එක්සත් ජනපදය: පොලිස් රාජ්‍යයක් වෙනුවෙන් බොරු නීති තර්ක ගොතති

The pseudo-legal arguments for a police state

2013 දෙසැම්බර් 31

දෙසැම්බර් 27දා එක්සත් ජනපද දිස්ත්‍රික් විනිශ්චයකාර විලියම් එච්. පෝලි විසින් රටේ සමස්ත ජනතාවගේම දුරකථන වාර්තා ප්‍රවීක්ෂනය කිරීමේ ජාතික ආරක්ෂක ඒජන්සි වැඩ පිලිවෙල අනුමත කරමින් ඒසීඑල්යූවට එරෙහිව ක්ලැපර් නඩු විභාගයේ දී ලබා දෙන ලද තීන්දුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධව අතිමහත් වැදගත්කමකින් යුතුය.

ෆෙඩරල් විනිසුරුවෙකු විසින් ලියන ලද්දේ වී නමුදු එය එක්සත් ජනපද ව්‍යවස්ථාව හකුලා දමා පොලිස් රාජ්‍යයක් පිහිටුවාලීමට පක්ෂව ක්‍රියාකාරීව පෙරකදෝරුකමෙහි යෙදෙන ලියැවිල්ලක් විනා ඒ තරම් නීතිමය මත පල කරන ලියැවිල්ලක් ලෙස ගිනිය හැකි නොවේ. ෆෙඩරල් විනිශ්චයකරුවෙකු එබඳු තර්ක ගෙන එන්නේය යන කරුන ම, අධිකරන පද්ධතියේ ඉහලම මට්ටම් තුල ඒකාධිපතිවාදී සමාහිතය කෙතරම් දුරට වර්ධනය වී පවතී ද යන්න පිලිබඳ සැලකිය යුතු ඇඟවීමකි.

නිල ප්‍රකාශනයේ සමස්ත ආරම්භක කොටසම පොලිස් රාජ්‍යය ඔත්තු බැලීම හා අකටයුතුකම් හෙලිදරව් කරන්නන් නිහඬ කිරීම සඳහා කරුනු දැක්වීමේ ස්වයං විඥානයික දේශපාලන තර්ක මාලාවකි. මේ මස මුල, එන්එස්ඒ ප්‍රවීක්ෂන වැඩ පිලිවෙල "බොහෝ කොටම පාහේ වේලියානු එකකැ"යි එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරන විනිසුරු රිචඩ් ලියොන් ලබා දුන් තීන්දුවට ප්‍රතිචාර දක්වමින් විනිසුරු පෝලි ගෙන එන තර්කය, ඉතිහාසය මුලුල්ලේ සෑම ආඥාදායකත්වයක් ම ඒ හෝ මේ ආකාරයෙන් යොදා ගන්නා ලද්දකි. එනම්, " "ජාතික ආරක්ෂාව" හා "ත්‍රස්‍තවාදයේ" තර්ජනය නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීම අත්‍යවශ්‍ය කෙරෙන බවයි. මේ වූ කලී, "සර්ව බලධාරී විධායකයෙකු (ෆියුරර්වරයෙකු) විසින් නිර්නය කෙරෙන රාජ්‍ය උත්සුකයන්ට අනුව, ව්‍යවස්ථාව අත්හිටුවනු ලබන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඬලනු ලබන 'ව්‍යතිරේකී තත්වයන්' අවශ්‍ය විය හැකිය"යි නාසි ජූරි සභික කාල් ෂ්මිට් පල කල තර්කවලම ප්‍රභේදනයක් විනා අනෙකක් නොවේ.

විනිසුරු පෝලිට අනුව, මීට 12 වසරකට වඩා වැඩි කලකට ඉහත දී (එක්සත් ජනපද ඔත්තු සේවාවන් ඉතා හොඳින් දැන සිටි අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින්) සිදු කෙරුනු 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර, රාජ්‍ය ප්‍රවීක්ෂනයේ පෙර නොවූ විරූ ව්‍යාප්තිය සාධාරනීකරනය කරයි. ඔබාමා පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වාචික සාක්ෂ්‍ය මත අවිචාරවත් ලෙස රැඳී සිටිමින් පෝලි තරයේ කියා සිටින්නේ, 9/11 ප්‍රහාරය සූදානම් කෙරුනු සමයේ වත්මන් දුරකථන ප්‍රවීක්ෂන වැඩ පිලිවෙල වැන්නක ආධාරය එන්එස්ඒය සතු වී නම්, එම ප්‍රහාර වැලැක්විය හැකිව තිබූ බවයි.

මේ නිල ප්‍රකාශනය මුසාවාද හා විකෘති කිරීම්වල පෙරහනයන් තුලින් පෙරී එන්නකි. මින් ප්‍රධානතම මුසාව වන්නේ එක්සත් ජනපද ආන්ඩුවේ ක්‍රියා කලාපයන් අල්කයිඩාවට එරෙහි අරගලයේ අවශ්‍යතාවයන්ගෙන් සාධාරනීකරනය වන බවයි. සියුම්ව පරීක්ෂා කර බැලීමක දී මෙම කියා පෑම බිඳී යනු නොවැලැක්විය හැකිය. බරපතල ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමෙන් විනා වෙන යම් තත්වයක් යටතේ මහජනයා විසින් නොපිලිගනු ලැබෙන පිලිවෙත් ක්‍රියාවට ලීම සඳහා ඊනියා "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" ව්‍යාජ කඩතුරාවක් ලබා දී ඇත. තව ද, එක්සත් ජනපද රජය අල් කයිඩාව සමඟ යුද්ධයක නිමග්න වී සිටියේ යයි කියනු ලබන කාල පරිච්ඡෙදය තුල දී ම එය, ලිබියාවේ හා සිරියාවේ අල් කයිඩාව හා සම්බන්ධ සිය ත්‍රස්තවාදී සහචරයින්ට ආයුධ හා අරමුදල් පමනක් නොව උරින් උර ගැටී සටන් කිරීමට හමුදාමය සහාය ද ලබා දී ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුල සිටම නිවැරදි ලෙස තිරසර ව කියා සිටි පරිදි, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" සැබෑ අභිප්‍රාය වූයේ, අල් කයිඩාව හා සටන් කිරීම නොව, රටින් පිටත දී යුදවාදය ද රට තුල දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වනසා ලීම ද සාධාරනීකරනය කිරීමයි.

අල් කයිඩා ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමට එක්සත් ජනපද රජය අති බලගතු ඔත්තු බැලීමේ උපකරනයක් නිර්මානය කලේය යන අදහසට තව දුරටත් හාස්‍යයට බඳුන් නොවී පැවතිය හැකි නොවේ. එන්එස්ඒ නොපනත්කම් හෙලි කල එඩ්වඩ් ස්නෝඩන්ගේ ධෛර්යමත් ක්‍රියා කලාපයට ස්තුති වන්නට, එක්සත් ජනපද ඔත්තු උපකරනය විදේශීය දේශපාලන නායකයන් ද ඇතුලු ව සමස්ත ලෝකයා ම පිලිබඳව නිර්විශේෂව ම ඔත්තු බලන බව අද කවුරුත් දනිති.

රජයේ ඔත්තු බැලීමේ වැඩ පිලිවෙලෙහි පුලුල් බව විනිසුරු පෝලි සිය නිල ප්‍රකාශනය තුල පිලිගනියි. එහෙත් ඒ, සෑම ඇමරිකානුවෙකුගේම දුරකථන වාර්තාවලට ආන්ඩුව හොරෙන් එබී බැලීම අත්‍යවශ්‍යයැයි ඔලමොට්ටල ලෙස කියා සිටීම සඳහා ය.

විනිසුරු පෝලි, එෆ්බීඅයි නියෝජ්‍ය අධ්‍යක්ෂ සීන් ජොයිස්ගේ සාක්ෂ්‍යය හා එකඟ වෙමින් එය උපුටා දක්වයි: "අපේ පරමාර්ථය වන්නේ ත්‍රස්තවාදය නැවැත්වීමයි, එය වැලැක්වීමයි. සිදුවීමෙන් පසුව නොව, එය එක්සත් ජනපදය තුල සිදුවීමට පෙර වලක්වා ලීමයි. එබැවින් මට ඔබට කිව හැක්කේ සෑම මෙවලමක්ම අතිශය වැදගත් හා අත්‍යවශ්‍ය වන බවයි. මා ඔබට සංක්ෂිප්තව දැක්වූ මෙවලම් ද ඒවා අද දින යොදා ගනු ලැබෙන ආකාරය ද එම කුමන්ත්‍රනවලින් ඇතැම් ඒවා වැලැක්වීමට මහෝපකාරී වී ඇත. 'ඇමරිකානු ජීවිතයක වටිනාකම ඔබ නිර්නය කරන්නේ කෙසේදැ'යි ඔබ මගෙන් අසන්න. එවිට මට ඔබට කිව හැක්කේ, එය අමිල බවයි"

ඇමරිකානු ව්‍යවස්ථාවේ මූලික සංකල්පය වන්නේ, ප්‍රජා පීඩනය සඳහා රජයේ ඇති ස්වභාවික නැඹුරුව අවහිර කල හැක්කේ රාජ්‍ය බලය හා යකඩෙන් සැරසුනු, පරීක්ෂාකාරී ජනයාගේ සම්පරීක්ෂාව යටතේ පවත්නා අයිතිවාසිකම් යන ද්වය ප්‍රවේශමෙන් වෙන් කොට තැබීමෙන්ය යන්නයි. මෙම ජීව ගුනය මත පිහිටා ඇමරිකානු විප්ලවවාදීහු, 1791 අයිතිවාසිකම් පනතේ කොටසක් ලෙස සිව්වන සංශෝධනය ලියූහ. එහි මෙසේ දැක්වෙයි: "තමා, තම නිවෙස්, ලේඛන හා බඩුබාහිරාදිය අයුක්ති සහගත සෝදිසිවලින් හා අත්පත් කර ගැනීම්වලින් ආරක්ෂා කර ගැනීමට මහජනයාට ඇති අයිතිය උල්ලංඝනය නොකල යුතුය." ඒ අනුව, සෑම රාජ්‍ය සෝදිසියක් හෝ අත්පත් කර ගැනීමක් සඳහා ම, යම් සසම්භාවී හේතු ප්‍රත්‍යයන්ගේ ආධාරය සහිත නිශ්චිත වරෙන්තුවක් අවශ්‍ය වන බවට සීමාවක් පැනැවී ඇත.

ඇමරිකානු සිවිල් ස්වාධීනතා සංගමය (ඒසීඑල්යූ) සිය සංක්ෂිප්ත වාර්තාවේ පෙන්වා දෙන පරිදි, වරෙන්තුවලින් තොරව රජය විසින් සිදු කෙරෙන සමස්ත ජනගහනයේ දුරකථන වාර්තා එක් රැස් කිරීම මඟින් යමෙකුගේ "ආගම, දේශපාලන සම්බන්ධතා, ලිංගික සේවා ලබා දෙන සෘජු දුරකථන මාර්ග භාවිත කිරීම්, සිය දිවි නසා ගැනීමේ අභිප්‍රායයන්, සූදුවට හෝ මත්ද්‍රව්‍යවලට ඇති ඇබ්බැහිකම්, ස්ත්‍රී දූෂන අත්දැකීම්, ලිංගිකතාවයට ඇති ආසක්තතාව, හෝ කිසියම් නිශ්චිත දේශපාලනික ප්‍රතිශ්ඨාවන්ට දක්වන සහයෝගය හෙලිදරව් කෙරෙයි." අවසාන විග්‍රහයේදී පෝලි විනිශ්චයකරු පිටු 55ක් පුරා ගෙන එන්නේ, බැලූබැල්මටම අමූලික විකාරයක් ලෙස පෙනී යන තර්කයකි: එනම්, සෑම ඇමරිකානු පුරවැසියෙකුගේම දුරකථන වාර්තා එක් රැස් කිරීම සිව්වන සංශෝධනය යටතේ "යුක්තියුක්ත වන" බවයි.

පෝලිගේ ප්‍රකාශනයේ මොන යම් හෝ නෛතික තර්කනයක් ගැබ් වී ඇත්නම් එය, විතන්ඩවාදී තර්ක, සන්දර්භයෙන් වෙන් කොට ගත් උපුටා ගැනීම් හා මුසාවන් කැටි කල අන්ඩ දැමීමකට වැඩි යමක් නොවේ. රහස් ඔත්තු සේවා නියාමනය සඳහා (නැතහොත්, නියාමනය කරන බැව් පෙන්වීම සඳහා) පිරිසැලසුම් කෙරුනු 1978 විදේශ රහස් තොරතුරු ප්‍රවීක්ෂන පනත උඩුයටිකුරු කොට අසීමිත ඔත්තු බැලීම් සඳහා ලබා දෙන හිස් චෙක්පතක් බවට එය පත් කොට ඇත. පෝලි තවදුරටත් තර්ක කරන්නේ, යමෙකු දුරකථනයක් භාවිතා කරන සෑම විටෙකදීම, පෞද්ගලිකත්වය සඳහා වූ සිය අයිතිය ඔහු හෝ ඇය විසින් "ස්වේච්ඡාවෙන්"ම අත්හරිනු ලැබෙන බවයි. ඒ අනුව යමෙකු මෝටර් රථයක්, පරිගනකයක්, ස්ථානය නිර්නය කරගන්නා ජීපීඑස් උපකරනයක්, රූපවාහිනී යන්ත්‍රයක්, බැංකුවක්, රෝහලක්, හෝටලයක්, වෙබ් කැමරාවක්, තැපැල් කාර්යාලයක් ආදී තවතවත් දේ භාවිත කිරීමේදී ද එවැනිම තෝරාගැනීම් "ස්වේච්ඡාවෙන්" කරනු ඇතැයි අනුමාන කල හැක.

අයිතිවාසිකම් පනත ලිවූ ඇමරිකානු විප්ලවවාදීන්ගේ හා විනිසුරු පෝලිගේ සංකල්ප අතර පවත්නා විලක්ෂනය මීටත් වඩා විෂදව දැකිය හැකි ද? විප්ලවවාදීහු ප්‍රජා පීඩනයට එරෙහිව සදාකාලික පරීක්ෂාකාරීත්වයක් ඉල්ලා සිටියෝය. පෝලි විනිශ්චයකරු අපට පවසන්නේ ඒ වෙනුවට ප්‍රශ්න කිරීමකින් තොරව රජය කෙරේ විශ්වාසය තබන ලෙසයි. රජය තැනී ඇත්තේ හොඳ මිනිසුන්ගෙනි; එනම්, දේශප්‍රේමීන් හා වෘත්තිකයන්ගෙනි. තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු දනිති. ඔවුහු අපේ ස්වාධීනත්වය රහසේ අපෙන් ඉවත් කලෝ නම්, ඒ සඳහා හොඳ හේතුවක් ඔවුන්ට තිබෙනු විය යුතුය.

"නිදහස් ලෝකයේ" නායකයා ලෙස තමාටම කියා ගන්නේ වුව ද එක්සත් ජනපද රජය සතුව ඇති වාර්තාව නම් ගර්හා කටයුතු එකකි. පසුගිය සිය වසර පුරා වාර්තාව සමන්විත වී ඇත්තේ මොනවායින් ද? නෛතික අනුමැතිය ලද වෙන් කොට තැබීම්, අධිකරන ක්‍රියා මාර්ග අනුගමනයෙන් තොරව දඬුවම් පැමිනවීම්, සමූහ වටලෑම් හා පිටුවාහල් කිරීම් (දෙවන ලෝක යුද්ධය තුල ජපන් - ඇමරිකානුවන් සම්බන්ධයෙන් සිදු කල පරිදි), විසම්මුතික දේශපාලන කන්ඩායම් තුලට කාන්දුවීම් හා ඒවා පිලිබඳ ප්‍රවීක්ෂනයේ යෙදීම්, රක්ත භීතිකාවන්, යුද අපරාධ, දූෂනය, සාපරාධීභාවය, කුමන්ත්‍රන, ඝාතන, වධ දීම්, මුසාවාද ("සමූලඝාතන අවි", "ඔබගේ සැලැස්මට ඔබ කැමත්තෙහි නම්, එය තබා ගන්න") යනාදී වශයෙන් වූ තව තවත් දේ වලිනි. පෝලි විනිශ්චයකාර තැන තර්ක කරන පරිද්දෙන් රජය පවසන කවරක් වුව සත්‍ය විය යුතුයැයි ද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හමුදා හා ඔත්තු සේවාවන් අත සුරැකේයැයි ද පිලිගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මුලුමනින් ම අතහැර දැමීමකි.

මෙම විනිශ්චයකරුගේ තීන්දුව, මහජනයාගේ අයිතිවාසිකම් හා රාජ්‍යයේ උත්සුකයන් අතර ගැටුමක් ඇතිවීමේ කවර හෝ ඉඩකඩක් ප්‍රතික්ෂේප කරයි. 9/11 කොමිසමේ වාර්තාව උපුටා දක්වමින් පෝලි විනිශ්චයකරුවා මෙසේ දක්වයි: "නිදහස හා ආරක්ෂාව අතර තෝරා ගැනීමක් ඇතැයි පැවසීම අසත්‍යයකි. මක්නිසාදයත්, ඇමරිකානු භූමිය තුල ත්‍රස්තවාදී ප්‍රහාරයක් සාර්ථකවීම තරම් සිවිල් නිදහස අන්තරායේ හෙලීමට සමත් අනෙකක් නොමැති හෙයිනි." වෙනත් වචනවලින් කිවහොත් තමන් ත්‍රස්තවාදය හා සටන් වැදී සිටිතැයි රජය කියා සිටිනා තාක් කල් ඊට අයිතිවාසිකම් පනත නොතකා සිටිය හැකිය.

පෝලි විනිසුරුවාගේ ප්‍රකාශනයෙන් පසු, පහත දැක්වෙන ප්‍රශ්නය ඉදිරිපත් කිරීම යුක්තිසහගත ය: අයිතිවාසිකම් පනත තව දුරටත් එක්සත් ජනපදය තුල ක්‍රියාත්මක වන්නේ ද? රජය රටේ සෑම ඇමරිකානුවෙකු පිලිබඳවම, වරෙන්තුවකින් තොරව එක්වර ඔත්තු බැලීම, හතරවන සංශෝධනය විසින් වලක්වනු නොලැබේ නම්, එයින් වලක්වනු ලබන්නේ හරියටම කුමක් ද?

එතෙරදීත්, මෙතෙරදීත් අනුයන කොල්ලකෑම සම්බන්ධ සිය පිලිවෙත් මහජන අප්‍රසාදයට පාත්‍ර වී ඇති බව ඇමරිකානු පාලක පන්තිය දනියි. පහලින් පැන නැගෙන ජනප්‍රිය ව්‍යාපාරයක් කෙරේ මංමුලා සහගත භීතියකින් පසුවන එය, එම හේතුව නිසා පොලිස් රාජ්‍යයක් සඳහා වූ මෙවලම ගොඩ නංවයි. විධායකයේ ආඥාවෙන් නගර අගුලු වැටෙනු ඇත. විරුද්ධ මත දරන්නන් ("ත්‍රස්තවාදීන්" ලෙස හංවඩු ගසා) සිය නිවෙස්වලින් වහාම අල්ලා ගෙන ගොස් සිරගෙයි ලනු ඇත. නැතහොත් වධ බන්ධනවලට හෝ මරනයට පත් කරනු ඇත. විශේෂයෙන් ම "ජාතික ආරක්ෂාව" හා බැඳී ඇතැයි කියනු ලබන අවස්ථාවන්හිදී, විධායක හා හමුදා බලයට ඉඩ දෙමින්, විනිසුරුවන් හකුලා ගනු ඇත. උසාවිය එකලස් කිරීමේ රබර් මුද්‍රා තබන තත්වයට පිරිහෙලනු ලැබෙනු ඇත.

විනිසුරු පෝලිගේ තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන පරිදි, ඒකාධිපතිවාදයේ අධිවාචකයන්ගේ පැතිරීම දැනටමත් රාජ්‍ය යන්ත්‍රය තුල සිදුවෙමින් පවතී. හිටපු සීඅයිඒ ප්‍රධානී ජේම්ස් වූස්ලි මේ මාසයේ මෙසේ ප්‍රකාශ කලේය: "ඔහුට (ස්නෝඩන්) ක්ෂමාවක් ලබා දීම මුග්ධ ක්‍රියාවකි. ඔහුගේ සමයන්ගෙන් සමන්විත ජූරියකින් ඔහු වරදකරු ලෙස තීරනය කලහොත්, මැරෙන තුරු බෙල්ලෙන් එල්ලා තැබිය යුතුය."

මේ වනාහි ෆැසිස්ට්වාදයේ භාෂාවයි. පෝලි විනිශ්චයකරුගේ තීන්දුවෙහි ප්‍රායෝගික භාවිතය හඳුනා ගෙන ඇති එබඳු ප්‍රකාශ බරපතල දේශපාලන අනතුරු හැඟැවීම් ලෙස භාර ගත යුතුය. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හිසේ සිට දෙපතුලටම කුනු වී ඇත. ආඥාදායකත්වය කරා වූ තල්ලුව වැලැක්විය හැක්කේ කම්කරු පන්තියේ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය හරහා පමනි.

ටොම් කාටර්

Share this article: