ජොන්සන් "දරිද්‍රතාවට එරෙහි යුද්ධය" ප්‍රකාශ කර පනස් වසරක් ගතවෙයි

Fifty years since Johnson’s declaration of the “War on Poverty”

2014 ජනවාරි 08

1964 ජනවාරි 8දා කොන්ග්‍රසය හමුවේ පැවැත්වූ සිය ප්‍රථම සමූහාන්ඩු දේශනය තුල ජනාධිපති ලින්ඩන් ජොන්සන් ඇමෙරිකාව තුල දිලිඳුබව, විරැකියාව සහ කුසගින්න අවසන් කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කලේ ය. කලින් සිටි ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කර සති 7ක් ගතවීමටත් පෙර කල මෙම දේශනයේ දී ජොන්සන්, "මෙම පාලනාධිකාරය අද මෙහිදී, මේ දැන්, එක්සත් ජනපදය තුල දිලිඳු බවට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නේ" යැයි පැවසීය.

එක්ව ගත්කල "ග්‍රේට් සොසයිටි" යයි කල එලියට පැමිනි රෙගුලාසි සහ වැඩ සටහන් මාලාවක් වසර දෙකක් ඇතුලත කොන්ග්‍රසය විසින් ක්‍රියාවට දැමුනි. පිලිවෙලින් වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය රක්ෂනයක් සම්පාදනය කරන සහ ආබාධිතයන්ට සහ දුගීන්ට ‍ෆෙඩරල් ආන්ඩුවේ සෞඛ්‍ය ආරක්ෂන ආවරනයක් හඳුන්වා දුන් මෙඩි කෙයාර් සහ මෙඩිකෙයිඩ් වැඩසටහන් ඇති කිරීමේ 1965 පනත: ප්‍රතිසංස්කරන යුගයෙන් ශතවර්ෂයකට ආසන්න කාලයකට පසුව ආයතනගත වර්ගවාදය විසඳීම සඳහා ගෙන ආ ප්‍රතම වැදගත් නීතිය වන 1964 සිවිල් අයිතිවාසිකම් පනත; සහ "හෙඩ් ස්ටාර්ට්" නම් පූර්ව බාලාංශ අධ්‍යාපන වැඩ සටහන සහ "ආහාරමුද්දර" වැඩසටහන ඇතුලු, රැකියා පුහුනුව, නාගරික සංවර්ධනය, අධ්‍යාපනය සහ පෝෂනය සඳහා වන ආන්ඩුවේ ඒජන්සි ගනනාවක් ආරම්භ කිරීම ද මීට ඇතුලත් විය.

ජොන්සන් සිය ව්‍යස්ථාමය න්‍යායපත්‍රය ගෙන ආවේ, ඇමෙරිකානු ධනවාදය පිලිබඳ ඓතිහාසික පරීක්ෂනයක් ලෙස ය. "අපේ පද්ධතියේ සාර්ථකත්වය සහ අදාලත්වය ඔප්පු කිරීමේ මහඟු අවස්ථාවක් 1964 දී අපට ලැබුනි... අප අසාර්ථක වුවහොත් ඉතිහාසය විසින් අප දැඩි ලෙස විනිශ්චය කරනු ඇත."

ඉතිහාසය සිය තීන්දුව දුන්නේ ය. දුගී බවට එරෙහි යුද්ධය කිසිදා දුප්පත්කම හෝ කුසගින්න නැති කිරීමේ ආසන්නයටවත් සමීප නොවී ය. එය අසාර්ථක වූයේ එක්සත් ජනපදය තුල හෝ ඉන් පරිබාහිරව හෝ පන්ති පදනම්වලට අත තැබීමට ඊට නොහැකිවූ නිසා ය. එක්සත් ජනපදය සතු ධනයට සාපේක්ෂව - "මිහිපිට පොහොසත්ම රට" බව ජොන්සන් සිය ශ්‍රාවක පිරිසට මතක් කර දුන්නේ ය- මේ සඳහා යොදා ගත්තේ සොච්චමක් පමනි. ජොන්සන් සිය වැඩපිලිවල තුලට ධනවතුන්ගේ බදු කපා හැරීම ද ඇතුලත් කලේ ය. මෙයට වඩා අති විශාල සම්පත් ප්‍රමානයක් ඇමෙරිකානු යුධ යන්ත්‍රයට වැය ‍කෙරිනි. ජොන්සන්ගේ කතාවෙන් අනතුරුව පැමිනි වසරවලදී උත්සන්න බවට පත් ඇමෙරිකානු ධනවාදයේ පරිහානිය මගින් අවසානයේ දී මෙම දුගී බවට එරෙහි යුද්ධය ඛාදනය වී ගියේ ය.

'ග්‍රේට් සොසයිටි' ප්‍රතිසංස්කරන කල හැකි වූයේ ගෝලීය ආර්ථිකය තුල එකසත් ජනපදය සතුව පැවති බලය නිසා ය. 1964 තරම් පසු කලෙක පවා ඇමරිකාව ලොව කාර්මික නිෂ්පාදනයෙන් සියයට 40ක් පාලනය කලේ ය. කෙසේ වෙතත් මෑත ආර්ථික ඉතිහාසයට අනුව 1950 ගනන්වල අවසාන භාගයේ පටන් වසරකට ඩොලර් බිලියන 3 බැගින් එක්සත් ජනපද ගෙවුම් ශේෂ හිගය වර්ධනය වූ අතර "අනෙකුත් රටවල් කරා අති විශාල ලෙස රන් හා ඩොලර් ගලා යාම" ඇරඹෙමින් තිබුනි. 1960 ගනන් වලදී එජ ආර්ථිකය වේගයෙන් වර්ධනයවූ නමුත් ජපාන සහ ජර්මානු ආර්ථිකයන් පිලිවෙලින් එමෙන් තුන් ගුනයකින් හා දෙගුනයකින් වැඩුනි. මුලදී සම්පත් අවභාවිතාවක් ලෙස සාවද්‍යය ලෙස වටහා ගත් ඇමරිකානු කර්මාන්තයේ කඩාවැටීම බොහෝ සෙයින් ඇතිවී තිබුනේ උතුරු නාගරික ප්‍රදේශවල ය. 1950 ගනන්වල පසුබෑමෙන් වසර ගනනාවකට පසු "මිලියන 4ක් කම්කරුවෝ සහ අපේ කාර්මික ධාරිතාවෙන් සියයට 13ක් තවමත් වැඩක නොයෙදී ඔහේ තිබේ" යයි සඳහන් කල ජොන්සන් මෙම කාරනාව වක්‍ර ලෙස පිලිගත්තේ ය.

කාර්මික පසුබෑමක මුල් ලක්ෂන ආපසු හැරවීමේ හොඳම මෙවලම බදු කප්පදුව යයි කෙනඩි, ජොන්සන් සහ ඔවුන්ගේ උපදේශකයෝ විශ්වාස කලහ. කෙනඩිගේ ප්‍රධාන මූල්‍ය පිලිවෙත පෙරට ගෙනයමින් ජොන්සන්, "සියල්ලටමත් වඩා අපි අඩු වූ බදු මුදල් බිලියන 11ක් මේ රටේ නව රැකියා සහ වෙලඳ පොලවල් නිර්මානය කරන පෞද්ගලික වියදම් ප්‍රවාහයට මුදාහල යුතු වෙමු. මේ රට පෙරට ගෙන යාමට අපට දැන් බදු කප්පාදුවක් අවශ්‍ය වේ" යැයි පැවසීය. 1964 එක්සත් ජනපද ආදායම් බදු පනත අනුව ඉහලම තීරුවේ බදු රේට්ටුව සියට 90 සිට 71 දක්වා අඩු කලේ, බදු ගෙවන්නන්ගේ ඉහලම සියයට 2ට සමස්ත බදු කප්පාදුවේ එකතුවෙන් සියයට 30ක් හිමිවන ලෙසට ය. සංගත බදු ද අඩු විය.

ධනවත් ස්ථරවල බදු අඩුකර සහන සැලසීමෙන්, ඔවුන් කර්මාන්තවල ආයෝජනය වැඩි කරනු ඇත යන මෙම තර්කය 1960 ගනන් වලදී බිඳ වැටුනි. එම දශකය තුල සංගතවල ලාභය සියයට 65කින් ඉහල ගියේ ය. එහෙත් සංගත සහ ධනවත් කොටස් හිමියෝ වැඩි වැඩියෙන් සම්පත් විදේශයන්ට හරවා යැවීම ද (1960 ගනන්වලදී එජ සංගත සතු පිටරට කාර්මික ආයෝජනය 500 ගුනයකින් ඉහල ගියේ ය ) ඉතිහාසඥ ඇල්ෆ්‍රෙඩ් ශැන්ඩ්ලර් 1965-1969 එකතුවීමේ සහ පවරා ගැනීමේ "කුලප්පුව" ලෙස හැඳින්වූ, මූල්‍ය සම්පේක්ෂනය දෙසට හරවා යැවීම ද සිදු විය. ස්ථාවර සහ දීර්ඝ කාලීන ව්‍යාපාර කොටස් හිමිකර ගැනීම, කෙටිකාලීන ලාභය පදනම් කරගත් මිලදී ගැනීමේ මූලෝපායකින් අනවරතව විස්ථාපනය වන්නට විය.

"එලිපිට ආක්‍රමනයේ දී වේවා, නැතහොත් හැනෝයි හා හවානාහි භාවිතා කෙරෙන ආකාරයේ කාවැදීම් ලෙස වේවා, එන තර්ජනයකින් නිදහසේ මාවත රැක ගැනීම පිනිස" කෙනඩි යටතේ සිදුවූ මිලිටරි වියදම් ඉහල නැංවීම මගින් "ලබා ගත් මිලිටරි වාසිය මෙන්ම සුරක්ෂිත භාවය" එලෙසම පවත්වාගෙන යාමට සිය කතාවේ දී ජොන්සන් පොරොන්දු විය. එහෙත් කෙනඩි-ජොන්සන් වසරවල දැවැන්ත මිලිටරි වියදම්, සම්පත් ඵලදායී ආයෝජනයෙන් ඉවතට හරවා, වඩ වඩාත් ඩොලර් ඇමෙරිකාවෙන් පිටතට යවා , ආර්ථික පසුබෑමට දායකත්වය සැපයීය.

ජොන්සන් පරිපාලනය 1964 අගෝස්තුවේ ටොන්කින් බොක්කේ බොරු සිද්ධිය, යුද්ධය ඇරඹීමට හේතුවක් ලෙස යොදා ගත් අතර ඊලඟ දශකයේ දී එජ ඩොලර් බිලියන 700ක් තරම් ධනයක් වියට්නාම් යුද්ධයට වියදම් කලා ය. යටත් විජිත විරෝධී ජාතික විමුක්ති පෙරමුන සහ උතුරු වියට්නාමය පරාජය කිරීමේ අසාර්ථක උත්සාහයේ දී 58,000ක් ඇමෙරිකානු සෙබලුන්ද සමග මිලියන 3ක් පමන වූ ඈත පෙරදිග ආසියානුවන්ද මියගොස් ඇත. ජොන්සන්ගේ විවේචකයන් විසින් දුගී බවට එරෙහි යුද්ධයේ හුලං බැසීම සහ වියට්නාම් යුද්ධයේ වියදම් අතර සම්බන්ධතාව ගෙන හැරදැක්වූ අතර ඔවුන් අතරින් මාර්ටින් ලුතර් කිං මෙසේ කීවේ ය, " එක සතුරු සොල්දාදුවකු මැරීමට එජ ඩොලර් 500,000 වැය කරන නමුත් දුගී යයි හඳුනා ගත් අයකුට වියදම් කරන්නේ ඩොලර් 3ක් පමනි." 1960 ගනන් අග වන විට එක්සත් ජනපදයේ සෑම රැකියා දහයකට ම එකක් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ සමග බැඳී තිබුනි.

එජ අති දැවැන්ත ධන සම්භාරය ජොන්සන්ගේ ප්‍රතිසංස්කරන වැඩපිලිවලට ඉඩ සැලසූ අතර කම්කරු පන්තියේ සටන්කාමිත්වය නිසාවෙන් එය දේශපාලිනිකව ද අවශ්‍ය වූ බව පෙනෙන්නට තිබුනි. 1950 ගනන් අග සහ 1960 ගනන් මුල වානේ, වාහන, විදුලි, ගුවන් සහ නාවුක ඇතුලු ප්‍රධාන කර්මාන්ත වැඩ වර්ජනවලින් ඇලලී ගිය අතර ගුරුවරු සහ රජයේ සේවකයින් ද කම්කරුවන් පරිදි ම ඉල්ලීම් ඉදිරිපත් කිරීම ඇරඹූහ. ඩිමොක්‍රටික් නායකත්වයට වඩාත් අනතුරුදායක වූයේ දකුනේ ජිම් ක්‍රෝ‍ගේ වාර්ගික භේදකරනයට එරෙහි කලු කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ යෝධ අරගල සහ උතුරේ දුගී බව ය.

ග්‍රේට් සොසයිටිහි සීමිත ප්‍රතිසංස්කරන හේතුවෙන් කම්කරු පන්තියේ සටන්කාමිත්වය යටපත්ව ගියේ නොවේ. සිවිල් අයිතිවාසිකම් අරගල සාමකාමී ස්වරූපයෙන් ඉවත්ව 1960 ගනන් අගදී දැවැන්ත නාගරික අරගල බවට පත්විය: මිලියන ගනන් ඇමෙරිකානුවෝ වියට්නාමයේ ඇමෙරිකානු අරමුනුවලට එරෙහිව විරෝධතා දැක්වූහ; මේ අතර 1970 මුල් වසරවල, 1945-1946 පසුව ආ විශාලතම වැඩ වර්ජන රැල්ලකින් රට අලලා ගත්තේ ය.

ග්‍රේට් සොසයිටි ලිබරල් ප්‍රතිසංස්කරනවල අසාර්තකත්වය, 1970 ගනන්වල වැටුප් අරගල සහ දිගින්දිගට ම සිදුවූ ඇමෙරිකානු ධනවාදයේ ගෝලීය පරිහානිය, පන්ති සම්බන්ධතාවල තියුනු වෙනසක් සඳහා වේදිකාව සැකසීය.

මූල්‍යය සමපේක්ෂනය සහ ධනපතියන් පිනවනු පිනිස සම්පත් හරවා යැවීම ප්‍රධාන පක්ෂ දෙකෙහි ම දේශීය පිලිවෙතෙහි හරය බවට පත්ව තිබේ. 1970 ගනන්වල සිට නගර සහ සමස්ත ප්‍රදේශයන් ම විනාශමුඛයේ හෙලමින් එකකට පසු එකක් ආන්ඩු ධනපතීන්ට බදු සහන දෙමින් කර්මාන්තයෙන් කර්මාන්තය කඩාකප්පල් කිරීම පෙරට ගෙන ගියහ. 1980 ගනන්වල දී සංවිධිත කම්කරු කන්ඩායම්වලට එරෙහි එකදිගට ක්‍රියාවට නගන ලද පියවර ද මේ හා එක් විය.

මෙම සන්තතීන්ගෙන් තර වූ පාලක ස්ථර, සමාජ සහන වැඩසටහන් සඳහා වන ආන්ඩුවේ ඕනෑම වියදමක් සිය පුද්ගලික ධනය ගොඩ ගසා ගැනීම මත ඉසිලිය නොහැකි බාධාවක් ලෙස දකින්නට පටන් ගත්හ.

1970 ගනන් වන විට පක්ෂ දෙක ම, 1930 ගනන් වල සහ 1960 ගනන් වල ප්‍රතිසංස්කරන ආපසු ඇකිලීමට සහාය දුන් නමුත් මෙම ප්‍රහාර එල්ල කිරීමේදී ඩිමොක්‍රටික් පක්ෂය වඩාත් නිර්දය ලෙස එය කරන බව ඔප්පු කර තිබේ. නියත ලෙසින්ම මේ අතීත ප්‍රතිසංස්කරන සමග වන ඔවුන්ගේ බැඳීම නිසා ය. ඩිමොක්‍රටික් පාක්ෂික ෆ්‍රෑන්ක්ලින් ඩෙලනො රූස්වෙල්ට් නිව් ඩීල් වැඩසටහනින් ආරම්භ කලාවූ ද ජොන්සන් විසින් ග්‍රේට් සොසයිටි වැඩසටහනින් විශාල ලෙස පුලුල් කලාවූ ද අකාරගතව යැපෙන දරුවන් සිටින පවුල්වලට දෙන සුභසාධන ආධාර ලෙස පොදුවේ හැඳින්වෙන ෆෙඩරල් වැඩසටහන්, 1996 දී ඩිමොක්‍රටික බිල් ක්ලින්ටන් විසින් විනාශ කරනු ලැබීය. බැරැක් ඔබාමාගේ ප්‍රෝඩාකාරී සෞඛ්‍ය ආරක්ෂනය නම් 'ප්‍රතිසංස්කරන' මගින් ග්‍රේට් සොසයිටි වැඩපිලිවෙලේ මූලික ප්‍රතිසංස්කරනයවූ 'මෙඩිකෙයාර්' වැඩසටහනට පහර එල්ල කරමින් සිටී.

ආහාර මුද්දරවලට යන වියදම අඩු කිරීමටත්, දීර්ඝ විරැකියා රක්ෂනය කපා දැමීමටත්, ඔබාමා රිපබ්ලිකන්වරු සමග කුමන්ත්‍රනය කර තිබේ. එක්ව ගත් කල මිලියන 60ක ඇමෙරිකානුවන්ට බලපාන අනේක මානුෂීය වද වේදනා ඇතිකරවන මේ කප්පාදු මගින් 'ඉතුරු' වන්නේ, එක්සත් ජනපද ප්‍රකෝටිපතියෙකු සතු මුදලට වඩා අඩු මුදලකි. පන්ති බෙදුම්කඩනයේ අනෙක්පස දී කොටස් වෙලඳපොල නව ඉහල මට්ටම් වලට නංවමින් පෙඩරල් මහ බැංකුව, මූල්‍ය වංචනිකයින් සඳහා නය කරාම විවෘත කර තිබේ.

ජොන්සන් දුගී බව අවසන් කරන බවට දිවුරා වසර 50ක් ඉක්ම ගොස් ඇති දැන්, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂය ම යටතේ මිලියන 500ක ජනගහනයෙන් 6ට 1ක් නිල දරිද්‍රතා සීමාවෙන් පහල ජීවත් වන රටක, දුගී බව තවත් වැඩි කරන පිලිවෙත් අනුගමනය කරමින් සිටී. අසාර්ථකවූ දුගී බවට එරෙහි යුද්ධය බොහෝ කලෙක සිටම, සමාජයේ පහල තට්ටුවල කල් ගතවුන යෝධ විරැකියාව සහ සමාජ කාලකන්නිකම 'නව සාමාන්‍යය' බවට පත්වෙද්දී , සමාජයේ ඉහලම තට්ටු වෙත ධනය මහා පරිමානයෙන් පවරා දෙන, කම්කරු පන්තියට එරෙහි සමාජ දේශපාලන යුද්ධයකින් විස්ථාපනය විය.

ලාභ ගැරීමේ පද්ධතියක් තුල දුගී බව තුරන් කිරීම නොකලහැක්කක් බව පසුගිය අඩ සියවස තුල තීරනාත්මක ලෙස පෙන්නුම්කර ඇත. එම දැවෙන කටයුත්ත ඉටුකර ගත හැකි වනුයේ මූල්‍ය සහ සංගත කපතියාධිකාරයේ පාලනය අවසන් කර, සමාජවාදී පදනම් මත ආර්ථික ජීවිතය යලි සංවිධානය කිරීම සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව පෙරමුන ගැනීමෙනි.

ටොම් මැකමන්

Share this article: