එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැදපෙරදිග තුල මුදාහැර ඇති විනාශය

The catastrophe unleashed by US imperialism in the Middle East

2014 ජනවාරි 14

බැග්ඩෑඩය සමග බලය පිලිබඳ තත්වයක් සහතික කර ගැනීමට අසමත් වීමෙන් පසුව 2011 දෙසැම්බරයේ දී, අවසාන එක්සත් ජනපද සෙබලා ද ඉරාකයෙන් ඉවත්කර ගැනීමට බල කෙරුනායින් පසුව ජනාධිපති බරක් ඔබාමා, "යුද්ධයේ උදම් රැල්ල බැසයමින්" තිබෙන බවට පුන පුනා සහතිකවී ඇත.

එහෙත් යන්තම් දෙවසරකට වැඩි කලක් ගතවූ තැන, එජ අධිරාජ්‍යවාදය අනුගමනය කල පිලිවෙත් නිසා සමස්ත කලාපයම ප්‍රචන්ඩත්වයෙන් ඇලලී ගොස් තිබේ. කලාපය වෙලාගත් යුද්ධයක් පැනනැගීමේ හැකියාවෙන් යුත් බරපතල අන්තරායක් දැන් මතුව තිබේ.

සිරියාව සමග දේශපාලන සම්මුතියක හැකියාව පිලිබඳව ඔබාමා පාලනාධිකාරය, රුසියාව සමග දැන් සාකච්ඡාවන්ට අවතීර්නවී සිටියි. එසේම ඉරානය සමග එරට න්‍යෂ්ඨික වැඩසටහන හා අඩුම තරමින් පාර්ශවීය ලෙස ආර්ථික සම්බාධක ඉවත්කිරීම මත පදනම්වූ සාකච්ඡා ගෙන යයි.

සිරියාවට මැදිහත්වීමේ අද්දරට පැමින සිටි වොෂින්ටනය, එක්සත් ජනපදයේ ද සමස්ත ලෝකයේ ද ජනතාවගේ ඉහ වහා ගිය විරුද්ධත්වය හමුවේ අඩිය පස්සට ගැනීමෙන් පසුව, පසුගිය සැප්තැම්බරයේ දී මෙම සාකච්ඡා වට දෙක සඳහා පියවර ගත්තේ ය. එහෙත්, සාමය හා රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරා හැරීමක් වෙනුවට, සිරියාවට බෝම්බ හෙලීමේ සිට සාකච්ඡා කරා සිදුවූ මෙම මාරුව, එජ අධිරාජ්‍යවාදයේ වඩාත් වැදගත් පසමිතුරා, එනම් චීනය සමග ගනුදෙනු බේරාගැනීම සඳහා ඉරානය සමග ගැටුම අවසන් කිරීම මගින් වඩාත් වාසි සහගත කොන්දේසි නිර්මානය වනු ඇතැයි යන මූලෝපායික සංකල්පය මත පාදකවූ, "ආසියාවට හැරීම" පිලිබඳ එරට පිලිවෙතේ කොටසක් ලෙස සිදු විය.

එහෙත් වොෂින්ටනයට සිය හැරීම සුමට ලෙස ක්‍රියාවට නැගීමට හැකිවී නැත. මැදපෙරදිග තුල තමන් විසින් ම නිර්මානය කල, දිගහැරෙමින් තිබෙන විනාශය වෙතින් ඉවත්වීම එන්ටඑන්ටම දුෂ්කර වන බව වොෂින්ටනයට ඒත්තු ගොස් ඇත.

එක් ලක්ෂ තිස් දහසකගේ ජීවිත විනාශ කරමින්, මිලියන 9ක ජනතාවට උන්හිටි තැන් අහිමි කල ඉරාක යුද්ධයෙන් පසුව, සිරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා එජ පිටුබලය සහිතව ගෙන යන යුද්ධය, සිරියාවේ දේශසීමා හරහා වඩවඩාත් ලෙබනනයට පැතිරෙමින් තිබේ. මනුෂ්‍ය ඝාතන, මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් හා සන්නද්ධ ගැටුම්, එරට තුල දෛනික සිදුවීම් බවට පත්ව තිබේ. ෆලූජා හා රමාදි යන බටහිර නගරවල ස්වදේශික මිලිෂියාවන් හා ඉරාක හමුදාව අතර සන්නද්ධ බල අරගලයක් දැන් ඉරාකය තුල පිපිරී යමින් තිබේ.

දේශපාලනිකවත් සදාචාරමය වශයෙනුත්, මෙම රුධිරස්නානය සඳහා මූලික වගකීම පැවරෙන්නේ එජ අධිරාජ්‍යවාදය වෙත ය. ඔවුන් සිදුකර ඇති යුද අපරාධවල පරිමාව සැසඳිය හැක්කේ, දෙවන ලෝක සංග්‍රාමය තුල තුන්වන රයිකය විසින් සිදුකරන ලද අපරාධයන්ට පමනි. නියුරම්බර්ග්හි නාසි යුද අපරාධකරුවන්ට එරෙහිව නඟන ලද මූලික චෝදනාවවූ ආක්‍රමනික යුද්ධය, එජ ආන්ඩුවට එරෙහිව එල්ලවන මූලික චෝදනාව ද වන්නේ ය. තවත් බොහෝ බිහිසුනු සිදුවීම් ගලා ආවේ එයින් ය.

නොපැවතියාවූ ජන ඝාතක අවි පිලිබඳ බේගල් පදනම් කරගෙන ගොඩනඟන ලද ඉරාක යුද්ධය, අධිරාජ්‍යවාදී ආක්‍රමනිකත්වය විසින් ගනන් බලා කරන ලද කොල්ලකාරී ක්‍රියාවකි. එයවූ කලී, "කම්පනය හා තැතිගැන්ම" සමගින් සමස්ත ග්‍රහලෝකයට ම ඇමරිකානු මිලිටරිවාදයේ මෘග බලය ප්‍රදර්ශනය කල, මූලෝපායිකව වැදගත් හා තෙල්වලින් පොහොසත් කලාපය තුල එජ ආධිපත්‍යය පිහිටුවීම අරමුනු කරගත් ක්‍රියාවකි.

මෙම ක්‍රියාවලිය තුලදී එක්සත් ජනපද මිලිටරිය, ඒවන විටත් යුද්ධයෙන් තැලී ගිය හා සම්බාධක මගින් විනාශයට පත්ව තිබූ අස්ථාවර සමාජය කැබලිවලට පුපුරවා හැරීමට පමනක් නොව, සමස්ත කලාපීය රාජ්‍ය පද්ධතියටම වල කැපීමට ද සමත් විය. මෑතක දී එජ-කැනේඩියානු සමීක්ෂනයකින් ලක්ෂ 5කට වැඩි යයි ගනන් බලා ඇති දැවැන්ත මරන සංඛ්‍යාවක් සිදු කල, වසර නවයකට ආසන්න කාලයක් ගෙන ගිය ඉරාක යුද්ධයේ වරද වොෂින්ටනය මත පැවරෙනවා පමනක් නොව, මැද පෙරදිග අඛන්ඩව පවතින අවිනිශ්චිතභාවය සැලකිල්ලට ගත් කල, තවත් මිලියන ගනනක් මරුමුව හෙලීමේ විභවය සහිත ව්‍යසනයේ වගකීම ද එයට පැවරේ. කලාපය අලුතෙන් බෙදා වෙන් කිරීමෙන් ගලා යාහැකි ලේ ගංඟාව සැලකිල්ලට ගන්නා කල, වසර 65කට පෙරාතුව ඉන්දියාව බෙදා වෙන් කිරීමෙන් ගලාගොස් තිබෙන ලේ ගංඟාව කුඩා ප්‍රවාහයක් වනු ඇත.

ඉරාකය තුලමත් මෙම අන්තරායන් පැහැදිලිව දැකගැනීමට පුලුවන. ප්‍රධානකොටම සුන්නිවරුන් බහුතරය වන ඇන්බා පලාතේ දී ඔවුන්ට එරෙහිව, ෂියාවරුන්ගේ ආධිපත්‍යය යටතේ ඇති අගමැති නූරි අල් මලිකිගේ ආන්ඩුව මුදාහැර තිබෙන නිකායවාදී මර්දනය, අලුතින් සටන් අවුලුවා ඇත. සුන්නි දේශපාලඥයෙක් ප්‍රචන්ඩ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමත්, රමාදිහි වසරක් දිගට ඇදෙන සුන්නි විරෝධතා කඳවුරට එල්ල කල කුරිරු ප්‍රහාරයත්, වසර ආරම්භයේ දී ෆලූජා හා රමාදි ප්‍රදේශවල පාලනය සියතට ගැනීමට සුන්නි මිලිෂියාවන්ට අවස්ථාව ලබා දුන්නේ ය. මිලිෂියාවන් හා ඉරාක හමුදාව අතර ගැටුම් තවදුරටත් පවතියි.

සටන්වල නිරතව සිටින අය අතර, සිරියානු දේශසීමාව හරහා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීමේ බටහිර පිටුබලය සහිත කුලීකාර යුද්ධයක යෙදී සිටින වඩාත් කැපී පෙනෙන කොටස්, එනම් අල්කයිඩාවට සම්බන්ධ අයිඑස්අයිඑස් (ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය) සංවිධානය වේ.

බොහෝ මාධ්‍ය විසින් හුවා දක්වන පරිදි නිකායික ගැටුම, සුන්නි හා ෂියාවරුන් අතර සියවස් ගනනක් පැරනි ලේ වෛරයක් නොවේ. බෙදා ජයගැනීමේ මූලෝපායෙහි කොටසක් ලෙස නිකායික ප්‍රශ්නය ගසාකෑමට උත්සාහ කල එජ අධිරාජ්‍යවාදය විසින් එය අවුලුවා උසිගන්වනු ලැබිනි. මෙම සාපරාධී පිලිවෙත, 2007-08 වසරවල එජ මිලිරියේ "රල පහර" යන කඩතුරාව යටතේ ගෙන ගිය වාර්ගික පවිත්‍රකරන වැඩපිලිවෙල තුල සිය ප්‍රකාශනය අත්කර ගත්තේ ය. ඉරාක මිලිටරිය, සමාජයේ සෑම අංශයකින්ම ඇදගනු ලැබූ සෙබලුන්ගෙන් සමන්විත, විවිධාකාර ෂියා පක්ෂවල නිකායික මිලිෂියාවන් මත පදනම්වූ, බලහත්කාරයෙන් එක් රැස් කල සන්නද්ධ හමුදාවකගේ සිට පරිවර්තනය කරන ලද අතර මලිකි ආන්ඩුව බලයට පත්කරන ලද්දේ එක්සත් ජනපද වාඩිලා ගැනීම මධ්‍යයේ ය.

එජ ආක්‍රමනයට පෙරාතුව ඉරාකය තුල අල්කයිඩාවක් පැවතුනේ නැත. ඊනියා "කැරලිකරුවන්" වෙත වොෂින්ටනය හා එහි කලාපීය අනුචරයින් වෙතින් මුදල් හා ආයුධ ගලා එන සිරියාවේ එජ පිටුබලය ලබන යුද්ධය මගින් දැන් අල්කයිඩාව බෙහෙවින් ශක්තිමත් වී ඇත.

ෂියා ආන්ඩුව හා සුන්නිවරු අතර ඇන්බාර්හි ගැටුම් පැතිරයද්දී පවා, ඊටත් වඩා ලේවැකි හා නව විභවයක් සහිත ගැටුමක්, උතුරු ඉරාකයේ අර්ධ ස්වෛරී කුර්දි ප්‍රාදේශීය ආන්ඩුව (කුප්‍රාආ) හා බැග්ඩෑඩ් තන්ත්‍රය අතර මෝරමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ, අන්තර් තුර්කි නල මාර්ගය තුලින් විදේශයන් වෙත බෙදා හැරෙන, කුප්‍රාආ විසින් සිදුකරන ඒකපාක්ෂික තෙල් අලෙවිය යි. නීති විරෝධී යයි මලිකි ආන්ඩුව විසින් හෙලාදැක ඇති එම ක්‍රියාව දැකගත හැක්කේ, කුප්‍රාආ, තෙල් වලින් පොහොසත් කර්කුක් නගරය මුල්කරගෙන කටුක අරගලයකට ඇදී යා හැකි පූර්න නිදහසක් හා බෙදී වෙන්වීමක් කරා තවත් පියවරක් ඉදිරියට යෑමක් ලෙස ය.

විශ්මය දනවන නරුමත්වයකින් වොෂින්ටනය පැතිර යන අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, ගින්නට පිදුරු දමන ක්‍රමයකට ය. ඒ අතරවාරයේ ඔබාමා පාලනාධිකාරය, මලිකි පාලනය වෙත හෙල්ෆයර් මිසයිල හා තවත් අවි නැව්ගත කිරීමට යුහුසුලුවී සිටියි. ඒ ඉරාකය තුල අල්කයිඩාවට සම්බන්ධ කොටස් අතුගා දැමීමට බව පවසමිනි. එසේම, අල් කයිඩාවේ වඩා මැදහත් කොටසක් ලෙස හුවාදක්වනු ලබන හමුදාවන් ඇතුලු සිරියාවේ "කැරලිකරුවන්" වෙත ආධාර යැවීම අලුත් කිරීමට තීරනය කර තිබේ. මෙම දෙවන තීරනය ගෙන ඇත්තේ, මෙම කොටස් හා අයිඑස්අයිඑස් අතර ඇතිවූ කාකොටාගැනීම් මාලාවකින් පසුව ය.

එක්සත් ජනපද ප්‍රතිපත්තියේ නොඉවසිලි සහගත හා සාපරාධී ස්වභාවය, 13දා නිව්යෝර්ක් ටයිම්ස් කතුවැකියක් තුල සාරාංශගතකොට තිබේ. "සෝවියට්වරුන් සමග සටන්වැද සිටි මුජහිඩීන්වරුන්ට සහයෝගය දුන් 1980 ගනන්වල සිදුවූවාක් මෙන්, ඇමරිකානු ආධාර ආපසු කැරකී වැදීමේ අන්තරායක් පවතියි. එය උදව් කලේ වසර ගනනාවකට පසුව ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට ක්ෂේමභූමියක් නිර්මානය කිරීමට ය. එහෙත් එම අවදානම ගැනීම වටිනවා විය හැකි ය" යනුවෙන් එය පිලිගෙන තිබේ.

පලමු ලෝක යුද්ධයේ 100 වන සංවත්සරය එලඹෙමින් තිබියදී, වඩවඩාත් පැහැදිලි වන කාරනය, 1916දී සයික්ස්-පිකොට් ගිවිසුම මගින් ප්‍රන්සය හා බ්‍රිතාන්‍ය යන යටත්විජිත බලවතුන් විසින් කලාපය බෙදීම මත ගොඩනඟන ලද රාජ්‍ය පද්ධතිය, නව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් හා අරාබි ලෝකයේ පීඩිත ජාතීන් මත පතිත කෙරී තිබෙන ගෝලීය ධනවාදයේ අර්බුදය මගින් කැබලිවලට පුපුරවා හරින බව යි.

මෙම වර්ධනය, කලාපය නිකායික රුධිරස්නානයක් තුල ගිල්වා දැමීමටත්, නව ගෝලීය අග්නි ජාලාවක් අවුලුවාලන ගිනි පුලිඟුව බවට පත්වීමටත් තර්ජනය කරයි. මෙම තර්ජනවලට පිලිතුරු දිය හැකි වන්නේ, ධනවාදයට එරෙහි ඒකාබද්ධ අරගලයක් තුලට සිය ස්වාධීන ශක්තිය ගොනු කරන, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනි. මැදපෙරදිග කම්කරු පන්තිය සඳහා මෙහිදී අවශ්‍ය වන්නේ, මැදපෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන පොදු අරගලයක් තුල, සියලු ජාතික හා නිකායික සීමා කපාගෙන යන සටනක යෙදීමේ හැකියාව ඇති නව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම යි. එක්සත් ජනපද හා යුරෝපීය කම්කරුවන් හමුවේ ඇති කර්තව්‍යය වන්නේ, යුද්ධයේ හා මිලිටරිවාදයේ මූලය වන ධනේශ්වර ලාභ පද්ධතියට අවසන් තිත තැබීමට කැපවුන මහජන සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: