වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අදාලත්වය ආන්ඩුවේ රස පරීක්ෂක වාර්තාවෙන් ද තහවුරු වෙයි

පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 ජනවාරි 22

ගම්පහ, වැලිවේරිය වෙනිග්‍රොස් කම්හලෙන් පරිසරයට මුදා හැරෙන අපජලය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂනයක් මත පදනම්ව ආන්ඩුවේ රස පරීක්ෂක විසින් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් සීමිත, එහෙත් වැදගත් කරුනු කීපයක් අනාවරනයවේ. මුදා හැරෙන අපජලයේ සංයුතිය නිසි ප‍්‍රමිතීන්ට අනුකූලව නොතිබූ බව ද, එම අපජලය සඳහා වන ප‍්‍රතිකාරක පද්ධතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක නොවුන බවද වාර්තාව තහවුරු කරයි.

කම්හල හේතුවෙන් ප‍්‍රදේශයේ භූගත ජලය දූෂනය වී ඇතැයි පවසමින් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීන් ගෙන යන උද්ඝෝෂනය හේතුවෙන් පසුගිය අගෝස්තු මස මුල සිට එහි නිශ්පාදනය නවතා දමා ඇත. මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස අගෝස්තු 1 දා වැලිවේරිය නගරයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා ආන්ඩුව විසින් මිලිටරිය යොදා එල්ල කල ප‍්‍රහාරයේදී තිදෙනකු ඝාතනය කෙරුනු අතර තවත් දුසිම් ගනනකට තුවාල සිදු කෙරින.

මධ්‍යම පරිසර අධිකාරිය (මපඅ) හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය (ජසජම) යන ආයතන විසින් කම්හල් පාලකයන්ට වාසිවන අයුරින් සකස් කොට එම අධිකරනයටම ඉදිරිපත් කොට ඇති ව්‍යාජ වාර්තාවන් පදනම් කර ගනිමින්, පාලකයින්, ආන්ඩුව සහ මාධ්‍යයන් එක්ව පවසන්නේ ප‍්‍රදේශවාසීන් පවසන ආකාරයේ දූෂනයක් කම්හලෙන් සිදු නොවී ඇති බවයි. කෙසේ නමුදු, ඔවුහු සියලු දෙනා කම්හල පිලිබඳ ඉහත රස පරීක්ෂක වාර්තාව සහ එහි අඩංගු කරුනු මහජනතාවගෙන් වසන් කරමින් සිටිති.

කම්හලේ අපජලය පිට කිරීමේ කි‍්‍රයාදාමයට අදාල ක්ලෝරිනීකරන අපජලය පිටවුම් කරාමය, ඔක්සිකරන කානු, ඔක්සිකරන කානුවල අපජලය පිටවුම සහ ජල ප‍්‍රතිකාරක අවසන් පිටවුම් කරාමය යන ස්ථානයන් හතරකදී, වැලිවේරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබා ගන්නා ලද ජල සාම්පල හතරක් මෙලෙස රස පරීක්ෂක විසින් විමර්ශනයට ලක් කොට තිබේ.

ඉහත සාම්පලයන්හි ජීවමය ඔක්සිජන් ඉල්ලුම (Biological Oxygen Demand - BOD) හා රසායනික ඔක්සිජන් ඉල්ලුම (Chemical Oxygen Demand- COD) සම්මත උපරිම ධාරන සීමාවට වඩා ඉතා ඉහල අගයක් ගන්නා බවත්, කම්හලේ අපජලය සංයුතිය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ ප‍්‍රමිතීන් උල්ලංඝනය කෙරෙන බවත් රස පරීක්ෂක විමර්ශනයෙන් පැහැදිලිව පෙන්වා දේ. ඒ සමගම මෙම අපජලයට තවදුරටත් ප‍්‍රතිකාර කොට ඉහත ප‍්‍රමිතීන්ට අනුව මුදා හරින ලෙස වාර්තාව කම්හල් පාලනාධිකාරියට උපදෙස් දෙයි. මෙම ජල සාම්පල ලබා ගන්නා විට, ඔක්සිකරන කානු හැර, ප‍්‍රතිකාර පද්ධතියට අයත් අන් කවර කි‍්‍රයාදාමයක් හෝ කි‍්‍රයාත්මක නොවුන බවද රස පරීක්ෂක පවසයි. මෙහි අර්ථය නම්, කම්හලෙන් පිට කෙරෙන අපජලය, මිනිසුන්ට මෙන්ම මත්ස්‍යයන් සහ පැලෑටි ඇතුලු අනෙකුත් ජීවීන්ටද අහිතකර බවයි.

ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය ඉස්මත්තට පැමිනියේ ප‍්‍රදේශයේ ලිං ජලය පානය කිරීමේදී ප‍්‍රදේශවාසීන්ට කලක සිට දැනුනු අමිහිරි රසය හා දුර්ගන්ධය ද, එම ජලය පානයෙන් හා ස්නානයෙන් ඇති වූ බාහිර සහ අභ්‍යන්තර රෝගී තත්වයන් ද හේතුවෙනි. මෙම තත්වය ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය අධිකාරීන්ට දුනුම් දීමෙන් අනතුරුව කරන ලද ප‍්‍රාථමික පරීක්ෂන වලින් හෙලි වූයේ ප‍්‍රදේශයේ භූගත ජලයේ ආම්ලිකතාව, පරිහරනයට නුසුදුසු මට්ටමේ, ඉහල අගයක පවතින බවයි.

ජල දූෂනය පිලිබඳව විමර්ශනය කිරීමේදී සොයා බැලෙන සම්මත පරාමිතික අතරින් ආම්ලිකතාව එක් පරාමිතියක් පමනකි. මහජන සෞඛ්‍ය කප්පාදුවේ ප‍්‍රතිඵලයක් ලෙස, අඩු වියදමකින් කල හැකි මෙම ආම්ලිකතාව පිලිබඳ පරීක්ෂන පවා විධිමත්ව හා නිතිපතා නොකෙරෙන තතු තුල, සාපේක්ෂ වශයෙන් අධික වියදමක් දැරිය යුතු, සල්ෆේට්, නයිටේ‍්‍රට් සහ බැරලෝහ ඇතුලු අනෙකුත් පරාමිතීන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන් මහජන සෞඛ්‍ය සේවයෙන් මුලුමනින්ම පාහේ කපා දමා ඇත.

යම් ජල සාම්පලයක් සඳහා පරාමිතීන් සියල්ල විමර්ශනය කෙරෙන පරීක්ෂනයක් පෞද්ගලික ආයතනයකින් කර ගැනීම සඳහා රුපියල් 39,000 ක් වැනි අධික මුදලක් වැය කිරීමට සිදුවේ. මෙම තතු තුල මෙතෙක් පිරිසුදු පානීය නල ජල පහසුකම් නොමැති හා එවන් පරීක්ෂනයක් කර ගැනීමට අතමිට නොමැති ලක්ෂ සංඛ්‍යාත දුගී ජනතාවක් තමා පානය කරන ජලය කෙතරම් නම් දූෂිත වී ඇත්දැයි නොදැනම ඒවා පරිහරනය කරමින් බරපතල රෝගාබාධායන්ට ගොදුරු වෙමින් සිටිති. උතුරු මැද පලාත ඇතුලු දිවයිනේ නොයෙක් ප‍්‍රදේශ වලින් වාර්තා වන උග‍්‍ර වකුගඩු රෝගී තත්වය මෙම දූෂිත ජල පානයේ ඝෘජු ප‍්‍රතිඵලයකි.

මෙම තතු තුල වෙනිග්‍රොස් කම්හලට එරෙහිව වැඩුනු මහජන විරෝධය ගසා කමින් එය මැදට පැන ගත් විපක්ෂ එක්සත් ජාතික පක්ෂය විසින් අටවනු ලැබූ "සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම” මෙන්ම, රාජපක්ෂ ආන්ඩුවට හිතකාමී සංවිධානයක් වන "සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය” ප‍්‍රදේශයේ ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය අධිආම්ලිකතාවට පමනක් සිඳවනු ලැබූහ. අනෙකුත් පරාමිතීන් පිලිබඳව කෙරෙන කවර හෝ විමර්ශනයක් මගින්, රාජපක්ෂ තන්ත‍්‍රය මෙන්ම එක්සත් ජාතික පක්ෂ තන්ත‍්‍රයන් මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙතරම් නොතකා ඇත්ද? කෙතරම්නම් කප්පාදු සිදු කොට ඇත්ද? ආදී දුරදිග යන ප‍්‍රශ්න මතු කෙරෙන බැව් ඔවුහු දනිති

කම්හල් පාලකයන් මෙහි වාසි අත් කර ගනිමින් දිගටම ප‍්‍රකාශ කරමින් සිටින්නේ, කම්හලේ රබර් අත්වැසුම් නිපැයුම් කි‍්‍රයාවලියේ දී අම්ල භාවිතයක් සිදු නොවන බැවින් හා ආම්ලිකතාව වැඩි කෙරෙන කවර හෝ අපද්‍රව්‍යයක් පිට නොකෙරෙන බැවින් ප‍්‍රදේශයේ භූගත ජලයේ අධිආම්ලිකතාව හා කම්හල අතර සම්බන්ධයක් නොමැති බවයි. පරිසර අධිකාරිය හා ජල මන්ඩලය මෙම තර්කය හා තකටතක යන නිගමනයන් තම වාර්තා වලින් ඉදිරිපත් කරමින් අඟවන්නේ ප‍්‍රදේශයේ අධිආම්ලිකතාව අතීතයේ සිට පැවත එන ආවේනික ලක්ෂනයක් බවයි. මේ අතර කම්හල් පාලකයෝ, ආන්ඩුව සහ මාධ්‍යයන් අනෙකුත් පරාමිතීන් සම්බන්ධයෙන් මුනිවත රකිති.

නමුදු රස පරීක්ෂක වාර්තාව පෙන්වා දෙන්නේ කම්හල් භූමියේ සහ ඊට ආසන්න ලිං වලින් ලබා ගත් ජල සාම්පලයන්හි අඩංගු නිදහස් ඇමෝනියා හා නයිටේ‍්‍රට් සාන්ද්‍රනය සම්මත ධාරන අගයන් ඉක්මවා ඇති බවයි. සත්ව කොටස් ජලයට එකතුවීමෙන්ද ඇමෝනියා සාන්ද්‍රනය ඉහල යාහැකි නමුදු බැක්ටීරියානු පරීක්ෂනයකින් එම සාම්පලයන්හි සත්ව කොටස් ඇත්දැයි නිගමනය කල හැකි බවද වාර්තාව පෙන්වා දෙයි. එසේ සත්ව කොටස් නොමැතිනම් එය රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූවක් බවට නිගමනය කල හැකි බවද එය තවදුරටත් සඳහන් කරයි. කෙසේනමුත් එවන් බැක්ටීරියානු පරීක්ෂනයක් සිදු කෙරුනු බවට වාර්තා නොමැත.

කම්හල චෝදනාවෙන් නිදහස් කර ගැනීමට විවෘතවම ප‍්‍රයත්න දරන පරිසර අධිකාරිය නයිටේ‍්‍රට් සාන්ද්‍රනය පිලිබඳ ප‍්‍රශ්නය යට ගසනු වස් කුතර්කයක් ඉදිරිපත් කරයි. "කම්හල් භූමිය තුල ඇති ලිං ජලයේ නයිටේ‍්‍රට් හා සල්ෆේට් සාන්ද්‍රනය ධාරන අගයන් ඉක්මවා ඇති වුවද පිටත ඇති ලිංවල නයිටේ‍්‍රට් හා සල්ෆේට් සාන්ද්‍රනය ධාරන සීමාවන් තුල පවත්නා” බව සඳහන් කරමින් එය උත්සාහ දරන්නේ කම්හල් බිම තුල නයිටේ‍්‍රට් හා සල්ෆේට් වැඩිවුවත් එය පිටත පරිසරයට බලපා නොමැති බව තහවුරු කිරීමටයි. කෙසේ නමුත්, තම වාර්තාවට කිසියම් වලංගුභාවයක් ලබා දීම් අටියෙන් ජල මන්ඩලයමත් ප‍්‍රකාශ කරන්නේ කම්හල උස් බිමක පිහිටා තිබීම හේතුවෙන් කම්හලෙන් එහි භූමියට එක් කෙරෙන ජලය පස් අංශු හරහා විසරනය මගින් පහල ගම්මානයේ භූගත ජලයට එක්වීමේ ශක්‍යතාවක් ඇති බවයි.

අධිආම්ලිකතාව හේතුවෙන් ඇතිවිය හැකි රෝගාබාධයන් පසෙක තැබුවේ වුවද, නයිටේ‍්‍රට් සහ ඇමෝනියා අධි සාන්ද්‍රනයේ ඵල විපාක විස්තර කරමින් වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එම රසායනිකයන් ශරීරගත වීමෙන් මිනිසාගේ මධ්‍යක ස්නායු පද්ධතියට පවා හානි සිදුවිය හැකි බවයි. විශේෂයෙන්ම මේ හේතුවෙන් ලදරුවන්ට සිදුවිය හැකි හානි උපරිම බැව් ඔවුහු තව දුරටත් පෙන්වා දෙති.

මහජනතාවගේ පාර්ශ්වයෙන් තත්වය මේ සා බරපතල වුවද, වැලිවේරිය ජනයාගේ උද්ඝෝෂනය ඇරඹුනු තැන් පටන් සිදුවූ හා සිදුවෙමින් පවත්නා දේ මගින් වඩාත් විශද වන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත්වල සහ ධනේශ්වර සමාජ සංස්ථාපිතයේ සියලු ආයතනයන්හි මහජන විරෝධී ස්වභාවයයි.

රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන්නේ ජාතික හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට තම ලාභ අවශ්‍යතාවන් රිසිසේ සන්තර්පනය කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කිරීමයි. මහජනතාවගේ පරිසර අයිතීන් මුලුමනින්ම නොතකා හිතුමතේ කි‍්‍රයාත්මක වන කම්හල්හිමියන් ආරක්ෂා කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන, පොලීසි, හමුදා හා අධිකරනය මෙහෙයවා ගනිමින් ආන්ඩුව යෙදී සිටින්නේ මෙම කර්තව්‍යයෙහිය. සියලු ධනපති මාධ්‍යයන්ද වෙනිග්‍රොස් කම්හල පරිසර දූෂන චෝදනාවෙන් මුදා ගැනීම සඳහා එකාවන්ව පෙල ගැසී සිටින්නේ ඔවුනගේ අතිමූලික කර්තව්‍යය ද මෙම ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටීම බැවිනි.

වෙනිග්‍රොස් කම්හලෙන් සිදුවිය හැකැයි අනුමාන කල හැකි ජල දූෂනයන් පිලිබඳ රස පරීක්ෂක වාර්තාවෙන් බලගතු ඉඟි සම්පාදනය කෙරී ඇති වුවද ඉන් ඔබ්බට යමක් මෙම රාජ්‍ය ආයතනයෙන් බලාපොරොත්තු විය නොහැක. ඒ පිලිබඳ බලගතු උදාහරනයක් රජයට අයත් කාර්මික තාක්ෂනික ආයතනය සපයයි. වැලිවේරිය හමුදා ඝාතනයෙන් පැනනැගි මහජන විරෝධය යටපත් කරනු වස්, එම ප‍්‍රදේශයේ ජල දූෂනය පිලිබඳ පරීක්ෂනයක් කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රාජපක්ෂ තාක්ෂන විද්‍යා ආයතනයට කල නියෝග කල නමුදු එවන් වාර්තාවක් පිලිබඳ මාධ්‍ය සඳහනක් හෝ දැන් නොමැත. වාර්තා වන ආකාරයට එම ආයතනය විසින් පරීක්ෂනය ආරම්භ කරනවාත් සමගම සොයාගත් කරුනු කම්හලට එරෙහිව පිහිටා තිබූ බැව් දැනගත් වහාම එහි සියලු විධායක නිලධාරීන් කැඳවූ ආයතන ප‍්‍රධානියා, වැලිවේරිය පරීක්ෂනය පිලිබඳ කවර හෝ තොරතුරක් පිටතට කාන්දු නොවිය යුතු බවට අවවාද කොට ඇත. මේ සියලු කරුනු වලින් යලිත් සනාථ වන්නේ වැලිවේරිය ජල දූෂනය පිලිබඳව කම්කරු පන්තියේ ස්වාධීන පරීක්ෂනයක අවශ්‍යතාවයි.

Share this article: