ඊජිප්තුවේ මිලිටරි කුමන්ත්‍රනයෙන් වසරකට පසු

One year since the military coup in Egypt

2014 ජූලි 5

මෙම සතිය, ඒකාධිපති ජෙනරාල් අල්-සිසී නව ජනාධිපති ලෙස බලයට ගෙන ආ එක්සත් ජනපදයේ පිටුබලය සහිතව සිදුවූ කුමන්ත්‍රනයේ පලමු සංවත්සරය සලකුනු කරයි.

කුමන්ත්‍රනය දියත් කිරීමේ දී හමුදාව බලාපොරොත්තු වූයේ, මුස්ලිම් සහෝදරත්වයේ ජනාධිපති මොහමඩ් මුර්සිට එරෙහිව වර්ධනය වී තිබූ මහජන ව්‍යාපාරය පූර්වභංග කිරීමට ය. කම්කරුවන් දියත් කල වැඩවර්ජන 5,544ක් හා මූර්සිගේ ආන්ඩුවට විරුද්ධව පැනනැඟි සමාජ විරෝධතාව සමග 2013 පලමු භාගයේ දී පන්ති අරගලය පුපුරා ගියේය. ජූනි මස අග විරෝධතා හටගත් අවස්ථාවේ, මූර්සිගේ වෙලඳපොල ගැති ප්‍රතිපත්ති සහ ගාසා තීරයට එල්ලවූ ඊස්රායල් ප්‍රහාරයට හා සිරියාව තුල එජ මෙහෙය වූ බලකාර යුද්ධයට ඔහු දුන් සහයෝගයට තම විරෝධය පලකිරීමට මිලියන ගනනාවක් කම්කරුවෝ වීදිබටහ.

කම්කරු පන්තියේ දැවන්ත ශක්තිය පෙන්නුම් කල විරෝධතාවන්ගේ ප්‍රතිඵලය ලෙස, ඊජිප්තු විප්ලවයේ මුඛ්‍ය ගැටලුව එලිමහනට පැමිනියේය. එනම් ඊජිප්තු ජනතාවගේ සාරභූත කෝපය හා දේශපාලන නායකත්වයක් නැතිකම අතර හිදැස යි.

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමර්ගයක පදනම මත බලය ගැනීමේ අරගලයක් තුල කම්කරු පන්තිය ඒකරාශී කිරීමට සටන් කරන පක්ෂයක් නොමැති තත්වය තුල, ව්‍යාපාරයේ තුල මතු වූ කන්ඩායම්, මූලික වශයෙන් ම ටැමරොඩ් (“කැලිකාරී”) ව්‍යාපාරය ක්‍රියා කලේ මහජන විරෝධය හමුදාව පසුපස හරවා යැවීමට ය.

ඇමරිකානු මිලිටරිය හා ඔබාමා පාලනාධිකාරයේ කිට්ටු අනුසන්දානයෙන් අල්-සීසී කුමන්ත්‍රනය දියත් කර මූර්සි පලවාහැරි විට, ටැමරොඩ් ව්‍යාපාරය තුල හා ඒ වටා ක්‍රියාත්ක වෙමින් සිටි ලිබරල් තරුන ක්‍රියාකාරීහූ හා ව්‍යාජ - වාම දේශපාලන කන්ඩායම් එය “දෙවැනි විප්ලවයක්”‍ලෙස හුවා දැක්වූහ. ව්‍යාජ-වාම විප්ලවකාරී සමාජවාදී සංවිධානයේ (ආර්එස්) නායක සමේෂ් නගුයිබ්, “ මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය නො වේ, සරල මිලිටරි කුමන්ත්‍රනයක් ද නො වේ...පසු ගිය දින කීපයේ සිදුවීම් මගින් (තමන්) බලය කරා ඔසවා ඇතැයි ද එහි හිමිකරුවා බවට පත්ව ඇතැයි ද මහජනයාට දැනී ඇත.” යනුවෙන් උද්‍යෝගිමත් ලෙස පැවසීය.

ඊට සපුරා වෙනස් ලෙස, කුමන්ත්‍රනයට පසු දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරු පන්තියට අනතුරු ඇඟවූයේ, මිලිටරිය සිය ප්‍රතිගාමී භූමිකාව රඟපානු ඇති බවට යි. අපි මෙසේ සඳහන් කලෙමු. “හමුදාව උත්සාහ කරනු ඇත්තේ මූල්‍ය ප්‍රාග්ධනය විසින් ඉල්ලන ප්‍රතිපත්ති බලාත්මක කිරීමට ය. අවසාන විග්‍රහයේ දී, එක් අතෙකින් මිලිටරිය හා අනෙක් අතින් නෙරපා හැරුනු මුස්ලිම් සහෝදරත්වය අතර ගැටුම පාලක පන්තියේ පසමිතුරු කන්ඩායම් අතර සටනකි. මිලිටරිය සූදානම් කරමින් සිටින මර්දනයේ ප්‍රධාන ඉලක්කය කම්කරු පන්තියයි. වේදිකාව සකස් කෙරී ඇත්තේ කම්කරු පන්තියේ වැඩි මනත් විරෝධතා “ජාතික අවශ්‍යතාවට” හානිදායක හා නීතිවිරෝධී යයි හෙලාදැකීමට ය. ”

මෙම අනතුරු ඇඟවීම් පසු ගිය අවුරුද්ද පුරා මොනවට තහවරු කෙරී ඇත. බලය ගැනීමෙන් පසු අල්-සිසී ජුන්ටාව, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව භීෂනයක් මුදාහැරිය අතර, 2011 ඊජිප්තු විප්ලවය ඇරඹීමට පෙර, හොස්නි මුබාරක් යටතේ තිබූ මිලිටරි - පොලිස් රාජ්‍ය යලි ස්ථාපිත කිරීම ඔවුන්ගේ අරමුන විය.

මිලිටරි ආන්ඩුව ප්‍රචන්ඩකාරී ලෙස විරෝධතා හා වැඩවර්ජන විසුරුවා හැරිය අතර ඊජිප්තුවේ වීදිවල දහස් ගනනක් ජනතාවට අනුකම්පා විරහිතව වෙඩිතැබීය. එය මුස්ලිම් සහෝදරත්වය තහනම් කල අතර එහි සාමාජිකයින් හා ආධාරකරුවන් 2000ට වැඩි පිරිසකට මරන දඬුවම නියම කලේ ය. ආර්ථික හා සමාජ අයිතීන් සඳහා ඊජිප්තියානු කේන්ද්‍රයේ මෑත සංඛ්‍යාවලට අනුව කුමන්ත්‍රනය හා මෙම වසරේ මැයි 15වැනිදා අතරතුර කාලයේ දී පුද්ගලයන් 41,163ක් සිරගත කරන ලදී.

කුමන්ත්‍රනයෙන් පසු වසර නිසැකව ම ඊජිප්තු විප්ලවයේ ප්‍රධාන පසුබැසීමක් වූ නමුත් එය අවසානය නොවේ. ආරම්භයේ පටන් ඊජිප්තු විප්ලවය පෙරට ගෙන ගියේ ගැඹුරු වෛෂයික ක්‍රියාදාමයන් මගිනි: ජාත්‍යන්තරව කම්කරු පන්තිය දරිද්‍රත්වයට හෙලීම හා සූරාකෑම ද, මැද පෙරදිග දී අධිරාජ්‍යවාදීන්ගේ තියුනුවන අර්බුදය ද මගිනි. විප්ලවයේ නව අවධියක් ආරම්භ වනු ඇති අතර ප්‍රධාන කර්තව්‍යය වන්නේ ඒ සඳහා සූදානම් වීමට අත්‍යාවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගැනීම යි.

අල් - සිසී කුමන්ත්‍රනය, අවුරුදු තුන හමාරක කටුක විප්ලවවාදී අරගලයන්ගේ කුලුගැන්වීම විය. එය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය තහවුරු කලේය. ඊජිප්තු ධනේශ්වරයේ කිසිදු කන්ඩායමකට —හමුදාව, මුස්ලිම් සහෝදරත්වය, හෝ ඔවුන් අතර වැනුනු සුලු ධනේශ්වර ව්‍යාජ වාම කන්ඩායම්වලට— ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ ඉල්ලීම් විසඳීමට කිසිදු ප්‍රගතිශීලී ඉදිරිදර්ශනයක් නො වීය.

නොනවතින විප්ලව න්‍යාය පැහදිලි කරන පරදි, දරිද්‍රතාවෙන් හා අධිරාජ්‍යවාදී පීඩනයෙන් නිදහස් වූ සැබෑ සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ කර්තව්‍යය, ලෝක සමාජවාදී විප්ලවය සඳහා වන අරගලය තුල, කම්කරු පන්තියට පැවරේ. මෙම ඉදිරිදර්ශනයේ පදනම මත යි ලෝසවෙඅ අල්-සිසීගේ කුමන්ත්‍රනයට විරුද්ධ වූයේ.

ඊජිප්තු විප්ලවය ආරම්භයේ පටන්, ලෝසවෙඅ ස්ථිරසාර ලෙස මෙම ආස්ථානය ආරක්ෂා කල අතර කම්කරු පන්තිය මුබාරක් පන්නා දැමීමට පෙර දිනයේ දී මෙසේ පැහැදිලි කලේය. “ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිප්‍රායන් ධනේශ්වර පක්ෂවල රැකවරනය යටතේ ජයගත හැකිය යන මිත්‍යාවට එරෙහිව විප්ලවවාදී මාක්ස්වාදීන්, කම්කරු පන්තිය තුල මැදිහත් විය යුතු ය. ඔවුන් අනුකම්පා විරහිතව ධනපති පන්තියේ ව්‍යාජ පොරොන්දු හෙලිදරව් කල යුතු ය. ඔවුන් පන්ති අරගලය තීව්‍රවීමත් සමග කම්කරු පන්තියට බලය මාරු කිරීම සඳහා පදනම වනු ඇති, කම්කරු පාලනයේ ස්වාධීන සංවිධාන ගොඩනැගීම දිරිමත් කල යුතු ය. ජනතාවගේ අත්‍යාවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම සමග වෙන් කල නො හැකි බව ඔවුන් පැහදිලි කල යුතු ය.. ”

“සියල්ලටත් වඩා විප්ලවවාදී මාක්ස්වාදීන් ඊජිප්තු කම්කරුවන්ගේ දේශපාලන නිම්වලලු ඔවුන්ගේ ම රටේ සීමාවන්ගෙන් ඔබ්බට ඔසවාලිය යුතු ය. ඊජිප්තුවේ දැන් දිගහැරෙමින් පවතින අරගලයන් ලෝක සමාජවාදී විප්ලවයේ නැගී එන ගෝලීය ක්‍රියාදාමය සමග නොවෙන්කල හැකි පරිදි බද්ධ වන බව මෙන් ම ඊජිප්තු විප්ලවයේ ජයග්‍රහනයට අවශ්‍ය වන්නේ ජාතික නො ව ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් බව ද ඔවුන් පැහදිලි කල යුතු ය. ”

එකක් හැර, විප්ලවය සඳහා අවශ්‍ය සියලු ම පූර්ව අවශ්‍යතාවන් ඊජිප්තුව තුල ප්‍රදර්ශනය කෙරුනි. එනම් මෙම ඉදිරිදර්ශනයට සටන් කරන විප්ලවවාදී පක්ෂයකි. ඊජිප්තුව තුල ද, ජාත්‍යන්තරව ද මතු කෙරෙන කේන්ද්‍රීය ප්‍රශ්නය එවැනි පක්ෂයක්, එනම් විප්ලවයේ අරගලයන් යලි දැල්වීමට, අල් - සිසී ආන්ඩුව බිම දැමීමට හා සමාජවාදය සඳහා සටන භාරගැනීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීම යි.

ජොහැනස් ස්ටර්න්

Share this article: