බ්‍රික්ස් බැංකුවක් පිහිටුවීමේ තීරනය, ප්‍රධාන බලවතුන් අතර වැඩෙන මතභේද පෙන්නුම් කරයි

BRICS bank decision highlights growing divisions among major powers

නික් බීම්ස් විසිනි, 2014 ජූලි 19

ගෝලීය මූල්‍ය ක්‍රමයේ අසතුටුදායක වර්ධනයන්ට මුහුන දීම සඳහා ඩොලර් බිලියන 100ක සංවර්ධන බැංකුවක් හා හදිසි සංචිත අරමුදලක් පිහිටුවීමට මේ සතිය තුල බ්‍රික්ස් රටවල් විසින් ගනු ලැබූ තීන්දුව, එක්සත් ජනපදය හා මෙම රටවල් කන්ඬායම අතර ගැඹුරු වෙමින් ඇති බෙදීම් සලකුනු කරයි.

බ්‍රෙසීලයේ ෆෝටලිසා නඟරයේදී පැවැත්වූ බ්‍රෙසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුනු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් හයවන බ්‍රික්ස් වාර්ෂික සමුලවේදී මෙම නව සංවිධාන දෙක පිහිටුවා ගැනීමට එකඟ විය.

නව සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 50ක ආරම්භක ප්‍රාග්ධනයක් සහිතව, සාමාජිකයින් පස්දෙනාගේ සමාන දායකත්වයකින් පටන් ගනියි. කුඩා පරිමානයකින් වුවත් එය, සංවර්ධන නය සැපයීමේදී ලෝක බැංකුව ඉටුකරන කටයුත්ත අනුකරනය කිරීමට උත්සාහ කරනු ඇත.

ඩොලර් බිලියන 100කින් යුත් හදිසි සංචිත වැඩ සටහන, ඊනියා සංවර්ධනය වන රටවල ජාත්‍යන්තර මූල්‍ය ප්‍රවාහයන්හි මාරුවීම් වලට සම්බන්ධිතව ඇතිවන ද්‍රවශීලතා ගැටලු ජය ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉටුකරන ක්‍රියාකලාපයට විකල්පයක් සැපයීමට අදහස් කරයි. එහි අරමුදල් තීරනය වන්නේ සාමාජිකයින් පස්දෙනාගේ සාපේක්ෂ ආර්ථික ශක්තිය අනුවය. චීන ආර්ථිකය, ප්‍රමානයෙන් අනෙක් සාමාජිකයින් සතර දෙනාගේම එකතුවට වඩා වැඩි වන බැවින් එරට බිලියන 41ක් යොදවයි. ඉන්දියාව, බ්‍රෙසිලය හා රුසියාව බිලියන 18 බැගින් ද දකුනු අප්‍රිකාව බිලියන 5ක් ද යොදවනු ඇත. ජාමූඅ හා ලෝක බැංකුවේ පාලන ව්‍යුහයන් පිලිබඳ බ්‍රික්ස් රටවල් අතර නැ‍ඟෙමින් තිබුනු අසතුට හමුවේ, මෙම නව ආයතන පිහිටුවීමේ සාකච්ඡා වසර ගනනාවක් තිස්සේ පැවතීගෙන ගියේය. බ්‍රික්ස් ලෝක ආර්ථිකයේ සියයට 24.5ක පංගුවකට වග කියන නමුත් ජාමූඅ තුල ඔවුන්ට හිමිවන්නේ ඡන්ද වලින් සියයට 10.3ක් පමනි.

බ්‍රික්ස් සාමාජිකයින්ගේ ඡන්ද බලය වැඩිකිරීම සඳහා 2010 වසරේදී යෝජනා ඉදිරිපත් වූ අතර ඔබාමා පාලනාධිකාරය ඊට නාමිකව සහයෝගය දැක්වුව ද එරට කොන්ග්‍රසය යෝජනා ක්‍රියාත්මක කිරීම අත්හිටුවීය. එජ කොන්ග්‍රසය පසුගිය අප්‍රේල් මාසයේදී යලි වතාවක් යෝජිත වෙනස්කම් ප්‍රතික්ෂේප කිරීම ද එජ මෑත විදෙස් පිලිවෙත් තීරන කෙරෙහි වැඩි වැඩියෙන් පලවන විරුද්ධත්වය ද බ්‍රික්ස් සමුලුවේ තීන්දු ක්‍රියාත්මක කිරීමට තුඩුදී ඇති බව පෙනෙන්නට තිබේ.

චීනයේ බලය වර්ධනය වීම ගැන පලවූ ඉන්දියාවේ කනස්සල්ල හේතුකොටගෙන නව ආයතන පිහිටුවීම මත බ්‍රික්ස් කන්ඬායම තුල ද ආතතියක් පැවතුනි. ෂැංහයි නුවර පිහිටුවනු ලැබුවත් නව බැංකුවේ පලමු සභාපතිත්වය ඉන්දියාවට පැවරීම සම්බන්ධ එකඟත්වය මත ආරම්භක බාධක ජයගෙන තිබේ.

නව සංවිධානය, ජාමූඅ හා ලෝක බැංකුව අනුකරනය සඳහා දැරෙන උත්සාහයක් බවට පැවති සමපේක්ෂනය, මේ වතාවේ පමනක් චීනය ප්‍රමුඛ ක්‍රියාකලාපය ඉටුකරන බව පෙන්වමින් යටපත් කිරීමට බ්‍රෙසීලියානු ජනාධිපති ඩිල්මා රවුසෙෆ් උත්සුක විය. “නව බ්‍රික්ස් බැංකුවේ ආකෘතිය නව අධිකාරයක් නඟාසිටුවන්නේ නැති බව මා පැවසිය යුතුව ඇත.” ඇය කීවාය.

එජ මූල්‍ය පිලිවෙතේ විවේචකයෙකු වන බ්‍රෙසිලියානු මුදල් ඇමති ගයිඩා මැන්ටිගා, එජ ඩොලරයේ අගය පහත වැටීම නිසා “මූල්‍ය යුද්ධ” පැනනැඟීමේ හැකියාව ගැන අනතුරු ඇඟවීය.

ගෝලීය මූල්‍ය ක්‍රමය පිලිබඳ බ්‍රික්ස් රටවල දැක්මත්, එජ මත වාරුවන පවත්නා ව්‍යුහයත් අතර ඇති ප්‍රධාන වෙනස, සාමාජිකයින් අතර සමානතාවයේ මූලධර්මය බව මැන්ටිගා පැවසීය. “බ්‍රික්ස් බැංකුව තුල අපට සමාන බලතල ඇත. එය මූලික කාරනයකි.” බැංකුවේ සභාපතිත්වය සාමාජිකයින් පස්දෙනා අතර මාරවෙන ක්‍රමයකට පවතියි. ජාමූඅ සම්බන්ධයෙන් ගත් කල නායකත්වය යුරෝපීය වන අතර ලෝක බැංකුවේදී සභාපති තීරනය කරන්නේ එජ යි.

ෆෝටලේසා ප්‍රකාශනය ලෙස හඳුන්වා ඇති සමුලු ප්‍රකාශනයේ ඡේද ගනනාවකින් එජ හා බ්‍රික්ස් කන්ඬායම අතර වැඩෙන ආතතීන් සලකුනු කෙරේ.

එයට අනුව සමුලුව පැවැත්වුනේ “තීරනාත්මක සන්ධිස්ථානයක” දීය. ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේදී මුහනපාන අභියෝගයන් හා “එක දිගට පවතින දේශපාලන අස්ථාවරත්වයත්, විවිධ ගෝලීය ජ්වලන කේන්ද්‍ර තුල ගැටුම්” එය පෙන්වා දෙයි.

“අනෙක් අතට, නිතරම බහුපාර්ශවීය වියදමෙන්, බලය පිලිබඳ එකිනෙකට වෙනස් රටාවන් තුල සැලසුම් කර ඇති ජාත්‍යන්තර පාලන ව්‍යුහයන් තුල, තාවකාලික හා එහෙන් මෙහෙන් යොදන ප්‍රතිකර්ම වඩ වඩාත් මුල්බැසගැනීමත් සමග නීත්‍යානුකූල භාවය හා කාර්යක්ෂමතාවය හීනවී යාම පිලිබඳ පැහැදිලි සලකුනු පෙනෙන්ට පටන්ගෙන ඇත.” එය වැඩිදුරටත් සඳහන් කරයි.

නම් සඳහන් නොකල ද මෙය පැහැදිලිවම ඇඟිල්ල දිගු කරන්නේ, සිය අවශ්‍යතාවන්ට සරිලන පරිදි වෙලඳාම හා ජාත්‍යන්තර මූල්‍ය සැලසුම් ස්ථාපිත කිරීමට වඩ වඩාත් උත්සාහ කරමින් සිටින එජ වෙතය. නිදසුනක් ලෙස යෝජිත අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය යටතේ එජ, සාමාජික රටවල රජය සතු ව්‍යවසායන් බිඳ දැමීමට අදහස් කරයි.

“ආර්ථිකය තුල රජය සතු සමාගම් ඉටුකරන ක්‍රියාකලාපයත්, ඒවා මගින් සහයෝගිතාව, තොරතුරු හුවමාරුව හා ඉහල භාවිතාවන් දිගටම ගෙනයාම දිරිමත් කල යුතු යයි ද අපි පිලිගන්නෙමු.” යනුවෙන් එහි සඳහන් කිරීම වැදගත්ය.

රුසියාව හා චීනය යන දෙරටටම විරුද්ධව එජ හා යුරෝපයේ වැඩී යන තල්ලුව හමුවේ, එජ විදෙස් පිලිවෙත ගැන තුනීවට සැඟවුනු සමහර විවේචන ද දැකිය හැකිය.

“2013දී ජී 20 කන්ඬායමේ සභාපතිත්වය දරමින් ඉටුකල සාර්ථක වැඩ කටයුතු ගැන” ප්‍රකාශනයෙන් විශේෂිත‍ව රුසියාව කෙරෙහි ප්‍රසාදය පලකොට තිබේ.

එක්සත්කම සඳහා කැඳවුම් කරමින්, රුසියාව හුදෙකලා කිරීමට එජ දරන උත්සාහයට පහර දීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ අවස්ථාව යොදාගත්තේය. “එජ හා එහි මිතුරන් විසින් ගනු ලබන සමහර විදෙස් පිලිවෙත් තීරන සම්බන්ධයෙන් එකඟ නොවන රටවලට අඩන්තේට්ටම් කිරීම වැලැක්වීමට උදව් වන පියවරයන් ඇතුලත් ක්‍රමයක් ගැන අප එක්ව සිතා බැලිය යුතුය.” ඔහු පැවසීය.

බ්‍රික්ස්හි කිසිම සාමාජිකයෙක්, යුක්‍රේනය පිලිබඳ ප්‍රශ්නය මුල්කරගෙන, රුසියාවට එල්ල කරන එජ විවේචනයන්ට සම්බන්ධ නොවීම ද වැදගත්ය.

එජ වෙත යොමුකල දේශපාලන ප්‍රශ්න මත වඩාත් කැපීපෙනෙන තවත් ප්‍රකාශයකදී එය, “ජාත්‍යන්තර නීතිය හා සර්වව්‍යාපී පිලිගැනීමකට ලක්වන ජාත්‍යන්තර සම්බන්ධතා උල්ලංඟනය කරන ඒකපාර්ශවික මිලිටරි මැදිහත්වීම් හා ආර්ථික සම්බාධක,” හෙලාදැක ඇත. “ආරක්ෂාවේ නොබෙදිය හැකි ස්වභාවය පිලිබඳ අනූපම වැදගත්කම හා කිසිදු රාජ්‍යයක් අනෙකුන්ගේ වියදමෙන් සිය ආරක්ෂාව තර නොකල යුතු” බව එය අවධාරනය කරයි.

ගෝලීය ආර්ථික පාලනය පිලිබඳ ප්‍රශ්නය ගැන “ජාමූඅ නීත්‍යානුකූල භාවය, විශ්වාසනීයත්වය හා කාර්යක්ෂමතාව කෙරෙහි රිනාත්මක බලපෑමක් ඇතිකරමින් මූල්‍ය අරමුදල පිලිබඳව 2010 වසරේ යෝජිත ප්‍රතිසංස්කරන වර්තමානයේදී ක්‍රියාත්මක නොකිරීම පිලිබඳව බලාපොරොත්තු සුන්වීම හා දැඩි කනස්සල්ල” බ්‍රික්ස් ප්‍රකාශනයෙන් පලකොට තිබේ.

ලෝක බැංකුව ද “වඩා ප්‍රජාතන්ත්‍ර පාලන ව්‍යුහයක්” දෙසට යොමු වෙමින්, සෑම රටකටම “ගෝලීය ආර්ථිකය, මූල්‍ය හා වෙලඳ කටයුතු වලදී, නියමිත අයිතීන්, සමාන අවස්ථා හා සාධාරන සහභාගිත්වයක් ලැබිය යුතු” බවත් ඒවාට වෙනස්වූ ශක්‍යතා හා සංවර්ධනයේ වෙනස්වූ අවධීන් පවතින බව හඳුනාගැනීම අවශ්‍ය බවත් එහි සඳහන් වේ.

සමුලු තීරන, ගෝලීය මූල්‍ය ක්‍රමය මත පවත්නා එජ අධිකාරයට කෙලින්ම අභියෝග නොකරනවාක් මෙන්ම, කන්ඬායමේ සාමාජිකයින්ගේ වෙනස්වූ න්‍යාය පත්‍ර නිසා සන්තාපයට ද පත්වන අතර ඒවා, ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ පුලුල් වන බෙදීම් මතුවී ඒම සලකුනු කරයි.

Share this article: