ද ඉන් ඇතිවූ ගැටලු දශක ගනනාවක් පුරා දැනෙනු ඇත."

ගෝලීය මූල්‍ය අර්බුදය පැන නැගීමෙන් පසු කාල පරිච්ඡේදයේ ඉදිරිපත් කල එක් පැහැදිලි කිරීමක් වූයේ චීනය හා අනෙකුත් "නැගී එන වෙලඳපොලවල්" වලට ප්‍රධාන ආර්ථිකයන්ගෙන් වෙන් කෙරුනු, ගෝලීය ප්‍රසාරනය සඳහාවූ නව පෙරමුනක් තැනිය හැකිය යන්න යි.

මෙම ප්‍රකාශය ද පසුගිය මාස 12 තුල තදින් හා සත්‍ය වශයෙන් බිඳ වැටී ඇත. මේ මස මුල දී චීන බලධාරීන් විසින් කැඳවනු ලැබූ ආර්ථික සම්මේලනයක දී අනතුරු අඟවනු ලැබුවේ, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය පහල වැටීමේ පීඩනයකට මුහුන දී ඇති බව යි. චීන කර්මාන්තයේ බැරෑරුම් අධිධාරිතාව හා විශේෂයෙන් පලාත් ආන්ඩු කරගසා සිටින නය කන්දරාව, මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් බව සම්මේලනය කියා සිටියා ය.

2013 මැද දී ෆෙඩරල් මහ බැංකුවේ "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" ක්‍රියා මාර්ගය ක්‍රමයෙන් අඩු කිරීම සඳහා ඇති ඉඩකඩ පිලිබඳව පලවූ ප්‍රතික්‍රියාවෙන් පැහැදිලි වූයේ, ප්‍රධාන වෙලඳපලවලින් වෙන්වී ගැනීම කෙසේවුව ද "නැගී එන වෙලඳපල" අස්ථිර ප්‍රාග්ධන සංචලනයන්ට අතිශයින් ම සංවේදී බව යි. සමස්තයක් ලෙස ගෝලීය මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පිලිබඳ දුර දිග යන ප්‍රතිවිපාක දනවන, එක්සත් ජනපද පොලී රේට්ටු ඉහල දැමීමට ප්‍රතිචාර ලෙස, 1997 – 98 ආසියානු මූල්‍ය අර්බුදය මෙවර වඩාත් පුලුල් පරිමානයකින් යලි පැන නැගීම පිලිබඳ අනතුර ඇත. එක්සත් ජනපද පොලී රේට්ටු ඉහල දැමීමට ප්‍රතිචාර ලෙස ප්‍රධාන මූල්‍ය අරමුදල් ඉවතට ගලායාම් අත්වින්දාවූ මූලික ආර්ථිකයන්ගෙන් සමහරක් වන්නේ තුර්කිය, ඉන්දියාව හා ඉන්දුනීසියාව යි.

ගෝලීය ආර්ථිකයේ යම් ප්‍රකෘති වීමක් පිලිබඳ ඉඩකඩ අහුරමින් මෙම සියලු ප්‍රවනතාවන් 2014 දී තවත් ගැඹුරු වනු ඇත. කම්කරු පන්තිය දරිද්‍රතාවට හා උග්‍ර පීඩනයට ඇද දැමීම හැරුනු කොට පාලක පන්තීන්ට මෙම අර්බුදයට දිය හැකි විසඳුමක් නැත. ලොව පුරා කම්කරු පන්තිය මෙම තත්වය තේරුම් ගතයුතු අතර සිදුවෙමින් පවතින ධනේශ්වර කඩා වැටීමට මුහුන දීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත පදනම්ව තමන්ගේ දේශපාලන මූලිකත්වය ගැනීම සඳහා එලැඹෙන වසර යොදා ගත යුතු ය.

නික් බීම්ස්

Share this article: