එක්සත් ජනපද ශාස්ත්‍රාලිකයෝ ඊස්රායල් විශ්වවිද්‍යාල වර්ජනය කිරීම අනුමත කරති

US academics approve boycott of Israeli universities

බිල් වෑන් ඕකන් විසිනි, 2013 දෙසැම්බර් 20

දෙසැම්බර් 18දා ඇමරිකානු අධ්‍යයන ආයතනයේ (ඒඑස්ඒ) සාමාජිකයෝ තුනෙන් දෙකක බහුතරයකින් ඊස්රායලයේ සියලු අධ්‍යයන ආයතන වර්ජනය කිරීම අනුමත කලහ.

තනි තනි සාමාජිකයන් 5,000ක් හා පුස්තකාල හා අනෙකුත් ආයතනවල දායකයන් 2,200ක් සහිත එම සංවිධානය, තමන් විසින් ම හඳුන්වා ගන්නේ “ඇමරිකානු සංස්කෘතියේ හා ඉතිහාසයේ විෂායන්තර අධ්‍යයනයට කැපවුන පැරනිත ම හා විශාලත ම" ආයතනය ලෙස ය.

මේ දක්වා ගෝලීය වර්ජන උද්ඝෝෂනයට එකතු වූ විශාල ම එක්සත් ජනපද විද්‍යාර්ථීන් කන්ඩායම එය යි. ආසියානු-ඇමරිකානු අධ්‍යයනය සඳහා වන සංවිධානය පසු ගිය අප්‍රේල් මාසයේ දී ශාස්ත්‍රාලීය වර්ජනයක් අනුමත කල අතර ස්වදේශීය ඇමරිකානු හා දේශීය අධ්‍යයන සංවිධානය දෙසැම්බර් 15වැනිදා ප්‍රකාශ කලේ වර්ජනයට සහභාගී වීම තම සාමාජිකයන්ට නිර්දේශ කරන බව යි. ලබන මාසයේ දී, සාමාජිකයන් 30,000කින් යුත් නූතන භාෂා සංවිධානය එහි සම්මේලනයේ දී එවැනි යෝජනාවක් සාකච්ඡා කිරීමට සූදානම්ව සිටී.

ඒඑස්ඒ යෝජනාව ඇරඹෙන්නේ “පලස්තීනය තුල ඊස්රායල් වාඩිලාගැනීමට සහ ජාත්‍යන්තරය නීතිය උල්ලංගනය කරමින් නීතිවිරෝධී ජනාවාස හා බෙදා වෙන් කිරීමේ තාප්පය පුළුල් කිරීමට මංසැලසීමේ දී මෙන් ම සමස්ත යහ පැවත්ම, දේශපාලන හා මානව හිමිකම්, එහා මෙහා යෑමේ නිදහස, අධ්‍යාපන අවස්ථා මත විනාසකාරී බලපෑම් ඇති කල, පලස්තීනුවන්ට එරෙහි ක්‍රමානුකූල අසාධාරනකම්වලට සහාය දීමේ දී ඉටුකර තිබෙන සැලකිය යුතු භූමිකාව" සඳහා එක්සත් ජනපද ආන්ඩුව හෙලාදැකීම සමග ය.

“උසස් අධ්‍යාපනය පිලිබඳ ඊස්රායල් ආයතන, ඊස්රායල් රාජ්‍ය ප්‍රතිපත්තියේ පාර්ශ්වකරුවෙකි" යි චෝදනා කිරීමට ප්‍රකාශනය ඉදිරිපත් වෙයි. “ඊස්රායල් ආන්ඩුවේ ප්‍රතිපත්තිය කෙරෙහි විවේචනශීලී වන ඊස්රායල් විද්‍යාර්ථීන් හා ශිෂ්‍යයන් ” සිටින බව ද එහි ප්‍රතිවිපාකයක් වශයෙන් ඔවුන් “කොන් කිරීමට හා තහනමට" මුහුනපා සිටින බව ද එය පවසයි.

ඊස්රායලයට එරෙහිව නිරායෝජන සම්බාධක ව්‍යාපාරයක් වන ජාත්‍යන්තර වර්ජනය, ඊස්රායලයේ ආර්ථික සම්බන්ධතාවන්හි අර්ථයෙන් ගත් විට මේ දක්වා බලපෑම් කර ඇත්තේ, ශාස්ත්‍රාලික වර්ජන ක්‍ෂේත්‍රයේ දී විශාල වශයෙන් සංකේතමය සාර්ථකත්වයක් වාර්තා කරමින්, සීමිත ලෙසය. 2002 වසරේ බ්‍රිතාන්‍යයේ දී ඇරුඹුනු මෙම වර්ජන මේ වන තෙක්ම එක්සත් ජනපදයට පැතිරී නො තිබුනි.

යෝජනාව සඳහා ඒඑස්ඒ සාමාජිකත්වයේ අතිවිශාල සහයෝගය පිලිබිඹු කරන්නේ, පලස්තීන ජනතාවට එරෙහි ඊස්රායල් ආන්ඩුවේ අපරාධ පිලිබඳ වඩා දැනුවත් භාවයක් හා ඒවා මගින් විකර්ෂනය කරන ලද ජනතාව තුල සමස්තයක් වශයෙන් පවතින පුළුල් හැඟීම්වල ප්‍රකාශනයක් බවට සැකයක් නොමැත.

මේ හේතුව නිසා එම යෝජනාව මත ඒඑස්ඒ තියුනු ප්‍රහාරයකට ලක් ව ඇත. හැරිස්බර්ග් හි බ්‍රැන්ඩීස් හා පෙන් ස්ටේට් විශ්වවිද්‍යාල දෙක, මේ වන විටත් තමන් එම සංවිධානය සමග බැඳීම් අත්හිටුවමින් සිටින බව නිවේදනය කර ඇත.

පීබීඑස් රූපවාහිනියේ චාලී රෝස් ෂෝ නම් වැඩසටහනෙහි පෙනීසිටිමින්, හාවඩ් විශ්වවිද්‍යාලයේ හිටපු සභාපති හා ඔබාමා පාලනාධිකාරයේ භාන්ඩාගාර ලේකම් ලැරී සමර්ස්, “ජුගුප්සාජනක, ආන්තිකව සාහාසික හා යුදෙව් විරෝධී බලපෑමට හසුව" ඇතැයි පවසිමින් යෝජනාව හෙලාදුටුවේය. ඒ හුස්මටම ඔහු සියළු ම ශාස්ත්‍රාලික වර්ජනයන් කෙරෙහි සිය ප්‍රතිපත්තිමය විරුද්ධත්වය පෙන්නුම් කිරීමට ද අමතක නොකලේය. සමර්ස් නොපැකිලව ඒඑස්ඒ වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි අතර විශ්වවිද්‍යාල පාලනාධිකාරීන් ඔවුන්ගේ ආයතන මගින් “විද්වත් සංගමයක් ලෙස නොව සැබවින්ම දේශපාලන උපකරනයක් බව පෙන්නුනුම්කර ඇති සංවිධානයක් වෙත පීඨ සංචාර සංවිධානය කිරීමට හෝ සංචාරයේ යෙදෙන සාමාජිකත්වයේ වියදම් දැරීම පිනිස තම අරමුදල් යොදැගැනීමට ඉඩ නොතබනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

ඒ ආකාරයනේ ම, හාව්ඩ් නීති මහාචාර්ය හා වධබන්ධනයන්ගේ ඍජු ආරක්ෂකෙයෙක් වන ඇලන් ඩෙෂෝවිට්ස් ඒඑස්ඒ හෙලාදුටුවේය. ඒ, “ජාතීන් අතර යුදෙව්වන් හංවඩු ගැසීම, යුදෙව් විශ්වවිද්‍යාල පිලිබඳව දෙබිඩි පිලිවෙතක් අනුගමනය කිරීම හා පැරනිතම හා වඩාත්ම චිරස්ථායි අගතීන් සමග ඇයි හොඳයිකම් පැවැත්වීම" මුල්කර ගනිමිනි. ඔහුගේ තර්කයේ සාරය සමන්විත වූයේ චීනය, රුසියාව හා ඉරානය දෙසට ඇඟිල්ල දිගු කිරීමෙන් හා ඒවා වර්ජනය නො කරන්නේ මන් දැ යි විමසීමෙනි.

මෙම ප්‍රහාරයන් හුදෙක් පුනුරුච්චාරනය කරන්නේ, තෙල් අවිව් හි ප්‍රචන්ඩකම් හා පලස්තීනුවන්ට එරෙහි මර්දනයන් සහ කලාපය තුල එහි කුරිරු මිලිටරි ක්‍රියාවන් මත මොනයම් හෝ සාකච්ඡාවක් නිහඬ කිරීමට ඊස්රායල් ආන්ඩුව හා එහි හවුල් කරුවන් විසින් නොනවත්වා යොදා ගන්නා ලද යුදෙව් විරෝධය පිලිබඳ පට්ට ගැසූ මඩගැසීම් ය.

ඒඑස්ඒ සාමාජිකයන්ට අනුව ප්‍රහාරයන් පෙල ගැසී ඇත්තේ, වෛරී සහගත ලියුම්, තර්ජන හා සංවිධානයට එරෙහිව නීතිමය පියවර ගැනීම පිලිබඳ සාකච්ඡා සමග ය.

ඒඑස්ඒ යෝජනාවලට සහාය දීමේ දී යුදෙව් සාමාජිකයින් ප්‍රමුඛ කාර්භාරයක් ඉටු කර ඇති බව පැහදිලි ය. ඇමරිකන් අධ්‍යයනය පිලිබඳ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එරික් ෂේපෆිට්ස් මෙසේ සඳහන් කලේ ය: “මම ඊස්රායල් පුරවැසියන් වන දුවක හා මුනුබුරන් තිදෙනෙකු සහිත යුදෙව්වෙක්. මම ඇමරිකානු ඉන්දියානු ස්වදේශීය අධ්‍යයනයේ විද්‍යාර්ථියෙක්මි. එම ආයතනය වචනයෙන් ද ක්‍රියාවෙන් ද සැබවින් ම පලස්තීනයේ බටහිර ඉවුර, ගාසා තීරුව හා නැගෙනහිර ජෙරුසෙලෙම ද ඇතුළු ව එය පවතින කොතැනකදී හෝ ජනාවාස යටත්වජිතවාදයට විරුද්ධ වී තිබේ."

මතුපිටින් විශ්මයජනක මූලාශ්‍රයක් සේ පෙනීමට ඉඩ ඇති ගම්‍යමාන විවේචන එම ආරම්භකත්වයට එරෙහිව එල්ල කෙරුනි. දකුනු අප්‍රිකාවේ පැවති නෙල්සල් මැන්ඩෙලා අනුස්මරන මෙහෙයේ දී, පලස්තීන අධිකාරීයේ (පීඒ) ජනාධිපති මහමුඩ් අබ්බාස්, ඊස්රායලය වාඩිලාගත් බටහිර ඉවුරේ ජනාවාසවල නිපදවන ලද භාන්ඩ වර්ජනයට පීඒ සහාය දක්වන බව පැවසූ අතර මෙසේ ප්‍රකාශ කලේ ය: “නමුත් අප ඊස්රායලය ම වර්ජනය කරන්නට කිසිවෙකුගෙන්වත් ඉල්ලන්නේ නැත. අපට ඊස්රායලය සමග සම්බන්ධකම් තිබේ, අපට ඊස්රායලය පිලිබඳ අන්‍යොන්‍ය පිලිගැනීමක් තිබේ."

ප්‍රකාශය කෙරෙහි පලස්තීන ක්‍රියාකාරීන්ගෙන් පලවූයේ උනුසුම් හෙලාදැකීම් ය. කෙසේ නමුත් එය පිලිබිඹු කරන්නේ, බටහිර ඉවුරේ හුදකලා බිමිකඩක පවත්වාගෙන යන රාජ්‍ය ඇබිත්තක පලස්තීන නිලධාරීන්ගේ තුනී තට්ටුවකට හා දේශපාලනික බැඳීම් ඇති ව්‍යාපාරිකයන්ට ධනය හා වරප්‍රසාද සැලසීම වෙනුවෙන් පලස්තීන ජනතාවට එරෙහි එක්සත් ජනපද හා ඊස්රායල් පොලිස් ඒජන්සියක් ලෙස සේවය කරන පලස්තීන අධිකාරියේ දේශපාලන ආස්ථානය යි.

ඒඑස්ඒ තුල වර්ජන යෝජනාවට සහාය දුන් අය එසේ කලේ, ම්ලේච්ඡ හා නීතිවිරෝධී එක්සත් ජනපද-ඊස්රායල් ප්‍රතිපත්තියට එරෙහිව අවංක වෛරයෙන් හා පලස්තීන මජනතාව සමග සහයෝගිත්වයේ හැඟීම්වලින් බවට සැකයක් නොමත. ඔවුන්ගේ දක්ෂිනාංශික හා සියොන්වාදී ප්‍රහාරකයින්ගෙන් ඔවුන් ආරක්ෂා කල යුතු ය. කෙසේ නමුත්, ඊස්රායල් මර්දනයට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද යන කාරනය දේශපාලන මූලධර්ම පිලිබඳ අතිමූලික ප්‍රශ්න මතුකර යි. මෙම ආස්ථානයෙන් ගත් විට, යෝජනාව අවධාරනය කරන හැඟීම් කොතරම් අවංක වුවත් අන්තිමේ දී එහි ප්‍රයත්නය නො මග ගිය එකකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය දශකයකට අධික කාලයක් තිස්සේ ඊස්රායලයට එරෙහි ශාස්ත්‍රාලික වර්ජනයට විරුද්ධ වී ඇති අතර ඉදිරියට ද එසේ කර යි. බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලිකයන් විසින් වර්ජන ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රතිචාර වශයෙන්, 2002 ජූලි මාසයේ දී නිකුත් කරන ලද ප්‍රකාශනයක ලෝසවෙඅ එය මෙසේ පැහදිලි කලේ ය:

“සාමාන්‍ය ඊස්රායල පුරවැසියන් ඉලක්ක කරන පියවර සේවය කරන්නේ, සමස්ත ලෝකය ම යුදෙව් ජනතාවට එරෙහිව සිටින බවත්, එබැවින් ඔවුන්ට ඇති එකම අභය භූමිය ඊස්රායල් රාජ්‍යය පමනක්ය යන දෛවවාදී හා ගැඹුරින් ම අශුභවාදී අදහස සිතට කාවැද්දීමේ සියොන්වාදී උත්සාහයන් සවිබලගැන්වීමට ය."

“පලස්තීනුවන්ට එරෙහි ඊස්රායල් ආක්‍රමනයට විරුද්ධ වන ශාස්ත්‍රාලිකයන් සඳහා නිවරැදි ක්‍රියාමාර්ගය වන්නේ, එවැනි වර්ජනයකට මුළුමනින් ම විරුද්ධ පැත්ත ය: ජාතික බෙදීම් ශක්තිමත් කිරීම වෙනුවට ඒ හරහා කැපීයන ප්‍රශ්න මුල්කරගෙන බැරෑරුම් සංවාදයක් දිරිමත් කිරීම පිනිස, ඊස්රායල් හා අරාබි සහකරුවන් සමග උපරිම බැඳීම සඳහා වෙර දැරිය යුතුය."

අවසානයේ දී එවැනි වර්ජන, ජාතිකවාදී මනෝගතීන් සවිමත් කිරීම සඳහා අත්අඬංඟුවට ගැනීමේ තත්වයක් නිර්මානය කිරීමට ෂැරොන් හා නෙතන්යාහු දරන උත්සාහයේදී ඔවුන් විසින් ගසාකනු ඇත. ඒවා සේවය කරන්නේ ඊස්රායල් ශාස්ත්‍රාලිකයන්, බුද්ධිමතුන් හා සමස්ත ජනතාවම අතර ඊස්රායල් ආන්ඩුවට හා සියොන්වාදය කෙරෙහි පල වන විරෝධයේ වර්ධනයට බාධා කිරීමට සහ ඔවුන්ගේ පොදු පීඩකයන්ට එරෙහිව යුදෙව් හා අරාබි කම්කරුවන්ගේ එක්සත් අරගලයක් ගොඩනැගීමේ උත්සාහයන්ට වලකැපීමට ය.

සිය එල්ලය ඊස්රායල් “පුද්ගලයන්ට" එරෙහිව නොව උසස් අධ්‍යාපනය පිලිබඳ ඊස්රායල් ආයතනවලට එරෙහිව බව ඒඑස්ඒ ආධාරකරුවෝ සහතික කරති. එහෙත් භාවිතයේ දී මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනෙන්නේ කෙසේ ද, නැත්නම් එය ඊස්රායල් විද්වතුන් අතර, ඊටත් අඩුවෙන් වැඩකරන මිනිසුන් අතර, එය වටහා ගනු ලබන්නේ කෙසේ ද යන්න කිසිසේත් පැහදිලි නැත.

සියළු සමාජ මෙන් ම ඊස්රායලය ද, ආන්ඩුව පාලනය කරන පාලක මූල්‍ය හා සංගත ප්‍රභුව සහ කිසිදු දේශපාලන හඬකින් තොර ව සූරාකැවෙන හා පීඩිත කම්කරු පන්තිය අතර තියුනු ලෙස බෙදීගෙස් ඇත. සියොන්වාදයට විරුද්ධව සමාජවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ විකල්ප කම්කරු පන්ති නායකත්වයක් නොමැතිකම යි, ගැටුමේ අවසානයක් දැකීමට කැමති ජනතාවගේ විශාල කොටසක් නොතකා පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල් ආන්ඩුවේ නිමක් නැති මර්දනය හා මිලිටරි ප්‍රකෝපකරනයන් දිගට ම ගෙනයාමට ඉඩදී ඇත්තේ.

සාමාන්‍ය ඊස්රායල් වරුන්, ඔවුන් පාලනය කරනු ලබන ආන්ඩුව සඳහා වගකිව යුතු ය යන සාමූහික වරදේ දෘෂ්ටියෙනි, ඊස්රායල් ශාස්ත්‍රාලිකයන් වර්ජනය කිරීම ඇරඹෙන්නේ. මෙම තර්කය ම එක්සත් ජනපද විශ්වවිද්‍යාල වර්ජනය කිරීමට ද යොදා ගත හැක. ඊස්රායල් ආන්ඩුවේ අපරාධවලට ( සැබවින් ම ඒවා ද ඇතුළුව) වඩාත් සැලකිය යුතු ලෙස බොහෝ දැවන්ත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධවලදී ඒවා හැම අතින් ම “පාර්ශ්ව කරුවෙකි." එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ප්‍රතිපත්ති ක්‍රියාවට නඟා ඇති හා නඟන තක්කඩීන් පුහුනු කර ඇති හාවඩ් විශ්වවිද්‍යාලය හා එහි ආන්ඩුවේ කෙනඩි පාසල ගැන කිව්වොත් කෙසේ ද? සීඅයිඒ ආධුනිකයින්ගේ නිදහස් පාලනයට ඉඩ නොදුන් විශ්වවිද්‍යාලයක් සොයා ගැනීමත් අපහසු ය. ඒවායෙන් බොහොමයක් ප්‍රමුඛ පෙන්ටගන කොන්ත්‍රාත්තුවලට හවුල් ය.

එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල දේශපාලනිකව හා මූල්‍යමය වශයෙන් ලෝකය පුරා මහජන මර්දනය සඳහා කේන්ද්‍රීය වගකීම දරන ආන්ඩුවකට බැඳී ඇති තත්වය තුල, ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ, ගුවන්තනාමෝ බේ වධහිංසා හා ලෝක පරිමාන ඔත්තු බැලීමට වගකිවයුතු ඒඑස්ඒ සාමාජිකයින් ඇතුළු ඇමරිකානු ශාස්ත්‍රාලිකයන් ප්‍රතිගාමී හා ප්‍රජාතන්ත්‍රවිරෝධී වනු ඇත.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ආන්ඩුව හා පුළුල් මහජනතාව වෙන් කර හඳුනාගැනීමේ අවශ්‍යතාව යි. ඊස්රායෙල් ආන්ඩුවට මෙන් ම වොෂින්ටනයේ එහි අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට ද බැටදෙන ක්‍රමවේද මුළුමනින් ම යුක්ති සහගත වන අතර, නෙතන්යාහු ආන්ඩුව පිලිකුල් කරන හා එහි ආර්ථික හා සමාජ ප්‍රතිපත්තිවලින් විපතට පත්වන පොදුජනයා ආන්ඩුව සමග එකට ගොඩ ගසන ක්‍රමවේද එසේ නො වේ.

වර්ජනයේ මෙම ස්වභාවයට පාදක වන්නේ, ජනතාවගේ අතිවිශාල බහුතරය වන ඊස්රායල් වැඩකරන ජනතාව, ආන්ඩුවේ පාලකයන් හා සියොන්වාදය වෙතින් දිනාගැනීමට නොහැකි ය යන අශුභවාදය සමග ඒකාබද්ධ වූ ලිබරල් කෝපාග්නියේ දෘෂ්ටියකි.

මෙය ජාතිකවාදයේ දේශපාලනය සමග බැඳෙන අතර සහාය දෙන්නේ ඊනියා “රාජ්‍ය-දෙකේ" විසඳුම සඳහා ය. එනම්, ඊස්රායලය පසෙකින් එය විසින් වාඩිලාගත් ප්‍රදේශවල කොටසක පලස්තීන රාජ්‍ය ඇබිත්තක් නිර්මානය කිරීමයි. මෙයින් අදහස් වන්නේ සියොන් තන්ත්‍රය එවැනි ප්‍රතිපත්තියක් පිලිගැනීමට ලජ්ජා වනු ඇති බව යි. ඔස්ලෝ ගිවිසුමෙන් අවුරුදු විස්සකට පසු මෙම ඊනියා “විසඳුමේ" ප්‍රායෝගික නොවන කම පලස්තීන ජනතාවගේ නිරන්තරයෙන් වැඩිවෙමින් ඇති ස්ථරයන්ට ජීරනය වී ඇත.

සටන් කල යුතු විකල්පය විය යුත්තේ, සීමා නොකල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සියල්ලන් සඳහා සමාජ සමානතාව සපයන සමාජයක් නිර්මානය කිරීමේ පොදු අරගලයක් තුල අරාබි හා යුදෙව් කම්කරුවන් එක්සත් කිරීම යි. මෙහි අර්ථය වන්නේ කලාපයේ සම්පූර්න අධිරාජ්‍යවාදී පසුබිමට එරෙහිව හා මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීම සඳහා අරගලයකි. මෙය ඉල්ලා සිටින්නේ ඊස්රායලය හුදකලා කිරීම නො ව ඔවුන් අතර සියොන්වාදයට එරෙහිව හා මෙම එක්සත් විප්ලවවාදී සූදානම සඳහා සමාජවාදී දැනුවත් භාවයේ වර්ධනය සඳහා ඉහල ම අරගලයකි.

Share this article: